මහින්දාගමනය
සැලසුම් සහගත
දූත මෙහෙවරකි
ඉතාලියේ
බ්‍රෙෂියා බෞද්ධ ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
එළුවාපොළ
පඤ්ඤාරතන හිමි
මහින්දාගමනය වූ කලී අහඹු සිදුවීමක් නොව සියලු අංශ ගැන මනාව සිතා බලා
සංවිධානාත්මකව සිදු වූ දූත මෙහෙවරක් බව සුපරීක්‍ෂාකාරීව විමසීමෙන්
පැහැදිලි වේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියේ, අශෝක රජුගේ ධර්ම
විජය ප්‍රතිපත්තියේ ජාත්‍යන්තර ප්‍රචාරයේ කොටසක් ඉටු කිරිම සඳහා ය.
ලංකාවේ ධර්ම දූත සේවාව භාර වූයේ අශෝක රජුගේම පුත්‍ර මිහිඳු හිමියන්ට ය.
උන්වහන්සේ ලක්දිවට වැඩීමට පෙර කරුණු රාශියක් ගැන සිය අවධානය යොමු කළ බව
පෙනේ. විශේෂයෙන් මෙරට දේශපාලන තත්ත්වය ප්‍රමුඛ කරුණක් ලෙස දැක්විය හැකි ය.
යම් රටක දේශපාලන, ආර්ථික වාතාවරණය යහපත් නැත්නම්, එහි සිදු කරන කවර සුබ
සාධක කාර්යයක් වූවද, අසාර්ථක වීමට ඉඩ තිබේ. එදා පැළලුප් නුවරින් ධර්ම
දූත සේවාව ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා දෙවන පියතිස් රජුගේ
පියා වූ මුටසීහ රජතුමාය. එතුමා ඒ වන විට ඉතා වයෝවෘද්ධව පසු වූ අතර යටත්
පිරිසෙන් එවකට අසූ වියවත් ඉක්මවා සිටියා විය හැකි ය. එතුමා හැට වසක්
(60) රාජ්‍ය පාලනය විචාල බව සඳහන් වේ. (ක්‍රි.පූ. 307 – 247 ) මහළු
වියෙහි පසුවන රාජ්‍ය නායකයකු නව වැඩ පිළිවෙළකට යෑමට තරම් රුචිකත්වයක්
දක්වා ක්‍රියාශීලී වී කටයුතු නොකරාවි යැයි මිහිඳු හිමියන් සලකා බලන්නට
ඇතැයි සිතේ. අලුත් වැඩපිළිවෙළකට, නව සම්ප්‍රදායකට යෑමට වයෝවෘද්ධ මුටසීහ
රජතුමා කායික මානසික වශයෙන් එතරම් යෝග්‍ය තත්ත්වයක පසු නොවන බව මිහිඳු
මාහිමියන් යම් ලෙසකින් සලකා බැලුවේ නම් එය යුක්ති යුක්තය. මුටසීහ රජතුමාගේ ඇවෑමෙන් රජ වන්නේ තිස්ස කුමාරයා ය. එතුමා භද්‍ර යෞවනයේ
පසුවූ කුමාරයෙකි. ඒ නිසා කායික මානසික වශයෙන් ශක්තිමත් වූ, අතර තමන්
ඉදිරියේදී දියත් කිරීමට බලාපොරොත්තු වන නව වැඩපිළිවෙළට, වඩාත් සුදුසු
අයකු වන බව, උන්වහන්සේ සලකා බලන්නට ඇත. ඒ නිසා තිස්ස කුමාරයාගේ රාජ්‍ය
උදාවනතුරු, උන්වහන්සේ කල්යල් බලන්නට ඇතැයි සිතිය හැකි ය. මේ වන විට
