UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

නොසැලෙන මනස

ඔබ අප සැමගේ ජීවිත වලට වැඩ කළත් නොකළත් කථා කළත් නොකළත් නින්දා ප්‍රශංසා ලැබෙන බව තේරුම් ගෙන නොසැලී කටයුතු කරන්නට කුඩා කල සිටම හුරුපුරුදු විය යුතුය.

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සෙලො යථා එකඝනො
වාතෙ න න සමීරතී
එවං නින්දා පසංසාසු
න සමිඤජන්ති පණ්ඩිතා

කාරුණික සුපින්වතුනි,

බුදු බණ පද කියවීම ඇසීම සාකච්ඡා කිරීම මහා ආනිසංස දායක පින්කම් ලෙස භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ධර්මයට කන් යොමා ධර්මය මැනවින් සිත්හි ධාරණය කරගෙන ඒ අනුව ක්‍රියාකිරීම තුළින් ඔබට සුවිශේෂ ආනිසංසයන් සසර දුක් නිම කරන මොහොතේ ලබන්න හැකි වන්නේය. එනම් සිව්පිළිසිඹියාපත් මහරහත් භාවයට පත්වන්නට එය විශේෂ පින්කමක් බවට පත් වන්නේය. එම නිසා දහමට ඔබේ ගත සිත මැනවින් යොදවන්නට අදිටන් කර ගන්න. එය මෙලොව සැප පිණිස පරලොව සැප පිණිස නිවන් සැප පිණිස ම පවතින්නේ ය.

වාසනාවන්ත බුදුසරණ පාඨක භවතුනි ,

ඔබ හරි වාසනාවන්තයි. ලොව දුර්ලභ මනුෂ්‍ය ආත්මය ලබා ඔබේ ජීවිතය ගුණ යහපත්කම් ඇතිව බුදුසරණ පුවත්පත වැනි මහා ධර්ම භාණ්ඩාගාරයක් සමග කටයුතු කරන්නට ඔබට අපට අවස්ථාව ලැබීම.

බුදුරජාණන්වහන්සේ දවස අකුල නම් තැනැත්තා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කර සිටියා ස්වාමීනි අපි රේවත හිමියන්ගේ බණ අසන්නට ගියද එකම වචනයක්වත් කථා නොකර බවත් සැරියුත් මහ රහතන් වහන්සේ ළගට ගොස් බණ ඇසීමට කී විට දිග බණක් දෙසූ බවත් ආනන්ද හිමියන් ළඟට ගිය විට ඉතාම කෙටි බණක් දෙසූ බව ප්‍රකාශ කළේය. බුදුරජාණන් වන්සේ එවිට දේශනා කරනු ලැබුවේ කථා නොකරන කෙනාටත් වැඩියෙන් කථා කරන කෙනාටත් අඩුවෙන් කථා කරන කෙනාටත් දොස් පරොස් තබන බවයි. වැඩ කළත්, නොකළත් , ටිකක් වැඩ කළත්, ලෝ වැසියෝ දොස් පරොස් තබනවා. එය පුරාණයේ සිටම පැවත එන ක්‍රමයක් බවත් වැඩිදුරටත් බුදුරජාණන් වහන්සේ දෙසූ සේක.

එම නිසා ඔබ අප සැමගේ ජීවිත වලට වැඩ කළත් නොකළත් කථා කළත් නොකළත් නින්දා ප්‍රශංසා ලැබෙන බව තේරුම් ගෙන නොසැලී කටයුතු කරන්නට කුඩා කල සිටම හුරුපුරුදු විය යුතුය.

අද ධර්ම දේශනයේ මාතෘකාව වශයෙන් මා තබා ගනු ලැබුවේ ධම්මපද පාලියේ පණ්ඩිත වර්ගයේ හය වන ගාථා රත්නයයි. මෙම දේශනය බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි ලකුණ්ටක භද්දිය තෙරුන්වහන්සේ මුල් කරගෙනය.

මෙම මහා රහතන් වහන්සේ ලද දෙයින් සතුටුවන මහා ගුණවත් තෙරුන් වහන්සේ නමක් ලෙස කා අතරත් ප්‍රකටය. පෙර පින්කම් කරන ලද උන්වහන්සේ වෙනත් කෙනෙකුගේ වියදමින් මහා ඉහළින් කරන්නට ගිය පින්කම වියදම් අඩුකොට කුඩා කොට කිරීමේ ප්‍රතිඵල වශයෙන් ඉතා කුඩා මිටි ශරීරයක් ඇතිව උපන්නේය.

එනමුදු මහා ගුණවත් තෙර නමක් වන ලකුණ්ටක භද්දිය හිමියන්ට පන්සලේ සෙසු අය කන්පෙත්ත පවා අල්ලා කෙළි කවටකම් කරති. කුඩා කෙනෙකු වුවත් විසුලු කළත් ඉවසා දරා සිටීමේ මහා ගුණයක් ලකුණ්ටක භද්දිය තෙරුන් තුළින් දැකිය හැකි විය. මේ කාරණාව ධර්ම සභාවේදී සාකච්ඡා කරන ලදී. එහිදී බුදුරජාණන් වහන්සේ මේ මහා රහත් උතුමන් වහන්සේ හාත්පස ගණ වූ ගල්පවුවක් යම් සේ සතර දිසාවෙන් එන සුළඟින් නොසෙලේවේද එසේම නුවණැත්තෝ නින්දා පැසසුම් දෙකේ දීම උරණ නොවී උද්දාමයට පත්නොවී මැදහත්ව නොසැලී වාසය කරන්නේ යැයි දෙසූ සේක.

ලෝකයේ ජීවත් වන විට විවිධ ප්‍රශ්න ගැටළු ඇති වන අතර ඒ සියල්ලටම කිසියම් හේතුවක් කාරණාවක් තිබෙන බැවින් ඒවාට බුදු දහමේ කර්ම යනුවෙන් හදුන්වනු ලබයි. එය පින්කම් වශයෙන් වර්ග කර ඇත. ඔබ ඔබේ ජීවිතයේ වාසනාව අවාසනාව ළගා වන්නේ පෙර කර්ම ශක්තීන්ට අනුවත් අද ඔබේ උත්සාහයේ වීර්යයෙන් අදිෂ්ඨානයේ තරමට බවත් මැනවින් කල්පනා කළ යුතුය. එම නිසා ගැටළු ප්‍රශ්න වලදී බොහෝම කල්පනාකාරීව ඉවසීමෙන් සන්සුන්ව ක්‍රියා කරන්නට අදිටන් කරගන්න. ඔබ සැමට මේ උතුම් පින් බලයෙන් නිවන් සැප ලැබේවා!

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග 10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.

මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]