UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනාත්ම ස්වභාව නිවැරැදිව වටහා ගනිමු

මේ ජීවිතය පිළිබඳ වූ නියම තත්ත්වය කුමක්ද? මේ ජීවිතය පවත්නේ කුමන අත්තිවාරමක් මතද යනු චින්තනයෙහි යොමුවු සෑම කෙනකු විසින්ම නියම අන්දමෙන් සිතීමට පටන් ගත් දින සිට නඟනු ලබන ප්‍රශ්නයක් වේ.

මේ ප්‍රශ්නය වෙනුවෙන් සැපයෙන පිළිතුරු කිහිපයකි. මනුෂ්‍ය ජීවිතය වනාහි අර්ථ රහිත වූවක් බවද එයට අත්තිවාරමක් නොමැති බවද එමෙන්ම එයට මුල්වු පවත්නා වූ කිසිම හේතුවක් නොමැති බවද ඉන් පළමුවැන්නය. නානා වකවානුවලදී නානා අය විසින් මේ මතය ගෙනහැර පාන ලද නමුදු මෙමගින් ප්‍රශ්නයට සතුටුදායක පිළිතුරක් සැපයෙන්නේ නොවේ. මෙලොව පවත්නා සැම දෙයක්ම තවත් දෙයක් හා සම්බන්ධ පවත්නා අන්දම ලෝකය දෙස බලත්ම අපට පැහැදිලි ලෙස පෙනෙන දෙයකි. මෙලොව කිසිවක් වෙන් වශයෙන් නොපවතී. සෑම ස්වභාවික දෙයක්ම සෑම විද්‍යාමාන දෙයක්ම, තවත් ස්වභාවික දෙයක්, විද්‍යමාන දෙයක් ඇසුරෙන්ම හටගන්නේ වේ. අප විසින් මෙය මතුපිටින් වන හේතුව වශයෙන් හඳුන්වනු ලබන අතර, මෙයම ඊට ප්‍රථමයෙන් ඇතිවු තවත් දෙයක හේතුවෙන් හටගත් බැව් සලකන කල, මෙය ඵලය වශයෙන් ඉන්පසු හැඳින්වෙන්නේය. එහෙත් මනාසේ පැහැදිලිව පෙනෙන්නට ඇති මේ හේතුඵල ධර්මය ඉහත සඳහන් ප්‍රශ්නයට සපයන ලද ප්‍රථම පිළිතුර බිඳ දමන්නේ ය.

ප්‍රථම මතයට අනුව මේ හේතුඵල ධර්මය පවා නොසැලකෙන්නේ වේ. මානසික ලක්‍ෂණයන්ගේ සහ මානසික ස්වභාවයන්ගේ හට ගැන්මෙහිලා යොමුව ඇති හේතු පිළිබඳවද එය කිසිවක් පැහැදිලි කර දක්වන්නේ නැත.

අපගේ ප්‍රශ්නයට ලැබී ඇති දෙවන පිළිතුර නම් අපගේ අවධානය තරමක් දුරට යොමුවිය යුත්තකි. සභ්‍යත්වයෙන් ඈත්ව ජීවත්වූ ආදි කාලීන මනුෂ්‍යයාගේ පටන් කලාවේ සහ සභ්‍යත්වයේ ආභාෂය ලබන්නාවු නූතන මනුෂ්‍යයා දක්වා මේ ලෝකයේ වසන සෑම වර්ගයෙන්ම මිනිසුන් අතර මේ මතය පළමු මතයට වඩා පිළිගැනෙන්නේ වේ. මේ මතයට අනුව සෑම සත්වයකු තුළම අදෘශ්‍යමාන, එනමුදු සදාකාලිකව ආත්මයක් ඇත්තේය.

