UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ උපත සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ දින වකවානු පිළිබඳව දේශනා පාලියෙහි එන පරිදි ඵෙතිහාසික බුදු සිරිතෙන් සකස් කරන්න.

පිළිතුර
වඩාත් නිවැරැදි ලාංකේය මූලාශ්‍ර වූ වංශ කථාවල එන පරිදි බුද්ධ පරිනිර්වාණය ක්‍රි.පූ. 543 දී සිදුවු බව සම්මතව ඇත. එම සම්මතයෙහි පිහිටා සිදුහත් උපත සිදුවූ වකවානුව සලකා බලතොත් එය ක්‍රි.පූ. 623 දී සිදුවු බව පිළිගත යුතුවෙයි. පරිනිර්වාණය සිදුවන විට බුදුරදුන් අසූවන වියෙහි විසූ බව වරෙක සැරියුත් තෙරුන් අමතා මෙසේ පැවසූ බව ම.නි. මහා සීහනාද සූත්‍රයෙහි දැක්වෙයි.

මම දැන් ජරා දුර්වල වූයෙමි. වෘද්ධයෙමි. මහලු වූයෙමි. කල්වයස් ගතවූයේ වෙමි. පැසුළු වියට පැමිණියෙමි. අසූවියට පත්වීමි.

අසූවන වියට පත් භාග්‍යවතුන් වහන්සේ එම වයසේ දීම පිරිනිවන් පෑ බව සුභද්‍ර නම් පරිබ්‍රාජකයා හා සමග සංවාදයෙහිදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

“සුභද්ද කිං කුසල ගවේසීව එකුන් තිස්වන වියෙහි මම පැවිදි වූයෙමි. මා පැවිදි වී හරියටම දැන් පනස් වසරකටත් ටිකක් වැඩිය.

මෙහි සඳහන් පරිදි අභිනිෂ්ක්‍රමණය එකුන් තිස්වන වියෙහි සිදුවිය. එතැන් පටන් පිරිනිවන් අවස්ථාව වන විට පනස් වසරකටත් ටිකක් කල් පසුවී තිබුණි. එවිට උන්වහන්සේ පසුවූයේ අසූවන වියෙහිය. පරිනිර්වාණය සිදුවුයේ යැයි සැලකෙන ක්‍රි.පූ. 543 සිට අසූවස ආපසු ගණනය කිරීමෙහිදී සිදුහත් උපත ක්‍රි.පූ. 623 දී සිදුවන බව සම්මත වෙයි.

තවද දී.නි. මහාපදාන සූත්‍රයෙහි එන විස්තරය අනුවද ඉහත සඳහන් වාර්තාව සනාථ වනු ඇත.

“ මහණෙනි! මේ මහා භද්‍ර කල්පයෙහිම මෙකල මම අර්හත් සම්බුද්ධ වෙමි. මම ජාතියෙන් ක්‍ෂත්‍රයව ක්‍ෂත්‍රිය කුලයෙහි උපනිමි. ගෝත්‍රයෙන් ගොතම නම වීමි. මෙකල මාගේ ආයු ප්‍රමාණය අල්පය ටිකය. යමෙක් බොහෝ කල් ජීවත් වෙයි නම ඔහු අවුරුදු සියයක් හෝ ටිකක් වැඩියෙන් හෝ අඩුවෙන් ජීවත්වෙයි. මෙකල අර්හත් සම්‍යග් සම්බුද්ධ වූ මම ඇසතු රුක්මුල්හි බුදුවීමි. මෙකල මට සාරිපුත්ත මොග්ගල්ලාන නම් අග්‍රභද්‍ර ශ්‍රාවක යුග්මයක් වෙති. මෙකල මහ රහතන් වහන්සේලාම එක්දහස් දෙසිය පණසක් වූ එකම ශ්‍රාවක සන්නිපාතයක් විය.ආනන්ද භික්‍ෂුනම අග්‍ර උපස්ථායක විය. සුද්ධෝදන රජ පිය විය. මායා දේවිය වැදු මව වූවාය. කපිල වත්ථුව රාජධානියයි.

