ශ්‍රද්ධාව යනු කුමක්ද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලෙය්
දඹුල්ලේ සුදේව හිමි
සත්‍ය විශ්වාසය, ඇත්ත යන අදහස් පළ කරන “ශ්‍රත්” (ශ්‍රද්) යන අව්‍ය පදය
පූර්ව කොට ඇති ධා යන ධාතුවෙන් සෑදෙන “ශ්‍රද්ධා” යන වදනෙහි ‘සත්‍ය
විශ්වාසය දැරීම’ යන අදහස ගැබ් වී ඇත. පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත හිමි
පාලි සිංහල අකාරාදියේ දී සද්ධා යන්නට ශ්‍රද්ධාව, භක්තිය, ඇදහීම අය
අරුත් ලබාදී ඇත. සංස්කෘතයේ ශ්‍රද්ධා යනුවෙන් ද පාලියේ සද්ධා යනුවෙන් ද
සිංහලයේ සැදැහැ යනුවෙන් ද භාවිත වන මෙම වචනය එකම මූලයකින් හටගෙන ඇත.
ඇතැම් කෝෂග්‍රන්ථයක මේ සඳහා Loyalty (පක්‍ෂ පාතීභාවය) යන අදහස ද ලබාදී
ඇත.
යාශ්කාචාර්යවරයාගේ නිරුක්ති ග්‍රන්ථයට අනුව පැහැදිලි වන්නේ ‘සත්‍ය දරන’
යන අරුතින් ද “කිසියම් දෙවියෙකු කෙරෙහි උපදින යම් හැඟීමක්” යන අරුතින්
ද ශ්‍රද්ධා යන්න භාවිත වන බවයි. ඇතමෙක් පවසන්නේ ‘සං’ යන උපසර්ගය පූර්ව
ධා යන ධාතුවෙන් ‘සද්ධා’ යන්න සැකසෙන බවයි. ‘සං’ යන උපසර්ගයෙහි මනා ලෙස,
යහපත් ලෙස යන අදහස් ගැබ්වී ඇත. ධා ධාතුව දැරීම, පිහිටුවීම යන අදහස්
දරයි. ඒ අනුව සද්ධා යන්නෙහි මනාලෙස පිහිටුවීම, යහපත් ලෙස පිහිටුවීම යන
අදහස් ගැබ්වී ඇත. මෙහිදී කියවෙන්නේ සිත මනාව පිහිටුවීම සම්බන්ධව බව
පැහැදිලිය.
ශ්‍රද්ධාව යන වචනය පිළිබඳව විවිධ ආචාර්යවරුන් විසින් ඉදිරිපත් කර ඇති
විග්‍රහයන් පිළිබඳ විමර්ශනය කර බැලීම ද මෙහිලා වැදගත් වේ.
“සද්ධාති කම්මඵල සද්ධාය රතනත්තය සද්ධාය ච”
(කර්මඵල හා තෙරුවන් පිළිබඳ ඇදහීම සද්ධාව නම් වේ)
(උදානට්ඨකථා)
“සද්දහන්ති එතාය සයං වා සද්දහති සද්දහන මත්තමෙව වා එසාති සද්ධා,
(ඇදහීම, තමා පිළිබඳව හෝ ඇදහීම් මාත්‍රය සද්ධාව නම් වේ.)
(ධම්මසංගනීප්පකරණට්ඨකථා)
ථෙරවාදී ත්‍රිපිටකයේ ශ්‍රද්ධා සම්පදාව විස්තර කරන බොහෝ තැන්වල මෙම පාඨය
දක්නට ලැබේ.
“කතමාව ගහපති සද්ධා සම්පදා ඉධ ගහපති අරියසාවකො සද්ධෝ හොති, සද්දහති
තථාගතස්ස
බොධිං ඉතිපිසෝ භගවා... බුද්ධෝ භගවාති අයං වුච්චති ගහපති සද්ධා සම්පදා.”
