UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
බුදුන් වහන්සේ කුරුරට ‘කම්මාසදම්ම’ නම් නියම් ගමෙහිදී ශ්‍රාවක පිරිස අමතා “ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කරමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මෙසේ විස්තර කළහ.

“ මහණෙනි! දුක් නැති කිරීමේ පිළිවෙත නම් වූ ආර්ය සත්‍යය කුමක්ද? එය නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප , සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව , සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙම මාර්ගයෙහි පළමු අංගය වූ “සම්මා දිට්ඨි” හෙවත් නිවැරැදි දැකීම පිළිබඳව ධර්ම විවරණයක් කරන්න.

පිළිතුර
“ සම්මා දිට්ඨි” හෙවත් නිවැරැදි දැකීම යනු දුක පිළිබඳ නුවණ දුකට හේතුව පිළිබඳ නුවණ, දුක නැතිවීම පිළිබඳ නුවණ හා දුක නැති කිරීමේ මඟ පිළිබඳ නුවණ යන මෙය නිවැරැදි දැකීම යි.

නිවැරැදි දැකීම දෙයාකාරයි. එනම් ආශ්‍රව සහිත කුසලභාගිවූ විපාකයට පදනම් වූ සම්මා දිට්ඨිය හා ආර්යවූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර වූ මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියයි.


ප්‍රශ්නය

“හිමි ඔබ හා එක් බඳුවූ පුතුණු කෙනෙක් උපන්හයි” පුවත අසා රථයට නැග කිඹුල්වත්පුරයට එන අතර මග වීථියෙහි වඩනා ලීලාව හා ඵෙශ්චර්ය දුටු එක්තරා රාජ කන්‍යාවක් මෙසේ පී‍්‍රති වාක්‍ය පහළ කළාය.

මෙවන් පුතු ඇති යම්
මවුපිය දෙදෙන නිවීයහ
බිරිඳද මෙවැනි හිමි සතු
නිවුනීය ඕ සැනසී
(නිබ්බුතා නූන සාමාතා
නිබ්බුතා නූන සො පිතා
නිබ්බුතා නූන සා නාරී
යස්සායං ඊදිසො පති)
පී‍්‍රති වාක්‍ය ඇසූ බෝසතාණෝ “ මව ගේද පියාගේද භාර්යාවගේද හෘදය නිවේ” යයි මෝතොමෝ කියයි “

මේ ප්‍රකාශය කළ රාජ්‍ය කන්‍යාවගේ නම කුමක්ද?

පිළිතුර

කිසාගෝතමී

සැලකිය යුතුය.
2011 මාර්තු 12 වන සෙනසුරාදා “ බුදුසරණ” පුවත්පතේ මෙම ප්‍රශ්නයට පිළිතුර වශයෙන් “ජනපද කළ්‍යාණි” යන නාමය සඳහන් වී ඇත. එය කිසාගෝතමී යනුවෙන් නිවැරදි විය යුතුය.


ප්‍රශ්නය
බුදුන් වහන්සේ කිඹුල්වතට වැඩි තුන්වනදා නන්ද කුමරා පිළිබඳව ඔටුනු පළඳනා මඟුලය. ගෙවඳින මඟුලය. විවාමඟුලයයි තෙමඟුලෙක් විය. බුදුරදුන් එදින නුවර පිඬු සිඟා වඩිනා ගමනේ රජගෙදරින් දන් වළඳා පාත්‍රය නන්ද කුමරුන් අතටදී ගමන් ගත්හ. නන්ද කුමාරයාද “බුදුන් දැන් පාත්‍රය ගනිති. දැන් පාත්‍රය ගනිතියි සිත සිතා පසුපස්සේ ගියේය. එසේ යද්දී නන්ද කුමරුන් හා සමග විවාහ ගිවිස සිටි තරුණිය “ ගියත් හිමියනි! වහා එන්නැයි “ කීවාය. ඒ වදන් නන්ද කුමරු ගේ සිත්හි තදින් කාවැදී ගියේය. ඉහත සඳහන් ප්‍රකාශය කළ තැනැත්තියගේ නම කුමක්ද?

පිළිතුර
ජනපද කළ්‍යාණි නම් කුමරිය වේ.


ප්‍රශ්නය
එක් දිනක බුදුන් වහන්සේ වෙත ගිය අනුරුද්ධ තෙරුන් වහන්සේ කවර හේතුන් නිසා කාන්තාවන් මරණින් මතු “ මනාප කායිකා” නම් දෙවඟනන් බවට පත් වන්නේදැයි විචාළහ. බුදුන් වහන්සේ පැණයට පිළිතුරු දෙමින් කාන්තාවක් මෙලොව කරන යහපත් ක්‍රියා අටක් නිසා “ මනාප කායිකා” දෙවඟනක වන්නේයයි වදාළහ. පැහැදිලි කරන්න.

