UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

සිත වැඩෙන අනු පිළිවෙළ කෙසේ ද ?

අපි සමථය හෝ වේවා විදර්ශනාව හෝ වේවා ඒ භාවනාවන් ටිකෙන් ටික හොඳට පුරුදු කරන කොට, නීවරණ වලට ආහාර සැපයෙන්නෙ නෑ. ඒ වෙනුවට කුසලයක් සිතේ් පුරුදුවෙනවා. නීවරණ කියන්නෙ අකුසලයක්. දැන් ඒ අකුසල් සිතේ පුරුදු වෙන්නෙ නෑ. කුසලය පුරුදු වෙනව. අකුසලයට ආහාර නෑ. කුසලයට ආහාර සැපයෙනව. දැන් සිහිය දියුණු කරන්නට මහන්සි වෙනවා. එතකොට නීවරණ වලට ආහාර නැති වෙනකොට නීවරණ දුබල වෙනවා. නීවරණ බලවත් නැහැ. දැන් සිත ප්‍රමුදිතයි. නැවුම්, අලුත්, අලස ගතිය සිතේ නෑ. සිත ප්‍රාණවත්. අන්න ඒ ස්වභාවය අප තේරුම් ගන්නට ඕනෑ. ඒ ස්වභාවය ඉබේ ඇති වෙන්නේ නැහැ.

බණ භාවනා පුරුදුවෙන කෙනෙක් මට සමථය වැඩෙනව ද? විදර්ශනාව වැඩෙනව ද? කියන කාරණාව නුවණින් කල්පනා කරන්නට ඕනෑ. ඒ කියන්නෙ ප්‍රත්‍යවේක්‍ෂා කරල බලන්නට ඕනෑ. ඒක තමා විසින් ම කරනු ලැබිය යුතු දෙයක්. අපි තේරුම්ගත යුතුයි සමථය කියන්නේ එක දෙයක්. විදර්ශනාව කියන්නෙ තවත් දෙයක් කියන කරුණ. ඒ දෙක එකිනෙකට වෙනස්. නමුත් අපි හොඳින් මතක තියා ගන්නට ඕනෑ ආරම්භයේදී සමථය වැඩෙන්නේත්, විදර්ශනාව වැඩෙන්නේත් එකම රටාවකටයි කියලා. හැබැයි සමථයෙන් ඇතිවන ප්‍රතිඵලය වෙනස්. විදර්ශනාවෙන් ඇතිවන ප්‍රතිඵලය වෙනස්. ඒ සමාධිවල ස්වභාවයන් එකිනෙකට වෙනස්. සමාධියේ ස්වභාවය වෙනස් වුණාට ආරම්භයේදී ඒවා වැඩෙන රටාව එක වගෙයි. එහෙනම් අපි ඒ වැඩෙන රටාව තේරුම් ගත යුතුයි. ඉගෙන ගත යුතුයි. ඉගෙනගෙන ප්‍රත්‍යවේක්ෂා කරන්නට දැනගත යුතුයි. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ, භාවනාව වැඩෙනකොට ඒ ගැන හොඳින් තේරුම් ගැනීමයි. ඉස්සරවෙලා ඒ ගැන ඉගෙන ගන්නට ඕනෑ. ඉගෙන ගෙන තමා තුළ ඒ ස්වභාවය ඇතිවන විදිහ තමා ම තේරුම් ගන්නට ඕනෑ. එහෙම නැත්නම් අපිට සමාධිය දියුණු ඇති කරගන්නට බෑ.

යම් කෙනෙක් සමථය හෝ වේවා විදර්ශනාව හෝ වේවා පුරුදුවෙද්දී ඒ භාවනාවන් හොඳින් පිහිටන්නට පටන් ගත්තොත් එයාගෙ සිතේ ප්‍රමුදිත භාවය හටගන්නව. ප්‍රමුදිතයි කියන්නෙ එයාගෙ සිත නීවරණ වලින් බලවත් පීඩා විඳින ස්වභාවයෙන් ඈත් වෙනවා. නීවරණවලින් බලවත් පීඩාවෙනවා නම් සිත ප්‍රමුදිත නෑ. සිත අපහසුතාවයන් තුළ තමයි තියෙන්නෙ. ප්‍රමුදිත ස්වභාවයට පත්වුණා කියල කියන්නෙ නීවරණ වලින් බලවත් පීඩා එයාට නෑ. එතකොට නීවරණ නැද්ද? නීවරණ තියෙනව. නීවරණවලින් බලවත් පීඩා ඇතිවෙන්නෙ කොයි වගේ අවස්ථාවලදී ද? කෙබඳු ස්වභාවයක් තුළ ද?