ත්‍රිපිටකය, පාලි අට්ඨකථා, ටීකා, ප්‍රකරණ ග්‍රන්ථයන්හි ඇදහීම, විශ්වාස
කිරීම, පිළිගැනීම , ගෞරවයෙන් යුක්තව නොවිමසා පිළිගැනීම, විචාරාත්මකව
කරුණු විමසා බලා බුද්ධිගෝචර ලෙස පිළිගැනීම, පැහැදීම් පමණකින් ක්‍ෂණිකව
අල්ලා ගැනීම, භක්තිමත්වීම යන ආදි අදහස් රැසක් සඳහා ‘සද්ධා’ යන වචනය
භාවිත කර ඇත.
ඉහත දැක්වූ විග්‍රහයන් හා සමානාර්ථවාචී වචන දෙස බැලූ කළ සරල ලෙසම කිව
හැක්කේ බුදුසමයේ උගන්වන ශ්‍රද්ධාව වනාහි අවබෝධය හේතුකොට ගෙන ඇතිවන
නිසැක බව යන්නයි.
ප්‍රසාදය, භක්තිය ප්‍රේමය හා ශ්‍රද්ධාව
සද්ධා යන වචනයට අර්ථ දැක්වීමේදී ප්‍රසාදය, භක්තිය ප්‍රේමය යන වචන ද
භාවිත කෙරේ. එහෙත් ප්‍රසාදය, භක්තිය, පේ‍්‍රමය යන වචන බුදුසමයේ උගන්වන
ආකාර වති සද්ධාව හා නොගැලපේ. ශ්‍රද්ධා ජනනයෙහිලා ප්‍රසාද, භක්ති,
ප්‍රේම වැනි තත්ත්වයන් අවශ්‍ය බව මෙහිලා සැලකිය යුතුය. ශ්‍රද්ධාව යනු
මහා ප්‍රාසාදයක් නම් මෙකී තත්ත්වයන් එහි අත්තිවාරම ලෙස සැලකිය හැකිය.
ප්‍රසාදය, භක්තිය හා ප්‍රේමය වැනි තත්ත්වයන් වෙනස්වන ගතියෙන් හෙවත්
ලෝලත්වයෙන් යුක්ත බව.
“කථඤ්ච භික්ඛවෙ පුග්ගලො ලොලො හොති ? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ඉත්තර
සද්ධෝ හොති ඉත්තර භක්ති, ඉත්තර පෙමො ඉත්තර පසාදො ඒවං සො භික්ඛවේ
පුග්ගලෝ ලෝලෝ හොති.”
මහණෙනි, පුද්ගලයෙකු ලෝලත්වයට පත්වන්නේ කෙසේද? මොලොව ඇතැම් පුද්ගලයෙක්
ස්වල්ප වූ ශ්‍රද්ධා ඇත්තේ වෙයි, ස්වල්ප වූ භක්ති ඇත්තේ වෙයි, ස්වල්ප වූ
ප්‍රේමය ඇත්තේ වෙයි. ස්වල්ප වූ ප්‍රසාදය ඇත්තේ වෙයි. මෙසේ පුද්ගලයෙක්
ලෝලයෙක් වෙයි) යනුවෙන් අං. නිකායේ අවජානාති සූත්‍රයේ දක්වා ඇත. භය,
ද්වේෂය, ශෝකය වැනි තත්ත්වයන් ප්‍රේමය වැනි මනෝභාවයන් තුළින් ඇතිවිය
හැක.
පසාද සන්නද දෝෂ සහිත බව අංගුත්තර නිකායේ පුග්ගලප්පසාද වැනි සූත්‍රයන්හි
දැක්වේ. බුදුසමය භක්තිය අගය නොකරයි. ප්‍රේමය, ප්‍රසාදය යන මනෝභාවයන්ට
වඩා පහත් ස්ථානයක් භක්තියට හිමිවෙයි. කොටින්ම කියතොත් භක්තිවාදයක්
යන්තමින් හෝ බුදුසමය නොපිළිගනියි.