සෙසු ධර්ම දූත කණ්ඩායම් තමන්ට පැවරූ වගකීම් ඉටු කිරීමට පිටත්ව ගොස්
හමාරය. ඒ වකවානුවේ දී මිහිඳු මහරහතන් වහන්සේ අර්ථවත් ලෙස ගත කළ බව
පෙනේ. උන්වහන්සේ මෙහිදී ප්‍රධාන කරුණු කීපයක් ගැන, සිය අවධානය යොමු කර
ඇත. කාලීන දේශපාලන, ආර්ථික, සංස්කෘතික තත්ත්වය පවතින ඇදහිලි විශ්වාස,
භාෂාව යන කරුණු ගැන සිත් යොමු කර තිබේ. එපමණක් නොව උන්වහන්සේ විදේශ රටක
ධර්ම දූත සේවයකට පිටත්වීමට පෙර, තම මව්තුමිය බැහැදැක ආශිර්වාදය ලබා
ගැනීමට හා තම දූත මෙහෙවරට වුවමනා කරන වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමට
සිතුවා විය හැකිය. ඒ නිසා තම මව්තුමිගේ වාසභූමිය වූ උදේනි ප්‍රදේශයේ
වේදිසා නුවරට වැඩම කරන්නට ඇතැයි සිතිය හැකි ය. පාඨලී පුත්‍ර නුවර
රාජ්‍ය විමසන සිය පියතුමන් වූ අශෝක රජතුමාගෙන් සමුගෙන, උදේනි පුරයට
වැඩිය බව සිතිය හැක්කේ, එහි සිට උන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර ඇති
බැවිනි. එහි සිට උන්වහන්සේ අප රටේ ව්‍යවහාරික භාෂාව පිළිබඳ අධ්‍යයනය
කරන්නට ඇතැයි සිතේ. මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවේදී දහම් දේශනා කර
ඇත්තේ උප භාෂාවෙනි. (දීප භාසාය ධම්මං දෙසෙයි. මහාවංසය) උන්වහන්සේට මෙරට
පැවැති බසින් දහම් දෙසීමට, ජනතාව ඇමතීමට හැකි විය. එක් අතකින්
උන්වහන්සේ රහත් නමකි, තවත් පැත්තකින් දෙරට සමීපව පිහිටා තිබුණු භූගෝලීය
කරුණුත් අනුව භාෂා දෙකේ සමීප ලක්‍ෂණවලින් යුක්ත වූවා විය හැකි ය.
මිහිඳු හිමියන් පූර්ව භාෂා නිපුණතාවක්, ලබා ගන්නට ඇතැයි අනුමාන කළ හැකි
ය. මෙම සියලු කරුණු උන්වහන්සේ යෙදුණු දූත මෙහෙවරේ සංවිධානාත්මක ස්වරූපය
පෙන්වන ලක්‍ෂණය. “මහරජ, අපි පැවිදි අය වෙමු, බුද්ධ ශ්‍රාවකයෝ වෙමු, ඔබ සැමට
අනුකම්පාවෙන් දඹදිව සිට පැමිණියෙමු” යනුවෙන් තමන් කවිදැයි පහදා දීමෙන්
අනතුරුව, භය ත්‍රාසය පහවී (මුලදී යකෙකු යන අදහස විය.) තම නුදුටු මිතුරු
රජුගේ නියෝජිතයන් බව දැන, මහත් සතුටට පත්වෙයි. මිහිඳු මහරහතන් වහන්සේ
රජතුමාගේ බුද්ධි කෞශල්‍ය පරීක්‍ෂා කිරීම සඳහා ප්‍රශ්න මාලාවක් විමසයි.
