වප් පුර අටවක ඔක්තෝබර් 14 වනදා බ්‍රහස්පතින්දා
බුදුසරණ කෙටිකතා තරගය
ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට යෙදී ඇති 2600 වන
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පැවැත්වෙන අප ගේ කෙටිකතා
තරගයට අදාළ කොන්දේසි අද පත්‍රයේ 12 වන පිටුවෙහි පළ කැර තිබේ.
බෞද්ධ අනන්‍යතාව සාහිත්‍යාත්මක ව ඉදිරියට ගෙනයෑමේ ප්‍රයත්නයක්
මිස, මෙය හුදු ප්‍රචාරක උපක්‍රමයක් හෝ අලෙවි ප්‍රවර්ධන
වැඩසටහනක් හෝ නො වේ. බුදුදහමෙන් පෝෂිත අප සමාජයේ වර්තමානය
පිළිබඳ අනාගත සාක්කිකරුවන් ලෙස ක්‍රියා කිරීම සඳහා මේ
සාහිත්යික ඉසව්ව තෝරා ගත්තෙමු. කෙ සේ වුව ද මේ ප්‍රයත්නය
පිළිබඳ ව නිවැරැදි අවබෝධයක් පාඨකයන් තුළ ජනිත කිරීම අප ගේ
වගකීමකි. ඒ සඳහා අප ගේ සංස්කෘතික උරුමය හා සමාජ විඥානය හඳුනා
ගැනීම පහසු කැරෙන උපුටා ගැනීමකට මෙහි ඉඩකඩ සලසා ඇත. මේ උපුටා
ගැනීම කේ. ජයතිලක සූරීන් ලියූ ‘නූතන සිංහල නවකතාවට සංස්කෘතික
පසුබිම’ නමැති කෘතියෙනි.
‘බුද්ධාගම මුල් බැස ගැන්ම ද මෙරට සංස්කෘතිය අදීන එකක් කිරීමෙහි
ලා හේතුක විය. මා එ සේ කියන්නේ දර්ශනයක් හැටියට බුද්ධාගමෙහි
ඇති හේතුවාදී නිවහල් ස්වරූපය පමණක් සලකා නො වේ. එහි ඓතිහාසික
ගමන ද සලකාගෙන ය. බුද්ධාගම උතුරු ඉන්දියාවෙන් තුරන් වීමෙන් පසු
ලංකාව එම ප්‍රදේශය හා සංස්කෘතික සම්බන්ධකම් පැවැත්වීම නතර විය.
නැතහොත් බොහෝ දුරට අඩු විය. දකුණු ඉන්දියාව විශාල වශයෙන් වෙනත්
ආගම් ඇදහීම නිසා මිත්‍රමය වූ සංස්කෘතික කටයුතු හුවමාරුවක්
ඔවුන් සමඟ ඇති නොවී ය. ද්‍රවිඩ සංස්කෘතිය සිංහල සංස්කෘතිය කෙරේ
ඇති කළ අවිඥානක බලපෑම අතිශයින් විශාල වූවත් පසු කාලවල
සංස්කෘතික සම්බන්ධතාවන් ඇති කැර ගැනීම අවශ්‍ය වූ අවස්ථාවන්හි
දී ලංකාව සවිඥානකව නම් කෙළේ බුරුමය, සියම, කාම්බෝජය, ජාවා,
සුමාත්‍රා වැනි දුරින් පිහිටි බෞද්ධ රටවල් සොයා යෑමය. ඉතිහාසයේ
ඉතාමත් ම දුර්භාග්‍ය කාලවලදී පවා මීට පටහැනි ක්‍රියාමාර්ගයක්
අනුගමනය කිරීමට සිංහලයෝ මැළි වූහ. එ වැනි අවස්ථාවන්හිදී මේ
රටවල සහයෙන් ඇති කරන ලද සියම්, රාමඤ්ඤ, අමරපුර යන නිකායත්‍රය
තවමත් මෙහි බලපවත්වයි. මේ නිකාය ප්‍රතිෂ්ඨාපනය ආගම පිළිබඳ
සිද්ධියකට වැඩියෙන් සංස්කෘතික අංශ අතින් සිංහලයා දැක් වූ
ආකල්පය විදහා දක්වන්නකැයි හැඟේ. සෙනරත් පරණවිතාන, ලංකාව හා
මලයාසියාව, යන ග්‍රන්ථයේ දක්වන කරුණු ඒ හැටියෙන් ම පිළිගැනීම
දුෂ්කර වූවත් මුළුමනින් ප්‍රතික්ෂේප කිරීමට ද නුපුළුවන.