වහිනකොට කූඩැල්ලන්ට පණ එනව. පායන්ට පටන් ගත්තම කූඩැල්ලන්ට පණ නැතුව යනව නේද? එතකොට උන්ගෙන් බාධා පීඩා අඩුයි නේද? එහෙනම් ඒ කූඩැල්ලන්ට සුදුසු පරිසරයක් හැදෙන කොට උන්ගෙන් ඇතිවන කරදර වැඩියි. ඒ වගේ අපිට නීවරණ වලින් බාධා පීඩා කරදර එන්නෙ නීවරණ පෝෂණය වෙන්නට සුදුසු පරිසරයක් තියෙන කොටයි. එහෙනම් අපි නීවරණවලට ආහාර සපයනව නම්, නීවරණ වලින් පීඩා වැඩියි. නීවරණවලට ආහාර සපයන්නෙ නැත්නම්, නීවරණ වලින් එන පීඩා අඩුවෙනවා. නීවරණවලට ආහාර සපයන්නෙ නැතුව ඉන්ට නම් අපි මොකක්ද කරන්ට තියෙන්නෙ? ඉන්ද්‍රිය සංවරය හොඳින් පුරුදු කරගන්නට ඕනෑ. සම්ජඤ්ඤය හොඳින් පුරුදු කරගන්නට ඕනෑ. සිල්පද හොඳින් රැකගන්නට ඕනෑ. එතකොට නීවරණවලට ආහාර සපයන දොරටු වැහෙනවා.

ඒ ආකාරයට අපි සමථය හෝ වේවා විදර්ශනාව හෝ වේවා ඒ භාවනාවන් ටිකෙන් ටික හොඳට පුරුදු කරන කොට, නීවරණ වලට ආහාර සැපයෙන්නෙ නෑ. ඒ වෙනුවට කුසලයක් සිතේ් පුරුදුවෙනවා. නීවරණ කියන්නෙ අකුසලයක්. දැන් ඒ අකුසල් සිතේ පුරුදු වෙන්නෙ නෑ. කුසලය පුරුදු වෙනව. අකුසලයට ආහාර නෑ. කුසලයට ආහාර සැපයෙනව. දැන් සිහිය දියුණු කරන්නට මහන්සි වෙනවා. එතකොට නීවරණ වලට ආහාර නැති වෙනකොට නීවරණ දුබල වෙනවා. නීවරණ බලවත් නැහැ. දැන් සිත ප්‍රමුදිතයි. නැවුම්, අලුත්, අලස ගතිය සිතේ් නෑ. සිත ප්‍රාණවත්. අන්න ඒ ස්වභාවය අප තේරුම් ගන්නට ඕනෑ. ඒ ස්වභාවය ඉබේ ඇති වෙන්නේ නැහැ.

ඒ විදිහට ප්‍රමුදිත භාවය ඇතිවෙන්ට නම් සිතේ පසුතැවෙන ස්වභාවය නැතිවෙන්නට ඕනෑ. සිත පසුතැවෙනව නම් ප්‍රමුදිත වෙන්නෙ නෑ. “අපරාදෙ මම අර වැඩේ කළේ’’ ඔහොම සිිතෙනව නම් ‘අනේ මට අර දේ ඇත්නම්, ගන්ට බැරිවුණා නේ...’ එහෙම හිතෙනවනම්, සිත පසුතැවෙනවා. එයා කළ දෙයක් වෙනුවෙන් පසුතැවෙනවා. අන්න එයාට ප්‍රමුදිතභාවය උපදින්නෙ නෑ. ප්‍රමුදිතභාවය හටගන්ට නම් එයා පසුතැවෙන්නෙ නැති කෙනෙක් වෙන්ට ඕනෑ.

