UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කලාව යනු පිළිවෙළයි. කලාව හුදෙක් මිනිසා මුලා නොකර මලානික වු අදහස් සිත්සතන්හි ඇත්තේ වී නම් එයද ඉවත්කර යහපත් වූද දුරදර්ශී වූ ද වින්දනීය වූ ද මිනිස් සමාජයක් බිහිකරලීමට ඉවහල්වන්නකි. කලාවෙන් තොර මිනිසාද මිනිසාගෙන් තොර කලාවක් ද නැත. ඒ වූ කලී ගහට පොත්තත් පොත්තට ගහක් සේය. සමාජයේ පරීක්ෂණයට ද කලාව - උපකාරි වේ.

ඈත අතීතයේ භාරතීය ඉතිහාසය දෙස බලන කල බමුණු ආධිපත්‍ය මත කලාව යටපත් වී තිබුණි. කුල ගෝත්‍රවාදී සමාජ වටපිටාවක් තිබූ එදවස බමුණු කුලයම මේ කලාවේ ආධිපත්‍ය දරමින් කටයුතු කළ අතර සෙසු කුලයන්ට ඒ තුළ ඉඩක් නොතිබුණි. බඩවඩා ගැනීම හෙවත් උදර පෝෂණය ඒකායන අරමුණ කරගත් බමුණෝ සෙසු කුලයන් තම ආධිපත්‍යයට නතුකරවා ගත් හෙයින් කලාව කාලයාගේ වැලිතලාවෙන් යටපත් විණි. වේද කාලයේදී මිනිසාගේ ස්වාධීන චින්තන ක්‍රමය පශ්චාත් වේද කාලයේදී වියැකී යන්නට වූයේ මේ ආත්මාර්ථකාමී බමුණු ආධිපත්‍ය නිසාය. බුදුන්වහන්සේ ලොව පහළවීමත් සමඟම කලාව ක්‍රමක්‍රමයෙන් හිස ඔසවන්නට විය. නැණ පහන් එළිය විණ. මුළු පෙරදිග සංස්කෘතියම නොසිතූ® විරූ ලෙස වෙනස් වන්නට වූ හෙයින් කලාවේ කඩතුරාව විවර වුණි.

බුදුන්වහන්සේ නිලීන වූ මිනිසුන්ගේ සඛ්‍යතා පුබුදු කරන්නට වූ සේක. සොභාව සෞන්දර්යට මහත් ලෙස ඇලුම් කළ අප තථාගතයාණන් වහන්සේ දහම් දෙසුමේද ගහකොළ තාරකා මල් ආදී වූ පරිසර අලංකාරයන්ගෙන් මූලික කර ගනිමින් උපමා උපමේය හොඳින් ගෙනහැර පාමිණි. ඒ සුමධුරභාවය නිසා මිනිස් සිතට හොඳින් දහම කාවදින්නට විය. උන්වහන්සේගේ ඉපදීම බුදුවීම, පිරිනිවීමද යන තෙමඟුල සිදුවූයේ සොභාසෞන්දර්යයෙන් අනුන වූ පෙදෙසකය. එහෙත් මෙතෙක් ලොව බිහිවූ එකම අග්‍රගන්‍ය සෞන්දර්යවාදී උත්තමයන් වන්නේද බුදුන් වහන්සේය.

බොහෝ දෙනාගේ අදහස වන්නේ බුදුදහම පවතින්නේ ත්‍රී ලක්ෂණය මත පමණක් යැයි ද කලාව වූ කලී ගිහියාට පමණක් සීමා වී ඇති දෙයක් බවයි. නමුත් කලාව ඔප් නැංවෙන්නේ බුද්ධත්වයත් සමඟ බව දුහුනන් නොදනී. එහෙයින් කලාව බුද්ධ ශ්‍රාවකයාට අකැප මන්දැයි නැගෙන ප්‍රශ්නයයි. කලාව මූලික කරගනිමින් කලාවෙන් දහම් දෙසූ බුදුන් වහන්සේ තම ආයු සංස්කාරය අත්හරින්නට මද වේලාවකට පෙර විසාලා පුරවරය පිළිබඳව කළ සඳහන සිත්ගන්නා සුළු ය.