ඒවා අඹ ප්‍රශ්න හා ඥාති ප්‍රශ්න යනුවෙන් ප්‍රකටය. මෙම ප්‍රශ්න වැල
ලෝකයේ පැරණිම බුද්ධි පරීක්‍ෂණය ලෙස සැලකිය හැකි ය. මහින්ද හිමි මිහින්තලා වැනි වනගත ජනශූන්‍ය පර්වතයකදී තිස්ස රජතුමා
හමුවීමට, සැලසුම් සහගත වැඩ පිළිවෙළේ, සලකා බැලූ හේතු කාරණා කීපයක්
තිබුණු බව දැක්විය හැකි ය. බ්‍රාහ්මණ බලය උග්‍රව පැවැති යුගයක රජතුමාට
නිදහස්ව තීරණයක් ගැනීමට අවස්ථාවක් ලබාදීමත්, මෙලෙස මුණ ගැසීමේ එක්
පරමාර්ථයක් විය හැකි ය. මේ කරුණු කාරණා ගැන මිහිඳු මාහිමියන් මොනතරම්
දූරදර්ශී වූයේ දැයි කල්පනා කරන විට, මෙම ධර්ම දූත සේවය කලින් මනාව
හිතාබලා හොඳින් සංවිධානය වී සිදුවූවක් බව පැහැදිලි ය. මේ හැරුණු විට
උන්වහන්සේ වරින් වර දෙසූ ධර්ම දේශනා අහඹුවෙන් තෝරා නොගත් බව කිව යුතු
ය. මෙරට සිදු කළ පළමු සූත්‍ර දේශනා වූ චුල්ල හත්ථි පදෝපම සූත්‍රය,
මිහිඳු හිමියන්ගේ සැලසුම් සහගත දේශනාමාලාවේ කදිම තේරීමකි. උන්වහන්සේ තම
ප්‍රථම ධර්ම දේශනාවට මේ සූත්‍රයම තෝරා ගැනීම බෙහෙවින්ම සුදුසු ය. අනතුරුව දෙසූ දේශනාද සැලසුම් සහගතව සිදුවිය. රජගෙදර පිරිසට දහම් දෙසුමට
තෝරා ගත්තේ විමානවත්ථු, පේතවත්ථු, කතා කීපයකි, ශ්‍රාවක පිරිසෙන් වැඩි
කොටසක් කාන්තාවන් වූ නිසා, ඔවුන්ගේ සිත්සතන් පැහැදෙන මාතෘකාවන් තෝරා
ගැනීමට ද, මිහිඳු හිමියෝ සැලකිලිමත් වූහ. කළ කම් පල විඳිමින් ප්‍රේත
ලෝකයෙහි හා දිව්‍ය ලෝකයෙහි ඉපිද වාසය කරන, මිය ගිය ප්‍රාණින් ගැන, මේ
කතාවල එයි. එවකට මෙරට විධිමත් දහමක් නොවූ බව ෆාහියන්ගේ ගමන් විස්තර
වාර්තාවේද සඳහන් වෙයි. නොදැහැමි ඇදහිලිවලට ඇබ්බැහිවී සිට අපරට වැසියෝ
මියගිය අය ගැන විශ්වාස තැබූ බහුතර පිරිසක් වූහ. මෙසේ උන්වහන්සේ සැලසුම්
සහගතව සච්චසංයුක්තයෙන්ද, දේවදූත, බාලපණ්ඩිත, අග්ගික්ඛන්ධෝපම,
ධම්මචක්කප්පවත්තන ආදී සූත්‍ර දේශනා ක්‍රමානුකූලව දෙසූහ. ඒ හැම දෙසුමක්
අවසානයේ ලක් වැසියෝ බොහෝ දෙනෙක් බුදු දහම ගැන පැහැදුනහ. මිහිඳු මහරහතන් වහන්සේ මෙරට බුදුසසුන ස්ථාවර වීමට අවශ්‍ය කරන සියලු අංශ
ගැන කල්පනාකාරී වී ඇත. පළමුව රටේ පාලකයා දහම පිළිගත් අයකුවීමට අවශ්‍ය
අවබෝධය ලබාදීමට ක්‍රියා කොට, රජතුමා සහ සෙසු රාජරාජ අමාත්‍ය ප්‍රභූ
පිරිස ඇතුළු පොදු ජනයා අවබෝධයෙන් ත්‍රිවිධරත්නය සරණ ගිය සැදැහැවත්