මේ ආත්මය වනාහි බාහිර කය තුළ වූ නියම සත්‍ය දෙය බවද එය අවිච්ජින්නව, සදා කාලිකව, නොවෙනස්වම පවත්නා බවද, බාහිර රූප කායක් ඇතත් නැතත් මෙය ස්වාධීනව පවත්නා බවද, ආත්මවාදීන්ගේ පිළිගැනීම වේ. ශාස්වත දෘෂටිය නමින් හැඳින්වෙන මේ මතයෙන් දැක්වෙන කරුණු කලින් දක්වන ලද උච්ඡේද දෘෂ්ටියෙන් දැක්වෙන කරුණුවලට වඩා තරමක් දුරට පිළිගත හැකි බව ඇතැමුනට සිතේ. ඊට හේතුව උච්ඡේද දෘෂ්ටිය මගින් බැහැර කරනු ලබන දෙය, යටත් පිරිසෙයින් මේ දෘෂ්ටියට අනුව පිළිගැනෙන්නේ වේ. ‘ආත්මය’ යනු බාහිර ක්‍රියාකාරිත්වයෙහි සහ බාහිර ප්‍රකාශනයෙහි ලා ඉවහල් වන ප්‍රබෝධක බලවේගය වශයෙන් ඔවුන් පිළිගන්නේ වේ.

සත්වයා තුළ ‘ආත්මයක් ‘ පවත්නේය යන මතය වූ කලී විද්‍යාවෙන් සහ බුද්ධ භාෂිතයෙන් ලැබෙන සාක්‍ෂි අනුව බිඳ දැමිය හැකිවේ.

සාමාන්‍ය ඉන්ද්‍රිය සංඥාව වුවද සමීපව විග්‍රහකර බලත්ම, එහි නොවෙනස්ව,අවිච්ඡින්නව පවත්නා දෙයක් ඇති බවට නියම, සෑහෙන සාක්‍ෂියක් නොමැත. ‘ දැකීම යනු විශ්වාස කිරීම වේ.’ යනුවෙන් සාමාන්‍ය කියමනක් ඇත.යම් දෙයක් දුටු පමණින් ඒ ගැන කිසිම සැකයක් නොමැතිව එය පවත්නේයයි පිළිගැනිම මගින් තමන් තදින් එල්බගෙන සිටින මතයන් තහවුරු කරගැන්මට පුරුදුවූ අය විසින් මේ ‘ආත්මයක්’ ඇත යන අදහස පිළිගැනීම සිදුවේ. ලෝකයේ පවත්නා දැය පිළිබඳවූ සැකයන් ඉවතලීමට ඉවහල් වන එකම දෙය නම් ඉන්ද්‍රිය සංඥාවන්ගේ ක්‍රියාකාරීත්වය සූක්ෂ්ම අන්දමින් විග්‍රහකර බැලීම විභජ්ජවාදයට හසුකිරීම වේ. කිසිවකු මේ තාක් කිසිවක් දර්ශනය කර නැත්තේ යැයි ශාරීරික විද්‍යාවේ කියමනක් වේ. ලොව ජීවත්වන ඕනෑම කෙනකු දැක ඇත්තේ දෘෂ්ටි විතානය මත සටහන් වන ප්‍රතිබිම්බයන් සමහරක් පමණි.

මේ ගැන තවදුරටත් සිතා බලත්ම මේ වනාහි ශක්ති විශේෂයක පැවැත්ම පිළිබඳව ඇසෙන්න ලැබෙන දැනුම්දීමක් පමණක් බව අවබෝධ වේ. අපට ඕනෑම වස්තුවක් දර්ශනය වත්ම අප කරා පැමිණෙනුයේ ශක්ති විශේෂයක් මිස වස්තුවක් නොවේ. තරංගයන් පරාවර්තනය කරනු ලබන වස්තුවේ තලයම වස්තුව මෙන් අප විසින් නිගමනය කරනු ලැබීම වනාහි නිගමනයක් මිස සත්‍යයක් නොවේ. අපගේ දෘෂ්ටි ඉන්ද්‍රිය සම්බන්ධයෙන් සලකා බලත්ම අප, සාමාන්‍ය වශයෙන් ඇත්තේයයි පිළිගනු ලබන වස්තුක් නියම වශයෙන්ම පවත්නේවේදැයි අපි නොදනිමු. විශ්වාසයෙන් නොදනිමු. ඒ ඒ වස්තුන් පිළිබඳව නියම පැවැත්මක් ඇත්තේද යනු අපට විශ්වාස වශයෙන් දැන්වීමෙහි ලා දාෂ්ටි ඉන්ද්‍රියෙහි අසමත්වීම මත මිනිසුන් මවිතකරවීමේ සමත් ඇස් බැන්දුම්, ඉන්ද්‍රජාලයන්, විශාල සංඛ්‍යාවක සාර්ථකත්වය රඳා පවත්නේ වේ.

