මැදින් පුර අටවක 2011.03.12
අවිහිංසාවාදය සමාජගත නො වීම
ඉන්දියාවේ වර්තමාන පරිච්ඡේදය ආරම්භ වනුයේ මහත්මා ගාන්ධිතුමන්
ගේ (1869 - 1948) අවිහිංසාවාදී දේශපාලනයෙනි. එහෙත් එහි දී
ගාන්ධිතුමන් ගුරුකොට ගත්තේ භාරත පුත්‍ර ගෞතම බුදුරදුන් වදාළ
දහම හෝ අශෝක අධිරාජයා ගේ විශිෂ්ට ආදර්ශය නො ව දකුණු
අපි‍්‍රකානු අත්දැකීමකි. ඉන්දියානුවන් ලියාපදිංචි කිරීම පිණිස
දකුණු අපි‍්‍රකාවේ ට්‍රාන්ස්වාල් රජය විසින් 1906 දී හඳුන්වා
දුන් පනතකට විරුද්ධ ව ගාන්ධි තුමන් විසින් ප්‍රථම වරට
සත්‍යාග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. එ තුමන් ඉන්දියාව තුළ
ප්‍රථම වරට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් දියත් කැර ඇත්තේ, රාජ්‍ය
විරෝධී කටයුතු පිළිබඳ සැකකරුවන් නඩු විභාගයකින් තොර ව
අත්අඩංගුවේ තබා ගැනීම පිණිස බ්‍රිතාන්‍ය පාලකයන් 1919 දී
ඉන්දියාවට හඳුන්වා දුන් ‘රවිලට් පනතට’ විරෝධය පළ කිරීම සඳහා
යි.
මේ දේශපාලන අවිහිංසාවාදය කුමක්දැයි ආගමික අර්ථයෙන් තේරුම් ගත
නො හැකි ය. එහෙත් ඊට ආගමික සබැඳියාවක් ද තිබේ. ජී. ඔස්ටර්ගාඩ්
හා ඇම්. කරල් ලියූ ‘ද ජෙන්ට්ල් ඇනාකිස්ට්’ නමැති ග්‍රන්ථයේ
ඡේදයක් මේ අවිහිංසාවාදී දේශපාලනය කුමක් දැයි හඳුනා ගැනීම පිණිස
මෙහි උපුටා දක්වමු.
‘’ගාන්ධි විසින් අවිහිංසාවාදයත් සත්‍යග්‍රහයත් අතර පවතින වෙනස
විස්තර කොට ඇති අයුරු අප සැලකිල්ලට භාජන කිරීම මැනවි. ඇතැම්
අවස්ථාවන්හි දී ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි යෙදීම මුළුමනින් ම
ප්‍රතික්ෂේප නො කරන්නවුන් විසින් අවිහිංසාවාදී ව්‍යාපාරය
උපයෝගී කරගෙන ඇත. එ සේම එ සේ යොදා ගැනීමට ද පිළිවන. විරෝධය
දැක්වීම සඳහා තමන් සතු වඩාත් ප්‍රබල ක්‍රමයක් නොමැති වූ විට
විරෝධතාවාදීහු මේ ක්‍රමය සඳහා පෙළඹෙතියි සිතිය හැකිය. මෙ වැනි
අවිහිංසා ක්‍රමයක් ගාන්ධි විසින් හඳුන්වනු ලබනුයේ ‘දුබලයන් ගේ
අවිහිංසාව‘ වශයෙනි. අනෙක් අතට සත්‍යග්‍රහය වූ කලී ‘ප්‍රබලයන්
ගේ අවිහිංසාවකි’. සදාචාරාත්මක වශයෙන් නිවැරැදි එක ම
ක්‍රියාමාර්ගය එය යැයි හැඟෙන නිසා ඔවුන් එය යොදා ගනු ලැබේ’’.
