මිහිඳු සමයේ
රාජ්‍ය පාලනය
සම්මාන මහාචාර්ය
අනුරාධ
සෙනෙවිරත්න
ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ එනම් දේවානම්පියතිස්ස රජුුගේ රාජ්‍ය
පාලන සමයේ දී දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ නියමයෙන් මිහිඳු මහරහතන්
වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේලා ලක්දිවට වැඩම කළහ. එකල මෙහි
පාලකයාව සිටි දේවානම්පියතිස්ස මහරජුගේ රාජ්‍ය අනුග්‍රහය ලැබ ලක්දිව
බුදු සසුන ස්ථාපනය කිරිම සිංහල රාජ වංශ කතාවේ සුවිශේෂ වූත් වැදගත් වූත්
සිද්ධියක් වන්නේය. අපගේ වංශකතා අනුව මෙය සිදු වී ඇත්තේ බුද්ධ
පරිනිර්වාණයෙන් අවුරුදු 236 ක් ඉක්ම වූ කල ලක්දිව රජ කළ
දේවානම්පියතිස්සගේ (ක්‍රි.පූ.250-210) රාජ්‍ය සමයේදී ය.
මහින්දාගමනයට පෙර එනම් ලක්දිව පූර්ව බෞද්ධ යුගයේ රාජ්‍ය හා රාජ්‍ය
පාලනය පිළිබඳ තොරතුරු ඇත්නම් ඒ සියල්ලටම පාදක වී ඇත්තේ අපගේ වංසකතා හා
ජනප්‍රවාද මිස පුරාවිද්‍යාත්මක සාධක නොවේ. නියම ඓතිහාසික තොරතුරු පදනම
කරගෙන අපගේ ඉතිහාස කතාව ගොඩනැගිය හැක්කේ බුදු සසුන මෙහි ස්ථාපිත වීමෙන්
පසුවය. වංසකතාව අනුව නම් ලක්දිව පළමු වරට ඒකීය පාලන නායකත්වයක් යටතේ
රාජධානියක් ඇති වූයේ විජය රජුගෙන් පසුවය. එකල මෙහි ජීවත් වූවෝ නම්
යක්ෂයන් හා නාගයන් වශයෙන් හදුන්වා ඇති අමනුෂ්‍යයෝය. ප්‍රාග් බෞද්ධ
අවධියේ ලක්දිව පාලනය කෙරෙහි ඉන්දීය බලපෑම මහාවංසය වුවද මහත්
අභිරුචියෙන් වර්ණනා කර ඇත. බුදුන් වහන්සේගේ ලංකා ගමනය නිසා මුල්වරට මෙම
දේශය බෞද්ධ රටක් වූ අතර එය ආරක්ෂා කිරීමට බුදුන් වහන්සේ විසින්ම එම
වගකීම උපුල්වන් දෙවියන්ට පවරන ලදී. විජයාගමනයත් සමඟම සිංහල ජාතියේ උපත
මෙහි සිදුවීම ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්ය යන අනන්‍යතාවයෙන් එහි
ආරම්භය සනිටුහන් වී ඇත. මේ කාරනා සිදුවී ඇත්තේ ක්‍රිස්තු පූර්ව හයවැනි
සියවසේයි. එහෙත් මේ සාහිත්‍යගත වාර්තා පුරාවිද්‍යා තොරතුරුවලින්
සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වීද නැත. ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ
මෙරට පැවැති උසස් සංස්කෘතිය පිළිබඳ තොරතුරු ජාතික වශයෙන් මෙන්ම ආගමික
වශයෙන්ද තහවුරු වී ඇති ආකාරය ආචාර්ය ශිරාන් දැරණියගලගේ පර්යේෂණ මගින්
තහවුරු වී ඇත. මේ අනුව ක්‍රි.පූ. තුන්වන සියවසට පෙර පටන්ම බොදුනුවන්
මෙහි විසූ බවට සාධක ඇත.
