සදහම් දැනුම
වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය
ගෞතම බෝසතාණන් වහන්සේ සසර බොහෝ දීර්ඝ කාලයක් සම්බුද්ධත්වය පතා දුෂ්කර
චර්යාවන්හි යෙදෙමින් ලත් බිහිසුණු අත්දැකීම් රාශියක් සැරියුත් මහරහතන්
වහන්සේ සමග පවසා තිබේ. සසුනෙන් බැහැරව ගිය ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත
මුල්කොටගෙන ඇති වූ සාකච්ඡාවෙහිදී සීහනාද සූත්‍රය දේශනාකොට ඇති බව එහි
නිදාන කතාවෙන් පැහැදිලි වේ. එහිදී බුදුරජාණන් වහන්සේ සසර දිගු කලක්
අත්හදා බැලීමෙන් පර්යේෂණයෙන් ප්‍රායෝගිකව ඤාණ දර්ශනය ලබාගත් බවත් කටුක
අත්තකිලමථානුයෝගී ප්‍රතිපදාවලින් එය නොලැබිය හැකි නිසා ඒවා
ප්‍රතික්‍ෂේප කළ බවත් සැරියුත් මහ රහතන් වහන්සේට පැහැදිලි කළහ. මෙහිදී
බෝධි සත්වයන් වහන්සේ ප්‍රායෝගිකව සිදුකළ අත්තකිලමතානු යෝගය
(දුෂ්කරක්‍රියාව) පැහැදිලි කරන්න.
පිළිතුර
සිදුහත් බෝසතාණන් වහන්සේගේ අත්තකිලමථානු යෝගීව ගතකළ දුෂ්කරක්‍රියා සමය
පිළිබඳව ම.නි. මහා සීහ නාද සූත්‍රය ඇසුරෙන්ම සකස්කර ගැනීම වඩාත් යෝග්‍ය
වන බව පෙනෙන නිසා සූත්‍රාගත තොරතුරු වඩාත් සමීපව විස්තර කළ හැකි වේ.
බෝසතාණන් වහන්සේ සසර බොහෝ දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියාවෙහි යෙදෙමින්
ලත් බිහිසුණු අත්දැකීම් රාශියක් සැරියුත් තෙරුන් වහන්සේ සමග පවසා තිබේ.
මහා සීහ නාද සූත්‍රයෙහි විස්තර වන අත්තකිලමථානුයෝගී දුෂ්කරචර්යා ඇතැම්
මහා සච්චක සූත්‍රාගත තොරතුරු වලට සමාන වන අතර ඇතැම් කරුණු සිද්ධාර්ථ
බෝසත් අවදියට අයත් සාවුරුදු දුෂ්කරක්‍රියා අයත් නොවන බව බුදුරජාණන්
වහන්සේ විසින්ම ප්‍රකාශ කොට තිබේ. “සාරිපුත්ත, මෙකල මසං ගෙඩිවලට වඩා
එකල මසං ගෙඩි ලොකු යැයි ඔබට සිතෙන්නට පුළුවන. මේසා දීර්ඝ කාලයෙහි
ක්‍ෂත්‍රිය රජ බවට පත්ව මහා සතර බ්‍රාහ්මණ බවට පත්ව නොකළ යඥයක් නැත
නොකළ ගිනිදෙවි පිදීමක් නැත. යනපාඨ වලින් ඒ බව පෙනීයයි. මහා සීහනාද
සූත්‍ර දේශනා වලදී විස්තරවන පරිදි, හණ වැහැරි දරමි. නන්හූයෙන් මුසුපිළී
ගස්පොතු වලින් තැනූ පිළී දමේ අඳුන් දිවිසම්, මුවසම් කුස වැහැරී නියඳ
වැහැරි, කෙස්කම්බිලි, අස්ලොම්, කම්බිලි, බකමූණු පිහාටු කම්බිලි දරමි.
