UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පමා නොවන්න

නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝපදං
අප්පමත්තා න මීයන්ති
යේ පමත්තා යථාමතා

කාරුණික පින්වත්නි,

ඉහත ගාථාවෙන් අදහස් වන්නේ කුසලයෙහි සිහිබුද්ධිය ඇතිව ජීවත්වීම නම් වූ නොපමා බව නිවනට මඟයි. සිහිබුද්ධියක් නොමැතිව අවිද්‍යාව නිසා කුසල පිරිහීම සසර දුකට මඟයි. නොපමා වූ අය සසර දුකට නොපැමිණේ. හෙවත් නොමැරෙත්, පමාවුවෝ ජීවත්ව සිටියත් ඔවුන් මළවුන් වැනිය.

දිනක් බුදුරජාණන්වහන්සේ භික්‍ෂූන් වහන්සේ අමතා වදාළා “ මහණෙනි , මේ ලෝකයේ මනුෂ්‍යයන් සැප, දුක්, උපේක්‍ෂා කියල විඳීම් තුනක් විඳිනව. මේ සැප, දුක්, උපේක්‍ෂා විඳිද්දී සමහරු තුළ කුසල් වැඩෙනව. අකුසල් පිරිහෙනව. සමහරු තුළ අකුසල් වැඩෙනව.

කුසල් පිරිහෙනව. අප්‍රමාදී පුද්ගලයා කුසල් රැස්වන අන්දමින් සැප, දුක්, උපේක්‍ෂා විඳිනව. ප්‍රමාදී පුද්ගලයා සැප , දුක්, උපේක්‍ෂා විඳිමින් අකුසල් රැස් කරනව. සමහරු ප්‍රාණඝාත කරල තාවකාලිකව සැප විඳිනව. හොරකම් කරල, මත්ද්‍රව්‍ය විකුණල කාලබීල තාවකාලිකව සැප විඳිනව. පස්පව්වල යෙදිල තාවකාලිකව සැප විඳිනව. මහණෙනි, ඒ සැප තාවකාලිකයි. එයින් අකුසල් වැඩෙනව. කුසල් පිරිහෙනව.”

පින්වත්නි, නන්ද නමින් ගව ඝාතකයෙක් සිටිය. ඔහුට දිනක් ආහාරයට මස් නැතිව තමගෙය පිටිපස සිටි ඔහුගේම ගවයා පණපිටින් සිටියදීම දිව ඇද කපාගන එය බැදගන ආහාරයට ගත්තා. ඒ මොහොතේම ඔහුගේ දිව ගැලවී ඔහුගේ ආහාර පිඟානට වැටුණා.

දෙව්රම් වෙහෙර අසල සිටි චුන්දසූකරික රැකියාවට කළේ ඌරන් මරා වෙළදාම. ඔහුගේ අප්‍රමාදය නිසා නැතොත් කුසලට ඇති අකැමැත්ත නිසා බුදුන් දකින්න බණ පදයක් අහන්න වාසනාව තිබුනේ නැහැ. මරණ මොහොතේ ඌරකු මෙන් දින හතක් මුළුල්ලේ බෙරිහන් දුන්නා. ඔහු මැරී අවීචි මහා නරකාදියේ උපන්නා. මෙසේ සමහරු සැප විඳීම නිසා අකුසල් රැස් කරනවා. කුසල් පිරිහෙනව.

බුදුරජාණන් වහන්සේ නැවත වදාළා, “ මහණෙනි අප්‍රමාදි පුද්ගලයා ධාර්මිකව ධනය රැස්කරනව. ගුණධර්ම උපදවාගන්නව. මස් පිණිස සතුන් ඇති කිරීම, විනාශකාරී ආයුධ මත්ද්‍රව්‍ය වෙළදාම ආදි අකටයුතු රැකියා ඔහු කරන්නේ නැහැ. ධාර්මිකව වෙළහෙළදාම් කරනව. ගොවිතැන් කරනව. ඔහු තුල කුසල් වැඩෙනව. අකුසල් පිරිහෙනව.

ඒතං විසේසතෝ ඤත්වා අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදේ පමෝදන්තී අරියානං ගෝචරේ රතා

පමාවූවනට සසරින් ගොඩඒමක් නැතිබවත්, නොපමාවූ පුද්ගලයාට සසර ගැලවීම ඇතිවන බවත් දන්නා මෙම නුවණැත්තෝ බුද්ධාධි ආය¸යන් වහන්සේලාට ගෝචර වූ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම නවලෝකෝත්තර ධර්මයන්හි ඇලෙමින් අප්‍රමාදීව කටයුතු කර මෙලොවද සතුටුවෙනව. පරලොව සඳහා කුසල් රැස්කර පරලොව ජීවිතය ආලෝකවත් කරගන්නව.

