UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

ලොව ශ්‍රේෂ්ඨ වන්නෝ කවරහුද?

මම ගෞතම ගෝත්‍රයෙහි උපන්නෙක් වෙමි.  අෂ්ට විද්‍යාවන්ගෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුත්  තථාගතයන් වහන්සේම දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙති.

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ඛන්තියෝ සෙට්ඨෝ ජනේතස්මිං
යේ ගොත්ත පටිසාරිනෝ
විජ්ජාචරණ සම්පන්නෝ
සෝ සෙට්ඨෝ දේවමානුසේ

මම ගෞතම ගෝත්‍රයෙහි උපන්නෙක් වෙමි. මම කාශ්‍යප ගෝත්‍රයෙහි වෙමියි කීවත් එම ජනයා අතරෙහි ක්ෂත්‍රියතෙම ශ්‍රේෂ්ඨ වෙයි. අෂ්ට විද්‍යාවන්ගෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුත් තථාගතයන් වහන්සේම දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙති. අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් වන මෙම ගාථාවෙන් බුදුවරයෝ ම ලෝකයෙහි ශ්‍රේෂ්ඨයෝ යයි ප්‍රකාශ කර ඇත.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ විශාඛා මහා උපාසිකාව විසින් කරවන ලද පූර්වාරාම විහාරයෙහි වැඩ වසන විට මෙම අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කළ සේක. විශාඛා මහා උපාසිකාව පදුමුත්තර බුදුන් දවස බුදුරජාණන් වහන්සේ නමකට අග්‍ර උපස්ථායිකාව වීමට පතාගෙන ආ තැනැත්තියකි. අප බුදුරදුන් දවස අඟුරට භද්දිය නුවර උපන්නීය. පියා ධනඤ්ජය සිටුවරයාය. මව සුමනා නම් සිටු දේවිය වූවාය. විශාඛාව සත් හැවිරිදිව භද්දිය නගරයේ දී බුදුරදුන් දැක බණ අසා සෝවාන් වූවා ය.

වාසෙට්ඨ, භාරද්වාජ යන දෙදෙනා බ්‍රාහ්මණ මහාසාල වංශිකයෝය. මැදුම් සඟියට අයත් වාසෙට්ඨ සූත්‍රය අසා උපාසක භාවයෙහි පිහිටියාහුය. පසුව තේවිජ්ජ සූත්‍රය අසා පැවිදි වූහ. විසිවයස් සම්පූර්ණ නොවූ හෙයින් උපසම්පදාව ලැබීමට භික්‍ෂූන් ඇසුරෙහි වෙසෙති.

බුදුරජාණන් වහන්සේ සන්ධ්‍යා භාගයෙහි පල සමවතින් නැගී පූර්වාරාම ප්‍රාසාදයෙන් බැස පහයෙහි සෙවනැල්ල වැටෙන ප්‍රදේශයෙහි සක්මන් කරන සේක. වාසෙට්ඨ සාමණේරයෝ සක්මන් කරන බුදුරදුන් දැක භාරද්වාජ සාමණේරයන් ද කැටුව උන්වහන්සේ වෙත ගියහ. ඇඳිලි බැඳගෙන හිස නමාගෙන බුදුරදුන් අනුව සක්මන් කළහ. එවිට බුදුරජාණන් වහන්සේ ඒ දෙනම අමතා වාසෙට්ඨය. භාරද්වාජය, ඔබ දෙපල බ්‍රාහ්මණ මහාසාල කුලයෙන් පැවිදි වූවෝ ය. මහත් ධනයක් ද හැර දැමූහ. මේ නිසා අන්‍ය බ්‍රාහ්මණයෝ නුඹ වහන්සේලාට නින්දා අපහාස කරත් දැයි විමසූහ. එසේය, බුදුරජාණන් වහන්ස, අපගේ ඤාති බ්‍රාහ්මණයෝ අපට නිතර ගරහතියි පිළිතුරු දුන්හ.

තවදුරටත් එම දෙනම බුදුරදුන්ට දන්වන්නෝ බුදුරජාණන් වහන්ස, බමුණෝ මෙසේ කියති. බමුණන්ම උතුම් වංසවත්ය. සෙස්සෝ පහත් වංශිකයෝය. බ්‍රාහ්මණයෝම ශුක්ල වර්ණයෝය. සෙස්සෝ කාලවර්ණයෝ ය. බ්‍රාහ්මණයෝ ම ශුද්ධ වෙති. සෙස්සෝ අශුද්ධයෝය. බමුණෝ බ්‍රහ්මයාගේ මුඛයෙන් පහළවූවෝ ය. සෙස්සෝ බ්‍රහ්මයාගේ බාහුවෙන් – කලවාවලින් – පතුලෙන් පහළ වූවෝය. තෙපිද ඒ මහණුන් වෙත ගොස් පැවිදි වී හීන භාවයට පත්වූවාහු යයි පරිභව කෙරෙතියි දැන්වූහ.