කෙස්, රැවුල් උදුරා දමමි ආසන ප්‍රතික්‍ෂේප කොට හිටගෙන සිටිමි. කට
ඇතිරියෙහි සක්මන් කරමි. සයනය කරමි. උක්කුටුකයෙන් සිටිමි දවසට තෙවරක්
දියෙහි බැස සිටිමි. මෙසේ ශරීරය තැවීමෙහි නානාප්‍රකාර අනුයෝගයන්හී යෙදී
වාසය කරමි. සාරිපුත්ත මගේ ‘පරම තපස් වී භාවය මෙබඳුයි’ මගේ රූක්‍ෂ
ප්‍රතිපදාව මෙසේය. ශරීරයේ අවුරුදු ගණන් ගත වූ දූවිලි කුණු තට්ටු බැඳී
ඇත. අවුරුදු ගණන් පැරණි පුපුරා සතුරු හැදුණු තිඹිරි කණවක් වැනිය. එහෙත්
මේ දූලි තට්ටු පිස දමා අහක් කළ යුතු ය. කියාවත් මට නොසිතෙය සාරි පුත්ත
මගේ රූක්‍ෂ ප්‍රතිපදාව මෙබඳුය.
මාගේ ප්‍රවිවේකය මෙසේය. මම යම් කිසි ආරණ්‍යයකට වැදී සිටිමි කොයි වෙලාවක
නමුත් ගොපල්ලකු, පශු පාලකයකු තණ කපන්නෙකු, දරකපන්නෙකු, වන කාර්මිකයෙකු,
මුණ ගැසුනහොත් මම ඒවනයෙන් වෙනත් වනයකට යමි. තමාට ඔවුන් නොහමු වීමටත්
ඔවුන්ට තමා නොහමුවීමටත් වනයෙන් වනයට ළැහැබෙන් ළැහැබට, කන්දෙන් කන්දට,
පල්ලමෙන් පල්ලමට පැන යමි. මිනිසුන් දැක පලා යන වන මෘගයෙකු මෙනි.
හරකුන්, ගොපල්ලන් පිටමං වී ගිය පසු දෙදණ දෙවැලමිට බිම ඔබා ගාලට ගොස්
දෙනුන් ළඟට ගොස් කිරිබොන වසුපැටියන්ගේ ගොමකමි. ස්වකීය මළ මුත්‍රා
හීනනොවන තෙක් මලමුත්‍රා කමි. සාරි පුත්ත ඒ ඉරියව්වෙන් ප්‍රතිපදාවෙන් ඒ
දුෂ්කර ක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩි ආර්ය භාවය ඇතිකරන ඤාණ දර්ශනයක්
ලැබූ බව මම නොදනිමි. කුමක් නිසාද? අද මා ලබා ඇති මාර්ගඥානය, වැනි
පිළිපදිනවුන්ගේ දුක් නැසීමට හේතුවන මාර්ග ප්‍රඥාවක් නොලත් හෙයිනි.
බෝසත් සිරිතෙහි දක්නට ලැබෙන අසිරිමත් ලක්‍ෂණය නම් ඒ සා මහත් දුක්
වේදනාවලිනුත් උන්වහන්සේගේ සිතේ පසු බැසීමක් හෝ සත්‍යගවේෂණයෙන්
බැහැරවීමක් හෝ ඇති නොවීමය.
ප්‍රශ්නය
බුදු දහම නිකෙලෙස් පුරුෂෝත්තමයකුගේ සොයා ගැනීමකි. බුදු දහමින් අනාවරණය
වන පරිදි ජනතාව ජාති මරණාදී පොදු දුකෙහි වැටී සිටිති. මෙය නැති කිරීමට
නම් අනිවාර්යයෙන්ම නිවන සාක්‍ෂාත් කළ යුතු ය. ඒ නිසාම සිද්ධාර්ථ
ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පොදු ලෝක දුක් නිවාරණය සඳහා නව
දහම් මඟ ලෝකය හමුවෙහි තැබූ සේක. බුදු සිරිත ඇසුරෙන් පැහැදිලි කරන්න.
පිළිතුර
ම.නි. අරියපරියේසන සූත්‍රාගත දේශනා පිළිතුර සඳහා බෙහෙවින්
ප්‍රයෝජනවත්ය. ඒ අනුව “එහි අවශ්‍ය කොටසෙහි අනුවාදයයි මේ. උපුල් විලක හෝ
රත්නෙළුම් විලක හෝ සුදු නෙළුම් විලක දියෙහි හටගත් දියෙහි හොඳින් වැඩුණු
දියෙන් මතු නොවූ සමහර උපුල් රතු නෙළුම්, සුදු නෙළුම් දියයට වැඩෙයි.