මේ අනුව පැහැදිලි වන්නේ සරල අදහසින් ප්‍රේමය, භක්තිය, ප්‍රසාදය වැනි
වචන සද්ධාව සඳහා සමානාර්ථයෙන් භාවිත කළද එම වචන බුදුසමයේ උගන්වන
ආකාරවති සද්ධාව සඳහා සාකල්ල්‍යයෙන්ම නොගැලපෙන බවයි.
අමූලිකා සද්ධාව හා ආකාරවතී සද්ධාව
විචාරයකින් හෝ අවබෝධයකින් තොරව, ඇතිකරගන්නා විශ්වාසය, ඇදහීම, භක්තිය
අමූලිකා සද්ධාව නමින් හඳුන්වයි. පිටක සම්ප්‍රදාය, ශ්‍රැති මාත්‍රය,
බබ්භරූපතාවය වැනි කරුණු සලකා ඇතිකරගන්නා අමූලිකා ශ්‍රද්ධාව බුදුසමයේදී
ප්‍රතික්‍ෂේප වෙයි.
බුදුසමය ආකාරවතී සද්ධාවම උතුම් කොට සලකයි. මජ්ක්‍ධිම නිකායේ විමංසක
සූත්‍රයට අනුව ආකාරවතී සද්ධාව විචාර පූර්වකව ඇතිකරගත යුත්තක් බව
පැහැදිලි වෙයි. එහි දැක්වෙන පරිදි “යම් පුද්ගලයෙකු භාග්‍යවතුන් වහන්සේ
සම්මා සම්බුද්ධ යැයි ද, ධර්මය මැනවින් ප්‍රකාශිත යැයි ද, සංඝයා
නිවැරැදි මඟට ප්‍රවිශ්ට වී ඇතැයි ද ස්ථිර වශයෙන් පිළිගැනිමට හේතු සහගතව
පැමිණේ නම් එය ආකාරවතී සද්ධාවයි. මෙය ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇතිකර
ගන්නා “අවෙච්චප්පසාදය” නමින් ද හඳුන්වයි.
බුදු සමය තුළ ශ්‍රද්ධාවට හිමි තැන
බුදු සමය තුළ ශ්‍රද්ධාවට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. නිර්වාණගාමී මාර්ගය
ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් කෙළවර වන බව බුදුසමය පිළිගනියි.
සත්‍යාවබෝධයෙහිලා පුද්ගලයාගේම ශක්තිය වැදගත් වන නමුදු නිරවද්‍ය
ශාස්තෘත්වයක මූලික අවශ්‍යතාව බොහෝ දෙනාගේ විමුක්තිය උදෙසා අවශ්‍ය වෙයි.
ඒ නිරවද්‍ය පණිවුඩය ලබාගැනීම උදෙසාය. එහිලා ශ්‍රද්ධාවේ ප්‍රායෝගික
අවශ්‍යතාවය අතිශය වැදගත් වේ. එහෙයින් බුදුසමය තුළ ශ්‍රද්ධාවට හිමිවන්නේ
මූලික ස්ථානයකි.
විමුක්තිය උදෙසා සපුරාගතයුතු ගුණධර්ම මාර්ගය දැක්වෙන විවිධ ස්ථානවල
ශ්‍රද්ධාව පළමු අංගය වශයෙන් ද ප්‍රඥාව අවසන් අංගය වශයෙන් ද සටහන් වී
ඇත.
1. සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා
2. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා
3. සද්ධා, සීල, හිරි, ඔතප්ප, සුත, චාග, පඤ්ඤා
4. සද්ධා, හිරි, ඔත්තප්ප, අනොත්ථද්ධ, පඤ්ඤා
5. සද්ධා, අප්පාබාධා, අසඨ ආරද්ධවිරිය, පඤ්ඤා
6. සද්ධා, සීල, බහුස්සුත, සුවච, කළ්‍යාණමිත්ත, ආරද්ධවිරිය, උපට්ඨිතසති,
සන්තුට්ඨී, සම්මාදිට්ඨි,
මේ අනුව පැහැදිලි වන්නේ නිවන කරා යන ගමනේ මූලික පදනම ශ්‍රද්ධාව වන
බවයි. නිවන අවබෝධ කරගන්නා තෙක් පුද්ගලයා තුළ පවතින ශ්‍රද්ධා චෛතසිකය
නිර්වාණාවබෝධයෙන් පසුව යළි පහළ නොවේ. එහෙයින් රහතන් වහන්සේලාට
ශ්‍රද්ධාව නැත. (අස්සද්දෝ) උන්වහන්සේලාට එය අවශ්‍ය ද නැත.