(දී.නි. මහාපදානසූත්‍ර)

මහාපදාන සූත්‍රාගත මෙම තොරතුරුවලින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදුසිරිතට අදාළ ප්‍රධාන පුවත් රාශියක් ගොනු වී ඇත.


ප්‍රශ්නය
මිහිමත විසූ ශාස්තෘන් වහන්සේලා අතුරින් ධෛQ සම්පන්නත්වයෙන් හා කාර්යශූරත්වයෙන් බුදුරජාණන් වහන්සේම අග්‍රගණ්‍ය වෙති. අරිය පරියේසන, මහා සච්චක ආදි සූත්‍රාගත තොරතුරු අනුව සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ පැවිදිව කිං කුසල ගවේෂීව ඒ ශාන්තිපදය සොයමින් ආලාර කාලාම තාපසයන් හමුවීමෙන් පසු බෝසතුන් වහන්සේ කළ කී දෙයින් පහත සඳහන් විශිෂ්ඨ චරිත ලක්‍ෂණ පැහැදිලි වෙයි. පෙලදහමෙහි එන නිදසුන් ඇසුරු කරමින් ඒ බව පැහැදිලි කරන්න.

පිළිතුර
ආලාර කාලාම තවුසා හමුවීමෙන් පසු බෝසතාණන් වහන්සේ කළ කීදෑ මෙසේ දැක්විය හැකිය. “ ආයුෂ්මත් කාලාමයෙනි මම මේ ධර්ම විනයෙහි හැසිරීමට කැමැත්තෙමි. මම කීවෙමි. ආයුෂ්මතුනි, මෙහි බඹසර හැසිරෙන්න. නැණවත් පුරුෂයෙකුට මෙය තමන්ම වහා දැන ප්‍රත්‍යක්‍ෂ කොට ලබා වාසය කළ හැකි, ධර්මයකුයි කාලාම කීය. නොබෝ දිනකින්ම මම ඒ ධර්මය ප්‍රගුණ කළෙමි. තොල ගෑ පමණින් කීදේ වරක් කී පමණින් දනිමි, කියාත් මම එහි ස්ථිර වෙමි කියාත් කීවෙමි.දනිමි කියාත් මම එහි ස්ථිර වෙමි කියාත් කීවෙමි. දනිමි දකිමි යනුවෙන් පැවසීමි.

අන්‍යයෝත් මට එසේ කීහ. කාලාම මේ ධර්ම තමන් විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ලවා වාසය කරන බව ශ්‍රද්ධා මාත්‍රයෙන් පමණක් පවසන දෙයක් නොවේ. කාලාම නිසැකයෙන්ම මේ ධර්මය දනිමින් දකිමින් වාසය කරති. මට සිතිණි. ඉක්බිති මම කාලාමගෙන්, ආයුෂ්මත් කාලාමයෙනි, කොපමණකින් මේ ධර්මය ලබා වාසය කරන්නෙහිදැයි විමසීමි. ඔහු ආකිඤ්චඤ්චායතනය සඳහන් කළේය. මට මෙසේ සිත්විය. ශ්‍රද්ධාව ඇත්තේ කාලාමට පමණක් නොවේ. මටත් ශ්‍රද්ධාව තිබේ. වීර්ය ස්මෘතිය සමාධිය ප්‍රඥාව ඇත්තේ කාලාමට පමණක් නොවේ. මටත් තිබේ. ඒ සමාධිය ලැබීමට උත්සාහ කළොත් මැනවි කියාය. මම ටික දිනකින් ම ඒ ධර්මය විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ලබා වාසය කළෙමි.