ආලෝකය පරාවර්තනය වීම ඉතා සුළු වශයෙන් සිදුවන. එසේත් නැත්නම් ආලෝකය පරාවර්තනය වීමක් කොහෙත්ම නැති කාලවර්ණ විල්ලුද තිරයන්ද, එමෙන්ම ඒ කරා ඇදි එන සැම ආලෝක කිරණයක්ම පරාවර්තනය කරනු ලබන්නාවුද, මනාසේ ඔප මට්ටම් කරන ලද කැඩපත් වැනි දේවලද ආධාරයෙන් රැවැටීමටද එමෙන්ම එතැන නොමැති දෙයක් මේ නරඹන්නන්හට දර්ශනය වනසේ හැඟවීමටද ඉන්ද්‍ර ජාලකයෝ සමත්වෙති.

ශ්‍රවණ ඉන්ද්‍රිය පිළිබඳවූ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්ද අදාළ වනුයේ ශක්ති විශේෂයක්ම මිස කිසියම් වස්තුවක් , දෙයක් නොවේ. මට සීනු ශබ්දයක ඇසෙන්නේයැයි කෙනෙකු පවසන්නේ යැයි අපි සිතමු. එහෙත් සත්‍ය වශයෙන් නම් කිසිවකුහට මේ දක්වා සීනු නාදයක් ඇසී නැත. එමෙන්ම කවර දිනකවත් එවැනි සීනු නාදයක් නොඇසුණේද වේ. කිසි කලෙකත් කිසිවකුහට ශ්‍රවණ ඉන්ද්‍රිය මගින් ශබ්දයක් නොඇසේ. ශබ්දය යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන්නේ වායු තරංගයන් කෙනකුගේ කර්ණ පඨකයෙහි (කන්අඩියෙහි ) හැපීමේ ප්‍රතිඵලයක් වශයෙන් මොළය තුළ සංඛක කණ්ඩිකාවෙහි දෙපස පිහිටා ඇති ශ්‍රවණය පිළිබඳ මධ්‍යස්ථානයෙහි ඇති මෘදු සෛලවල ගැටීම වේ. මේ වනාහි බලවේගයක් පමණි. සත්‍ය වශයෙන්ම පවසනුයේ නම් අපට ශබ්දයක් ඇසුණු කල අපගේ දැනුමට භාජනය වනුයේ ‘ශක්ති විශේෂයක් පමණි. කවර අන්දමකින්වත් ඒ වනාහි වස්තුවක් හෝ දෙයක් හෝ නොවේ. ශබ්දය වනාහි වායු තරංගයන්ගේ කම්පනයේ ප්‍රතිඵලයකි.

ස්පර්ශය ගැන සලකා බලත්ම, අපගේ ස්පර්ශයට භාජනය වනුයේ ඝන වස්තුවක්වේය යනු බොහෝ දෙනාගේ හැඟීම වේ. විභජ්ජවාදයට අනුව සලකා බලත්ම ස්පර්ශයට භාජනය වන වස්තුන් පිළිබඳව වුවද ක්‍රියාකාරීව පවත්නේ බලවේගයක් පමණි.

බුදු දහමින් දැක්වෙන පරිදි වස්තුන් සෑම වේලේම වෙනස්වීමකට බඳුන් වන්නේය. එනමුදු අනෙක් චින්තන ක්‍රමයනට අනුව මේ වස්තූ®න් ස්ථීරවම, සෑමවේලේම එකසේ පවත්නා දේ මෙන් සැලකුවද ඒ එසේ නොවේ.