බරනැස්නුවර නන්දිය නම් සැදැහැවත් කුළපුත්‍රයෙක් සිටියා. ඔහු ඉසිපතන මහාවිහාරයේ ගබඩා හතරකින් යුත් ආවාසයක් කරවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දන් වළදවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ථයේ පැන්වත් කර ආවාසය පූජා කළා. ඔහු මෙලොව සිටියදීම තව්තිසා දෙව්ලොව දෙවඟනන් සහිත සත්රුවනින් පිරි දෙව්විමනක් පහළ වුනා.

තෝ ඣායිනෝ සාතතිකා නිච්චං දල්හ පරක්කමා
ඵූසන්ති ධීරා නිබ්බානං යෝගක් ඛේමං අනුත්තරං

මෙම අය කිසිවිට අකුසලයට යොමුවන්නේ නැහැ. ධ්‍යාන භාවනා කරන මෙම අය නිරතුරුවම කුසල් සිත් උපදවා ගැනීම සඳහා කරන දැඩි වීය¸ ඇතිව කාමභව, දිට්ඨි, අවිජ්ජා සිවු ඕඟයන් පහසුවෙන්ම තරණය කර උතුම් වූ නිවන්මඟට පැමිණෙනව.

ධම්මික උපාසකතුමා අප්‍රමාදීව අනන්ත අප්‍රමාණ කුසල් කළා. මරණ මොහොතේ සංඝයා වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. ඒ අවස්ථාවේ සදෙව් ලොවේ දෙවිවරු දිව්‍ය රථ හයකින් පැමිණ ඒ ඒ දෙව්ලොවට පැමිණෙන ලෙස ධම්මික උපාසකතුමාට ඇරයුම් කර සිටිය. මෙසේ මෙම පුද්ගලයා මෙලොවත් සැනසෙනව. පරලොවත් සැනසෙනව.

උට්ඨානවතෝ සතිමතෝ සූචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වඩ්ඪති

ඒ වගේම මෙම නොපමාවූ පුද්ගලයා පසු නොබසින වීය¸ ඇතිව, සිහියෙන් යුක්තව, නිදොස් ක්‍රියා ඇතිව පරීක්‍ෂාකර ක්‍රියා කරන්නා වූ, කය, වචන දෙකින් හික්මුණු වූ අයෙක් වන අතර මෙලොවදීම අධිපතිභාවය, වස්තුව, ගරුබුහුමන් කීර්තිය වැඩෙනව.

උට්ඨානෙනප්පමාදේන සඤ්ඤමේන දමේනච
දීපං කයිරාථ මේධාවි යං ඕඝෝ නාභීකීරති

එමෙන්ම මෙම නොපමාවූ පුද්ගලයා උට්ඨාන වීර්යෙන්ද අප්‍රමාදයෙන්ද, චතු පාරිශුද්ධ ශීලයෙන්ද, ඉන්ද්‍රිය දමනයෙන්ද යන මේ ධර්මයන්ගෙන් සමන්නාගත වෙනවා. ඔහු කෙළෙස් නමැති මහා ගංවතුරට යට නොවන රහත් බව නමැති දිවයින සාදාගන්නව.

නැවත බුදුරජාණන්වහන්සේ දේශනා කරනව. මහණෙනි, සමහරු ජිවත්වීම සඳහා අනන්ත දුක්විඳිනව. ඒ දුක්විඳින ඔහු තුළ අකුසල් වැඩෙනව. කුසල් පිරිහෙනව. සමහරු කායිකව අනන්ත දුක්විඳිමින් අත්තකිලමතානුයෝගීව ජීවත්වෙනව. ඔවුන් අවිද්‍යාවෙන් අන්ධවෙලා ගවයින්, සුනඛයින් මෙන් ඔවුන්ගේ වෘත අනුගමනය කරනව. ඒ සතුන්මෙන් ජීවත් වෙමින් අනන්ත දුක් විඳිනව. මෝහයෙන් අන්ධ වූ ඔවුන් එයින් සුගතිය බලාපොරොත්තු වෙනව. ඔවුන්ට එයින් සුගතියක් ලැබෙන්නෙ නැහැ. ඔවුන් මෙලොවත් දුක්විඳිනව. පරලොවත් අපාගතවී දුක්විඳිනව. තව සමහරු සතුන් මරණව. සොරකම් කරනව. නොයෙක් අන්දමේ වැරැදි වැඩ කරමින් බියෙන් තැතිගැන්මෙන් ජීවිතය ගත කරනව. ඔවුන් තුළ අකුසල් වැඩෙනව. කුසල් පිරිහෙනව. ඔවුන් දුකින් දුකටම වැටෙනව.”

