UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සමාජ සමෘද්ධිය ඇති කිරීමට නම්

ධ්‍යාත්මික සංවර්ධනයෙන් තොර සැබෑ සංවර්ධනයක් ඇති නොවේ. මෙම සනාතන ධර්මය තේරුම්ගෙන ලෝකය, රට, ජාතිය සංවර්ධනය කිරීමට නම් අප හදවත් සකසා ගත යුතුය. අද සමාජය විවිධ විලාසිතාවන් නිසා සංකර වී ඇත. බාහිර ආටෝපයට මුල් තැන ලැබී ඇත.

හාරා අවුස්සා විමසා බැලුවොත් හරයක් ඇත්තේම නැත. සමාජයක යහපත් සාමාජිකයකු සේ ජීවත් වීමට නම් ඔහු තුළ යහපත් ගතිපැවතුම් හා ගුණාංග තිබිය යුතුය. සමාජයේ සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය සබඳතාව යහපත් ආකාරයෙන් පවත්වාගත යුතුය. බුදු දහමෙන් භෞතික සමාජ සබඳතා පවත්වාගත යුතු ආකාරය පැහැදිලි කර ඇත. මිනිසකු වශයෙන් උපන් පසු ඔහුට මිනිසකු සේම ජීවත්වීමට අනුගමනය කළයුතු, අනුගමනය කළ හැකි උදාර ක්‍රියා දාමයක් බෞද්ධ දර්ශනයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා, කළසේක.

මිනිසකු වශයෙන් උපන් ඔබත් මාත් අවදිව බැලිය යුත්තේ හදවතට තට්ටුකර ඇසිය යුත්තේ තමා තුළ කෙතරම් මිනිසත් දහම් තිබේද. තමා තුළ කෙතරම් බෞද්ධ ගති ගුණ තිබේද යන්නයි. පන්සල කේන්ද්‍රස්ථානය කරගත් ඈත අතීතයේ ගමක ජනතාව තුළ හැදියාවක් පැවතිණි ගමත්, පන්සලත් අතර සබඳතාව තුළින් මිනිසකු උපන් මොහොතේ සිටම හදවත් සකස් කිරීමක් පන්සලෙන් සිදුවිණි. කය වෙහෙසා වැඩකරන ජනතාව තම වෙහෙස නිවා ගැනීමට ශාන්ත පරිසරයක් ක්ෂේම භූමියක් සොයා ගියහ. ඒ ගමේ පන්සලයි විවිධ අසනීප සඳහා බේත් හේත් ලබාගැනීමට තම දරුවන්ට අකුරු උගන්වා ගැනීමට සහ නැටුම්, ගැයුම්, වැයුම් දැක්වීමට මෙන්ම බැලීමට පමණක් නොව ආරවුල්, නිරවුල් කර ගැනීමට පවා ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ සහාය පැතූ®හ. මේ නිසා පැහැදිලි නායකත්වයක් ඇති ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයක් බවට ගමේ පන්සල පත්විය. විදේශාධිපත්‍යයට ලක් වූ ලංකාව ඔවුන්ට වුවමනා අයුරින් පාලනය කර ගැනීමට ගමත් පන්සලත් අතර සබඳතාව කැඩිය යුතු බව තේරුම් ගත්හ.

ඒ අනුව අධ්‍යාපනය සඳහා මිෂනාරී පාසල්ද, වෙද හෙදකම් සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයද, ආරවුල් නිරවුල් කිරීම සඳහා උසාවි ක්‍රමයද, වෙහෙස නිවා ගැනීම් ආදිය සඳහා වෙනත් විනෝද ජනක ස්ථානද බිහිකළහ. මේ සියල්ල තුළින්ම සිදු වූයේ ගමේ නායකත්වය දියවී යෑමයි. ගමත් පන්සලත් අතර සබඳතාව බිඳීමයි. බටහිර අදහස් මුදුන්පත් වීමයි. සාමාන්‍ය ජනතාව අතරමං වීමයි. බුදු දහම පරලොව සඳහා පමණක්ය යන ආකල්පය ඇතිවන තත්ත්වයක් උදාවිමයි.

සංකර ගතිපැවතුම් වලින් ගහන වූ සමාජයකට, සමාජ සමෘද්ධිය පිණිස බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ උතුම් මාර්ගයෙහි පළමු පියවර වන්නේ වරදින් මුදා නිවැරැදි භාවයෙහි පිහිටුවීමයි. එය ආචාරශීලිවීම හෙවත් උතුම් පැවැත්මෙහි පිහිටීම ලෙස සලකනු ලැබේ. අපගේ ජීවිතය තුළ සැබෑ සමෘද්ධියක් ගොඩනඟා ගත හැක්කේ නිවැරදිව ගොඩනැඟෙන ආධ්‍යාත්ම පාරිශුද්ධත්වයත් සමඟය. ආධ්‍යාත්මය පාරිශුද්ධත්වය සදාකාලික සුවය වූ නිවන අරමුණු කරගත් ක්‍රියා මාර්ගයක් වුවද ඉන් මෙහා මෙලොව සාර්ථක සමෘද්ධිමත්වූ ජීවිතයක් උදෙසා බාධාවකින් තොරව මඟ පෙන්වයි.

