UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අෂ්ට මහා පුරුෂ විතර්ක

ලෝභය, ද්වේශය, මෝහය මුල්කරගෙන අපගේ සිතෙහි කෙලෙස් එක්දහස් පන්සියයක් ඇත. එමනිසා අප සිත තුළ පමණක් නොව, පුද්ගලයන් අතර, සමාජ අතර, අපමණ ගැටලු ඇතිවී මුළුමහත් සමාජයම ගැටලු වලින් වෙලී පැටලී විසැඳුම් සොයාගත නොහැකි තත්ත්වයකට පත්වී ජන සමාජයම අතරමං වී සිටින බව, අන්තොජටා බහිජටා ජටාය ජටිතා පජා යන මෙම ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. මෙම කෙලෙස් නැති කිරීමෙන් ලබන චිත්ත විවේකය ලබා ගන්නට අප හැම බුදුබණ ඇසිය යුතුය. එය සිතෙහි දරාගත යුතුය. ඒ අනුව හැසිරිය යුතුය.

අපගේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ විසින් අනුරුද්ධ මහ රහතන් වහන්සේට දේශනා කරන ලද ‘අනුරුද්ධ සූත්‍රය’ ඇසුරින් ‘අෂ්ට මහා පුරුෂ විතර්ක’ පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරමි. ඒ මෙසේය.

1. සිව්පසය පිළිබඳ අල්පේච්ඡතාවය

මෙයින් පැහැදිලි වන්නේ, යම් භික්ෂුවකට ලැබෙන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයේ ප්‍රමාණය අනුව සතුටුවීමය. ලැබෙන සිව්පස අඩුනම් සිතේ කලකිරීම ඇතිකර ගන්නේ් නැතිව, ලද දෙයින් සතුටු වී ඒවා කළමනාකරණයෙන් යුතුව පරිහරණය කිරීම, ‘පච්චය අප්පිච්චතාවය’ යි. හෙවත්, සිව්පසය පිළිබඳ ‘අල්පේච්ඡතාවය යි’.

එසේම, යම් භික්ෂුවකට සිවුරු පිරිකර ආදිය අප්‍රමාණ ලැබේනම්, ඒවා දෙස බලා ආඩම්බර වේනම්, අන් අයට මට තරම් භාණ්ඩ නැත යනුවෙන් උදම් ඇනීම කරන්නේනම්, එයින් ඔහු ළඟ “අපිස් බව‘’ නමැති උතුම් ගුණය නැතිවී යයි. භික්ෂූන් වහන්සේ ළඟ තිබිය යුතු මෙම උතුම් ගුණය තෙරුවන් සරණ ගිය බෞද්ධ ගිහි සමාජයේ හැම දෙනා ළඟද තිබිය යුතු ය. එවිට ඔවුන්ගේ ජීවිත සරුමඟට හරවන්නට, සරල කරන්නට, සතුටින් ජීවත් කරවන්නට, අතිශයින් උපකාරී වේ. එමනිසා ගිහි බෞද්ධයන් වන අපද මෙම උතුම් ගුණය අපගේ ජීවිතවලටද සම්බන්ධ කර ගනිමු.

2. ධර්මය පිළිබඳ අල්පේච්ඡතාවය

බුදු දහම අනුව ජීවත්වන ගිහි පැවිදි හැම දෙනාගේම ජීවිත සරල බවට, අපිස් අපට අනිවාර්යයෙන්ම පත්වෙනු ඇත. ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියා මාර්ග තුනක් ඇත. එනම්, පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන අවස්ථාව පර්යාප්තියනු, බුදුදහම මනාව හැදෑරීමය. එසේ ත්‍රිපිටක ධර්මය හොඳට ඉගෙනගත් පසු ඒ අයට ත්‍රිපිටකවේදී, ත්‍රිපිටකාචාර්ය ආදි උපාධි ලබාගත හැකිය. එම තනතුරු ලබාගත් අය, එම උපාධිය නිසා අන් අයට වඩා මම ත්‍රිපිටක ධර්මය දන්නව කියා උඩඟුවේ නම්, ඔහු ළඟ ධර්මය පිළිබඳ අපිස් බව නැත. එමනිසා අන් අය ඔහුට ගෞරව නොකරයි. යමෙක් එසේ උඩගු නො වන්නේ නම්, අන් අය ගරු කරයි. ප්‍රශංසා කරයි. පිළිගනියි.