ඒකත්වයක් යන්නෙන් දැක්වෙනුයේ වෙනස් නොවන සුළු ස්ථීර දෙයක් පිළිබඳවූ අදහසක් වන අතර නියම අන්දමට සලකා බලනුයේ නම් මෙය ජීවිතය සහ ජීව විද්‍යාත්මක පිළිගැනීම් හා එකඟ නොවේ. ජීවිතය හා ඒ පිළිබඳව වූ කාර්යයන් දෙස අපට බැලිය හැක්කේ වෙනස් වන සුළු දෙයක් දෙස බලන දෘෂ්ටි කෝණයකින් පමණි. ගණිතය, නීතිවිද්‍යාව සහ භෞතික විද්‍යාවන් ඒකත්වයන් යොදා ගන්නා නමුදු න්‍යාය ධර්මයන්හි හා මනෝවිද්‍යාවෙහිද එවැන්නක් භාවිතා නොකෙරේ. බෞද්ධ මනෝවිද්‍යාව හෙවත් අභිධර්මයට අනුව නම් කර්තෘ සහ කර්මය යන දෙකම වෙනස්වන සුළු වේ. එනම්, අනිත්‍ය වේ. මේ දෙක අතර පවත්නා අන්තර්ලීන සම්බන්ධතාව පිළිබඳ නිවැරැදියට වටහාගන්නා පුද්ගලයන් විසින් ස්ථීර ඒකත්වයක් පිළිබඳ මිථ්‍යා අදහසක් ඇතිකරගනු ලබයි. ආත්මයක් ඇත යන විශ්වාසය හා බැඳි මිථ්‍යා මතයට මෙයම මූලික හේතුව වන්නේය.

උදාහරණයක් සලකා බලමු. චිත්‍රපටයක් නරඹත්ම එහි දක්නට ලැබෙනුයේ වෙන් වෙන් වශයෙන් වූ රූප වේ. මේ එක් එක් රූපය පිළිබඳ සටහන ගෙනහැර පෑම සඳහා සිය දහස් සංඛ්‍යාතවූ වෙන වෙන ඡායාරූප යොදා ඇත්තේය. ප්‍රොජෙක්ටරය කරකවන විට මේ සෑම ඡායාරූපයක්ම මොහොතක් පමණ නැවති තිබෙන බැවින් ඒ හේතුවෙන්ම ඡායාරූපය කාචය මගින් තිරයට වැටි මොහොතක් පමණ වේලා ප්‍රමාණයකට විශාලවී දැක්වෙන්නේය.ආලෝකය හේතුවෙන් හටගත් සටහන් සුළු මොහොතක් රඳවා ගැන්මට මිනිස් දෘෂ්ටි විතානය සමත්වේ. ප්‍රොජෙක්ටරයෙන් එක් ඡායාරූපයක් ඉවත්වෙත්ම තවත් ඡායාරූපයක් එතැනට පැමිණෙන්නේය. මෙවිට ප්‍රොජෙක්ටරයට යාවූ වීදුරු තහඩුව ඒ මොහොතට ආලෝකය වැටීම වළක්වනු ලැබේ. මෙසේ වූ විරාමය තුළ ඇතිවන්නාවූ අඳුර හෝ වැල නොකැඩී එකිනෙක පසුපස ගමන් ගන්නා වූ ඡායාරූප රාශිය හෝ අප ඇසට ලක් නොවේ.

එකිනෙක පසුපස ගමන් ගනිමින් දෘෂ්‍යමාන වන්නේ මේ දහස් සංඛ්‍යාත ඡායාරූප එකම රූපයක් මෙන් අපට පෙනෙන්නට වන්නේය. මෙසේ දක්නට ලැබෙන රූප මොහොතක් පාසා වෙනස්වන නමුදු මේ වෙනස්විම කෙතරම් වේගයකින් සිදුවන්නේද යත් ඒ මගින් ඒකත්වයක හැඟීම නරඹන්නා තුළ ඇතිවන්නේය.

අපගේ ශාරීරික කොටස් නිරන්තරයෙන් වෙනස් වෙමින් අලුතින් සෛල හට ගනී. එමෙන්ම ප්‍රාණය නිරුද්ධ වූ සෛල නොකඩවා සිරුරෙන් ඉවත්වන අතරම ඒ වෙනුවට නවතම සෛල හටගන්නේය. කය මෙන්ම සිත සම්බන්ධයෙන්ද මේ වෙනස්වීම සිදුවන්නේය. සිත සම්බන්ධයෙන් මෙය වඩාත් වේගවත්ව සිදුවන්නේය.

ඔබ අතීතයේ ජීවත්වන්නේ නොවේ. ඊට හේතුව අතීතය මෙතැන්හි නොමැත. ඔබ වර්තමානයේද ජීවත්වන්නේ නොවේ.