රමණීයං ආනන්ද වේසලි චේතියං උදේනං චේතියං ගෝතමකං චේතියං.......’

භික්ෂුවට කලාව නොහොබි යන මතය බොහෝ දෙනා ප්‍රකාශ කරනුයේ ත්‍රිපිඨක ග්‍රන්ථවල එන පාලි පාඨ දෙකක් ප්‍රධාන වශයෙන් මූලික කරගෙනය.

රුණ්ණමිදං භික්ඛවේ අරියස්ස විනයේ යදිදං ගීතං’

මහණෙනි, ගීතය හැඬීමක් වැන්න’

‘නච්ච ගීත වාදිත විසූක දස්සනා.....’

නැටුම් ගැයුම් වැයුම් වලින් වැළකීම

මෙවැනි වූ පාලි පාඨ දෙකක් පමණ මූලික කරගනිමින් බොහෝ දෙනා භික්ෂූන් වහන්සේට චෝදනා කරනුයේ බුදුදහම තුළින් කලාවට දී තිබෙන්නා වූ අනුබලය කෙතරම් දැයි නොදන්නා හෙයිනි. බුදුන් වහන්සේ අනුදැන වදාළේ

නතේ කාමායානි චිත්‍රාණි ලෝකේ
සංකප්ප රාගෝ පුරිසස්ස කාමා

මේ ආකාරයට සංයුක්ත නිකායේ දැක්වෙන පරිදි කාම රාගයෙන් තොර උසස් කලා රසිකත්වයක් වගාකර ගැනීමට බුදුදහමේ කිසිදු බාධාවක් නොමැති බව දේශනා කර ඇත. එනම් උසස් කලා රසිකත්වයක් වර්ධනය කරගත යුත්තේ බැඳීම් හා ඇලීම් උපාදානය කර ගැනීමෙන් ඇතිවෙන්නා වූ භයංකර තත්ත්වය තේරුම් ගෙන ප්‍රඥාගෝචර ලෙස කලා රසිකත්වය වින්දනය කරගත යුතුය. බුදුන් වහන්සේ කලා රසිකත්වය අගය කොට ඇති බවට කදිම නිදර්ශනය දැකගත හැකි වන්නේ දීඝ නිකායේ සක්කපඤ්ඤ සූත්‍රය තුළිනි. පංචසික විසින් වේලුව පණ්ඩු වීනාව නාද කරමින් ස්වකීය පේ‍්‍රමවන්තිය වූ සුරියවච්චසාවිකා පිළිබඳව රාග නිශි‍්‍රත ගායනයටත් වාදනයටත් සවන්දෙන වීතරාගී බුදුන් වහන්සේ වර්ණනා කළේ

‘සන්සන්දන්ති ඛො පන පංචසික තන්තිස්සරෝ ගීතස්සරේන ගීතස්සරෝ තන්තිස්සරේන....’

පංචසික, තගේ් තත් හඬ ගී හඬ සමඟද ගී හඬ තත්හඬ සමඟද මනාව සුසැදෙයි. තත් හඬ ගී හඬ නො ඉක්මවයි. ගී හඬ තත් හඬ නො ඉක්මවයි’ ලෙසිනි. පංචසිකයන් ගැයූ ගීතය බුදුන් වහන්සේ වර්ණනා කළේ උන්වහන්සේ තුළ තිබූ කරුණාබර වූ දයාර්ද සිත තුළ පවතින සෞන්දර්යවාදී ගුණය නිසාය.

එපමණක් ද නොව බුදුන්වහන්සේ ‘මහාසාල’ නම් බමුණකුට කවි තුනක් ඉගැන්වූ බවත් ‘මහාසාල සූත්‍රයේ’ සඳහන් වේ. වැදගත්ම කරුණ දක්නට ලැබෙනුයේ ‘සුත්ත නිපාතයේය’ එනම් ‘සෝණකුටිකණ්ණ’ නම් හිමියන් විසින් සූත්‍ර සොළසක් මිහිරි ලෙස ගායනා කළ පසු බුදුන් වහන්සේ උන්වහන්සේට ප්‍රශංසා කළ බව සඳහන් වේ.

බුදුදහම වින්දනය කොටස් දෙකකට බෙදා දක්වා තිබේ. එනම්

1 සරාගී වින්දනය
2. විරාගී වින්දනය ලෙසිනි.