සමහර උපුල් රතු නෙළුම්, සුදු නෙළුම් දියෙහි හටගෙන දියෙහි හොඳින් වැඩී
ජලය හා සමව පවතී. සමහර උපුල්, රතු නෙළුම්, සුදු නෙළුම් දියෙහි හටගෙන
දියෙහි වැඩී දියෙන් උඩට නැග, දියෙහි නොතැවරී පවතී.
එමෙන් කෙලෙස් අඩු කෙලෙස් වැඩි, තියුණු ඉඳුරන් ඇති මොළොක් ඉඳුරන් ඇති,
මනා ආකාර ඇති, නොමනා ආකාර ඇති පහසුවෙන් අවබෝධ කරවිය හැකි එසේ නොහැකි
පරලොව වරද හා බිය දකින සුළු සමහර සත්වයන් දැක මෙසේ වදාළහ. බ්‍රහ්මය!
වෙහෙසකි යන හැඟීමෙන් ප්‍රඟුණ කළ ධර්මය මිනිසුන් අතර නොදෙසීම් අසන
කැමැත්තෝ ශ්‍රද්ධාව උපදවත්වා. ඔවුන්ට අමාදොරටු විවෘත කරන ලදී. (ම.නි.
අරියපරියේසන සූත්‍රය)
බාහිර ලෝකයෙහි සමාජ ගති පැවැතුම් දෙස බලන විට මේ සියුම් ‘පටිසෝතගාමී’
නව දහම දේශනා කිරීම වෙහෙසකැයි පෙනී ගියත්, ආධ්‍යාත්මික තත්ත්වයෙන්
අඩුවැඩිකම් ඇති විවිධ පුද්ගලයෝ සිටිති. අසනු කැමැත්තෝ අසත්වා.
අවශ්‍යවන්නේ ශ්‍රද්ධාව උපදවා ගැනීමයි. බුදු දහම අධ්‍යාත්මික දියුණුව
කැමැති සැදැහැති ශ්‍රාවකයින් සඳහාය. මෙතැන්හි දීම බුදු දහමේ නිදහස්
චින්තනය සටහන් වී ඇත. අමාදොර විවර කිරීම බුදු දහමින් සිදු වී ඇත.
එමඟින් පල ලැබිය හැකි බුද්ධිමත් මිනිස්සු සිටිති. එහෙත් ඔවුන්ට ඒ සඳහා
අවශ්‍යතාවයක් තිබිය යුතු ය. දොර විවෘතය. මෙය අසවලුන් සඳහාම යැයි නම
නියමයක් නැත. සියල්ලන්ටම පොදු ධර්මයක් ලෙසින් විවෘත කිරීමක් විනා
කිසිවෙකුට එරෙහිවූ හෝ කිසිවෙකුට පක්‍ෂපාතී වූ හෝ දහමක් නොවේ.
අවශ්‍යතාවය ඇත්තවුන් සඳහායි. ශ්‍රද්ධා පෙරදැරිව අසා විමසා දැකිය යුතුය.
බුදු දහම ‘ඒහිපස්සික’ ධර්මයකි.
ප්‍රශ්නය
මජ්ඣිම නිකායේ අරියපරියේසන සූත්‍ර දේශනාවන්හි එන පරිදි බුදුරජාණන්
වහන්සේ මීළඟ අදහස වූයේ තමා අවබෝධ කරගත් ධර්මය. ප්‍රථමයෙන් දේශනා කළ
යුත්තේ කාට ද කවරෙක් වහා මේ ධර්මය වටහා ගැනීමට සමත් වෙයිද? යන කරුණු
පිළිබඳවය. සූත්‍රයෙහි යොමුගත කරුණු අනුව ප්‍රථම ශ්‍රාවකයා කවුරුන්ද
යන්න තෝරාගැනීම වඩාත් යෝග්‍ය තැනැත්තා කවුද යන්නය. බුද්ධ ධර්මයේ ආරම්භය
බෝධි මූලය වන අතර බුද්ධ ශාසනයේ ආරම්භය මෙසේ ප්‍රථම ශ්‍රාවක පිරිසෙන්
ආරම්භ විය. (සමණා සක්‍යප්‍රත්තියා) ශාක්‍ය පුත්‍ර වූ බෞද්ධ ශ්‍රාවක
පිරිස එදා සිට අද දක්වා පරිවර්තන, විපරිවර්තන වෙමින් පවතියි. මුල්
යුගයේ බෞද්ධ ශ්‍රාවක පිරිස පිළිබඳව හැඳින්වීමක් කරන්න.
