දුරුතු පුර පසළොස්වක 2011. 01.19
ප්‍රචණ්ඩ මානසිකත්වය
ආගමික උන්මත්තකයන් ගේ සැහැසි ක්‍රියා පිළිබඳ අපකීර්තිමත්
ඉතිහාසය වර්තමාන මිනිසාට පාඩමක් වී නොමැත. මෙය එක් ජාතියක හෝ
එක් ආගමක පිරිහීමක් නො ව සමස්ත මානව ශිෂ්ටාචාරය ලැබූ පරාජයක්
ලෙස සැලැකිය හැකි ය. පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර
සල්මන් ටාසීර් ඝාතනය එම අපකීර්තිමත් ඉතිහාසයේ නව පරිච්ඡේදයකි.
ටාසීර් ගේ ආරක්‍ෂක සෙබළකු වූ මාලික් මුට්ටාස් හුසේන් කාද්රි
නමැත්තා විසින් ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩිතබා මේ ඝාතනය
සිදු කැර තිබේ. ඉස්ලාමාබාද් නුවර වෙළෙඳපොළක් අබියස දී සිදු කළ
එම වෙඩිතැබීමෙන් අනතුරු ව පොලීසියට භාර වූ කාද්රි පවසා ඇත්තේ,
මහම්මත්තුමාට අපහාස කිරීම නිසා ටාසීර් මරා දැමූ බව ය. ආගමික
අපහාස නීතිය (බ්ලාස්ෆෙම් නීතිය) වෙනස් කළ යුතු යැයි ටාසීර් කැර
තිබූ ප්‍රකාශය මහම්මද්තුමාට කරන ලද අපහාසයක් යැයි ඝාතකයා පවසා
ඇත.
පසුගිය නොවැම්බර් මස පන්ජාබයෙන් වාර්තා වූ ආසියා බිබී නමැති
සිද්ධිය ඝාතකයා එයින් අදහස් කැර තිබේ. පන්ජාබයේ වෙසෙන
ක්‍රිස්තියානි කාන්තාවක වන හතළිස් පස් හැවිරිදි ආසියා බිබී
නමැත්තිය ඉස්ලාම් භක්තිකයන් පිරිසක් සමඟ කළ වාදයක දී
මහම්මත්තුමාට අපහාස කරන ලදැයි චෝදනාවක් ඉදිරිපත් වී තිබිණ. ඒ
පිළිබඳ ව පැවැති නඩු විභාගයකින් පසු ඇයට මරණීය දණ්ඩනය නියම
විය. එය විශාල ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ බැවින්
අමාත්‍යාංශ මට්ටමෙන් ද පරීක්‍ෂණයක් පැවැත් වූ අතර, එහි දී
අනාවරණය වූයේ පෞද්ගලික අමනාපයක් ඇයට මරණීය දණ්ඩනය පැනවීම
කෙරෙහි බලපා ඇති බව ය. එ බැවින් ඇය නිදහස් කිරීමට එම
වාර්තාවෙන් නිර්දේශ කැර තිබිණ.
මෙහි දී පන්ජාබ් ආණ්ඩුකාර ටාසීර් ගේ අදහස වූයේ, පාකිස්තානයේ
ක්‍රියාත්මක වන ආගමික අපහාස නීතිය සංශෝධනය කිරීම අවශ්‍ය බව ය.
කුමන ආගමික ශාස්තෘවරයකුට හෝ අපහාස කිරීම සාපරාධී වරදක් වුව ද
ඊට මරණීය දණ්ඩනය නියම කළ යුතු නැතැයි ඔහු කීය. එ බැවින් ආගමික
අපහාස නීතිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ද නිවේදනය කරන
ලදී.
මෙය පාකිස්තානයේ ඉස්ලාම් ආගමික අන්තවාදීන් කුපිත කළ සිද්ධියකි.
ඒ නිසා ඔවුන් ටාසීර් ද්‍රෝහියකු ලෙස සැලැකීය. සුන්නි මුස්ලිම්
ආගමික කණ්ඩායමක් වන ජමාන් එ අල් එ සුනත් සංවිධානයේ නිවේදනයකට
අනුව, කිසිදු මුස්ලිම්වරයකු ටාසීර් ගේ අවමඟුලට සහභාගී නො විය
යුතු ය. ඔහු වෙනුවෙන් යාඥා නො කළ යුතු ය. එ මෙන් ම ඔහු
වෙනුවෙන් කනගාටුව පළ කිරීමෙන් ද වැළැකිය යුතු ය.
ආගමික අපහාස නීතිය සංශෝධනයට එරෙහිව පනස් දහසක පමණ පිරිසකගේ
සහභාගීත්වයෙන් පසුගියදා කරච්චි නුවර පැවැත් වූ රැස්වීමක දී
ටාසීර් ඝාතක කාද්රි වීරයකු මිස මිනීමරුවකු නො වන බව සඳහන් කැර
තිබේ. එම උද්ඝෝෂණය සංවිධානය කළ ජමාට් උද්තුවා සංවිධානයේ නායකයා
පවසා ඇත්තේ, ආගමික අපහාස නීතිය දිව්‍යමය වූවක් වන බැවින් එය
සංශෝධනය කිරීමට සැරසෙන ඕනෑම අයකුට අත්වන ඉරණම මරණය බව ය.