ගාන්ධි තුමන් ගේ මේ අවිහිංසාවාදී දේශපාලනය නිසා ඉන්දියාවට
ලැබුණු ප්‍රතිඵල මොනවා ද? අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස් වීම
සඳහා එ මඟින් ඉටු වූ සේවය විශාල වුව ද ඉන්දියාවේ හින්දු -
මුස්ලිම් ගැටුම සමථයකට පත් කිරීමට ඊට නො හැකි විය. භාරතීය
හින්දු සංස්කෘතිය ආක්‍රමණය කළ ඉස්ලාම් බලය යටපත් වීම ද මෙහි
එක් අතුරු ප්‍රතිඵලයකි. එහෙත් හින්දු ආධිපත්‍යයට හා ඉස්ලාමීය
ආක්‍රමණශීලිත්වයට මැදි වූ අවිහිංසාවාදී බුදු දහමට එල්ල වූ
පීඩනය නව දේශපාලන නිදහස නිසා අවසන් නො වී ය. එ සේ තිබිය දී
කුලහීන ජනතාව ගේ සමාජ විමුක්තිය උදෙසා බුදුදහම වැලැඳ ගැනීමේ
අම්බෙට්කාර් ප්‍රතිපත්තිය ලැබූ සාර්ථකත්වය මගින් ප්‍රකාශ වන්නේ
ගාන්ධිතුමන් ගේ අවිහිංසාවාදී දේශපාලනයෙන් ප්‍රමාණවත් සමාජයීය
අස්වැන්නක් නො ලැබුණු බව නො වේ ද?
අසූව දශකයේ එක් අවස්ථාවක නිල්වත්තේ සෝමානන්ද හිමියන්ට මදුරාසි
දුම්රිය පොළ අසල දී රික්ෂෝ කරුවන් පහරදුන් විට අම්බෙට්කාර්තුමා
ගේ අනුගාමික බෞද්ධ තරුණයකු විසින් උන්වහන්සේ බේරා ගෙන තිබිණ.
එය අප කියන මේ දේශපාලන යථාර්ථය පිළිබඳ එක් සාක්කියකි.
අවිහිංසාවාදී දේශපාලනය සමාජයීය ඵලයක් බවට පත් වූයේ නම්
චෙන්නායි නුවර මහාබෝධි විහාරයට පසුගිය ජනවාරි 24 වන දා එල්ල වූ
ප්‍රහාරය වැනි සිද්ධීන් ඇතිවිය නො හැකි ය.
කෙ සේ වුව ද අද දින කතු වැකිය වෙන් කැරෙනුයේ ඉන්දු - ලංකා
සබඳතා කෙරෙහි බලපාන බරපතළ සිද්ධීන් දෙකක් වෙත පාඨක අවධානය යොමු
කිරීමට ය. එහෙත් එහි අරමුණ ඉන්දියාව පිළිබඳ විරෝධයක් අප
පාඨකයන් තුළ ජනිත කිරීම නො ව ශ්‍රේෂ්ඨතම භාරතීය පුත්‍රයා වන
ගෞතම බුදුන් වහන්සේ වදාළ දහම එම සමාජයට ආගන්තුක වී ඇති
ප්‍රමාණය පෙන්වාදීම ය.
එම ප්‍රථම සිද්ධිය වන්නේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුල්වීම
නිසා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 124 කු රිමාන්ඩ් නො කරන
ලෙස යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලයේ කොන්සල්වරයා වන
එස්. මහාලිංගම් මහතා එ දින පස්වරුවේ පේදුරුතුඩුව මහේස්ත්‍රාත්
ශ්‍රී නිධි නන්දසේකරම් මහත්මියගේ් නිල නිවසට ගොස් පැවසීමය. දෙ
වන සිද්ධි නම් ඉන්දියාවේ ධීවරයන්ට ශ්‍රී ලංකා නාවික හමුදාව
හිරිහැර කිරීමට විරෝධය පළ කිරීමට යැයි නාගපට්ටනම්හි දී
සංවිධානය කළ රැස්වීමක දී ජෝසෆ් විජෙයි චන්ද්‍රසේකර් නමැති
සිනමා නළුවකු විසින් කරන ලද ප්‍රකාශයකි. එහි දී ඔහු පවසා ඇත්තේ
ඉන්දීය ධීවරයන්ට හිරිහැර කරන්නේ් නම් ලංකාව ලෝක සිතිමෙන් අතුගා
දැමිය යුතු බව ය.
මේ සිද්ධීන් දෙක ම ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දීය සමාජයීය ආකල්පය
එක්තරා ආකාරයකට ප්‍රකාශයකට පත්වීමක් ලෙස සැලැකිය හැකි ය.
එයින්, පෙනී යන්නේ එදා මිහිඳු මහරහතන් වහන්සේ ඉටුකළ ශ්‍රේෂ්ඨ
මෙහෙවර පිළිබඳ ව වත්මන් ඉන්දියානුවන්ට කිසිදු අවබෝධයක් නොමැති
බවය. |