අධික ලෙස ධනය ඉපයීම ජීවිතයේ සමෘද්ධිය ලෙස සමහරුන් කල්පනා කරතත් එය මුලාවක් බව පැහැදිලි වන්නේ වැරඳි ලෙස ගොඩනඟාගත් ධනය පුද්ගලයා ජීවත්ව සිටියදීම ඇතැම්විට නොයෙක් ආකාරයෙන් විනාශවී හෝ අහිමිවී යන නිසාය. මේ නිසා ආධ්‍යාත්ම පවිත්‍රතාව මුල් කොට ගොඩ නැගෙන සන්තුෂ්ටිය පරම ධනයක් ලෙස සංතුට්ඨි පරමං ධනං ...” යනුවෙන් සම්බුද්ධ දේශනාවෙහි සඳහන්ව ඇත. එකී ධනය පුද්ගලයාට මෙලොව මෙන්ම පරලොව සමෘද්ධිය පිණිසද හේතු වන්නකි.

ශ්‍රද්ධා, සීල, හිරි, ඔත්තප්ප, ශ්‍රැත, ත්‍යාග , ප්‍රඥා, යන කරුණුද ආර්ය ධන වශයෙන් හඳුන්වා තිබේ. ඒ සියල්ලම ආධ්‍යාත්මික පාරිශුද්ධිය හා බැඳුණු මෙලොවත් පරලොවත් යහපත පිණිස විපාක ලබාදෙන උතුම් චර්යාවන්ය. මෙලොව සාර්ථක ගෘහ ජීවිතයක් ගොඩ නඟා ගැනීමටත්, එය මුල්කොට සමෘද්ධිමත් සමාජයකට මාවත සකස් කර ගන්නා ආකාරයත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දී ඇත. කවර පුද්ගලයකුට වුවද මෙලොව ස්වභාවික සම්පත් උපයෝගී කොටගෙන ධාර්මික ලෙස ධනය ඉපයිය හැකිය. තම බුද්ධිය මෙහෙයවා ශිල්පීය ක්‍රම උපයෝගි කර ගනිමින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කළ හැකිය.

අරි අටඟි මගේ “ සම්මා ආජීවය” විස්තර කිරීමේදී බුදුරජාණන් වහන්සේ විසින් පුද්ගලයකුට ධනය ඉපයීම සඳහා නොකළ යුතු වෙළෙඳාම් ලෙස සතුන්, මත්ස්‍ය මාංශ, මත්ද්‍රව්‍ය වස විෂ අවි ආයුධ මෙන්ම වැරැදි කිරීම් මැනීම් ආදිය උපයෝගී කරගත් වෙළහෙළදාම් පහක් තහනම් කරනු ලැබ තිබේ.

වර්තමාන ලෝකයෙහි වඩාත් ධනය ඉපයීම පිණිස මෙම මිථ්‍යා ව්‍යාජ ක්‍රම උපයෝගී කරගනු ලැබේ ඒවා තමන්ගේවත්, අනුන්ගේවත්, යහපත පිණිස නොවන ක්‍රියා බව පැහැදිලි කරදී තිබේ.

මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ භයානක අවි වෙළෙඳාම නිසා මිනිස් වර්ගයා මුහුණපා ඇති බියකුරු ස්වභාවය අතිශයින් පැහැදිලි කරුණකි. මේ නිසා බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිපදාවන් කවරදාටත් ගැළැපෙන මිනිස් වර්ගයා කෙරෙහි අවධාරණය ‍ෙලස බලපාන නවීන ලෝකයේ මිනිස් සිතුම් පැතුම් හා සැසැඳිය හැකි බව මැනවින් පැහැදිලිය. ධනය ගොඩගසාගත් තරමින් මිනිස් ජීවිතයක් සමෘද්ධිමත් නොවන බව මේ අනුව පැහැදිලිය. මිනිසාට ස්වකීය ආශාවන් සපුරාගත හැක්කේ ඒවායෙහි සීමාවන් ගොඩනගා ගතහොත් පමණි. එසේ නොවූ විට කොතෙක් දේ ලැබුණද තෘප්තියක් කරා ළඟාවීමට හෝ සෑහීමකට පත්වීමට මිනිසාට නොහැකිය. මේ නිසා ජීවිතයේ අල්පේච්ඡතාව පමණක් නොව සැහැල්ලු බව ගොඩනඟා ගත යුතු බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කර තිබේ. එම ප්‍රතිපත්තීන් තුළ පිහිටා ක්‍රියා කළ හැක්කේ ජීවිතයේ ස්වභාවය හා ස්වකීය මනැස ගැන සැබෑ වැටහීමක් ගොඩනඟාගත් අයකුට පමණි. තම සිතිවිලිවලට වහල් නොවී සිත ධර්මයට අනුව මෙහෙයවා ගන්නට ශක්තිය ලැබූ පුද්ගලයාට එම ප්‍රතිපත්ති මත පිහිටා ජීවිතයේ සතුට කරා ගමන් කළ හැකිය.ආත්මාර්ථකාමීව ධනය උපයාගෙන තමා පමණක් යස ඉසුරු ගොඩනගාගෙන ජීවත්වීම බුදුදහමෙන් කිසිසේත් අනුමත නොකෙරේ. එවැනි වූ පුද්ගලයන්ට තමාකරා එන සියලු දුක් දොම්නස් තනියම විඳදරා ගන්නට සිදුවීමෙන් නිරන්තරයෙන්ම අසහනකාරී ස්වභාවයකින් ගත කිරීමට සිදුවේ.

ලබන්නා වූ සැප සම්පත් මෙන්ම දුක් දොම්නස්ද බෙදා හදා ගැනීමෙන් මිනිසාට සාර්ථක ලෙස ජීවිතයට මුහුණදිය හැකිය.

මේ නිසා පුද්ගලයා “ සද්පුරුෂ” සංකල්පයෙහි පිහිටා ඍජුව ක්‍රියා කළ යුතු යැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දී තිබේ. තමා ළඟ ගොඩගැසෙන ධනය තම ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීම සහ පරිභෝජනයට ගැනීමට සංවිධානශීලිව වැය කළ යුතු වන අතර ලාභ වශයෙන් වැඩිපුර තමන් ළඟ ගොඩ ගැසෙන ධනය තමන්ගේ මෙන්ම තම මාපිය දූදරු සොහොයුරු, සොහොයුරියන් සමඟ නෑදෑ හිතමිතුරන් අතරද ඒ අයගේ යහපත සඳහා ක්‍රමානුකූ®ලව වැය කිරීම සුදුසුය තුළින් පොදු සමාජ යහපත සැලසීම මෙන්ම ධනය මුල් කොට සමාජ පරතර ගොඩනගා ගැනීමෙන් වැළකී සිටීමටත් ඒ නිසාම ඇති අය විසින් නැති අයට අතහිත දීම මුල්කොට උස්මිටිකමින් තොරව වත් පොහොසත් කමින් සමාන මිනිස් සමාජයක් ගොඩනගාගන්නටත් හැකිවේ.

මේ නිසා එකිනෙකාගේ සම්පත් දෙස වෛරයෙන් බලා ද්වේෂ කරන්නට කිසිවකුට වුවමනාවක් ඇති නොවන අතර සමාජය තුළ සමානාත්මතාවයක් සහජීවනයක් ගොඩ නඟා ගැනීමට මඟ පෑදේ.

එබඳු වූ සමාජයක සහයෝගීතාවයත් සමඟියත්, නිරායාසයෙන් ගොඩනැගෙන බැවින් ඔවුන් විසින් කරනු ලබන සෑම ක්‍රියාවක්ම පොදු යහපත උදෙසා වූ ක්‍රියාමාර්ගයක් වන බැවින් සමාජ ප්‍රගතිය උදාකරගත හැකි වේ.

එබැවින් ජන හිතකාමිත්වය මිත්‍රත්වය, දයාව හා කාරුණික බව මෙන්ම සියල්ලන්ගේ සමෘද්ධිය දැකීමෙන් ගොඩනැඟෙන පොදු සතුටත් සියල්ල දෙස මධ්‍යස්ථතාවයෙන් බැලිය හැකි උපේක්‍ෂා ගුණයත් තහවුරු වේ.

බියෙන් තොර, නිදහස් සියල්ලන්ගේම දියුණුව තහවුරු කෙරෙන එබඳු සමෘද්ධිමත් ජන සමාජයක් ආදර්ෂමත් සමාජයක් ලෙසද බුදුරජාණන් වහන්සේ වර්ණනා කර තිබේ. එබැවින් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දෙසූ ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා කිරීමෙන් කවර දේශයක වුවද ජන සමාජයකට එම සමෘද්ධිය උදාකරගත හැකි වනු නොඅනුමානය.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]