බෞද්ධ අරමුදලක්
ආරම්භ කිරීමේ ඇති වැදගත්කම
කොළඹ කෝට්ටේ පාරේ ශ්‍රී ජයර්ධනාරාමාධිපති ශාස්ත්‍රපති
දේවහන්දියේ පඤ්ඤාසේඛර නාහිමි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බුද්ධාගමයි. මිහිදු මාහිමියන් විසින් ක්‍රි.
පූ. තුන්වන සියවසේදී ලක්දිවට හඳුන්වාදුන් බුදුදහම රාජ්‍ය ගෞරව සහිතව
පිළිගත් දෙවන පෑතිස් රජතුමා, එය රට පුරා ව්‍යාප්ත කොට, මුලු රටේම පැතිර
ගිය, මුළු රටවැසියන්ගේම ආගම බවට පත් කළේය. එදා සිට අද දක්වාම ලක්දිව
ජනතාවගේ බහුතරය බෞද්ධයෝය. ලක්දිව අස්සක් මුල්ලක් නොහැර රට පුරාම පැතිරී
ගිය ආගම ද බුද්ධාගම වේ. එබැවින් බුදු දහම ලක්දිව ආගම් අතර රාජ්‍යත්වයට
ද පත්ව ඇත. එය ලක්දිව ආගම් ඉතිහාසයෙහි අද පවත්නා පැරණිතම ආගම ද වන්නේය.
එසේ වුවද බොහෝ බෞද්ධයන්ගේ ජීවිත එතරම් සැපදායක නොවේ. ඇතැම් දෙනෙකුගේ
ආර්ථික තත්ත්වය ඉතා කණගාටුදායකය. ආර්ථික වශයෙන් දියුණු තත්ත්වයක පසුවන
බෞද්ධයෝ අල්ප වෙති. ඒ ටික දෙනාගේ ක්‍රියාකාරී කාරුණික පරිත්‍යාග
නොවන්නට වෙහෙර විහාරවල දියුණුවත්, ආරක්‍ෂාවත්, නඩත්තුවත් පමණක් නොව
සෙසු බෞද්ධ කටයුතු පවත්වාගෙන යාමත් ඉතා අසීරු තත්ත්වයකට පත්වනු ඇත.
ආර්ථික ශක්තියක් ඇති අතළොස්සක් වූ කාරුණික දානපතියන් වෙත බොහෝ ඉල්ලීම්
ගළාගෙන එයි. ඔවුනට වුවද ඉල්ලීම් ලැබෙන තරමටම පරිත්‍යාගශීලී අදහස් බල
පවත්වන තරමට පරිත්‍යාගයන් සිදු කළ නොහැකි වේ. එසේ සිදු කිරීමට ගියහොත්
ඔවුනට ද මහත් අසීරුකම් වලට මුහුණ දීමට සිදුවනු ඇත.
“සියලු සත්වයෝම ආහාරයෙන් ජීවත් වන්නෝය” කුසගින්න දරුණුම රෝගයයි. යන
බුදු වදන ද අනුව කුසගින්න නිවා ගැනීම වැනි සමාජයේ අවශ්‍යතා සපුරා
ගැනීමට කිසියම් උපකාරයක් නො කොට යහපත් දැහැමි සමාජයක් බිහිකළ හැකි
වේදැයි සළකා බැලිය යුතු වෙයි. එබැවින් එවන් දුක්ඛිත ජනතාවකට, අසහනයෙන්
පෙළෙන ජනතාවකට, ජීවන ගැටලුවලින් අසහනයට පත් ජනතාවකට කිසියම් උපකාරයක්
කළ හැකි පදනමක් පිළිබඳව බෞද්ධ සංවිධානවල අවධානය යොමු කිරීමට සුදුසු
කාලය පැමිණ ඇත. එය කාලෝචිත අවශ්‍යතාවක් මෙන්ම අත්‍යාවශ්‍ය වූවක් ද වේ.
අසරණයින්ට පිහිට විය හැකි අරමුදලක් පිහිටුවීම සඳහා බෞද්ධ සංවිධානවල
කාරුණික අවධානය යොමුවීම ඉතාම අවශ්‍ය කරුණක්ව පවතී.