එවිට බුදුරජාණන් වහන්සේ වදාරණ සේක් වාසෙට්ඨය, බ්‍රාහ්මණයෝ ලෝකෝත්පත්තිය නොදන්නාහු එසේ කියති.

උපතින් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් හෝ නොවන බවත්, කරන කුසල අකුසල ක්‍රියාවන්ගෙන්ම බ්‍රාහ්මණ වසල වන බවත් පෙන්නා දුන්හ. ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන චතුර් වර්ණයෙහි වන සමහර ක්‍ෂත්‍රියයෝ ද ප්‍රාණඝාත – අදත්තාදාන – කාමමිච්ඡාචාර – මුසාවාද -කේළාම් – පරුෂ වචන ආදී පාප ක්‍රියා කරති. බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍රයෝද එසේය. කිනම් වර්ණයකට අයත් වූවත් පාපකර්ම කරන්නෝ වසලයෝ ය. සමහර ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍රයෝ ප්‍රාණඝාතයෙන්, අදින්නාදානයෙන්, කාමමිච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචයෙන්, පරුසාවාචයෙන්, සම්ඵප්පලාපයෙන්, අභිජ්ඣායෙන්, මිථ්‍යා දෘෂ්ටියෙන් වැළකී කුශල ක්‍රියාවන්හි යෙදෙති. ඔවුහු ශ්‍රේෂ්ඨයෝ වෙති. මෙසේ කුසල දහම්හි යෙදෙන ක්‍ෂත්‍රීය බ්‍රාහ්මණාදීහු ශ්‍රේෂ්ඨ වෙති. මෙම වර්ණ සතරින් එකකට ඇතුළත් වූ යමෙක් අර්හත් ද, ආශ්‍රව ක්‍ෂය කරන ලද්දේ ද වැස නිමවන ලද බඹසර ඇත්තේ ද චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන ලද්දේ ද, බහා තබන ලද බර ඇත්තේ ද,,පැමිණි රහත් බව ඇත්තේ ද භව බැඳුම් සිඳින ලද්දේ ද, මනාව දැන කෙලෙසුන්ගෙන් මිදෙන ලද්දේ ද, ඔහු ශ්‍රේෂ්ඨ වෙති. මෙලොව හා පරලොව ධර්මයම ශ්‍රේෂ්ඨ වෙයි.

පසේනදි කොසොල් ආදී රජදරුවන්ට රටවැසියෝ හුනස්නෙන් නැගිටීම, අභිවාදන කිරීම ආදී වශයෙන් ගරු කරති. එම රජවරු තථාගතයන් වහන්සේට හුනස්නෙන් නැගිටීම, වැඳීම ආදී වශයෙන් ගරු කරති. ඒ ධර්මයට සත්කාර, ගරුකාර කිරීම් වශයෙනි. නොයෙක් ජාති කුල ගෝත්‍රවලින් සසුනට පිවිසෙති. එසේ සසුන්ගත වූ විට ඔවුහු ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝම වෙති. ඔවුන්ගේ ශ්‍රද්ධාව දැඩි ලෙස පිහිටි කල්හි එම ශ්‍රද්ධාව දෙවියකුට, මාරයකුට, බ්‍රහ්මයකුට සෙළවිය නොහැකිය.

සුරම්බට්ඨ සිටුවරයා බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. සෝවාන් වීමෙන් පසු ශ්‍රද්ධාව ස්ථිර වෙයි. ධර්ම දේශනා කොට බුදුරදුන් වැඩිය පසු මාරයා බුද්ධ වේශය මවාගෙන සුරම්බට්ඨ සිටුවරයාගේ නිවසට පැමිණ “සිටුතුමෙනි, මම ධර්ම දේශනා කරන විට රූප - වේදනා - සංඥා - සංඛාර – විඤ්ඤාණ අනිත්‍ය යයි කීවෙමි. එය වැරදීමකි. ඇතැම් රූපාදිය නිත්‍ය වෙයි යැයි කීය. එවිට සුරම්බට්ඨ තොප මාරයා නොවේද? යි ඇසීය. මාරයා පැරද පලා ගියේ ය. සෝවාන් උතුමෙකුගේ ශ්‍රද්ධාව කවරකුටවත් වෙනස් කළ නොහැකි ය.

