සංස්කෘතික සාක්ෂරතාව
පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතු යැයි සෞඛ්‍ය
අමාත්‍යාංශය කැර ඇති යෝජනාව පිළිබඳ ව සමාජ සංවාදයක් ගොඩනැඟීම
අවශ්‍ය ය. බාල බාලිකාවන් විශාල වශයෙන් ගැබ් ගැනීම බරපතළ සමාජ
ප්‍රශ්නයක් වන බැවින් ඊට පිළියමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය
විසින් මේ යෝජනාව ඉදිරිපත් කොට තිබේ. දැනට වාර්තා වී ඇති
ආකාරයට බාල බාලිකාවන් හතළිස් දහසක් පමණ වසරකට ගැබ් ගනිති. මේ
තත්ත්වය අවම කිරීම සඳහා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය
අවුරුදු දහහතර හෝ පහළොව වැනි වයසේ සිට පාසල් දරුවන්ට ලබා දිය
යුතු බව සෞඛ්‍ය බලධාරීන් ගේ අදහසයි.
මේ ප්‍රශ්නය ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ කාරණයක් ලෙස
ලඝුකොට සැලැකිය යුතු නැත. කාමයේ වරදවා හැසිරීමෙන් වැළැකීමට
බෞද්ධ ආචාර ධර්ම පද්ධතිය යටතේ දිනපතා ප්‍රතිඥා දෙන අප
බෞද්ධයන්ට මෙය අමුතුවෙන් පහදා දිය යුතු කරුණක් නො වේ. කෙ සේ
වුව ද ශ්‍රී ලාංකිකයන් ගේ කාම ජීවිතය, ලිංගික හිංසනය හා
අධ්‍යාපනික දුර්වලතා ආදිය පිළිබඳ ව විධිමත් අධ්‍යයනයන් සිදු
කැරෙන බවක් අපි අසා නැත්තෙමු. එ බැවින් මේ තත්ත්වය අවබෝධ කැර
ගැනීමට මෙහි දී උපුටා දැක්වීමට ඇත්තේ, ආචාර්ය නන්දදේව විජේසේකර
මහතා විසින් 1955 වසරේ දී පළ කරන ලද ‘ලංකා ජනතාව ‘ නමැති කෘතිය
යි. සිංහල ජනතාව ගේ කාම ජීවිතය ගැන එහි මෙ සේ සඳහන් කැර
තිබේ.”
“ ශීත රටවලට වඩා කලින් බාල වයස්වල දීම ඇඟ පත හොඳින් වැඩෙන්නේ
පරීක්‍ෂණාත්මක ගතිය ද බාල කාලයේදී ම මුහුකුරා යයි. මේ සමගම ඇඟ
වසා ගැනීමේ අභිලාෂය ද ඔවුන් තුළ පහළ වේ. ලිංගික විෂයෙහි ගම්බද
ළමයි ස්වකීය නගර බද සහෝදර සහෝදරියන් තරම් විමසන සුලු නොවෙති.
මක්නිසා ද යත් වැඩිහිටියන් වැඩ කරන විට, නාන විට හෝ විවේක
ගන්නා විටත් ඔවුන්ගේ ඇඟපසඟ අනාවරණය වී තිබෙනු දක්නා බැවිනි.
ගම්වැසියෝ ඕනෑවට වඩා කෝල ගතියක් නොදක්වති. එ බැවින් ළමයින්ගේ
පරීක්‍ෂණාත්මක සිතත් විමසිලිමත් ඇසත් පිනවීමට ඇතිවන අවස්ථා
බොහෝ ය. නගරවල ළමයින්ට මෙ වැනි අවස්ථා නො ලැබෙන හෙයින් අවස්ථා
ලබා ගැනීම පිණිස ඔවුන්ගේ වේගවත් හැඟීම් මෙහෙය වෙයි. සිත් කැලඹී
අධිකතර වෙහෙසට පත් වේ. ඥානය මුහුකුරා යෑමත් කාමය පිළිබඳ
අවබෝධයත් කරණකොට ගෙන පහළ වන චිත්තෝද්වේගය නිසි මඟ යොදාලීම
අවශ්‍ය වෙයි. එහෙත් නිදහස් ශාරිරික ක්‍රියාවලට හා ජීව සන්තතියට
ජන සමාජයෙන් ඉඩ නොලැබෙන බැවින් කාමුක චේතනා සංසිඳුවා ගැනීමට
නිරන්තරයෙන් අයථා මාර්ගයෙහි යෑමට සිදුවී තිබේ.”