සම්මා දිට්ඨිය තුළද ශ්‍රද්ධාව පවතියි. සම්මා දිට්ඨිය ඇතිවන්නේ දුක ගැන
සොයා බැලීමෙනි. සම්මාදිට්ඨිය ඇතිවීම සඳහා පරතොඝෝෂයත්,
යෝනිසොමනසිකාරයත් ප්‍රත්‍ය වේ. දුක ගැන සෙවීම ශ්‍රද්ධාව ඇතිවීමට
හේතුවන බව උපනීස සූත්‍රයේ කියවේ. ශ්‍රද්ධාව ඇත්තා ගුරුවරයෙකු වෙත
එළඹෙයි.
දහම් අසයි. කරුණු සලකා බලයි. එම කරුණු වටහා ගනියි. ඒ බව කීටාගිරි
සූත්‍රයේ සඳහන් වේ. මෙහි ශ්‍රද්ධාව පරතෝසෝෂයට හා යෝනිසෝමනසිකාරයට හේතු
ප්‍රත්‍යව ඇති අයුරු පැහැදිලි වේ. මේ අනුව දුක ගැන ඇති හැඟීම, සෙවීම,
බැලීම දුක පිළිබඳ කරුණු පහදා දෙන්නෙකු හඳුනා ගැනීමටත්, එම හැඳින්වීම
ඔහු ඇසුරෙන් දහම් දැනගෙන එය විමසා බලා තේරුම් ගැනීමටත් මාර්ගය පාදන බව
විස්තර කෙරේ. ඒ දැනුම සම්මාදිට්ඨිය නම් මාර්ගාංගයමය. මෙලෙස බැලූ කල
පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි අංගයක් නොවූවත්
ආර්ය මාර්ගයෙහි මුල්ම අවස්ථාව එයින් ජනනය වන බවයි. මෙසේ සම්මා දිට්ඨිය
තුළ ශ්‍රද්ධාව ඇතුළත්ව පවතියි. බුදුසමයේ ඉගැන්වෙන ශ්‍රද්ධාවේ කාර්යභාරය
ශ්‍රද්ධාව මගින් ඉටුකෙරෙන ප්‍රධාන කාර්යභාරය නම් පුද්ගලයා සසුන්
පිළිවෙතට පිවිසීමත්, එහි ස්ථාවර බවට පත් කිරීමත් ය. දහම් ඇසීම තුළින්
බුදු සසුන කෙරෙහි පහදින පුද්ගලයා තුළ මුලින්ම ඇතිවන ශ්‍රද්ධාව ඉතා සරල
ප්‍රාථමික මට්ටමක පවතියි. ධර්මය පිළිබඳ විමසන, අර්ථය පිරික්සන ඔහු
සද්ධානුසාරී හා ධම්මානුසාරි තත්ත්වයන්ට පත්වීමත් සමඟම ශ්‍රද්ධාව මෝරා
වැඩෙයි. සෝවාන් ඵල ප්‍රාප්තියත් සමඟම ඔහු තුළ ශ්‍රද්ධාව ස්ථිර වෙයි.
‘සද්ධාවිමුක්ත’ ලෙස කීටාගිරි සූත්‍රය දක්වන්නේ මෙම ස්ථිර වූ තත්ත්වයයි.