පිළිතුර
දේශනා පාලියෙහි සඳහන් වන පරිදි කාන්තාවක් මරණින් මතු “ මනාපකායික “ දෙව්ඟනක් වන කරුණු අට මෙසේය.

1. ස්ත්‍රිය තම සැමියාට කලින් අවදිවී සියලු කටයුතු නිමවා නින්දට යා යුතුය. සැමියාට මෙන්ම සියලු ඤාතීන්ට පි‍්‍රය වදනින් කථා කළ යුතුයි.

2. වැඩිහිටියන්ට ගරු කළ යුතුය. දෙපාර්ශවයේම දෙමව්පියන්ට ගරු කළ යුතුය

3. සැමියාගේ කටයුතු වලදී සහායකව අනලස්ව කටයුතු කළ යුතුය.

4. දැසි දසුන් හා ගේ දොර පිවිතුරු බව පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුය.

5. සැමියා උපයන ධනය අපතේ යානොදී ආරක්‍ෂා කළ යුතුය.

6. තෙරුවන් සරණ යායුතුය

7. පස් පවින් වැළකිය යුතුය

8. පරිත්‍යාගශීලි වීම මෙන්ම නිරතුරුව දානාදී පින්කම් හි නියැලිය යුතුය.

අං:නි: උපෝෂථ වග්ග අනුරුද්ධ මනාපකායික සූත්‍ර හා විශාඛා මනාපකායික සූත්‍ර)


ප්‍රශ්නය
පෙල දහමට අනුව කර්මය විපාක දීමෙහිදී සම්පත්ති විපත්ති වශයෙන් දෙකොටසකට බෙදේ. පැහැදිලි කරන්න.

පිළිතුර
අකුසල කර්ම විපාක වැළැක්වීමෙහිදී සම්පත්ති නමින් මිනිසාගේ පැවැත්මේ ස්වභාවය අනුව කර්ම විපාකය වෙනස් වෙයි.

කුසල කර්ම විපාකයද යම් කරුණු සතරක් විපත්ති වශයෙන් මිනිස් දිවි පැවැත්මට හේතුකාරක වෙයි. අකුසල කර්ම විපාක වළක්වන කරුණු සතරෙකි.

1. ගති සම්පත්ති
2. උපධි සම්පත්ති
3. කාල සම්පත්ති
4. ප්‍රයෝග සම්පත්ති

යනුවෙනි.

1. ගතිය නිසා මිනිස්ලොව ඉසරුමතෙකු වීම කළ පව් පලදීමට අවස්ථාවක් නොලැබී යන්නට ඉඩ තිබේ. ගතිය නිසා පව විපාක වැලකී යයි.
2. පවින් දාසයක වී උපත ලබා රූ සිරියෙන් දාස බවින් මිදී සැප ලබයි.
3. සුඛිත මුදිත යුගයක උපත ලබා නිරාහාරව සිටීමට ඉඩක් ඇත.
4. සම්‍යග් ප්‍රයෝග සුදුසු අවස්ථාවන්හිදී නුවණ මෙහෙයවා කටයුතු කළ විට ප්‍රයෝග සම්පත්ති වශයෙන් අකුසල විපාක වැළකී යයි.

 කුසල කර්ම විපාක වලක්වන කරුණුද සතරක් දැක්වෙයි.

1. ගති විපත්ති
2. උපධි විපත්ති
3. කාල විපත්ති
4. ප්‍රයෝග විපත්ති

1. ගති විපත්ති

දුගතිගාමි උපතින් කුසල යෙහි විපාක ලැබීමට අවස්ථාව නොලැබීයයි.

2. කුසල විපාක වශයෙන් උසස් උපතක් සිදු වුවත් ආබාධිත වීම කුසල විපාක වලක්වාළයි.

3. දුර්භික්ෂ කාලයක උපත සිදුවීමෙන් සැප විපාක නොලැබීයයි.

4. තැනට සුදුසු සේ නුවණ නොයෙදීම කුසල විපාක ලැබීමට බාධාවක් වෙයි.


