මහින්දාගමනයෙන්
විකසිත වූ හෙළ කලා
ශාස්ත්‍රපති - සාමවිනිසුරු
වික්‍රමසිංහ අතපත්තු
ලක්දිවට බුදු දහම ලැබීමෙන් විකසිත වූ සිංහල සාහිත්‍ය පියුම් විල දැයම
සුවඳවත් කොට ලොවට ම බෙදා දුන් සාහිත්‍ය රස ගුලාව මීළඟට විමසා බලමු. මහා
විහාරය කේන්ද්‍ර කොටගෙන
ත්‍රිපිටකයට ලියූ සිංහල අටුවා කෙරෙහි අප අවධානය යොමු කරමු. ධර්මය
විවරණය කරනු පිණිස, අට්ඨකථා, ටීකා, ගැට පද වශයෙන් සිංහල සාහිත්‍යයට නව
වර්ධනයක් ඇති විය. මෙම ගැටපද පෙළ දහමට අර්ථ සපයන මහා ග්‍රන්ථ බවට පත්
විය. එමඟින් බෞද්ධ කතා සාහිත්‍යයක් බිහි වෙයි.
සිරිලක මහින්දාගමනයෙන් පසු ලැබූ ආගමික, ජාතික හා සංස්කෘතික පිබිදීම ගැන
විමසා බලන විට වසර දෙදහසක් ඉක්ම වී ගිය ද අද තෙක් පවතින ප්‍රෞඪත්වය හා
අභිමානය කිසිවකුටත් අවතක්සේරු කළ නොහැක. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ
පුත් මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරන විට ප්‍රාථමික මට්ටමේ
ආගමික විශ්වාස රාශියක් පැවති බව අපේ වංශකතා පැහැදිලි කරයි. එහෙත් බුදු
දහම කෙතරම් ප්‍රායෝගික ජීවන දෘෂ්ටියක් ඉදිරිපත් කළේ ද යන්න පැවැති
ආගමික විශ්වාස බෞද්ධ මුහුණුවරකින් ප්‍රභාවිත වූ ආකාරය නිසා පැහැදිලි
වෙයි.
මහ වන මැද අතුපතර විහිදා වැඩී ගිය වනස්පතී වෘක්‍ෂ රාජයන් දේවත්වයෙන්
පිදූ ජනතාවට සඟමිත් තෙරණින් වහන්සේ වැඩම කර දුන් ජය ශ්‍රී මහා බෝධීන්
වහන්සේ වෘක්‍ෂ වන්දනාවේ බැතිබර සිතුවිලි සැදැහැවත් ගුණයෙන් පුරවාලූහ.
මළවුන් ඇදහීම වෙනුවට විවිධ පින්කම් කොට ඥාතීන්ට පින්දීමේ පත්ති
පත්තානුමෝදනාව තෙක් පරිවර්තනය විය. යකුන් ඇදහීම් තිබූ අසීමිත භය
පක්‍ෂපාතී බව බුදුරජාණන් වහන්සේ යක්‍ෂයින් දමනය කළ පුවත් ඇසුරෙන් දුරු
කොට සිත් පහන් කර ගත්හ. බෞද්ධ සමාජය භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක,
උපාසිකා යන සිව්වනක් පිරිසකට පරිවර්තනය වෙමින් සාමකාමී සහජීවනයෙන් යුතු
ජන සමාජයක් දිවයින පුරා ස්ථාපිත විය.
මහින්දාගමනයෙන් ලක්දිවට උරුම වූ තවත් සුවිශේෂී දායාදයක් ලෙස බෞද්ධ කලා
ශිල්පය හැඳින්විය හැකි ය. ලාංකිකයන් සසුන්ගත වෙමින් බුදු සසුනේ
යෙදෙන්නට වූයෙන් භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් විහාර ආරාම ඉදිකොට පූජා
කිරීමට එවකට විසූ බෞද්ධ නරපතීහු ක්‍රියා කළහ. අට සැට ලෙන් වලින් ඇරඹි
මෙම ආරාම පූජාව ගමින් ගම විහාරස්ථාන බිහිවීමෙන් ව්‍යාප්ත විය. බෞද්ධ
විහාරස්ථානයක සියලු අංග කලා ශිල්ප වලින් ප්‍රභාමත් විය. චෛත්‍යය,
බෝධීන් වහන්සේ, බුදු පිළිමය යන ත්‍රිවිධ චෛත්‍ය අත්‍යවශ්‍ය අංග බවට
පත්විය. අනුරාධපුර යුගයේ ඉදි වූ මහා විහාරය, අභයගිරිය ආදී
කේන්ද්‍රස්ථාන පදනම් කොටගෙන උපෝසථාගාර, චෛත්‍ය, චේතියඝර, බෝධිඝර, ආවාස,
පධානඝර, නාන පොකුණු ආදී කලා කෘති බිහිවීමෙන් අපේ වංශකතාවේ සංවේදී
අභිමානය සනිටුහන් විය. ථූපාරාමය, රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය,
මිරිසවැටිය, අම්බස්ථලය ආදී ස්ථූප මඟින් ඒ ප්‍රෞඪත්වය අති පූජනීය ලෙස
සටහන් වූ අතර, එම කලාකෘති ;කරෙහි මුළු ලෝකයේම දෙනෙත් විශ්මයෙන් බැඳී
ගියේ ය. විවිධ කලාකරුවන් සිය පහන් සිතට සමීප කරගත් කුසලතාවයන්ගේ
විස්කම් නුවණ තුළින් සිය නිර්මාණ අනන්‍යතාවය පිළිබිඹු කළහ. ස්තූප
ඉදිකිරීමේ දී ඝණ්ඨාකාර, ඝඨාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර,
ආම්ලාකාර ආදී වර්ගීකරණයකට පසුබිම් වන නිමැවුම් ඉදිකළේ ය.