ප්‍රතිපත්තිය යනු, මනාව ඉගෙන ධර්මය අනුව තම ජීවිතය හැඩගසා ගැනීම ය. ධර්මානුකූ®ලව ජීවිතය ගතකරන තැනැත්තා එයින් උඩඟු වී අන් අය මම තරම් දහමට අනුව ජීවත්වන්නේ නැත කියා ඔවුන් පහත් කරන්නේ නම් හෝ හෙළා දකින්නේ නම් හෝ ඔහු ළඟ මෙම අල්පේච්ඡතාවය නැත. යමෙක් එසේ නොකරන්නේ නම්, ඔහු ළඟ ධර්මය පිළිබඳ අපිස් බව ඇත. එම උතුම් ගුණය නිසා ඔහු ගිහි පැවිදි හැම දෙනාගේම ගෞරවයට ප්‍රශංසාවට පිළිගැනීමට ලක්වෙනු ඇත.

ප්‍රතිවෙධ යනු - බුදුදහම මනාව අවබෝධ කර ගැනීමය. යමෙක් තමන් මනාව අවබෝධ කරගත් ධර්මය ගැන උදම් අනමින් තමන්ගේ දහම් දැනුම අන් අයට ප්‍රදර්ශනය කරන්නට ඉදිරිපත් නොවන්නේ්නම්, ඔහු ධර්මය පිළිබඳ අල්පේච්ඡතාවයෙන් යුතු අයෙක් වන්නේ ය. එවිට ඔහු හැමගේ ගෞරවයට ප්‍රශංසාවට, පිළිගැනීමට ලක්වෙයි.

එමනිසා, තමන් මනාව අවබෝධ කරගත් ධර්මය අනුව තම අධ්‍යාත්මය දියුණු කර ගනිමින්, කටයුතු කරන තැනැත්තාට මනස අවුල්කරගන්නේ නැතිව සතුටින් ජීවත්විය හැකිය. භෞතික සම්පත්වලින් ලබාගත නොහැකි සතුට, ධර්මය අනුව ජීවත්වීමෙන්, ධර්මය මෙනෙහි කිරීමෙන්, ලබාගත හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එමනිසා, ගිහි පැවිදි අප හැම දෙනාම ධර්මය පිළිබඳ අල්පේච්ඡතාවයෙන් යුතුව ජීවත් වෙමු.

3. බුදු දහම විවේකයෙන් සිටින අයට ය

ආධ්‍යාත්මික සතුටෙන් සිටින අයට මෙන්ම, විවේකයෙන් සිටින අයටද බුදුදහමෙන් විපුලඵල නෙළා ගත හැකි ය. මෙහිදී විවේකය කොටස් තුනකට බෙදා ඇත. එනම්,

1. කායික විවේකය
2. චිත්ත විවේකය
3. උපධි විවේකය යනුවෙන්ය.

‘කායික විවේකයනම්’ කය වෙහෙසීම කිසියම් කාල සටහනකට අනුව සිදු කිරීම ය. එසේ කරන විට කයට විවෙකයක් ලැබේ. එමනිසා අධික වෙහෙසක් කයට නොදැනේ. කය නිරෝගී වේ. ගත සිත ප්‍රබෝධ වේ. එමනිසා ආගමික පැත්තට නැඹුරු වේ. බුදු බණ අසන්නට ඇසූ බණ ධාරණය කරගන්නට, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්නට පුද්ගලයා පෙළඹෙනු ඇත. එය ඔහුගේ දෙලොව සරුවීමට හේතුවේ. එමනිසා බුදුදහම විවේකයෙන් සිටින අයට බව දේශනා කර ඇත. මේ අතර, විවේකයෙන් තොරව වැඩකරන අයද ඇත. එයට එක් හේතුවක් නම්, ලද දෙයින් සතුටු නො වීමය. තවත් දුර්වලකමක් නම් ලැබෙන ආදායම මනා කළමනාකරණයකින් යුතුව පරිපාලනය කරගෙන යාමේ අවබෝධය නැතිකමය. එවැනි අය වැඩපළේ ආයතනයේ නිවසේ ජීවත්වන්නේ සතුටින් නො වේ. අසහනයෙනි. ඔවුන්ට මිතුරන්, ඥාතීන් නැත. ආගමක් නැත නිවසේ හෝ බුදුරදුන් උදෙසා මල් පහන් පුදා තෙරුවන් නමදින්නට විවේකයක් නැත. ගමේ පන්සලට ගොස් ස්වාමීන් වහන්සේ හමුවීමට, ත්‍රිවිධ චෛත්‍ය වැඳ, බණ අසන්නට කාය, විවේකයක් නැත. වසරකට එක් වතාවක්වත් අඹුදරුවන් සමඟ වන්දනා ගමනක් යාමට තරම්වත් විවේකයක් නැත. මුදල් සෙවීමට කාලය, ශ්‍රමය වැය කරයි. එමනිසා කායික, මානසික නිරෝගී බවද නැත. එවැනි අයට බුදුදහමෙන් දෙලොව යහපත ගැන පැවසෙන කරුණු දැන ගන්නට අවස්ථාව නැත. එමනිසා ඔවුන්ගේ් දෙලොව පිරිහේ.