පන්ජාබ් ආණ්ඩුකාර ටාසීර් ඝාතනයත් සමඟ අපට සිහිපත් වන්නේ, 1984
දී ඉන්දියාවේ අගමැතිනී ඉන්දිරා ගාන්ධි මැතිනිය ඝාතනය කිරීමේ
සිද්ධිය යි. පන්ජාබයේ සීක් ජාතිකයන්ගේ ආගමික බෙදුම්වාදී
ව්‍යාපාරය මැඩලීම සඳහා සීක්වරුන්ගේ ශුද්ධ භූමිය වන අම්රිත්
සාර්හි රන්දෙවොලට 1984 දී එල්ල කළ හමුදා ප්‍රහාරයට පළිගැනීමක්
වශයෙන් සීක් ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින්
ඉන්දිරා ගාන්ධි මැතිනිය (1917 – 1984 ) මරුමුවට පත් විය. එය ද
ආගමික වුවමනාව මත කළ දේශපාලන ඝාතනයකි.
ආගමික පදනමක් මත පාකිස්තානය බිහිවීමේ කතාව ද මෙහි දී සිහිපත්
කළ යුතු ය. ඉන්දියාවේ මුස්ලිම්වරුන් සඳහා නව නිජබිමක් පිළිබඳ
සංකල්පය මුස්ලිම් කවියකු වන මොහොමඩ් ඉක්බාල් විසින් 1930 දී
ප්‍රචාරය කරන ලද්දකි. ඉන්දියාවේ මුස්ලිම්වරුන් වෙන ම ජාතියක්
යැයි කියන මතයේ පිහිටා දේශපාලනයේ නිරත වූ මොහොමඩ් අලිජින්නා
නිජබිම් සංකල්පයට නායකත්වය සැපයී ය. ඒ අනුව වයඹ දිග දේශසීමා
ප්‍රාන්තය, කාශ්මීරය, සින්ද් සහ බලුකිස්ථානය යන ප්‍රදේශවල විසූ
මුස්ලිම් ජනතාවට නව නිජබිමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින යෝජනාවක්
ජින්නා ගේ නායකත්වයෙන් ලාහෝරයේ දී පැවැති මුස්ලිම් සංගමයේ
සමුළුවක දී සම්මත විය. අවසානයේ එම යෝජනාව මල්ඵල ගන්වමින් 1947
අගෝස්තු මස 14 වන දා පාකිස්තානය උපත ලද්දේ ය. කෙ සේ වූව ද
හින්දු ආධිපත්‍යය නිසා මුස්ලිම්වරුන් භාරතයෙන් වෙන්වන තත්ත්වයට
පත් වූ බව ඔවුන් ඊට දෙන පිළිතුර යි.
පන්ජාබ් ආණ්ඩුකාර සල්මන් ටාසීර් ඝාතන සිද්ධිය පිළිබඳ ව සාකච්ඡා
කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ, ඉස්ලාම් ආගම හෝ පාකිස්තාන
ජනතාව හෙළා දැකීම නො වේ. ප්‍රචණ්ඩත්වයේ උපත අවබෝධ කැර ගැනීම
සඳහා අප පාඨකයන්ට සහාය වීම අප ගේ අරමුණ ය. මජ්ඣිම නිකායේ
මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රයේ සඳහන් කරුණක් ඒ සඳහා මෙහි දක්වමු.
මහණනි, කාමයන් හේතු කොටගෙන, කාමයන් නිදාන කොටගෙන, කාමයන් කරුණු
කොටගෙන, කාමයන්ගේ හේතුවෙන් රජවරු ද රජවරු සමඟ විවාද කරති.
බමුණෝ ද බමුණන් සමඟ විවාද කරති. ගෘහපතියෝ ද ගෘහපතියන් සමඟ
විවාද කරති. මව ද පුතා සමඟ විවාද කරයි. පුතා ද මව සමඟ විවාද
කරයි. පියා ද පුතා සමඟ විවාද කරයි. පුතා ද පියා සමඟ විවාද
කරයි. සහායකයා ද සහායකයා සමඟ විවාද කරයි. ඔවුහු එහි දී කෝලාහල
විරුද්ධකම් හා විවාද වලට පැමිණ ඔවුනොවුන්ට අතින් ද පහර දෙති.
කැට කැබලිති වලින් ද පහර දෙති. පොලුවලින් ද පහර දෙති. ආයුධ
වලින් ද පහර දෙති. ඔවුහු එහි දී මරණයට හෝ මරණය සමාන දුකකට හෝ
පැමිණෙති. මහණනි, මේ තමා විසින් ම දත යුතු වූ කාමයන්ගේ
ආදීනවයයි.
මේ තත්ත්වය තේරුම් ගැනීම ප්‍රචණ්ඩත්වයෙන් තොරවීමට ඇති එක ම මඟ
ය. |