දාගැබක් ඉදිකිරීමේ දී භාවිතා කළ ආකෘතින්හි පවා දක්නට ලැබුණේ නෙතට හසුවන
පැහැබර දසුන හෘදයාංගමව වින්දනය කොට ප්‍රඥාව කෙරෙහි යොමු කරවන දාර්ශනික
පසුබිමකි.
පේසාවළලු, අණ්ඩය හෙවත් ගර්භය, හර්මිකාව, දේවතාකොටුව, කොත් කැරැල්ල,
කොත් වහන්සේ.... ආදී ක්‍රමානුකූල පෙළගැස්ම නිර්වාණාවබෝධය තෙක් යන ගමනට
බෙහෙවින් සමානය. කණ්ඨක හා මිරිසවැටි චේතීන්හි වාහල්කඩ කැටයම් ද, සඳකඩ
පහණ, මුරගල්, කොරවක්ගල්, පුන්කලස්, මාලාකර්ම, ලතාකර්ම පියගැට, වාමන රූප
හා සත්ව රූප කැටයම් එදා හෙළදිව කලාකරුවන්ගේ විස්කම් නුවණට කදිම නිදසුන්
ය.
දුටුගැමුණු, වසභ, වෝහාරික තිස්ස, ගෝඨාභය යන රජවරුන් සිය පාලන අණසක
සැදැහැබර හදවත් තුළ සාදුකාරයේ රිද්මය වර්ධනය කරවීමට යොදා ගත්හ.
රැස්සේරුව පිළිමය, අවුකන පිළිමය, මහඉලුප්පල්ලම පිළිමය, රුවන්වැලි සෑ
හිටි පිළිමය, පන් කුලිය හා තොලුවිල පිළිමය, අනුරාධපුර සමාධි පිළිමය,
පොළොන්නරුව ගල් විහාරයේ ප්‍රතිමා සංකීර්ණය ආදී සංකේත ඊට නිදසුන් වේ.
ගල් කටුවයි, මිටියයි, සැදැහැ සිතයි, කලාකාමී සංවේදිතාවයයි. මෙසේ නිම කළ
දාගැබ් ප්‍රතිමා මෙන්ම ස්වභාව ධර්මයේ වර්ණ සංකලනය පින්සලට මුසු කොට
සිතුවම් කළ බෞද්ධ චිත්‍ර කලාව ද මෙහිදී සිහි කළ යුතු උරුමයකි.
මහාවංසය, දීපවංසය වැනි වංශකතාවන්හි එන තොරතුරු වලට අනුව බුද්ධ චරිතය හා
ජාතක කථා, බෞද්ධ දෙවි දේවතාවුන් පිළිබඳ කථා දිව්‍ය ලෝක හා අපාය විස්තර
චිත්‍ර කලාවෙන් හෙළිවන බෞද්ධ තොරතුරුය.
ලක්දිවට බුදු දහම ලැබීමෙන් විකසිත වූ සිංහල සාහිත්‍ය පියුම් විල දැයම
සුවඳවත් කොට ලොවට ම බෙදා දුන් සාහිත්‍ය රස ගුලාව මීළඟට විමසා බලමු. මහා
විහාරය කේන්ද්‍ර කොටගෙන ත්‍රිපිටකයට ලියූ සිංහල අටුවා කෙරෙහි අප අවධානය
යොමු කරමු. ධර්මය විවරණය කරනු පිණිස, අට්ඨකථා, ටීකා, ගැට පද වශයෙන්
සිංහල සාහිත්‍යයට නව වර්ධනයක් ඇති විය. මෙම ගැටපද පෙළ දහමට අර්ථ සපයන
මහා ග්‍රන්ථ බවට පත් විය. එමඟින් බෞද්ධ කතා සාහිත්‍යයක් බිහි වෙයි.