ප්‍රශ්නය
බුදුන් වහන්සේගේ ශරීරාලංකාර දැක උන්වහන්සේ වෙතින් නෙත් ඉවතට ගැනීම බලවත් දුකක් සේ සැලකු “වක්කලී” තෙරුන් වහන්සේට වදාළෙ තම සිරුර දෙස නොව තම ධර්මය දෙස බැලිය යුතු බවයි. යො ධම්මං පස්සති සො මං පස්සති යමෙක් ධර්මය දකීද , හේ මා දකී. මේ අදහස ඇතුලත් දේශනාවක් ‘පොදු ශ්‍රාවක හමුවෙහිදී ද බුදුන් වහන්සේ වදාළහ. එබඳු අවස්ථාවක් සූත්‍රාගත දේශනා මගින් සනාථ කරන්න.

පිළිතුර
ඉති වුත්තකපාලි පංචම වග්ග සංසාටිකණ්න සූත්‍රපාඨයකට අනුව

“ මහණෙනි ! යම් භික්ෂුවක් මාගේ සඟල සිවුරුකොන් අල්ලාගෙන මාපසු පස පියවරක් පාසා එන නමුත් අධික ලෝභීව කාමයන්හි තද ඇලුම් ඇතිව විපරීත සිත් ඇතිව දූෂිත චිත්ත සංකල්පනාවෙන් යුතුව සිහි මුළාව සම්‍යග් ප්‍රඥා විරහිතව සිතෙහි සමාධියක් නැතිව සිත වික්ෂිප්තව ඉන්ද්‍රිය සංවර නැතිව පසු වන්නේ නම් ඔහු මට බොහෝ ඈතින් සිටින්නෙකි. මමද ඔහුට ඈත්ව සිටින්නෙමි. ඊට හේතුව ඔහු ධර්මය නො දැකීමයි. ධර්මය නොදක්නේ මා නොදකියි.

වක්කලී හිමියන්ට දේශනා කළ ධර්මය පොදු දේශනාවලදීද බුදුන් වහන්සේ අවධාරණය කළ සේක.


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ දෛනික දින චරියාව පිළිබඳව නිකායාගත තොරතුරුවලට අනුව උන්වහන්සේ ඉතා විධිමත් ක්‍රමානුකූ®ල පිළිවෙතක් අනුගමනය කළහ. ආධ්‍යාත්මික වශයෙන් භාවනානුයෝගීව විමුක්ති සුව විඳිමිනුත් බාහිර වශයෙන් ලෝකයා ගුණ නුවණින් පොහොසත් කරනු පිණිස පාරාර්ථකාමීව කැපවීමෙන් ක්‍රියා කරමිනුත් උන්වහන්සේගේ කාලය ගත විණි. බුදුරජාණන් වහන්සේගේ දෛනික දින චර්යාව කොටස් පහකට මෙසේ බෙදා වෙන්කොට තිබුණි. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස හා පැසුලු යම් කිස වශයෙනි. උන්වහන්සේ පෙරවරු කිස සුවිශේෂත්වයක් දක්නට ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
පෙරබත් කිස උන්වහන්සේ ආරම්භ කරන්නේ දිවැසින් බලා තමා වෙතින් උපකාරයක් කළ හැක්කේ කාහටදැයි? සමාලෝචනය කරමිනි. යමෙකුට තමාගේ ආධ්‍යාත්මික අනුග්‍රහය අවශ්‍ය නම් උන්වහන්සේ අනාරාධිතවම බොහෝවිට පා ගමනිනුත් ඉඳහිට සෘද්ධි බලයෙනුත් එහි ගොස් ඒ පුද්ගලයා නිසිමගට ගනිති. සිරිත් වශයෙන් නොහික්මුණු පාපි පුද්ගලයන් සොයා උන්වහන්සේ වැඩම කළ අතර සිල්වත් පින්වත් පුද්ගලයෝ උන්වහන්සේ සොයා පැමිණෙති. “අංගුලිමාල සහ “ ආලවක” සොයා බුදුරජාණන් වහන්සේ වැඩි අතර විශාඛා වැනි විනීත කාන්තාවෝද අනාථපිණ්ඩික වැනි දානපති සිටුවරයෝද සාරිපුත්ත මොග්ගල්ලාන වැනි බුද්ධිමත්හුද උන්වහන්සේ සොයා ආහ. දවල් දානය සඳහා විශේෂිත ඇරැයුමක් නැතිනම් ශ්‍රාවකයන් සමග හෝ හුදකලාව පාත්‍රය රැගෙන පිඬුසිඟා වඩිති. අසූ හැවිරිදිව වියපත්ව පිරිහුනු සෞඛ්‍ය තත්වය ඇතිව සිටියදී පවා උන්වහන්සේ විශාලා මහනුවර පිඬු සිඟා වැඩියහ.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග 10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.

මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]