බොහෝ කාලයක් ඉක්ම ගිය පසු මේ ලෝකය ද විනාශයට පත් වෙයි. එසේ විනාශයට පත්වන්නේ ගින්නෙන් හෝ දියෙන් හෝ වාතයෙන්ය. ගින්නෙන් නැසෙන කල ආභස්සර බ්‍රහ්මලෝකය දක්වා ගැනේ. දියෙන් වැනසෙන කල සුභකිණ්භක බ්‍රහ්මලෝකය දක්වා විනාශ වෙයි. වාතයෙන් විනාශවීමේ දී වේහප්ඵල බ්‍රහ්මලෝකය දක්වා වැනසෙයි. මේ පිළිබඳ විස්තර බුත්සරණ ආදී ග්‍රන්ථයන්හි දක්වා ඇත.

කාලාන්තරයක දී විනාශ වූ ලොව සම්පත්තිකර වරුසාවක් වැසි ජලයෙන් පිරියන්නේය. සඳ හිරු රෑ දවල් නැත. ඝනාන්ධකාරයම පවතී. තවත් බොහෝ කාලයක් ගිය කල්හි ජලයෙහි රස පොළව පිහිටයි. බඹ ලොවින් චුත වූ සත්වයෙක් මෙහි පහළ වෙයි. ඔහු ආකාශ චාරිව, ශරීරාලෝකයෙන් ආලෝකමත්ව, පී‍්‍රතියම අනුභව කරමින් බොහෝ කාලයක් වෙසෙයි. හුදෙකලාව සිටින ඔහුට තවත් අය ඇත්නම් හොඳ යයි සිතෙයි. බඹලොවින් චුතවන තවත් අය මෙහි පහළ වෙති. එවිට මුල් බ්‍රහ්මයා තමා සතු නිසා මේ සත්වයන් පහළ වී යයි මැවුම් වාදය ඇති කර ගනියි.

මෙසේ ඔවුන් ආකාශ චාරිකාව බොහෝ කලක් සිටින විට එක්තරා ලෝල ජාතිකයෙක් රස පොළව ඇඟිල්ලෙන් ගෙන රස බලයි. ඒ නිසා ඒ කෙරෙහි තණ්හාව උපදී. අන්‍ය සත්වයෝද ඔහු අනුගමනය කරමින් රස පොළව කා තෘෂ්ණාව ඇතිකර ගනිති. පසුව රස පොළව පිඬු පිඬු වශයෙන් අනුභව කළහ. එවිට ඔවුන්ගේ ශරීරාලෝකය නැති විය. ක්‍රමයෙන් හිරු සඳු පහළ විය. රස පොළොව කා ජීවත්වන විට ඔවුන් සමහර දෙනෙක් වර්ණවත් වූහ. සමහරු දුර්වර්ණ වූහ. මේ නිසා ඔවුන්ට මානය ඇතිවිය. ඊට පසු රස පොළව යටට බැස්සේ ය.

එවිට භූමි පප්පටක නම් හතු වර්ගයක් පහළ විය. සත්වයෝ ඒවා කමින් ජීවත් වූහ. මාන අතිමානාදි කෙලෙස් ඇතිවන විට භූමිපප්පටකය අතුරුදන් වී බදාලතා නම් වැල් වර්ගයක් ඇතිවිය. සත්වයෝ ඒවා කා ජීවත් වූහ. තවත් කෙලෙස් වැඩෙන විට බදාලතා අතුරුදහන් ව ස්වයංජාත හල් ඇති විය. ඒවා අනුභව කොට ජීවත් වූහ. මේ ආහාර අනුභව කරන විට ඔවුන්ගේ ශරීර රළු වී ලිංග භේදය ඇති විය. ස්ත්‍රිය පුරුෂයා දෙසත් පුරුෂයා ස්ත්‍රිය දෙසත් බලා සිටින විට කාමරාගය ඇතිවිය. මෙවුම්දම් සේවනය කළහ. රහසිගතව මෙවුන්දම් සේවනයට ගෙවල් සාදා ගත්හ. එයින් සත්වයා අතර ප්‍රජනන කාර්යය ද ඇති විය. දරුවන් හදා වඩා ගන්නට පටන් ගත්හ.

කලෙක දී එක් අලස සත්වයෙක් වරු කීපයකට හැල් ගෙන ගියේ ය. පසුව අනෙක් සත්වයෝද එසේ කළහ. මෙසේ රැස්කිරීම ආරම්භ වූ පසු ඔවුන්ගේ කල කෝලාහල ඇති විය. ඒවා විසඳා ගැනීමට පුරුෂයෙක් පත්කර ගත්හ. ඔහු ඉමහා සම්මත” නම් විය. ක්‍ෂේත්‍රයට අධිපති හෙයින් පසුව ක්‍ෂත්‍රිය යන නම භාවිත විය. ලාමක අකුශල ධර්මයන් දුරු කෙරෙති යන අර්ථයෙන් බ්‍රාහ්මණ නම් වීය. එම බ්‍රාහ්මණයෝ ආරණ්‍යවල වෙසෙමින් ධ්‍යාන භාවනා කරති. ආහාර සඳහා පිඬු සිඟා යති.