“ බාල බාලිකාවන්ට කාමෝද්වේගය පහළ වෙතත් ඊට හේතු කවරේද යන වගවත්
එය මැඩලීමේ පිළිවෙළවත් ඔවුහු නො දනිති. එ බැවින් යම් යම් දේ
අත්හදා බැලිය යුතු ව තිබේ. එක්කෝ ශිෂ්‍ය නිවාසයේ මාර්ගයෙන්
නැතහොත් වෙන මාර්ගවලින් එය ඔවුහු උගනිති. සිතේ කාමුක හැඟීම්
පහළවන මේ වයසේ ළමයින් ශරීරාංග සටහන් බිත්තිවල ඇඳීමෙන් තම අදහස්
ප්‍රකාශ කරන බව පෙනේ. හුදෙක් සිතුවිලි මාත්‍රයෙන්ම අඳින මේ රූ
සටහන්වල ශාරිරික ලක්ෂණ විද්‍යමාන නොවෙතත් බාලයන්ගේ මැඩලන ලද
කාමෝද්වේගයේ තත්ත්වය වටහා ගැනීමට ඒවා සහාය වෙයි. රූපයකින් හෝ
ලේඛනයකින් යමකුගේ සිතේ පහළ වූ නියම හැඟීම පැවැසේ. නොයෙක්
තහනම් නීති මධ්‍යයේ වුවත් මෙ තරම් ප්‍රකාශන සිදුවීමෙන්
පුද්ගලයකු කෙරෙහි බලපාන කාමාශාව කොතරම් උග්‍රදැයි සිතාගන්නට
පුළුවන.”
ළමයින් වැඩි වශයෙන් ඉගෙන ගන්නේ පාසලෙන් පිටත දී බව අප අමතක නො
කළ යුතු ය. එ සේ නම් සහජයෙන් උරුම වී ඇති ශාරිරික පෙළඹවීම
පන්ති කාමර අධ්‍යාපනය මඟින් සාර්ථක ලෙස පාලනය කළ හැකි ද?
හින්දු දේව පුරාණයේ කාමාශාව මූර්තිමත් කිරීම සඳහා යොදාගත් අනංග
සංකල්පය විමසා බැලීම මෙහි දී වැදගත් ය. මී මැසි වැළකින් සැදි
දුනු දිය සහිත උක් දඬු දුන්නක් අනංගයා සතු ය. රාගය නිසා ඇතිවන
උන්මාදන, තාපන, ශෝෂණ, ස්තම්භන, සම්මෝහන යන ශර පහෙන් අනංගයා
විදියි. ඒවා නෙළුම්, හෝපලු , අඹ, දෑසමන්, නිල්උපුල් යන මල් ලෙස
ද හැඳින් වේ. ගිරවුන් විසින් අදිනු ලබන රියක ගමන් බිමන් යන
අනංගයා ගේ බිරිඳ රති දෙව්දුව ය. වසන්තයේ දී කාමය උද්දීපනය වන
හෙයින් ඔහු ගේ සෙන්පතියා වන්නේ වසන්තය යි. අනංගයා අතිශයින්
රූමත් යැයි සැලැකේ.
මේ අනංග සංකල්පයෙන් කාමයෙහි යථා ස්වභාවය මැනවින් චිත්‍රනය
කැරේ. එහි අරමුණ වූයේ කුමක් ද? මිනිසා ගේ ශාරීරික පෙළඹවීම හා
රාගික සිතුවිලි ක්‍රියාකරන ආකාරය පිළිබඳ සංස්කෘතික සාක්ෂරතාව
ලබාදීම එහි අරමුණ විය. සංස්කෘතික සාක්ෂරතාව යනු හුදු විෂය
දැනුම ඉක්මවා ගිය ආනන්දයෙන් ප්‍රඥාව ලබා දෙන තත්ත්වයකි. එ බඳු
සංස්කෘතික සාක්ෂරතාව සහිත මිනිසකු වූ කරුණාරත්න අබේසේකර සූරීන්
ලියූ මිල්ටන් මල්ලවආරච්චි ගැයූ මේ ගී පද ඊට කදිම නිදසුනකි.
සංසාර සෙවණැල්ල ලෙස ආ පතාලා
ශෘංගාර රසදුන්නු කලතා පෙරාලා
සංස්කෘතික සාක්ෂරතාව සහිත සමාජයක් නිර්මාණය කිරීම මිස වෙනත්
විකල්පයක් මෙයට නැත. |