කුරුණෑගල යුගයේ (ක්‍රි.ව. 1292 – 1347) දී රචනා වූ සිංහල ජාතක පොතට
ඇතුළත් වන්නේ පාලි ජාතකට්ඨ කථාවේ එන කතා වස්තූන්ය. ඒවා සිංහලයට
පරිවර්තනය කරමින් සිංහල ජාතක පොත රචනා කළේ කවරෙක් ද යන්න අවිනිශ්චිතය.
ලේඛකයන් කිහිපදෙනකු විසින් පරිවර්තනය කරන ලද ජාතක කතා එක්තැන් කොට සකස්
කරන ලද්දක් බවට ද මතයක් පවතී.
දඹදෙණි සාහිත්‍ය යුගයේ දී (ක්‍රි.ව. 1232 – 1272 ) රචිත සද්ධර්ම
රත්නාවලියට පාදක වී ඇත්තේ පාලි ධම්ම පදට්ඨ කතාවයි. ධර්මසේන නම්
යතිවරයාණන් වහන්සේ කෙනකුගේ කෘතියක් වන මෙය කතා වස්තු තුන්සියයකින්
සමන්විතය.
ජාතක කතා වස්තු පදනම් කොටගෙන බිහි වූ මහා පද්‍ය සාහිත්‍යයක් අප සතු ය.
මුවදෙව්දාවත හා සසදාවත වැනි ගී කාව්‍ය ද, කව් සිළුමිණ, කාව්‍යශේඛරය
වැනි මහා කාව්‍ය ද, ගුත්තිලය වැනි ඛණ්ඩ කාව්‍ය ද, හෙළ බොදු දනන්ගේ සිත්
සතන් සුවපත් කළ මහ ඔසු ලෙස සැලකිය හැකි ය. බෞද්ධ උරුමයන් සේ සැලකෙන
පූජනීය වස්තූන් මුල්කරගෙන සිංහල වංශකතා සාහිත්‍යයක් ද බිහිවෙන අයුරු
පෙනේ.
අනුරාධපුරයේ මහාථූපය පිළිබඳ වංශකතාව මුල්කරගෙන රචනා වී ඇති ථූපවංශය
කුරුණෑගල යුගයේ කෘතියකි. ග්‍රන්ථය අවසානයෙහි දැක්වෙන පරිදි ථූපවංශයේ
කතුවරයා වන්නේ සකල විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත නම් වියතෙකි.
බෝසතාණන් වහන්සේ සූවිසි විවරණය පිළිබඳ විස්තරයකින් ආරම්භ වී දුටුගැමුණු
චරිතය දක්වාම ථූපවංශයේ විස්තර වෙයි.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව විස්තර ඇතුළත්ව රචනා කර ඇති වංශ කතාව
සිංහල බෝධි වංශයයි. මෙයද කුරුණෑගල යුගයේ රචිත ග්‍රන්ථයක් වන අතර සිව්වන
පැරකුම්බා රජුගේ ආරාධනාවෙන් විල්ගම්මුල මාහිමියන් විසින් මෙම කෘතිය
ලියා ඇත. පාලි බෝධි වංශය ඇසුරු කොට රචිත බෝධි වංශය ද බුද්ධ චරිතය හා
ශාසන ඉතිහාසගත කරුණු රැසකින් සමලංකෘත වේ. දළදා වහන්සේ පිළිබඳ වර්ණනා
කරන පාලි දාඨාවංශයද එවැනිම වංශකතාවකි. පාලි දාඨාවංශය ඇසුරෙන්
අවිනිශ්චිත කතුවරයකු විසින් දළදා පූජාවලිය ද දෙව්රද දම්පසගිතාවන්
විසින් දළදා සිරිත ද රචනා කරන ලද්දේ කුරුණෑගල යුගයේ දී ය.
දහම් දිවයිනක් බවට සිරිලක එදා සිටම විශ්ව සම්මත වී ඇත්තේ මෙබඳු
කලාවන්ගෙන් යුත් හර පද්ධතියක් බුදු දහම ඇසුරෙන් ගොඩ නැඟී තිබුණ නිසාය.
අසිරිමත් මහින්දාගමනයෙන් ලක්දිවට උදා වූ ඒ හරවත් බෞද්ධ උරුමයන්, මේ රට
සංවර මිනිසුන් වාසය කළ කලා නිකේතනයක් ව පැවති බවට පිළිගැනීමක් පවතී. අප
ද මේ උරුමයන් ආරක්‍ෂා කරන අභිමානවත් හෙළ දරුවන් පිරිසක් වෙමු. |