යමෙක් පසු තැවෙන්නෙ ඇයි? තමන්ගෙ සීලය පළුදු වෙනවානම්, අන්න එයාට සතටු වෙන්ට කාරණා නෑ. එයා පසු තැවෙනවා. අතීතය මතක් කරල දුකට පත්වෙනවා. ඉන්ද්‍රීය අසංවරවුණා නම්, එයාට සතුටුවෙන්ට කාරණා උපදින්නෙ නෑ. එයා දැකපු දේ සිහි කර කර කනස්සල්ලෙන් වාසය කරනවා. එහෙනම් ඒ ඉන්ද්‍රිය සංවර සීලය, සති සංපජඤ්ඤ සීලය, සිල්පද කියන මේවා අප හොඳින් රැක ගත්තොත්, ඒ කියන්නෙ සීලය හොඳින් සම්පූර්ණ කර ගත්තොත්, එයාට පසුතැවෙන ස්වභාවය නැති කරගන්ට පුළුවන්. සීලය පිරෙන කෙනාට පසුතැවීම නැතිවෙල යනව. පසුතැවීම නැති වුණාම සිත ප්‍රමුදිතයි. ප්‍රමුදිත භාවයෙන් යුක්ත කෙනාට පහසුවෙන් භාවනාව කරගෙන යන්නට පුළුවන්. එතකොට එයා නීවරණ වලට ආහාර සපයන්නෙ නෑ. අනිත් පැත්තෙන් කුසල් දහම් සිතේ පුරුදු වෙනවා. එයා සිහිය දියුණු කරනව. අන්න එයා කලක් භාවනා කරගෙන යනකොට, සිතේ නීවරණ සම්පූර්ණයෙන් යටපත් වෙනව. ඒ භාවනා අරමුණු පමණක් එයාගෙ සිතේ පවත්වන්නට පුළුවන්කමක් ලැබෙනවා. නීවරණ නැති නිසා එයාගෙ සිත බලවත් විවේකයෙන් තියෙන්නෙ. ඒ බලවත් විවේකයක් සහිතව ඒ භාවනා අරමුණු පවත්ව ගන්නට එයාට පුළුවන්කම තියෙනව. ඒ විවේකයෙන් යුක්තව භාවනාව කරගෙන යනකොට එයාගේ සිතට පී‍්‍රතිය ඇතිවෙනවා. ඒ විවේකය නිසයි පී‍්‍රතිය ඇතිවෙන්නෙ. එයා පී‍්‍රතියෙන් යුක්තව භාවනාව කලක් කරනකොට, එයාගෙ කය සැහැල්ලු වෙනවා. පස්සද්ධිය කියන්නෙ ඒකට. එතකොට එයාට සැහැල්ලු කයින් භාවනාව පහසුවෙන් කරගෙනයන්ට පුළුවන්. සැහැල්ලු කයින් භාවනාව පහසුවෙන් කරගෙන යනකොට සිතට සැපය ඇතිවෙනවා. එතකොට එයා ඒ සැපය විඳිමින් භාවනාව කරගෙන යනවා. කලක් එහෙම කරන කොට, ඒ සැපවත් වූ සිත එකඟ වෙන්ට පටන් ගන්නවා. එයාට සමාධිය ඇතිවෙනවා. එතන දී ‘සමාධිය’ කියල කියන්නෙ සමථය හෝ විදර්ශනාවට අදාළ බලවත් සමාධිය යි. ඊට මෙහා තියෙන්නෙත් සමාධි ස්වභාවයක් ම තමයි. ඒ පස්සද්ධිය, සැපය, පී‍්‍රතිය කියන ඒ අවස්ථාවන්හිදී සමාධි ස්වභාවයන් තියෙනවා. හැබැයි ඒ බලවත් සමාධිය නොවෙයි.

පස්සද්ධිය ඇතිවුණාට පස්සෙ එයාට සැපය ඇතිවෙනවා. සැපය ඇතිවුණ කෙනාට සමාධිය උපදිනවා. එතකොට එතන සැපය ඇතිවුණු කෙනාට උපදින සමාධිය තමයි ධ්‍යාන මට්ටමේ සමාධිය කියල කියන්නෙ. ඊට කලිනුත් තියෙන්නෙ සමාධි ස්වභාවයක් තමයි. එතකොට අන්න ඒ සමාධිය වැඩෙන රටාව අප ඉගෙනගන්නට ඕනෑ. ඉගෙනගෙන තමන් තුළ ඒ ස්වභාවය නුවණින් තේරුම්ගන්නට ඕනෑ. ඒක භෞතික දෙයක් නොවෙයි. ආධ්‍යාත්මික දෙයක්. මේ ගැන සූත්‍ර දේශනාවල බොහෝ විස්තර තියෙනවා. එතකොට මෙහෙමයි සමාධිය වැඩෙන්නෙ කියල අපි ඒ සමාධිය වැඩෙන රටාව ඉගෙන ගන්ට ඕනෑ. අපිට ඒ රටාවෙන් බැහැර ක්‍රමයකට කොච්චර උත්සාහ කළත්, ප්‍රාර්ථනා කළත් සමාධියක් ඇතිවෙන්නෙ නෑ.

