UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

නවම් අමාවක 2011.03.04

භක්තිය වීදි බැසීම

රාබි ලෝකයේ සිංහාසන පෙරළමින් හමායන දේශපාලන චණ්ඩමාරුතය ආගමික වශයෙන් වැදගත් වන්නේ කෙ සේ දැයි තේරුම් ගැනීම අවශ්‍යය ය. ජනතා උද්ඝෝෂණ හමුවේ ටියුනීසියානු ජනාධිපති බෙන් අලි පසුගිය ජනවාරි 14 වන දා රටෙන් පලායෑමත් සමඟ අපි‍්‍රකා මහාද්වීපයේ මේ චණ්ඩමාරුතය දක්නට ලැබිණ. ඉන්පසු මේ මහා චණ්ඩමාරුතය හමාගියේ ඊජිප්තුව දෙසට ය. එයින් ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් ගේ සිහසුන පෙබරවාරි 11 වන දා පෙරළී ගියේ ය. දැන් මුවම්මර් ගඩාපි ගේ ලිබියාව, අබ්දුල්ලා සාලේ ගේ යේමනය, අබ්දුල් අසීස් බුටෙෆ්ලිකා ගේ ඇල්ජීරියාව යන මුස්ලිම් රටවල් මේ මහා චණ්ඩමාරුතයට ගොදුරු වී තිබේ. එ තැනින් නො නැවතී මේ දේශපාලන චණ්ඩමාරුතය මැදපෙරදිග රටවල් වන ඉරානය, බහරේන් හා ජෝර්දානය දෙසට හමායන බව පෙනෙන්නට ඇත. ඇතැම් අය එහි වගකීම පවරා ඇත්තේ අල් කයිඩා සංවිධානයට ය.

ජනතාව වීදි බැසීමේ මේ දේශපාලනයෙහි වැදගත් සංධිස්ථානයක් ලෙස ඉරාන විප්ලවය හැඳින්විය හැකි ය. 1977 නොවැම්බරයේ දී ෂා රජුට එරෙහි ව මතු වූ එම ජනතා විරෝධතා ව්‍යාපාරය නිසා ෂා රජුට සිහසුන පමණක් නො ව තම මවුබිම ද අහිමි විය. ප්‍රගතිශීලී ඉස්ලාම් විප්ලවයක් ලෙස ලිබියානු නායක ගඩාෆි විසින් එදා හඳුන්වන ලද ඉරාන විප්ලවයෙහි සෙවණැල්ල අපි‍්‍රකානු මහද්වීපය මත මෙ කල වැටී ඇති සෙයකි. එ බැවින් ෂා රජුට එරෙහි මහජන නැඟිටීම තේරුම් ගැනීම ඉතා වැදගත් ය. විශිෂ්ට පුවත්පත් කලාවේදියකු වූ මර්වින් ද සිල්වා මහතා විසින් සංස්කරණය කළ ‘ලංකා ගාර්ඩියන්’ නමැති ඉංගී‍්‍රසි සඟරාවට ඔහු ලියූ ලිපි ඒ සඳහා අපට කදිම මඟපෙන්වීමකි. 1978.09.15 දිනැති ලංකා ගාර්ඩියන් සඟරාවේ පළ කළ ලිපියක් මෙහි උපුටා දක්වමු.

“බහුජන විරෝධය දේශපාලනමය වූවක් පමණක් නො ව, සමාජයීය, ආර්ථික සහ සංස්කෘතික වූවක් ද වේ. මැද පෙරදිග අනෙක් කිසි ම රටකට වඩා, දුප්පත් ජනතාවක ගෙන් යුත් පොහොසත් රටක් යන ප්‍රපංචය තහවුරු වන්නේ ඉරානයේ ය. එහි තෙල් සම්පත යොදවා ඇත්තේ සුඛෝපභෝගී අධි පරිභෝජනය සඳහා පමණක් නො ව ‘එක් රැයකින්’ ලෝකයේ ඇති ඉතා ම හොඳින් සන්නද්ධ අති විශාල යුද්ධ හමුදාවක් ගොඩ නැංවීම සඳහා ය.”