බෞද්ධ පිරිසක් බවට පත් කරන ලදහ. තිස්ස රජතුමා ලක්දිව බුදු සසුන මුල් බැස ගන්නේ කවදාදැයි, ඇසූ ප්‍රශ්නයට
මිහිඳු මාහිමියන් දුන්න පිළිතුර කදිම එකකි. ශ්‍රී ලංකාවේ
දෙමව්පියන්ගෙන් ශ්‍රී ලංකාවේ දී උපත ලැබූ පුතකු මෙහි පැවිදි වී, මෙහිදී
ධර්ම විනය හදාරා, ශ්‍රී ලංකාවේදී යම් දවසක සංගායනාවක් කරයිද, එදින සිට
බුදු සසුන මෙහි මුල් බැස ගන්නා බව ප්‍රකාශ කළහ. මේ අනුව රජුගේ බෑණනුවන්
වූ අරිට්ඨ කුමාරයා සමඟ තවත් පනස් දෙනෙකු පැවිදි කර, මෙරට භික්‍ෂු ශාසනය
ආරම්භ කරන ලදී. ඉන් පසු සිය දහස් ගණනින් මුළු සිරිලක් දිවයිනම ව්‍යාප්ත
වී යන අයුරින් භික්‍ෂු ශාසනය පැතුරිණි. මේ අතර යුව රජුගේ මෙහෙසි අනුලා
දේවිය හා පිරිවර කාන්තාවන් මෙහෙණි සස්නෙහි පැවිදිවීමට කැමැත්ත පළ කර
සිටි බැවින්, මිහිඳු මාහිමියන්ගේ මඟපෙන්වීම අනුව, සංඝමිත්තා තෙරණිය හා
ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවෙන් ලබා ගත් අංකුරයක් වැඩමවා ගෙන එනු
පිණිස, අශෝක අධිරාජයා වෙත දූත පිරිසක් යැවීය. (මහාවංසය – 15 වන
පරිච්ඡේදය) ශ්‍රී මහාබෝධි ශාඛාව සමඟ සිරිලක් දිවයිනට වැඩම කළ සංඝමිත්තා
මෙහෙණින් වහන්සේ, භික්‍ෂුණී ශාසනය පිහිටුවන ලදී. ශ්‍රී මහාබෝධි ශාඛාව
රෝපණය වීම වූ කලී, බුදුසසුන මෙහි රෝපණය වීමේ සංකේතයක් බඳු විය. මෙසේ
භික්‍ෂු, භික්‍ෂුණී උභය ශාසනය ඉතා සැලසුම් සහගතව මෙහි ස්ථාපිත විය. ම් කරුණු සැලකිල්ලට ගත් කල මිහිඳු මාහිමියන් පූර්ණ කාලීනව ලක්දිව වැඩ
වසමින් අසූ වියේ දී එනම් වසර හතළිස් අටක උදාර මෙහෙයෙන් පසු, දෙවන
පියතිස් රජුගේ ඇවෑමෙන් රජ වූ, උත්තිය රජුගේ අටවන රාජ්‍ය වර්ෂයේදී
පිරිනිවන් පෑසේක. මේ කාලය තුළ උන්වහන්සේ විසින් බුදු සසුන ලක්බිමේ
දීර්ඝකාලීනව ස්ථාවරවීමට අවශ්‍ය කරන සියලු කටයුතු ඉටු කොට, නිම කළ සේක.
අද දක්වාත් බුදු සසුනේ ජීවමාන සංකේත හා ඇතැම් නටබුන් ශේෂෝපගතව ලක්බිමේ
පවතින්නේ උන්වහන්සේගේ සැලසුම්ගත දූරදර්ශී වැඩ පිළිවෙළට පින්සිදු
වන්නටය. මේ නිසා මහින්දාගමනය වූ කලී අහඹු සිදුවීමක් නොව
මොග්ගලිපුත්තිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙස් අවවාද සහිතව අශෝක
අධිරාජ්‍යයාගේ සහ දෙවන පියතිස්රජුගේද අනුග්‍රහය ඇතිව සංවිධානාත්මකව
සාර්ථකව සිදු කළ රාජ්‍ය හා ශාසනික දූත මෙහෙවරකි. |