බෞද්ධ සමාජය අන් ආගම්වලට නොගොස් රැකගැනීම සඳහා ද එවන් අරමුදලක් ඇති
කිරීමෙහි ඇති වැදගත්කම දෙසට ද අපේ අවධානය යොමු විය යුතුව ඇත. බෞද්ධයන්
අබෞද්ධයන් බවට පත් කිරීම සඳහා විවිධ සංවිධාන මගින් කරගෙන යන
ව්‍යාපාරයන් පිළිබඳ බොහෝ කරුණු ප්‍රකට වෙමින් පවතී. එම කරුණෙහි ඇති
වැරදි ස්වභාවය, එහි ඇති අයෝග්‍යතාව පිළිබඳ විවිධ මතද පළ කරති. මිල
මුදල් වලට ගිජු වී තෑගි භෝග වලට ගිජු වී තම ආගම අත්හැරීම පිළිබඳව එවන්
බෞද්ධයනට දෝෂාරෝපණය ද කරති. එවැනි ක්‍රියාවන්ට අපහාස කරන අවස්ථා ද බොහෝ
වෙයි. එහෙත් තම පියා හෝ මව නැතහොත් පවුලේ සාමාජිකයකු හදවත් රෝගයකින්,
වකුගඩු රෝගයකින් අංශභාග රෝගයකින් පෙළෙන්නේ යැයි සිතමු. එවැනි රෝගයකින්
පෙළෙන කෙනෙකුට එම රෝගියාට පිළියම් කිරීමට අවශ්‍ය වියදම් සොයා ගැනීමට
නොහැකිව සිටින විට යමෙක් විත් ඔබට අවශ්‍ය කරන බෙහෙත් වලට අවශ්‍ය වියදම්
අපි ලබා දෙන්නම් හැබැයි ඔබේ පවුලේ සියලු දෙනා බුද්ධාගම අතහැර අපේ ආගම
හා එක් විය යුතු යැයි කිවහොත්, සමහර විට මුල්ම වතාවේදී එම ඉල්ලීම
ප්‍රතික්ෂේප කරනවාට කිසි සැකයක් නැත. එහෙත් උත්සන්න වන ආර්ථික ගැටළු
මැද එම ඉල්ලීම දෙවන තුන්වන වතාවන්හිදී ලද විට ආගම වෙනස් කිරීමට ද මැලි
නොවනු ඇත.
ඒ තම ආගම පසෙකලා තම පවුලේ සාමාජිකයාගේ ජීවිතය බේරා ගැනීම සඳහාම ඔවුන්
එලෙස කටයුතු කිරීම පිළිබඳව දොස් පැවැරීම හෝ මහා සභා රැස් කොට එවන්
ක්‍රියා හෙළා දකිමින් විවේචනය කිරීමෙන් යහපත් ප්‍රතිඵලයක් ලැබේදැයි අපේ
අවධානය යොමු කළයුතු කාලය එළඹ ඇත. ගෙවල් දොරවල් නැති බඩගින්නේ අග හිගකම්
වලින් පිරී සමාජයකට කවරකුගෙන් හෝ ඒ අග හිගකම් මග හරවා ගැනීමට උපකාරයක්
ලැබේනම් ඒ උපකාරයන් වෙත කාගේ හෝ සිත් ඇදි යාම නතර කළ හැකිද ? එබැවින්
බෞද්ධයන් අබෞද්ධයන් බවට පත් කර ගැනීම වළකා ගැනීමට කළ හැකි හොඳම විසදුම
බෞද්ධ ජනතාවට මුහුණදීමට සිදුවන ගැටළුවලට තරමක් හෝ විසදුමක් දියහැකි
බෞද්ධ අරමුදලක් ඇති කොට ඔවුනට තම ගැටළු වලින් නිදහස් වීමට උපකාර කිරීමම
වෙයි.
පන්සල් වල හා භික්ෂූන් වහන්සේගේ අවශ්‍යතාවන් ද සපුරා ගැන්ම ද විශාල
ගැටළුවක්ව පවතී. ලක්දිව විසිරී ඇති විහාරස්ථාන අතුරින් කිසියම් ස්ථිර
ආදායම් මාර්ගයක් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ ඉතාම අල්ප වශයෙනි. බොහෝ
විහාරස්ථානවලට එවැනි ආදායම් මාර්ගයක් ඇත්තේම නැත.
විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලාගේ දාන වේල නම් දායකයින්
විසින් නොකඩවා ඉතා අපහසුවෙන් වුවත්, ඉතා ඕනෑ කමින් සපයා පිරිනැමීම
සිදුවන බව කාරුණිකව සඳහන් කළ යුතුය. නාගරිකව එසේ වුවත් ඈත පිටිසර
ගම්මාන වල වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලාගේ දාන වේල වුවත් ඉතා අපහසුවෙන්
ලැබෙන බව ද වාර්තා වේ. අවශ්‍ය ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීම ආරම්භ කොට වසර
ගණනක් උත්සාහ කොට කාලය ගෙවා එය සම්පූර්ණ කරගත යුතුය. දුප්පත් ගම්
වැසියන්ගේ දුප්පත් දායකයන්ගේ පැල්පතේ වාසය කරන, කුඹුරක් කොටා, එළවළු
කොටුවක් වවා තම ජීවිතය ගැට ගසා ගන්නා තම පවුල නඩත්තු කරන ගමේ පන්සලේ
දායකයන්ට පන්සලේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට තරම් ආර්ථික ශක්තියක් නැත.
වස් කාලය තුළ පිංකම් මාලාවක් යොදාගෙන ඒ කාලය තුළ මල් වට්ටි වෙන්දේසියක්
සිදු කොට ලැබෙන සම්මාදම් මුදලකින් පන්සලට අවශ්‍ය්‍ය ගොඩනැගිලි ඉදිකරගත
යුතුය. එදා එසේ ලැබෙන රුපියල් සියයක මුදල ලොකු මුදලක් විය. මේ අතින්
බැලුවාම පන්සලක ගොඩනැගිලි ඉදිකිරීම ඉතා අපහසු, ඉතා දුෂ්කර කාර්යයක් බවට
පත්ව ඇත. එක ගොඩනැගිල්ලක වැඩ ආරම්භ කර වැඩ නිමවීමට අවුරුදු ගණනක් ගත
වෙයි. ඉන්පසු ඊළඟ අවශ්‍ය ගොඩනැගිල්ලේ වැඩ කටයුතු පටන් ගනී. එහි වැඩ
නිමවීමට තව අවුරුදු ගණනක් යයි. විහාර ගේ, චෛත්‍යය, ආවාසගේ, ධර්ම ශාලාව,
දහම් පාසල් ගොඩනැගිලි ඒවාට සරිලන වැසිකිළි පද්ධති සපුරා ගැන්මට
විහාරාධිපතීන් වහන්සේ නමකට තම ජීවිත කාලයම කැප කළ යුතුවේ. මේවා ගොඩ නගා
සම්පූර්ණ කිරීමට ගන්නා උත්සාහය දන්නේ එහි වැඩ වසන ස්වාමීන් වහන්සේලා සහ
දායකයින් පමණි. මේවාට අනුබල නොදෙන, උපකාර නොකරන, ඒවා විවේචනය කරන අයද
නැත්තේම නොවේ.
පන්සලේ හාමුදුරුවන්ගේ වැඩේ හැමදාම ගොඩනැගිලි හැදීම යනුවෙන් ද දොස්
පවරන්නෝද වෙති. එසේ හදාගත් ගොඩනැගිලි නඩත්තු කරගැන්ම, කැඩී බිදී ගිය
තැන් පිළිසකර කිරීමට, හුණු පිළියම් කරගැන්ම ආදිය ද ඉතා මහන්සියෙන් සිදු
කර ගතයුතුය. අවුරුදු දහයකට වරක්වත් හුණු ටිකක් ගා පිරිසුදු කර ගැනීමට
හැකියාවක් නැති තැන් වෙයි. මේ අපහසුකම් ගැන අවබෝධයක් නැති අය “හුණු
ටිකක්වත් ගා ගෙන නැ” යනුවෙන් දොස් පවරන අයද නැත්තේම නොවේ. ගොඩනැගිලි
පමණක් නොව සමහර විහාරස්ථාන වල වසන භික්‍ෂූන් වහන්සේලාට පෙරවීමට සිවුරු
පවා ඉතා අගහිගව පවතී. ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සපුරාලීම,
අසනීපයක් වූ විට බෙහෙත් ගැනීමට, බෙහෙත් සඳහා වියදම් කිරීමට පවා
අපහසුවෙන්, ඉතා දුකසේ කටයුතු කරගතයුතුවේ.