පිළිතුර
බුදුරජාණන් වහන්සේට පළමුවෙන්ම සිහියට නැගුණේ ආළාර කලාමයි. කිං
‘සච්චගවේෂී’ අවදියෙහි ඇසුරලත් කාලාම ගැන උන්වහන්සේට මනා අත්දැකීමක්
විය. ‘ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියෙකු වූ හෙතෙම විශාරද ප්‍රාඥයෙකි. බොහෝ
කලක් මනස දියුණු කිරීමෙන් බෙහෙවින් කෙලෙස් තුනී කරගත් කෙනෙකි. එබැවින්
ඔහු වහා මේ ධර්මය අවබෝධ කොට ගැනීමට සමත් වෙතැයි සිතූහ. ඒ වන විට ආළාර
කාලාම මියගොස් සතියක්ම ගත වී හමාරය. ඔහුට මේ ධර්මය අසන්නට ලැබුණා නම්
වහා අවබෝධ කර ගන්නවාට කිසිදු සැකයක් නැත. මේ අභාවයෙන් ඔහුට සිදු වූයේ
අලාභයකැයි උන්වහන්සේට සිතින් ආකිඤ්ඤායතන ලාහීව මිය යාමෙන් එම බඹතලයෙහි
ඉපදීම හැර සම්බෝධියත් නිර්වාණයත් ලැබීමට හේතු නොවන බව දැන සිටියේ ඔහු
වෙත තවුස්දම් පිරූ අවදියේමය. එබැවින් නිවන් නොලබා මියයාම ඔහුට සිදු වූ
අලාභයයි.
අනතුරුව උන්වහන්සේ අදහස් කළේ උද්දකරාමපුත්ත තවුසාට දහම් දෙසීමටයි. ඔහු
පිළිබඳවද උන්වහන්සේ වෙත පැවතුනේ හොඳ අවබෝධයකි. ‘කිං සච්ච ගවෙසී’
අවදියෙහි බෝසතුන් කලක් ඔහු වෙතද පුහුණුව ලත්හෙයිනි. නේවසඤ්ඤානාසඤ්ඤා
ධ්‍යාන ලාභියෙකු වූ උද්දකාරාමපුත්තද, පඬිවරයෙකි. බුදුදහම වැනි සියුම්
දහමක් ඉක්මනින් වටහා ගැනීමේ සමතෙකි. ඔහු ගැන විමසා බැලීමෙහිදී එදිනම
මධ්‍යම රාත්‍රියෙහි මියගිය බව උන්වහන්සේට දැන ගන්නට ලැබුණි. අවස්ථාව
ලැබුණේ නම් බුදු දහම වහා අවබෝධ කර ගැනීමේ භාග්‍යය ඇතිව සිටි රාමපුත්ත,
ඒ අවස්ථාව නොලබා මිය යාම ඔහුට ද සිදු වූ බවත් අලාභයක් බව පෙන්වා ඇත්තේ
නිවන් නොලබා මියයෑම නිසා නෙවසක්ඤා නාසඤ්ඤායතනයන්යෙහි ඉපදීමෙන් සසර
අවසන් නොවන හෙයිනි.
අනතුරුව බුදුරජාණන් වහන්සේ ස්වකීය ප්‍රථම ධර්මදේශනාව පස්වග තාපසවරුන්ට
දේශනා කිරීම වඩාත් සුදුසු බව තීරණය කළහ. එයට හේතු වූයේ බෝසතුන් ප්‍රධන්
වීර්යයෙහි යෙදී සිටි අවදියෙහිදී උන්වහන්සේට බෙහෙවින් ඇප උපස්ථාන කළ
පිරිසක් වීමයි. තවුස් පැවිද්දට පත් මේ පිරිස කවදා හෝ බෝසතාණන් වහන්සේ
සත්‍ය අවබෝධය ලබා අපටත් දේශනා කරතිය යන සම්මුතිය නිසාද (බහුකාරා ඛො මෙ
පඤ්ච වග්ගියා භික්ඛු යෙ මං පධානපහිතත්තං උපට්ඨහිංසු) යන දේශනා පාඨයෙන්ද
කියවෙන පරිදි බෙහෙවින් උපකාරකව ක්‍රියා කළ නිසා මෙම ප්‍රථම ධර්මදේශනාව
සිදු කිරීමට ඉටා ගත්හ.
|