සරාගී වින්දනය වූ කලී රාගික හැඟීමෙන් තම නෙත පිනවන සිතෙහි ඇලුණු යම් දෙයක් තමාටම අයිතිකර ගැනීමේ අදිටනින් ඒ දෙස බලා රාගික වින්දනයකට එළඹීමයි. එනමුදු බුදුදහම එම අන්තවාදී වින්දනය ප්‍රතික්ෂේප කරයි. විරාගී වින්දනය බුදුදහම අනුමත කරයි. රහතන් වහන්සේ විරාගිකව උපාදානය අත්හැර සුන්දරත්වය විඳියි. විරාගී වින්දනය තුළින් රහතන් වහන්සේ සාමාන්‍ය මිනිසා නෙත නොගැටෙන තැන්වලට ඇලුම් කරයි. සාමාන්‍ය මිනිසා සුන්දරත්වය දෙස බලන ආකාරයට නොව ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයට සුන්දර දේ දෙස නෙත් සිත් යොමයි. ඊට කදිම නිදර්ශනය හමුවන්නේ ධම්ම පදයේ අරහන්ත වග්ගයේ දස වැනි ගාථාව තුළය.

රමණීයණි අරඤ්ඤානි
යත්ථන රමතී ජනෝ
වීතරාගා රමෙස්සන්ති
නතෙකාම ගවෙසිනො’

අතිශයින් සුන්දර වූ ද රමණීය වූ කැලෑවලට සාමාන්‍ය මිනිසා ඇලුම් නොකරයි. නමුදු වීතරාගී වූ රහතන් වහන්සේ කාම රාගයෙන් තොරව උසස් රසිකත්වයක් ලබා ගන්නේ එවැනි තැන්වලට සිත් අලවා වාසය කිරීම තුළිනි.

රහතන් වහන්සේ සතු උසස් කලා රසිකත්වය කෙබඳුද? යන්නට ථෙර - ථේරී ගාථා මනාව උදාහරණ සපයයි. මෙහිලා සප්පක මහරහතන් වහන්සේ ගැන විමසා බලන්න.

යදා බලාකා සුචි පණ්ඩරව්ඡිදා
කාලස්ස මේඝස්ස භයේන තජ්ජිතා
පලෙහිති අලයමාලයෙසිනි
තදා නදී අජකරණී රමෙතිමං’

තැති ගනී දැක වැහි වළාවන්
විදාගෙන සිය සුදු පියාපත්
කොකුන් පියඹන නවාතැන් වෙත
නදිය අජකරණී
වේය මට හරි රමණී

සප්පක තෙරුන් අජකරණී නදිය අසබඩ කළ මෙම ප්‍රකාශය තුළින් උන්වහන්සේ තුළ තිබූ උසස් කලා රසිකත්වය මනාව කියාපායි. දිනක් ‘මුක්තා තෙරණිය’ උදම් වැනුවේ තුන් කුදයෙන් මිදුන පී‍්‍රතියටය.

මිදුණා මිදුණා තුන් කුදයෙන් මිදුනා
වංගෙඩියෙන් මෝල් ගහෙන්
කුදු සැමියාගෙන් මිදුණා
තණ්හාවෙන් මහ සසර දුකෙන් මිදුණා.

තවද අඩ්ඨකාසි වූ කලි කසි ජනපදයෙහි උපයන ධනයෙන් කාසි අඩක් උපයන්නියෙකි. ඈ වෛශ්‍යාවකි. එනමුදු ඈ එහි පවතින්නා වූ අස්ලීලභාවය හා අස්ථිරභාවය තේරුම් ගෙන පැවිදි වී රහත් තෙරණියක් වූවාය. මතු දැක්වෙන්නේ ඈ කළ උදානය යි. තමා පත් වූ විරාගය තුළින් පවා නිරාමිස පී‍්‍රති සුවයක් ලැබූ අපූරුව කියාපායි.