මේ සත්වයන් අතර ඇතමෙක් කාම සේවනය කරමින් ගව පාලනය, වෙළ හෙළඳාම් ආදියෙහි යෙදුණහ. මෙසේ මෛථුන ධර්ම සමාදානයත්, ප්‍රසිද්ධ කර්මාන්ත කරන නිසාත් වෛශ්‍ය නම් විය. ඒ සත්වයන් අතරින් සමහරු රෞද්‍ර ක්‍රියා ඇත්තෝ ය. ඔවුන් ක්‍ෂුද්‍ර යන නාමයෙන් හැඳින්විය. මෙම ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්‍ෂුද්‍රයන් අතරින් ශුද්ධියක් ලැබීමට ගිහිගෙයින් නික්ම වාසය කරන්නෝ ශ්‍රමණය නම් විය. ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ ආදී වර්ණ ධර්මයන්ගෙන් ශුද්ධියක් ලබාගැනීමට නොහැකිය. සම්‍යක් ප්‍රතිපත්තියෙන්ම ශුද්ධිය ලබා ගත යුතුය. ඒ නිසා ශ්‍රමණ සමූහයාගේ පහළවීම ඇතිවිය.

ක්‍ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ක්‍ෂුද්‍රයෙක් හෝ සිතින්, කයින් වචනයෙන් පව්කම් කෙරෙත් ද ඒ පව්කම් හේතුවෙන් මරණින් මතු නිරයෙහි උපදින්නේ ය. එසේම ඔවුහු සිතින් කයින් වචනයෙන් කුසල ධර්මයන් වඩා සුගතියෙහි උපදින්නෝ ය. එසේම ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්‍ෂුද්‍රයෝ කයින් වචනයෙන් සිතින් පාපයෙන් වැළකී සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් වඩා මේ ආත්ම භාවයෙහිදීම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන්නේ ය. ඔවුහු ම ශ්‍රේෂ්ඨයෝ වෙති. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව කළ කල්හි වාසෙට්ඨ, භාරද්වාජ දෙනම සතුටට පත් වී සාධුකාර දුන්හ. සිවිපිළි සිඹියා සහිත රහත් භාවයට පත්වූහ.

ලෝකය විනාශ වන්නේ එක වාරයක් නොවේ. වරින් වර විනාශ වෙමින් වැඩේ. මේ සූත්‍රයෙන් දක්වා ඇත්තේ එක් අවස්ථාවක ලෝකය විනාශ වූ ආකාරයයි. ලෝක විනාශය හා සත්ව විනාශය යනු දෙකකි. ධර්මයෙහි සඳහන් පරිදි මෛත්‍රී බුදුපියාණෝ මෙම මහාභද්‍ර කල්පයෙහි ම පහළ වෙති. ඒ අතර සත්වයාගේ ආයුෂ ක්‍රමයෙන් අඩුවීගෙන ගොස් මෘගසං වරුසාවක් වැසී බොහෝ මිනිස්සු විනාශ වෙති. ඒ සත්ව විනාශයයි. ඉන් පසු ඉතුරු වූ කිහිප දෙනා ගුණ ධර්ම වඩන්නට පටන්ගත් පසු ඔවුන්ගේ ආයුෂ ක්‍රමයෙන් වර්ධනය වී අසංඛ්‍ය ගණන් ආයුෂ ඇතිවේ. නැවත ගුණ ධර්ම පිරිහෙන විට ආයුෂ අඩු වී අසූදහසකට ආයුෂ බැස්ස විට මෛත්‍රී බුදුපියාණෝ ලොව පහළ වෙති. ඊට පසු ක්‍රමයෙන් පිරිහී ගෙන ගොස් ලෝක විනාශය ඇති වෙයි.

මෙම සූත්‍රයෙහි මිනිසාගේ ගුණ ධර්ම පරිහානිය පරිසරයට බලපාන අයුරු මනාව දක්වා ඇත. පරිසර හානියට මිනිසාගේ ගුණ ධර්ම පිරිහීමත් පරිසර සංවර්ධනයට ගුණ ධර්ම දියුණු වීමත් හේතු වන බව මනාව පැහැදිලි වේ.

බක් මස පුර අටවක පෝය

බක් මස පුර අටවක පෝය අප්‍රේල් මස 11 වන දා සඳුදා පූර්ව භාග 05.53 ට ලබයි.
12 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 11 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 17 වන දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]