පින්වත්නි, අද සමාජය ගැන සිතන්න. අනන්ත දුක්විඳින අය ඉන්නව. ඒ අය දුකෙන් නිදහස්වෙන්න උත්සාහ ගන්නෙ නැහැ. වෙනත් සැපවිඳින අය බලා හූල්ලනව. ඊර්ෂාකරනව. අනුන්ගේ දියුණුව රුස්සන්නේ නැහැ. දියුණුවෙන අය බලා වේදනා විඳිනව. ඔහුගේ ප්‍රමාදය ඔහුම තවනව. කුසලයක් කරන්න හිත යොමුවන්නෙ නැහැ. විහාරස්ථානයකට පොහොය දිනටවත් යන්නෙ නැහැ. අවිද්‍යාවෙන් අන්ධවූ ඔහු සැප පතා මත් වතුර සොයනව. අනුන්ගෙ මුදලට කෑදරකමින් සූදුවට යනව. මුදල් සොයන්න අනන්ත දුසිරිත් කරනව. මෙයින් ඔහු දුකෙන් දුකටම පත්වෙනව. පවුලේ සමගිය බිදෙනව, මුළු පවුලම විපතට පත්වෙනව. ඔහු තුළ අකුසල් වැඩෙනව. කුසල් පිරිහෙනව. මරණින් මතු අපාගත වෙනව.

නැවත බුදුරජාණන්වහන්සේ වදාළ “ මහණෙනි, සමහරු ඉතාමත් දුකසේ ජීවත්වනව. එහෙත් එම අය වැරැදි වැඩ කරන්නෙ නැහැ. සොරකම් කරල ධනය සොයන්න පුළුවන්.ඒත් ඔහු එය කරන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ආදි අකටයුතු වෙළදාම්වලින් මුදල් උපයන්න පුළුවන්. ඔහු එවැනි දෙය කරන්නෙත් නැහැ. ධාර්මිකව උපයාගත් දෙයින් දුකසේ ජීවත්වෙනව. “ පෙර භවයේ දන් නුදුන් නිසා මෙසේ දුගී බවට පත්වී උපන්නේයයි කියා ලැබෙන තරමින් හැකි අන්දමට දානාදි පින්කම් කරනව. දුගීව ඉපදුනත් ඔහු තුළ ප්‍රඥාව තියනව. ඒ නිසා ඔහු සත්පුරුෂ ආශ්‍රය කරනව. විහාරස්ථාන ඇසුරුකර ජීවත්වෙනව. මෙලෙස අප්‍රමාදිව ධර්මයේ හැසිරෙන මේ පුද්ගලයාගේ අකුසල් පිරිහෙනව. කුසල් වැඩෙනව.”

පින්වත්නි, පුණ්ණ නම් අය සුමණ සිටුවරයාට දාසකම් කරන අන්ත අසරණ දුගියෙකි. ඔහු සීසාන විට කුඹුරට වැඩිය සාරිපුත්ත මහරහතන් වහන්සේට දැහැටි දඬු හා පැන් පූජා කළා. තමන්ට ගෙන ආ බත්පත බිරිය විසින් සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කළා. ඔහු එම පිනද අනුමෝදන්වි චිත්ත ප්‍රබෝධයට පත්වුණා. කුසලයට යොමුවීමේ අප්‍රමාදිබව නිසා ඔහුට එම අවස්ථාවේම කුඹුරේ රත්ත්‍රන් නිධියක් පහළ වුනා. පසුව සිටු තනතුරද ලැබුණා.

කුසලයෙහි සිහිබුද්ධිය ඇතිව ජිවත්වන අයට ධනය හෝ දුගී බව හේතුවන්නේ නැහැ. අවශ්‍යවන්නේ චිත්ත පාරිශුද්ධිය පමණයි. කාශ්‍යප මහ රහතන් වහන්සේට පොරි ටිකක් පූජා කළ මහලු කාන්තාව එම පිනෙන් තව්තිසා දෙව්ලොව ලාජා නම් දෙවඟන වී උපන්නා . එසේ නම් කුසලයෙහි සිහි බුද්ධිය නම් වූ නොපමා බව ඇති කරගෙන අකුසල් ප්‍රහාණය කර අප්‍රමාදි බව නම් වූ කුසල් වර්ධනය කර මෙලොව ජීවිතය සැපවත්කර නිවන්මඟ දොරටුව විවරකර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 12 වන දා සෙනසුරාදා අපරභාග 04.54 ට ලබයි.
13 වන දා ඉරිදා අපරභාග 05.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 12 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
 මාර්තු 19 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]