රහත් අම්බපාලි තෙරණියද සිය සිරුරේ තිබූ රූමත් බව පවා වර්ණනා කරන්නට වූවාය. නමුත් වියපත් වීමේදී එහි අසිරිය වැනසී ගොස් ඇති බව පෙන්වා දෙන ඇය අනිත්‍ය දුක්ඛ්‍ය අනාත්ම යන ධර්මතාවන්ගෙන් කිසිවෙකුට නිදහස් විය නොහැකි බව පෙන්වා දෙන්නේ නිර්ව්‍යාජවය. අම්බපාලි ථෙරණිය නිරපේක්ෂිත වින්දනයක් ලෙස චමත්කාරය වර්ණනා කොට එහි අනිත්‍යතාවය පෙන්වීමෙන් රාගයෙන් තොර චමත්කාරය වින්දනයේ තිබෙන්නා වූ ප්‍රබල බව ප්‍රකට කළහ. ‘වංගීස සූත්‍රයට’ අනුව ගිහිකළ හිටිවන කවි කී ‘වංගීස’ නමැත්තා පැවිදිව රහතන් වහන්සේ නමක් ලෙසද හිටිවන කවි කී බව සඳහන් වේ. බුදුන් බණ දෙසන අසිරිමත් මොහොත කවියෙන් වැනීමට සිතූ වංගීස තෙරණුවෝ බුදුන්ගෙන් අවසර ඉල්ලා මිහිරි ලෙස අවස්ථාව ගායනා කළහ. මෙය හොඳින් අසා සිටි බුදුන් වහන්සේ වංගීසය, ඔබට හිටිවන ගාථා තව තවත් වැඩිවේවායි වදාළහ.

තෙනහි Àවං වංගීස හිය්‍යොසොමත්තාය පුබ්බේ අපරිවිතක්කිතා ගාථායො පටිභාතූති

නිර්වාණ ප්‍රතිසංයුක්ත ගාථා නිර්වාණ විමුක්ත සිතකට එකඟ බව මින් ගම්‍යමානය. වීතරාගී උතුමන් වහන්සේලා රතියෙන් තොර උසස් කලා රසිකත්වයකට ඇලුම්කර ඇති අතර සුන්දර දේ සුන්දර ලෙස දැක අනතුරුව එහි පවතින්නා වූ සත්‍ය තේරුම් ගෙන යථාවබෝධයෙන් කටයුතු කරන්නට ඇත. ඒ කෙසේ වුවද බුදුදහම වූ කලී ත්‍රි ලක්ෂණය මතම පදනම් වූ දහමක් නොවන බව සඳහන් කළ යුතුමය.

යථාර්ථඥාණය ලත් රහතන් වහන්සේ පී‍්‍රතිමත් සැහැල්ලු හා සහනශීලි සත්පුරුෂයෙකු මිස අනිත්‍ය ගැන වැළපෙමින් සියල්ල පිළිකුල් කරමින් දුක්ඛිතව වසන පරාජිතයකු නොවේ. එනම්, මේ අනුව බලන කළ බමුණු බලය මැඩලා මිනිසාගේ ස්වාධීන චින්තන ක්‍රමය ඔප්නංවා අඳුරු වලා රොදට යටපත් වූ කලාව බුදුන් වහන්සේ විසින් ඔප් නංවන ලද්දක් හෙයින් බෞද්ධ භික්ෂුවකට නිරාමිස කලාත්මක වින්දනයක් අකැප වන්නේ මන්ද? එහෙත් බෞද්ධ භික්ෂුව උපාදානය අත්හල කලාත්මක වින්දනයක් තුළින් පී‍්‍රති සුවය විදිය යුතුමය. නැතිනම් ප්‍රතිවාදීන්ගේ් දුෂ්ඨෝපක්‍රම වලට හා අනුගාමිකයින් විචාර හිතත්වයෙන් කරන්නා වූ අවිචාරයන්ට භික්ෂුව හසුවීමට පුළුවන. භික්ෂුවක් බෞද්ධ භික්ෂුවගේ රාමුව තුළ ජීවත්විය යුතුය.

කලාවට වුවද යම් යම් සීමා බන්ධන පවතින බව බෞද්ධ භික්ෂුව අමතක නොකළ යුතුමය. කහවත දරාගත් භික්ෂුව ගිහියන් තුළ තිබෙන්නා වූ සිතුම් පැතුම් මත කලාව රස නොවිඳීය යුතුය.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]