‘චිත්ත විවේකය’ නම් සිතේ පවතින නිදහසය. ලිහිල් බවය, සැනසීමය. සැහැල්ලු බවය. යමෙකුගේ සිතෙහි ප්‍රාර්ථනා අපේක්ෂා අඩුනම් බිඳ වැටෙන ප්‍රාර්ථනා, අපේක්ෂා ප්‍රමාණයද අඩුය. එමනිසා, සිතේ වේදනා ඇතිවන ප්‍රමාණයද අඩුය. එවිට චිත්ත විවේකයද මනාව පවතී. කරන කියන සිතන සියලු දේ නිරවුල් ය. පැහැදිලිය. එවැනි සිතක ව්‍යාපාදය, තරහ, ක්‍රෝධය, වෛරය ආදී අකුසල් සිතිවිලි පහළවීමේ වේගය ඉතා අඩුය. එමනිසා සිත නිරවුල්ය. පිනට බරය. දාන සීල, භාවනා ආදී පින්දහම් කරන්නට නැඹුරු වෙයි.

ලෝකය, ජීවිතය, සමාජය ගැන යථා තත්ත්වය අවබෝධ වෙයි. සිත නිරවුල් වෙයි. ගිහි ජීවිතය සාර්ථක වෙයි. චිත්ත විවේකය නිසා මෙම ප්‍රතිලාභ ලබාගන්නා අතර, බුදුදහමට අනුව ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනඟාගෙන මානසික ආතතිය දුරුකර ගෙන ලෝකෝත්තර තත්ත්වයට මනස නැඹුරු කර ගැනීමට දක්ෂ වෙයි. එමනිසා බුදුදහම චිත්ත විවේකයෙන් සිටින අයට බව පැහැදිලි වෙයි.

‘උපධි විවේකය’ නම් කෙලෙස් නැති කිරීමෙන් සිතේ ඇතිවන විවේකයයි. ලෝභය, ද්වේශය, මෝහය මුල්කරගෙන අපගේ සිතෙහි කෙලෙස් එක්දහස් පන්සියයක් ඇත. එමනිසා අප සිත තුළ පමණක් නොව, පුද්ගලයන් අතර, සමාජ අතර, අපමණ ගැටලු ඇතිවී මුළුමහත් සමාජයම ගැටලු වලින් වෙලී පැටලී විසැඳුම් සොයාගත නොහැකි තත්ත්වයකට පත්වී ජන සමාජයම අතරමං වී සිටින බව,

අන්තොජටා බහි ජටා
ජටාය ජටිතා පජා

යන මෙම ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. මෙම කෙලෙස් නැති කිරීමෙන් ලබන චිත්ත විවේකය ලබා ගන්නට අප හැම බුදුබණ ඇසිය යුතුය. එය සිතෙහි දරාගත යුතුය.

ඒ අනුව හැසිරිය යුතුය. එවිට මෙම රුදුරු ගොර සසරේ ගමන නවතා ගත හැකිය. ඒ අනුව පැහැදිලි වන්නේද, බුදුදහමින් නියම ප්‍රයෝජනය ගන්නේ චිත්ත විවේකය ඇති අය බවයි.

4. බුදුදහම වීර්ය ඇති අය සඳහාය

ආරද්ධ විර්යස්ස ධම්මො
නායං ධම්මො කුසීතස්ස’

මෙම පාඨයෙන් පැහැදිලි වන්නේ බුදුදහම වීර්ය ඇති අය සඳහා ය. වීර්ය නැති අය සඳහා නොවේ. යන අදහස ය. ‘වීර්ය’ යනු පාරමිතාවකි. තමන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉටුකර ගත හැක්කේ නොපසුබස්නා වීර්යයෙන් කටයුතු කරන අයටය. ඒ බව බෝසතාණන් වහන්සේ පාරමිතා පුරණ අවධියේ වීර්ය පාරමිතාව සම්පූර්ණ කළ ආකාරයෙන් පැහැදිලි වේ. වීර්ය ගිහි, පැවිදි, බාල, තරුණ, මහළු යන හැම දෙනාටම අත්‍යවශ්‍ය චිත්ත ශක්තියකි. සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් හික්මීමට අපේක්ෂා කරන සියලු යෝගීන්ටද මෙම වීර්ය අවශ්‍යයි. ලෞකික වශයෙන් ගිහි ජීවිතය දියුණු කර ගන්නට ද පැවිදි දිවිය ලෝකෝත්තර වශයෙන් දියුණු කරගන්නට ද, වීර්ය අවශ්‍යයි. මේ අනුව බුදුදහම වීර්ය ඇති අය සඳහාය. යන්නට මනාව පැහැදිලි වේ.