ගමේ පන්සලේ දායකයන් ඉතා ඕනෑ කමින් ඉතා ශ්‍රද්ධාවෙන් හා ඉතා ආදරයෙන් ඒ ඒ
අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය වෙයි. එහෙත් දායක මහතාගේ, උපාසක,
උපාසිකවන්ගේ අතේ මුදල් නැත්නම්, ඔවුන් ද ඉතා දුකසේ අපහසුවෙන් තම දරුවන්
සමග යන්තම් ජීවිතය ගැට ගසා ගනිත් නම් කාට කියන්නද ඒ දුක. මෙසේ බලන විට
බෞද්ධ අරමුදලක් ඇරඹීමත්, එම අරමුදලට ආධාර කිරීමටත් ඉතා අවශ්‍ය කරුණක්ව
පවතී. එවන් දුරදක්නා පිළියමක් නො කළොත් පන්සල් වල අනාගතය කුමක් වේද ?
භික්‍ෂූන් වහන්සේගේ පැවැත්ම කෙසේ වේ ද? දායකයන් නැත්නම් විහාරස්ථානවල
පැවැත්ම කෙසේ වේද මේවාට තරමක හරි විසඳුමක් ගැන බෞද්ධයන්ගේ මනස යොමු විය
යුතුය. එවැනි ස්ථාන වල පැවැත්මට කිසියම් උපකාරයක් කළ හැකි වැඩ
පිළිවෙලක් ගැන සිතිය යුතුය. ලක් බුදු සසුනේ දිගුකල් පැවැත්මට අවශ්‍ය
වන්නේ ශක්තියක් ඇති වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමය.
එහෙයින් පන්සලෙන් කෙරෙන ආගමික කටයුතු එනම් සිල් සමාදන් කරවීම, ධර්ම
දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩ සටහන් හා උපාසක දාන පිරිනැමීම් ආදි
පිංකම් ඒ ඒ පන්සල් වලට හා ඒ ඒ දායකයන්ට භාර කොට ප්‍රබල බෞද්ධ සංවිධානවල
ශක්තිය එයට වඩා පුළුල් වැඩදායක ප්‍රයෝජනවත් ක්‍රියාකාරකම් සඳහා යොමුවිය
යුතුය.
යමක් කමක් ඇති ආර්ථික ශක්තියක් ඇති බෞද්ධයන් ඒ ගැන කල්පනා කළ යුතුය.
දුවන්නන් වාලේ නොදුවා බුද්ධිමත්ව සිතා බලා බෞද්ධ අරමුදලක් සඳහා තම ධන
පරිත්‍යාග කළ යුතුය. සමහරු දුර දිග නොබලා මුදල් වියදම් කරන බවද පෙනේ.
එවන් පින්වතුන් වැය කරන මුදල් බෞද්ධ අරමුදලක් සඳහා යොදවයි නම් එම මුදල
දුගී දරුවන් කිහිප දෙනෙකුගේ වුවද කුසගින්න නිවීයාමට උපකාර වනු ඇත.
මාරාන්තික රෝග වලින් පෙලෙන්නවුන්ට දිවි රැක ගැනීමට උපකාර වනු ඇත. සමහර
විට හිසට වහලක් නැති අයකුට හිසට වහලක් සපයා සිතට සැනසිල්ලක් උදාකරදීමට
උපකාර වනු ඇත. එහෙයින් ඔබගේ පරිත්‍යාගය එවන් පුණ්‍ය කර්මයකට පිරිනැමිය
යුතු නොවේද ? ඔබෙන් ලැබෙන රුපියල ද එවන් අරමුදලක දියුණුවම සළකනු ඇත.
එහෙයින් එවන් අරමුදලක් ආරම්භ කිරීම සඳහා බෞද්ධ සංවිධාන වල වගකීම වෙයි.
එයට අනුබල දීම බෞද්ධයන්ගේ යුතුකමක් වෙයි. එය ලක් බුදු සසුනේ දිගුකල්
පැවැත්මටත් සුරැකීමටත් අතිශයින් උපකාරී වනු ඇත. එයම මහඟු පින්කමක් ද
වෙයි.
|