(ම.නි. අරියපරියෙසන සූත්‍ර සහ මහාසච්චක සූත්‍ර සංවහාරව සූත්‍ර)

ප්‍රශ්නය
භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයට ආසන්න තොරතුරු බොහෝමයක් දි.නි. මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවෙහි දක්නට ලැබෙයි. උන්වහන්සේ අවසාන චාරිකාවෙහි “බේලුව“ නම් ග්‍රාමයට වැඩි පසු දැඩි සේ ගිලන්ව වැඩසිටි අවස්ථාවෙහිදි ආනන්ද හිමියන්ට අතිශය වැදගත් දේශනයක් කළහ. ශාසනික වශයෙන් ඉතාමත් වැදගත් වූ එම ප්‍රකාශන මොනවාද?

පිළිතුර
1. දෙසිතො ආනන්ද මයා ධම්මො අනුත්තරා අබාහිරං කත්වා තත්වානන්ද තථාගතස්ස ධම්මෙසු ආචරිය මුට්ඨි.

අභ්‍යන්තර හා බාහිර වශයෙන් කොටස් දෙකකට නොබෙදූ ගුරු මුෂ්ටි වශයෙන් යමක් නො තබා දේශනා කළෙමි.

2. තථාගතස්ස ඛො ආනන්ද න එවංහොති “අහං භික්ඛු සංඝං පරිහරිස්සාමීති වා මමුද්දෙසිකො භික්ඛු සංසොති ‘ මම මේ භික්ෂූ සංඝයා මා සඳහා සිටින්නේය. කියා හෝ තථාගතයන් වහන්සේගේ අදහසක් නැත.

3. අහං ඛො පනානන්ද එතරහි ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධ ගතො වයො අනුප්පත්තො ආසිතිකො මෙ වයො වත්තති. සෙයාථාපි ජජ්රසකටං වෙධ මිස්සකං ‘ආනන්ද මා වනාහි ජරාවට ගියේ මහලු වූයේ වෘද්ධ වූයේ වියපත් වූයේ වෙයි. මාගේ වයස අවුරුදු අසූවකි. මාගේ සිරුර තෙල් ගැන්වූ පරණ කරත්තයක් බඳුය.

4. අත්තදීපා විහරථ අත්තසරණා අනඤ්ඤ සරණො ධම්මදීපො භික්ඛවෙ ධම්ම සරණෙ අනඤ්ග සරණෙ

” මහණෙනි,! ධර්මය පහනක් කරගන්න. ධර්මය සරණ හැර වෙනත් සරණක් නැත.

ආනන්ද හිමියන්ට කරන ලද අනුශාසනවයි.

ප්‍රශ්නය
බුදු සිරිතෙහි දැක්වෙන සුවිශේෂ වූ කරුණක් නම් ශ්‍රාවක සිවු පිරිසට අමතරව බුදුරජාණන් වහන්සේ විවිධ වූ පිරිස් අටක් හමුවු බවත්, ඒ පිරිස් අතරට වැඩම කොට ඔවුන් ගේ සිතැගි පරිදි සංවාදශීලිව කථා බස් කොට දැහැමි දිවිපෙවෙතට ඔවුන් යොමුකළ බව බෞද්ධ මූලාශ්‍ර වල දැක්වේ. බුදුරජාණන් හමුවූ ඒ පිරිස් අට මොනවාද?

පිළිතුර
සූත්‍රාගත තොරතුරු අනුව ඒ පිරිස් අට මෙසේය.

1. ක්‍ෂත්‍රිය පිරිස
2. බ්‍රාහ්මණ පිරිස
3. ගෘහපති පිරිස
4. ශ්‍රමණ පිරිස
5. චාතුර්මහාරාජික පිරිස
6. තාවතිංස පිරිස
7. මාර පිරිස
8. බ්‍රහ්ම පිරිස

මේ සියලු පිරිස් අතරට බුදුරජාණන් වහන්සේ වැඩම කළහ.


ප්‍රශ්නය
කාමාවචර කුසල කර්ම යන්න පැහැදිලි කොට එහි විපාක වශයෙන් ලැබෙන ප්‍රතිඵලද පැහැදිලි කරන්න.