“ආර්ථික විෂමතාවන් සහ සමාජ අසාධාරණත්වය නිසා නිති පතා වැඩෙන ඉරාන බහුජන කෝපය පුළුල් පරිමාණයකින් කරගෙන යන දරුණු වදදීම් සහ මිනී මැරීම් සිය එක ම කාර්යය කරගත් රහස් පොලීසිය වූ සවාක් මඟින් දරුණුතම මර්දනයෙන් හා පීඩනයෙන් යටපත් කරනු ලබයි. ඇත්තෙන් ම මේ ගණයේ ආයතන අතුරින් එක පෙළට තැබිය හැක්කේ නව - ෆැසිස්ට්වාදී චිලියේ ‘ඩීනා’ ආයතනය යි. කෙ සේ වෙතත්, මර්දනය, විරෝධතා අරගලයකට උපත දෙන අතර මහජන නොසන්සුන්තාව මර්දනය මඟින් සදහට ම යටපත් කර තැබිය නො හැකි ය. ඉරාන කම්කරුවන්, ශිෂ්‍යයන් සහ ගොවීන් මංමාවත්වලට සමූහ වශයෙන් වැල නො කැඩී එක් රොක්වෙද්දී තම එක ම ඉලක්කය වශයෙන් පහරදීමට තෝරා ගත්තේ, ඔවුන්ගේ වැටහීම අනුව පරම සතුරන් ලෙස සැලකූ ආයතනයන් ය. නිදසුනක් වශයෙන් ලක්‍ෂයකට ආසන්න ජනගහනයකින් යුත් ප්‍රධාන පෙළේ කාර්මික මධ්‍යස්ථානයක් වූ ඉස්ෆහන්හි දී රාත්‍රී සමාජශාලාවලට සහ විදේශිකයන් හා ස්වදේශික ධනපතියන් අරක්ගෙන සිටි මහා හෝටල්වලට කැරලි කරුවෝ ගිනි තැබූහ. මෙ වැනි ම ක්‍රියා ටෙහෙරාන හා ටබ්රිස් යන නගරවල ද සිදු වී ඇති අතර එහි දී බොහෝ බැංකුවලට, කුමාර හෝටල් සහ මහා වෙළෙඳ සංකීර්ණයකට හා අවසාන වශයෙන් ඇමරිකන් සංස්කෘතියේ සංකේතය වන කොලනල් සැන්ඩර්ස් කෙන්ටකී බැදපු කුකුල් මස් වෙළෙඳසැලටත් පහර දුන් හ.”

“තවමත් ඉරාන විරුද්ධ පාර්ශ්වයේ සිතුම් පැතුම් වල විද්‍යාත්මක සමාජවාදය (එනම් මාක්ස්වාදය) ප්‍රධාන තැනක් හිමි කරගෙන නැත. එහෙත්, ආගම හුදෙක් ජනතාවගේ සුසුමකට සීමා නො වී පීඩිත ජනතාව ගේ සටන්කාමී රණහඬ බවට පත් ව ඇත. තුන්වන ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක මෙන් දේශීය ආගම බටහිරකරණයට නතුව සිටින ස්වදේශීය ස්තරය සමඟ හවුල් වූ අධිරාජ්‍යවාදී විදේශ ආධිපත්‍යයට විරුද්ධ විඥානයක් බවට පත්වෙයි. වරක් බුද්ධාගම, බුරුමය, දකුණු වියට්නාමය හා ශ්‍රී ලංකාවේ පවා එ වැනි කාර්යයක් ඉටු කැර ඇත. ඉස්ලාම් ධර්මය නැතිනම් එහි රැඩිකල්වාදී සංස්කරණයන්, මුස්ලිම් ලෝකයේ සටන්කාමී ජාතිකවාදී හා අධිරාජ්‍ය විරෝධී විඥානයක් ලෙස කටයුතු කිරීම, ‘ආගමික ස්වරූපයක් ගත් දේශපාලන විරෝධය පෑම් ජාතීන්ගේ අරගලවල නිශ්චිත අවධියක නො වැළැක්විය හැකි ය’ යන ලෙනින්වාදී කියමන කදිමට සනාථ කරයි.”

මේ ආගමික දේශපාලනය නිසා විමතියට පත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ‘ඉස්ලාමීය ජාතිවාදය’ පිළිබඳ ව අධ්‍යයනය කිරීමට නව ඒකකයක් 1979 දී පිහිටුවනු ලැබී ය. දැනට අරාබි ලෝකය කැලඹීමට පත් කළ ජනතා උද්ඝෝෂණ සමඟ ඉස්ලාම් ප්‍රජාතන්ත්‍රවාදයට ඇති සබඳතාව ඇමරිකාව ද තහවුරු කැර තිබේ. එහෙත්, ඉරාන විප්ලවයට නායකත්වය දුන් ෂයිට් මුස්ලිම් නිකායේ අධ්‍යාත්මික නායක අයතුල්ලා රුහුල්ලා කුමේනි වැනි චරිතයක් මේ රටවලින් තව ම මතු වී නොමැත. එදා ඉරාන විප්ලවයේ දී දක්නට ලැබුණු ඇමරිකානු විරෝධය අද වන විට ප්‍රධාන සටන් පාඨයක් නො වේ. එ සේ වූයේ නම්, ඇමරිකානු විරෝධී ගඩාෆිට එරෙහි ව විරෝධතා මතු නො වනු ඇත.

කෙ සේ වූව ද ලොව කලඹන මේ ආගමික දේශපාලනය ගැන අප දැනුවත් ව සිටිය යුතු ය.

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 11.58 ට ලබයි.
05 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 4 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
මාර්තු මස 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]