ප්‍රාග් බෞද්ධ හා සමකාලීන යුගයේ රාජ්‍ය පාලනය පිළිබඳව කරුණු විමසන කල
පෙනී යන්නේ මුල් සමයේදී ලක්දිව පැවැතියේ පාලන ඒකක වශයෙන් හැඳින්විය
හැකි ගම් නියම්ගම් බවත්ය. ඒවා මගින් බලය විමධ්‍යගත වීමක් සිදු නොවූ අතර
ග්‍රාමීය සමාජ අතර යම් බදු සම්බන්ධතාවක් නම් පැවැති බව විශ්වාස කළ හැක.
මෙම කුඩා ඒකක පාලනය කරන ලක්දේ පරුමක හා ගමණි යන විරුදයන් ඇති නායකයන්
විසිනි. මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන සූරීන් කීවේ පරුමක
නම් වු ප්‍රධානීන් ලක්දිව රාජ්‍ය පාලනයෙහි ගණතාන්ත්‍රික ලක්ෂණ පෙන්වූ
අතර ඔවුන් මුල් කාලයේදී කුඩා ජනාවාසවල නායකයන් වූ බවය. පරුමක යන වචනය
පාලියේ යෙදී ඇත්තේ පාමොක් යනුවෙනි. එහෙත් මෙය පරුමකන් නමැති දෙමළ
වචනයෙන් බිඳී ආ පදයක් වශයෙන් පමණක්ම නොව ද්‍රවිඩ ජනයා එනමින්ම මෙහි
පැමිණ පදිංචි වූ වගට තර්ක කරන දෙමළ ඉතිහාසඥයන් අතරට සිංහල ඉතිහාසඥයන්
දෙතුන් දෙනෙකුත් හවුල් වී ඇති වග ඔවුන් විසින් ඉංගී‍්‍රසියෙන් පළ කර
ඇති ලිපි කියවීමෙන් අවබෝධ වේ. අනෙක් අතට ගාමිණී යන යෙදුම ගැන අදහස් පළ
කරන පරණවිතාන සූරීන් කියා සිටින්නේ මේ පිරිස පරුමකන් මෙන් ශ්‍රී ලංකාවේ
ආදිතම පාලක පිරිසක් වූ බවය. ඔවුන් ද මෙරට ජනපදයක ජනපි‍්‍රය නායකයන් වූ
අතර වෛදික යුගයෙහි ඉන්දියාවේ වෛශ්‍ය ආර්යයන්ගේ ප්‍රධානියාද වූහ. මෙවැනි
නායකයන් සඳහා අභිෂේකයක් නොතිබුණ අතර නව යෂ්ටියක් දැරීමෙන් නායකත්වයට
පත් වූ වග දේවානම්පියතිස්ස පිළිබඳ වංසකතා පුවතින් මනාව පැහැදිලි වේ.
ගමිණි, පරුමක වැනි විරුද නාමයන් තවදුරටත් ආරක්ෂා කර ගනිමින් ක්‍රිස්තු
පූර්ණ තුන්වැනි සියවසේ එනම් දේවානම්පියතිස්ස යුගයේදි මෞර්ය ආභාසය ඇතිව
රජ මහරජ දෙවනපිය වැනි නාමයන්ද භාවිතයට ලත් බව පෙනී යයි.
දේවානම්පියතිස්ස හා අශෝක යන දෙදෙනාගේ රාජතාන්ත්‍රික මිත්‍රත්වය මත අප
රටේ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් සිදු වී ඇති වෙනස්කම්වලට බෙහෙවින්
බෞද්ධාගමික සම්බන්ධතාව ඉවහල් වී ඇති වගද පෙනී යයි. මේ සියලු
වෙනස්කම්වලට හේතු වී ඇත්තේ මහින්දාගමනයත් සමඟ ආරම්භ වූ ආගමික
සම්බන්ධතාවයි. එම සම්බන්ධතාව දේශපාලන වශයෙන්ද රටට බල පා ඇත.