මජ්ඣිම නිකායේ කීටාගිරි සූත්‍රය සසුන් පිළිවෙත අනුපූර්ව වශයෙන් වැඩීම
පිළිබඳව පැහැදිලි වන සූත්‍රයකි. පිරිපුන් ප්‍රඥාවක් නිවන් මඟ
ආරම්භයේදීම අපේක්‍ෂා කළ නොහැකි බවත් ශ්‍රද්ධාව පාදක කරගෙන
අනුපිළිවෙළින් ඒ කරා ගමන් කළයුතු බවත් කීටාගිරි සූත්‍රය දක්වයි.
(ම.නි.කීටාගිරි සූත්‍රය)
ශ්‍රද්ධාව හටගැණුන තැනැත්තා ඒ පිළිගත් ගුරුවරයා වෙත එළඹෙයි. ඔහු ඇසුරු
කරයි, ඔහුට සවන් යොමු කරයි, දහම් අසයි, අසන දහම් දරා ගනියි, දරාගත්
දහම්හි අරුත් විමසයි, වටහා ගනියි, දහම් වටහාගත්තහුට කැමැත්ත හටගනියි.
කැමැත්ත නිසා උත්සාහ කරයි. උත්සාහයෙන් තුලනය කරයි, තුලනය කිරීමෙන්
පහදියි, පැහැදීමෙන් සත්‍යවබෝධ කරගනියි. ප්‍රඥාවෙන් සත්‍යය මැනවින්
දකියි.
බුදුදහමේ අරමුණ සුගතිගාමී වීම නොවේ. එය යහපත් නමුත් ජරා මරණ දුකින්
නිදහස් වූවක් නොවේ. එහෙයින් සම්බෝධිපරායන වීම බුදු දහමේ මූලික අරමුණ බව
විශේෂයෙන් දතයුතුය. ඒ සඳහා ශ්‍රද්ධාව අතිශයෝපකාරී වේ. බුදු දහමේ
ඉගැන්වෙන ශ්‍රද්ධාව ප්‍රඥාවට සමගාමීව ගමන් කරන්නකි. ප්‍රඥාවෙන් තොරවූ
ශ්‍රද්ධාව නොපැහැදිය යුතු තැන්හි පැහැදීමට හේතුවන නිසා එය මෝඩ
ශ්‍රද්ධාව ලෙස අටුවාවල හා විශුද්ධි මාර්ගයේ විස්තර වේ.
සොතාපන්නවීමත් සමඟම ශ්‍රද්ධාව අචල වෙයි. හෙවත් ස්ථිර වෙයි. ශ්‍රද්ධාව
බලයක් වශයෙන් ද දක්වා ඇත. ශ්‍රද්ධාබලය දැකිය හැක්කේ සෝතාපත්ති අංගයන්හි
බව,
“කත්‍ථච සද්ධා බලං දට්ඨබ්බං චතුසු සොතාපත්තියංගෙසු, එත්‍ථ සද්ධාබලං
දට්ඨබ්බං”
යනුවෙන් අංගුත්තර නිකායේ බලදට්ඨබ්බ සූත්‍රයේ දක්වා ඇත. එකී සතර
වැදෑරුම් සොතාපත්ති අංග මෙසේ දැක්විය හැක.
1. කරුණු දැන බුද්ධ ප්‍රසාදයට පත්වීම
2. කරුණු දැන ධර්ම ප්‍රසාදයට පත්වීම
3. කරුණු දැන සංඝ ප්‍රසාදයට පත්වීම
4. අරියකන්ත සීලය හෙවත් ආජීව අට්ඨමක සීලයෙන් සමන්විත වීම.
මේ අනුව පැහැදිලි වන්නේ විමුක්ති මාර්ගය ශ්‍රද්ධාව සමඟ ඉතා සමීප
සම්බන්ධතාවයක් පවත්වන බවයි. ප්‍රඥාව අරමුණු කරගත් ඥාන විභාගීය
වටිනාකමකින් යුක්ත කරුණක් ලෙස ශ්‍රද්ධාව බුදුසමයෙහි ප්‍රකාශයට පත්වේ. |