5. බුදුදහම මනා සිහිය ඇති අය සඳහාය

බුදුදහම අවබෝධ වන්නේ එළඹ සිිටි සිහියෙන් සිටින අයට මිස, එසේ නැති අයට නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එමනිසා සිහිය මනාව පිහිටුවා ගැනීමට ක්‍රම හතරක් පෙන්වා ඇත.එනම්,

1. කය පිළිබඳ සිහිය
2. සිත පිළිබඳ සිහිය
3. වේදනාවන් පිළිබඳ සිහිය
4. ධර්මතා පිළිබඳ සිහිය

මේවා ‘සතර සතිපට්ඨානය’ නමින්ද හැඳින්වේ. මෙම ක්‍රම සතර අනුව සිත පිහිටුවා ගත්විට සිහිය තමන් ළඟ පවතී. එවිට අසන, දකින, දේ අමතක නො වේ.

සිතේ ධාරණය වේ. අවශ්‍ය විටෙක දී මෙනෙහි කර ගැනීමේ ශක්තිය ද ඇතිවේ.

6. මෙම ධර්මය සිත සංවර කරගත් අයටය

ඒ බව ‘සමාහිතස්සායං ධම්මො නායං ධම්මො අසමාහිතස්ස’ යන දේශනා පාඨයෙන් පැහැදිලි වෙයි. සිත සංවරවීමට නම්, අපිරිසුදු චේතනාවලින් සිත නිදහස් කරගත යුතුය. බොහෝ දේ මනාව පෙනෙන්නේ පිවිතුරු සිතටය. එමනිසා වෛරය, ඊර්ෂ්‍යාව ආදි දූෂිත සිතිවිලි සිතින් අයින්කර ගත යුතුය. එවිට සිත සංවර වෙයි. ධර්මය අවබෝධ වෙයි.

7. මෙම බුදුදහම ප්‍රඥාවන්තයාට ය

නව ලොවුතුරා බුදුදහම මනාව අවබෝධ වන්නේ ප්‍රඥාව ඇති තැනැත්තාට මිස ප්‍රඥාව නැති අයට නොවන බව ‘ප්‍රඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස’ යන බුදු වදනින් සනාථ වේ. එමනිසා අප හැම දෙනාම ප්‍රඥාව දියුණුකර ගැනීමට උනන්දු විය යුතුය. ඒ සඳහා ක්‍රම තුනක් ඇත. එනම්

1.සුතමය පඤ්ඤා බුදුදහම ඇතුළු යහපත් කරුණුවලට සවන් දීමෙන් ප්‍රඥාව දියුණු කරගන්නා ක්‍රමයයි.

2. චින්තාමය පඤ්ඤා ඇසූ දුටු දේ ගැන මනාව විමසුම් නුවණින් සිතීම හා විමසීම මගින් ප්‍රඥාව දියුණු කර ගැනීමය.

3. භාවනාමය පඤ්ඤා, සමථ විදර්ශනා භාවනා මගින් ප්‍රඥාව දියුණු කර ගැනීමය. එමනිසා, මෙම ක්‍රම තුන අනුගමනය කර ප්‍රඥාව දියුණුකර ගෙන බුදුදහම අවබෝධ කර ගනිමු.

8. මෙම බුදුදහම ප්‍රපංච නැති අයට

ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම ධර්මය මනාව වැටහෙන්නේ, තණ්හාව, මානය, දිට්ඨිය ආදී ප්‍රපංච ධර්මයන් සිතින් බැහැර කරගත් අයටය. ඒ බව ‘නිප්ප පංචායං ධම්මො නායං ධම්මො පපංචා ය’ යන දේශනයෙන් සනාථ වේ.

මෙහිදී ‘ප්‍රපංච’ යනු කාම, භව, විභව යන තෘෂ්ණා වන්ද අයත් වේ. එමනිසා එම ත්‍රිවිධ තෘෂ්ණාවන්ගෙන් අපිරිසුදු වූ සිත් ඇති අයටද බුදුදහම අවබෝධ නොවේ. එබැවින් සසර ගමනට හේතුවන, විවිධ දුක්ඛ දෝමනස්සයන්ට පුද්ගලයා යොමු කරන මෙම ප්‍රපංච ධර්මන්ගෙන් සිත නිදහස් කරගෙන බුදුදහම අවබෝධ කරගෙන සසර දුකින් මිදීමට උත්සාහ ගනිමු.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]