මහින්දාගමනයට පෙර දේවානම්පියතිස්ස විසින් අශෝක අධිරාජයා වෙත යවන ලද දූත
ගමන ගැන තොරතුරු විමසන විට පෙනී යන්නේ අශෝක රජුගේ දෙවනපිය නමැති රාජකීය
විරුදය මෙන්ම රාජ පදවිය ද තමන් වෙත පිරිනමන ලෙස දේවානම්පියතිස්ස රජු
විසින් අශෝක අධිරාජ්‍යයාගෙන් ඉල්ලා යවන ලද ගමනක් බවයි. මෙය තම ආධිපත්‍ය
තහවුරු කර ගැනීමට ගත් උත්සාහයක් වශයෙන්ද හැඳින්විය හැක.
දේවානම්පියතිස්ස යුගයේදීම මහින්දාගමනය සිදුවීමෙන් දෙරටේ රාජ්‍ය
නායකයන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිංහලද්වීපයේ බුදුදම රාජ්‍ය ආගම
වශයෙන් ස්ථාපිත විය. මේ අනුව රාජ්‍ය පාලනය කෙරෙහිද බුදු දහමේ ආභාෂය
පැතිර ගියේය. රටවැසියන්ට නව අර්ථකථනයක් ද ලැබුණේය. දිවයින දහම්
දිවයිනක් බවට පත් වූ අතර එතැන් පටන් එය සිංහල බෞද්ධ රටක් වශයෙන් තම
ඉදිරි ගමන ආරම්ද කළේය.
ක්‍රමවත්ව දියුණු වී වාරිකර්මාන්ත පද්ධතියක් මත කෘෂිකර්මාන්තයේද
දියුණුවක් සිදු වූ අතර ඒ දෙකම ගමේ පන්සල හා බද්ධවිය. එසේම ගම්වල ජීවත්
වූ ජනතාවගේ ආධ්‍යාත්මික ජීවිතය මින් පසු සකස් වූයේ බෞද්ධ භික්ෂූන්ගේ
අනුශාසනා හා මඟපෙන්වීම අනුවය. ජය ශ්‍රී මහා බෝධී ශාඛාව ලක්දිවට වැඩම කළ
සංඝමිත්තා තෙරණිය නිසා ජාතියට සෙවණත් කාන්තාවන්ගේ විමුක්තියත් සිදුවිය.
මේ මුළු ලක් පොළේ තලයම රජ අතින් බුදුන්ගේ නමට පූජාවීමෙන් පිං කෙතක්
බවට පත්විය. එහි උපදිනා සියලු භවභෝග බුදුන් සතුවිය. ක්‍රිස්තු පුර්ව
තුන්වන සියවසෙහි ජය ශ්‍රී මහා බෝධිය අනුරාධපුරයේ රෝපණය කරන ලදී.
බුදුන්ගේ දළදාව අනුරාධපුර අගනුවරට (ක්‍රිස්තුවර්ෂ හතරවැනි සියවසේ)
වැඩමවීමත් සමග රටේ සමෘද්ධිය හා දේශගුණය කෙරෙහිද බලපෑම් ඇති කළ හැකි
පූජ්‍ය වස්තුන් දෙකක් වශයෙන් ජනතාව අතර පිළිගැනීමක් සිදුවූයේ ජයශ්‍රී
මහා බෝධීන් වහන්සේට හා දළදා වහන්සේට පුද පූජා සත්කාර දැක්වීමෙන් කලට
වැසි ලබා ගැනීමට හැකිවේය යන විශ්වාසයෙනි. එබැවින් මේ පුජ්‍ය වස්තුන්
කෙරෙහි රජුගේ වගකීමද ජනතාවගේ අපේක්ෂාවද රාජ්‍ය පාලනයෙහි කැපී පෙනෙන
ලක්ෂණයක් බවට පත්විය. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී දේශපාලන මධ්‍යගත
වශයෙන් අනුරාධපුරය මධ්‍යස්ථානය කරවා එම නගරය ශක්තිමත් කිරීම දුටුගැමුණු
මහ රජුගේ යුද්ධ ව්‍යාපාරයේ එක් අරමුණක් වූයේය. ඔහුගේ ප්‍රාර්ථනය වූයේ