ඊට හේතුව ඔබ වත්මන යයි පැවසීමට පෙර වර්තමානය ගෙවී යනු ඇත. එසේනම් ඔබ සිටින්නේ අනාගතයේද? එසේත් නොවේමය. අනාගතය මෙතැන්හි නොමැත. එසේ නම් ඔබ සිටින්නේ කොතැන්හිද? සත්‍යයෙන්ම ඔබ සිටිනුයේ පියාඹා යන චිත්තක්‍ෂණයෙහිම වන්නේ වේ. මේ මොහොතෙහිම වන්නේ වේ. එසේ කල නිත්‍ය නොවන්නාවු සිතුවිල්ලක නිත්‍යවූ ආත්මයක් තිබිය නොහේමය.

ආත්මයක් නොමැති කල සත්වයාගේ පුනරුත්පත්තිය ඇතිවන්නේ කෙසේද යන්න බෞද්ධයන් බොහෝ දෙනකුගේ විමතියට භාජනය වී පවත්නා ප්‍රශ්නයක් වේ. මෙයට සෑහෙන පිළිතුරක් සැපයිය යුතුවේ. බුදු දහමට අනුව කෙටියෙන් මීට දිය හැකි පිළිතුර නම්, ‘ආත්මයේ ‘ තැන කර්මය ගන්නා බවයි. පුනරුත්පත්තිය ඇති වන්නේ ජනක කර්මයේ හේතුවෙන් වේ.

ගුවන්විදුලියට එක් තැනක සිට සපයනු ලබන පණිවුඩය, නියම තරංග ඔස්සේ ගුවන්විදුලි යන්ත්‍රය කරකැවීමෙන් වෙනත් තැනකදී ශ්‍රවණය කළ හැකි වන්නාක් මෙන් මෙතැන්හි මරණයට පත්වන තැනැත්තාගේ අවසාන සිතුවිල්ල (තදාසන්න කර්මය) අලුත් සත්වයකු අන් තැනැත්තකු, උත්පාදනය කරන්නේය.

එසේම බුදු දහමටඅනුව මරණින් පසු උත්පත්තිය ලබන තැනැත්තා එකම තැනැත්තාද නොවේ. තවද වෙනස් තැනැත්තෙකු නොවේ.

මේ අනාත්මය සම්බන්ධ වූ ඉගැන්වීමෙහි පවතින හරය බොහෝ බෞද්ධයන් විසින් නොසලකා හරිනු ලැබේ. ආත්මයක් කෙරෙහි මිනිසා විශ්වාසය තබන තාක් කල් ඔහු ආත්මාර්ථකාමිත්වයෙන් කෙසේ මිදෙන්නටද එය දුෂ්කර අසීරු කරුණක් වනු ඇත. තම ජීවිතය නාමරූප සන්තතියක් පමණක් බවද, එහි ආත්මයසේ ගත හැකි දෙයක් නොමැති බවද අවබෝධ කරගත් තැනැත්තා අන් අය කෙරෙන් තමා වෙත එල්ල වන හිරිහැර කරදර පිළිබඳ සිත අසන්තෝෂ කරගන්නේ හෝ අමනාප වන්නේ හෝ නොවේ. මෙසේ තමාට හිරිහැර කරදර කරනු ලබන තැනැත්තාද වෙනස්වනසුලු තැනැත්තෙකු බව දන්නා තැනැත්තේ එවැන්නන් කෙරෙහි ද්වේෂ ඉපදවීම අර්ථ රහිත බව අවබෝධ කරගන්නේ වේ. අමනාපකම් ඇතිකර ගැන්ම අඥානවූ දෙයකි. ඒ ඒ කරුණු දෙස මෙවැනි දෘෂ්ටියකින් බැලීමෙන් ඔහු පී‍්‍රතිය හා සුඛයම අත්දකින්නේය.

අන්‍යයන්ගේ අස්ථාන චෝදනාවලින් මොහු කම්පා කළ හැකි නොවේ. මමායනය කෙනකු තුළින් අතුරුදන්වී යත්ම ඔහු තුළ ඒ ඒ දෑ පිළිබඳව කළකිරීමක් ඇතිවේ. මේ කළකිරීම හේතුවෙන් අර්හත් මාර්ගය කෙරෙහි යොමුවූ විරාගයටම මග පෑදෙන්නේ වේ. මේ විරාගය හේතුවෙන් විමුක්ති සුඛය ඔහුට අත්වෙන්නේය.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]