සංස්කෘතික අතින් ඉන්දියානු සංස්කෘතියට යට වීමට හෝ එහි
ශ්‍රේෂ්ඨත්වය පිළිගැනීමට අවශ්‍ය වූයේ නම් නො යෙකුත් ඉන්දියානු
ජනපද කළාක් මෙන් ලංකාව ද මුලින් ම කළ යුතුව තිබුණේ බුද්ධාගම
අතහැර හින්දු ආගම වැලැඳ ගැනීම ය. එ හෙත් ලක්‍ෂ ගණනින්
ක්‍රිස්තු භක්තිය වැලඳ ගත් සිංහලයන් අතර හින්දු සමය වැලඳ ගත්
එකම වැදගත් පුද්ගලයා හැටියට දැක්විය හැක්කේ පළමුවැනි රාජසිංහ
රජු පමණකි.’
අප ගේ කෙටි කතා තරගය සඳහා ඉදිරිපත් කළ යුත්තේ බෞද්ධ අනන්‍යතාව
සහිත නිර්මාණ පමණක් යැයි සඳහන් කොන්දේසිය හුදු ආගමික වුවමනාවක්
ඉක්මවා ගිය ගැඹුරු සමාජ සබඳතා පිළිගැනීමක් බව ජයතිලක සූරීන්ගේ
එම පැහැදිලි කිරීමෙන් වටහා ගැනීමට පුළුවන. කිසියම්
සාහිත්‍යාත්මක නිර්මාණයක් මඟින් අනාගත සාක්කිකරුවන් වන්නේ කෙ
සේ ද යන්න පැහැදිලි කිරීම මෙහි දී අවශ්‍ය ය. පැරැණි හා වර්තමාන
සාහිත්‍යකරුවන් ගේ මෙහෙවර පැහැදිලි කැරෙන මේ උපුටා ගැනීම
මහාචාර්ය විමල් දිසානායක සූරීන් ගේ ‘විවාදාත්මක ලිපි’ නමැති
කෘතියෙනි.
‘බැලූ බැල්මට පැරණි සාහිත්‍යයත් වර්තමාන සාහිත්‍යයත් අතර විශාල
අන්තරයක් ඇති බවක් පෙනේ. පැරණි සිංහල ගද්‍ය පද්‍ය කෘති බිහි
වූයේ සරල කෘෂිකාර්මික සමාජයක ය. එහෙත් අද අප ජීවත් වන්නේ
බෙහෙවින් සංකීර්ණ වූ අර්ධ කාර්මික සමාජයක ය. කරුණු මෙ සේ
හෙයින් පුරාතන සාහිත්‍ය කෘතිවලින් නූතන ලේඛකයන්ට හා රසිකයන්ට එ
තරම් ප්‍රභාවයක් නො ලැබිය හැකිය යන්න යුක්තිපූර්ණ මතයක් සේ
පෙනෙන්නට පුළුවන. වර්තමාන සමාජයත්, සමාජයේ උත්තර පිළිබිඹුව වන
සාහිත්‍යයත්, කාලයත් සමග ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වන්නකි. පැරණි
සිංහල සමාජයත්, සාහිත්‍යයත් කෙරෙහි දැඩි ලෙස බලපෑවේ භාරතීය
සංස්කෘතියයි. එහෙත් අද්‍යතන සමාජය හා සාහිත්‍යය කෙරෙහි දැඩි
ලෙස බලපාන්නේ බටහිර සංස්කෘතියයි. පැරැණි සාහිත්‍ය කෘතිවලින්
නිර්ගමනය වන්නේ පුද්ගලවාදී දෘෂ්ටියක් නො වේ. පැරණි ලේඛකයන්
ජීවත් වූයේ පුද්ගල ඕනෑ එපා කම්, රුචි අරුචිකම් වලට වඩා සමාජයේ
පොදු පැවැත්ම උතුම් කොට සලකන ලද යුගයක බැවිනි. එහෙත් වර්තමාන
යුගයේ දී සමාජයේ පොදු පැවැත්මට වඩා පුද්ගල රුචි අරුචිකම්
කෙරෙහි සැලකිල්ල යොමු වී ඇත. චිරත්තන සිංහල ගද්‍ය පද්‍ය
කෘතිවලින් බොහෝ දුරට නිරූපණය වන්නේ රාජ රාජ මහාමාත්‍යාදීන්
ප්‍රමුඛ කුලීනයන් ගේ ජීවිතයයි. එහෙත් නවීන සිංහල සාහිත්‍ය
කෘතිවල වැඩි වශයෙන් නිරූපිත ව ඇත්තේ පොදු ජනයාගේ ජීවන
ප්‍රවෘත්තියයි.’
මේ වියතුන් දෙදෙනා ගේ පැහැදිලි කිරීම අනුව ආගම, සංස්කෘතිය හා
සාහිත්‍යය අතර ඇති බැඳීම අප පාඨකයන්ට හොඳින් අවබෝධ වනු ඇත. එ
බැවින් මේ කෙටිකතා තරගය අප ගේ ධර්ම සන්නිවේදන කාර්යයේ ම එක්තරා
දිගුවක් බව වටහා ගැනීම අපහසු නො වේ. |