රජසැප විඳීම නොව ලක්දිව සිංහල ජාතියත් බුද්ධාගමත් ආරක්ෂා කරමින් රට
පෝෂණය කිරීමය. මේ අයුරින් බලන කල අනුරාධපුරටය අගනුවර වශයෙන් සලකා එය
බෞද්ධ පුනර්ජීවනයේ මධ්‍යස්ථානය බවට පත් කළේය. භික්ෂු මධ්‍යස්ථානයක්
වශයෙන් මහා විහාරය මූලස්ථානය වශයෙන් ගෙන ලක්දිව නොයෙක් තැන වෙහෙර විහාර
ඇතිවූයේ ප්‍රදේශීය බෞද්ධ නායකයන්ගේද ආධාර ඇතිවය. අනෙක් අතට අනුරාධපුර
අගනුවර විශාල වෙහෙර විහාර ගොඩනංවමින් භික්ෂූන් වහන්සේ පෙරමුණේ තබාගෙන
රජ පැමිණියෝ රාජ්‍ය පාලනයෙහි නිරත වන්නට වූහ. කෘෂිකාර්මික හා
බෞද්ධාගමික සංවර්ධනය දැහැමි රජෙක් යටතේ ක්‍රියාත්මක වීමෙන් වැවත්
දාගැබත් යන දෙක සිංහල සංස්කෘතියේ සංකේතය බවට පත්වීමත් යන කාරණා බුදුදහම
හා රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් සලකන කල වැදගත් සිදුවීම් ය.
අනුරාධපුරයෙන් ඇරඹුණු රජගමන මහනුවරින් කෙළවරවීම දක්වා සිංහල රාජවංශයේ
සියලුම රජවරු රට පාලනය කෙළේ බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය අනුවය.
එම ගමනේදී ඔවුන්ට සෙවණ ලබා දුන්නේත් මග පෙන්වූයේත්, ජයශ්‍රී මහා බෝධින්
වහන්සේ මෙන්ම දළදා වහන්සේය. එම පුජනීය වස්තුන් දෙක අදත් විරාජමානය.
එකක් ඇත්තේ අනුරාධපුරයේය. එයට හේතුව එය තැනින් තැන ගෙන යා නොහැකි
නිසාය. එහෙත් ගෙන යා හැකි වූ දළදා වහන්සේ රාජත්වයේ සංකේතය බවට පත්වී
ලක්දිව සෑම රාජධානියකම වැඩම කරවා අවසාන වශයෙන් සෙංකඩගලපුර මහනුවර
තැන්පත් විය. ජීවමාන බුදුන් වශයෙන් ජීවමාන බුදුන් වශයෙන් සැලකූ මේ
මහාර්ඝ පූජා වස්තුන්ගේ භාරකාරත්වය උසුලමින් බෞද්ධ නායකයන් වශයෙන්
සිංහල රජවරු පසුගිය අවුරුදු දෙදහස් තුන්සියයක් පමණ දීර්ඝ කාලයක්
මුළුල්ලේ රට පාලනය කළේ එදා දේවානම්පියතිස්ස රජ දවස මෙහි වැඩම කළ මිහිඳු
මහරහතන් වහන්සේ විසින් ලක්දිව පිහිටුවන ලද බුදු සසුන නිසාය.
ලක්දිව රාජ්‍ය පාලනයේ පදනම බුදුදහමයි. එය රාජ්‍ය ආගමයි. එය කිසිදා
කිසිවෙකුට වෙනස් කළ නොහැකි සත්‍යයකි. මේ සත්‍යයට පිටුපා ක්‍රියා කිරීමට
කිසිම පාලකයෙකුට නොහැකිය. මිථ්‍යා දෘෂ්ටිකයෝ රටේ පාලන බලය හිමිකර
ගතහොත් ඔහුට තම පරම්පරාව මෙහි කිසි දිනෙක පිහිටුවා ගත නොහැකි වන්නේ
බුද්ධ බලයෙන් බව එදා මහාවංස කතුවරයා අපට මතක් කර දුන් වග අදත් අප අමතක
කළ යුතු නැත. |