පිළිතුර
කාමලෝකයෙහි විපාක දෙන කුසල කර්ම දහයක් තිබේ.

දානය , සීලය භාවනාව (වැඩිහිටින්ට සැලකීම) වෙයපාවච්ච (වතාවත් කිරීම පත්තිදාන (පින්දීම ) පත්තානුමෝදනා (අනුන්ගේ පිනෙහි සතුටුවීම) ධර්මශ්‍රවණය දෘෂ්ටිය ඍජු කිරීම (තම දෘෂ්ඨිය නිවැරැදි අයුරින් තහවුරු කර ගැනීම ) යන මේවාය.

දන් දීමෙන් ධනය ලැබේ. සීලය උසස් උපතට හා සැප සම්පත් ලබාදෙයි.භාවනාව මගින් රූප හා අරූපලෝකවල උපත ලැබෙන අතර විමුක්තියද ලැබේ. පින් දීමෙන් මතු භවයේ යස ඉසුරු ලැබීමට හේතුවෙයි.අන්‍යයන් ගේ කුසල් ගැන සතුටුවීම නිසා පී‍්‍රතිමත් උපතක් ලැබේ. ධර්මශ්‍රවණය හා ධර්මදේශනය නුවණ ලැබීමට හේතුවෙයි. උතුම් දෙමව්පියන් ලැබීමට වාසනාව උදා කරගනී. වතාවත් කිරීම පිරිස් ලැබීමට මහෝපකාරී වීමට හේතුවන පින්කමකි. අනුන් කළ පින් සිහිපත් කොට සතුටුකිරීම පැසසුමට නිරතුරුව ලක්වෙයි.


ප්‍රශ්නය
ලාභො අලාභො අයසො යසොච

නින්දා පසංසා සුඛංච දුක්ඛං “

පෙළ දහමට අනුව ඉහත සඳහන් අටලෝ දහමට මුහුණ දිය යුතුය (පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති) මෙහි අවසාන අංග දෙක සැප හා දුක පිළිබඳව ධර්මානුකුල විවරණයක් කරන්න.

පිළිතුර
අටලෝ දහමෙහි අවසාන අංගදෙක වන දුක සැප මිනිසාට ඉතා ප්‍රබල ලෙස බලපාන දේ වෙති. පහසු වෙන් විඳ දරා ගත හැකි දේ සැප (සුඛ ) වන අතර විඳ දරා ගන්නට අපහසු දේ.

(දුඞඛ) දුක නම්වෙයි. බුදු දහමට අනුව නියම සැපය වේදනාව (සුඛවේදන) ඉක්මවා යන ආධ්‍යාත්මික වූවකි. ධනය බලය යශෝකීර්තිය හෝ විජයග්‍රහණ එයට සම්බන්ධ නැත. බුදුදහමට අනුව ගිහි සුඛ පබ්බ ජිත සුඛ යනුවෙන්ද දෙකොටසක් දක්නට ලැබේ. එයින් ගිහි සුඛ හෙවත් ගිහි චතුර්විධ බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එනම් අත්ථි , සුඛ, භෝග සුඛ, අණන සුඛ අනවජ්ජ සුඛ යනුවෙනි.

අං.නි. දුක නිපාතයෙහි එක් වර්ගයක් හදුන්වා ඇත්තේ “ සම වර්ගය “ නමිනි. ධම්මපද ග්‍රන්ථයෙහිද “ සුඛ “ නමින් එක් වර්ගයක් සඳහන් ව ඇත. දුක නිපාතයෙහි බුදුරජාණන් වහන්සේ “ සුඛ “ විසිහය ආකාරයකින් සඳහන් කරයි. එයින් සමහරක් මෙසේය. ගිහි සුඛ, පබ්බජ්ජා සුඛ, කාමසුඛ ,නෙක්ඛම්ම සුඛ, උපධි සුඛ, නිරුපධ සුඛ, කායික සුඛ, චෙතසික සුඛ යනුවෙනි.

වෙසක් පුර අටවක පොහොය

වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]