එතකොට, කොතනින්ද අපි පටන් ගත යුත්තේ? සීලය සම්පූර්ණ කර ගැනීමෙන්, වෙන තැනකින් නෙමෙයි. සීලය සම්පූර්ණ කරගන්නෙ කොහොම කෙනාද? සීලය කිව්වහම

1. ආර්ය වූ ඉන්ද්‍රිය සංවර සීලය
2. ආර්ය වූ සති සංපජඤ්ඤ සීලය
3. ආර්ය වූ සිල් පද

මේ කාරණා තුන ම සම්පූර්ණ වෙන්ට ඕනෑ. එතකොට එයා තුළ පසුතැවීම ඇති වෙන්නෙ නෑ. පසුතැවීමක් නැති කෙනා තුළ ප්‍රමුදිතභාවය උපදිනවා. ප්‍රමුදිතභාවය ඉපදුන කෙනා තුළ පී‍්‍රතිය ඇතිවෙනවා. පී‍්‍රතිය ඇතිවුණ කෙනා තුළ පස්සද්ධිය ඇතිවෙනවා. පස්සද්ධිය ඇතිවුණ කෙනා තුළ සැපය ඇතිවෙනවා. සැපය තියෙන කෙනා තුළ තමයි සමථ විදර්ශනා ධර්මයන් පහළ වෙන්නේ. ඒක වළක්වන්ට කාටවත් බැහැ. එය ධර්මතාවයක්. එහෙමනම් සමථය වේවා, විදර්ශනාව වේවා සමාධිය ඇතිවෙන්නෙ අප ඉහත විස්තර කළ පිළිවෙළටයි.

එහෙනම්, අප ආරම්භ කළ යුත්තේ සීලය සම්පූර්ණ කරගන්ට කල්පනා කිරීමෙන්. එතකොට සීලය සම්පූර්ණ කරල ඉවර වෙලාද අනිත් ටික කරන්නෙ? නෑ. මේ කටයුතු එකට කරගෙන යන්ට පුළුවන්. බණ භාවනා කරන අතර ම තමයි සීලයත් අපි පුරුදු කරගන්නෙ. නැත්නම් සීලය සම්පූර්ණ කරල ඉවර කරල ද බණ භාවනා කරන්නෙ? නෑ. ඔක්කොම එකට කරගෙන යන්නෙ. එතකොට සීලයේ යම් අඩුපාඩු තිබුණොත් අප ඒව හදාගෙන බණ භාවනා පුරුදු කරගෙන යනවා.

එතකොට ඒ විදියට සීලය සම්පූර්ණ කරගන්නෙ කොහොම කෙනාද? සීලය සම්පූර්ණ කරගන්ටත් හේතුවක් තියෙන්නට ඕනෙ නේද? සීලය සම්පූර්ණ වෙන්නෙ ශ්‍රද්ධාව තියෙන කෙනා තුළයි. ශ්‍රද්ධාව නැත්නම් එයා තුළ සීලය සම්පූර්ණ වෙන්නෙ නෑ. එහෙමනම් මතක තියා ගන්ට අපි කොහෙන්ද පටන්ගත යුත්තේ කියන දේ. ශ්‍රද්ධාව ඇති වෙන්නෙ කොහොම කෙනා තුළද? දුක ගැන තේරුම් ගන්න කෙනා තුළ යි. මේ ජීවිතයේ දුකක් තියෙනවා කියල යම් කෙනෙක් තේරුම් ගන්නවා නම්, අන්න එයා තුළ ශ්‍රද්ධාව උපදිනවා. ඒක අද්භූත දෙයක් නෙවෙයි. එහෙනම් අප පටන්ගත යුත්තේ අන්න එතැනින්. දුක වටහා ගැනීමෙන්. දුක තේරුම් ගැනීමෙන්. යම් කෙනෙක් දුක්ඛ ආර්ය සත්‍යය තේරුම් ගත්තොත් එයා තුළ ශ්‍රද්ධාව ඇතිවෙනවා. අන්න එයාට පිරිසුදු නිවන් මඟ දියුණු කර ගැනීමේ භාග්‍ය උදා වෙනවා.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

වෙසක් පුර අටවක පොහොය

වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]