මොහ’ඳුරට පෑයූ
ළහිරු මඬල
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ
සහකාර කථිකාචාර්ය
බෙන්ගමුවේ ඉන්දරතන හිමි
බුද්ධ යනු බුධ් (අවබෝධ කිරීමේ) ධාතුවෙන් නිපන් අවබෝධ කළ යන අරුත් දෙන
පදයකි. මේ අනුව ඇති තතු ඇති ලෙසටම අවබෝධ කළ තැනැත්තා බුද්ධ යන ගෞරව
නාමයෙන් පිදුම් ලැබීමට සුදුසු ය. ‘බුද්ධො සො භගවා බෝධාය ධම්මං දෙසේති’
යන ප්‍රකාශයට අනුව බුදුන් වහන්සේ විසින් කරනු ලැබුවේ අවබෝධ කළ සද්ධර්මය
සත්වගට අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා දීමයි.
එදා මෙදා තුර ලොව පහළ වූ අග්‍රගණ්‍යම ආචාර්යවරයා, වෛද්‍යවරයා, සමාජ
සේවකයා මෙන්ම ශාස්තෘවරයා ද බුදුරජාණන් වහන්සේ බව පුන පුනා නොකිව මනා ය.
මෙහිදී බෞද්ධයා ඉමහත් ගෞරවාදරයෙන් සිහිපත් කරන බුදුන් වහන්සේ යනු
කවරෙක් ද යන වග පැහැදිලිව තේරුම් ගැනීම ඉතා වැදගත් ය. වරක් තමන් වහන්සේ
පිළිබඳව හැඳින්වීමක් කරන බුදුරදුන් සේල නම් බමුණාට ප්‍රකාශ කොට සිටියේ,
“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවෙතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ’
යනුවෙනි. එනම් දත යුතු සියල්ල දැනගත් බැවින් ද පුරුදු කළ යුතු දෑ
පුරුදු කළ බැවින් ද ඉවත දැමිය යුතු දෑ ඉවත් කළ බැවින් ද තමා බුද්ධ නම්
වන බව උන්වහන්සේම දේශනා කළහ.
එසේම දිනක් ද්‍රෝණ නම් බමුණෙකු පැමිණ ඔබවහන්සේ කවරෙක්දැයි ඇසූ පැනයට
පිළිතුරු සැපයූවේ තමන් මඩෙහි හටගෙන ජලයේ නොගැටී ඉන් උඩට නැඟුණු පියුමක්
හා සමාන වන බවයි. මේ අනුව උන්වහන්සේ මිනිස් සමාජයේ ම ඉපිද හැදී වැඩී
සාමාන්‍ය ලෙස ජීවිතයේ කඩඉම් අවස්ථාවන් පසු කරමින් පැමිණි මිනිසකු
විසින් යා හැකි උපරිම තලයට ගමන් කරමින් උත්තරීතර මනුෂ්‍යත්වයට පත් වූ
උතුමෙකු බව පැහැදිලි ය. අනෙක් ශාස්තෘවරුන් හා බුදුන් වහන්සේ අතර දක්නට
ලැබෙන සුවිශේෂත්වය ද එයයි. ඒ සියලුම ශාස්තෘවරු විශ්ව නිර්මාපක සර්ව
බලධාරී දෙවිවරු, දේව නියෝජිතයෝ, දේවාවතාරයෝ හෝ ගැළවුම් කරුවෝ වෙති. අවම
වශයෙන් දේවත්වය හා මනුෂ්‍යත්වය අර්ධ වශයෙන් හෝ ආරූඪ කර ගත්තෝ වෙති.
එහෙත් අප බුදුන් වහන්සේ දෙවියකු, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයකු
හෝ නොවන එහෙත් සසර කතර මංමුළා වී සිටින අසරණ ලෝක සත්වයා වෙනුවෙන්
නිස්සරණාධ්‍යාසයෙන් පෙනී සිටි අසමසම සමාජ සේවකයාණෝ වෙති.
කෙසේ වෙතත් බොහොමයක් බෞද්ධ ජනතාව පවා බුදුරජාණන් වහන්සේ යනු කවරෙක්දැයි
සැබෑ ලෙසම හඳුනා ගත් බවක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි. ඉමහත් බුද්ධ
භක්තිය ඇතිවන පරිදි විරචිත සම්භාවනීය සාහිත්‍ය ග්‍රන්ථ මෙන් ම ඇතැම්
අටුවා කතා ද භක්තිගෝචර සම්ප්‍රදාය ප්‍රමුඛ කොටගෙන බුද්ධ චරිතය
අතිමානුෂිකත්වයෙන් හා දිව්‍යමය ප්‍රභාවෙන් යුතුව වර්ණනා කොට ඇති බවක්
පෙනේ. ඌන ප්‍රඥාවෙන් හා පිරී ඉතිරී යන ශ්‍රද්ධාවෙන් යුතු බෞද්ධයන්
විසින් එම වර්ණනාවන් කියවනු ලැබීමෙන් බුදුන් වහන්සේ යනු දෙතිස් මහා
පුරුෂ ලක්‍ෂණයන්ගෙන් හා අසීත්‍යනුව්‍යඤ්ජනයන්ගෙන් සමස්ත බුදු සිරුරම
නානා වර්ණයන්ගෙන් වැසී ගත් නිරන්තරව නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජෙෂ්ට
හා ප්‍රභාෂ්වර යන ෂඩ්වර්ණ ඝණ බුද්ධ රශ්මී මාලාවෙන් ද ඛ්‍යාම ප්‍රභා
කේතුමාලාලංකාරයෙන් ද උජ්වලිත රියන් අසූ අටක්, හතළිස් දෙකක්, තිස් හයක්
හෝ අවම වශයෙන් දහ අටක් බැගින් වත් උස ඇති එයට සමගාමී වූ ස්ථූලත්වයකින්
හා හිස, කඳ, අත් පා සහිත මනුෂ්‍ය කාය ඉක්මවා ගිය අතාත්වික වූ මහා යෝධ
ශරීරයකින් යුත් සාමාන්‍ය තැනැත්තෙකුට ළඟා විය නොහැකි දැවැන්ත
පුද්ගලයෙකි. මේ සුවිසල් යෝධ ශරීරය අහසින් බිමට බස්වා අප හදවතට ළං කොට
සිතට එකඟව එහි යථා ස්වරූපය විමසා බැලීමට ප්‍රයත්න නොදරනුයේ එමඟින් තම
බුද්ධ ගෞරවයට කැළලක් ඇති වී අකුසලයක් සිදු වෙතැයි යන අවිචාරවත් සැකය
නිසාවෙනි. බොහෝ විට මෙවැනි සිතුවමක් සිංහල බෞද්ධයාගේ සිතේ ඇඳෙන්නට පටන්
ගත්තේ මහායාන බුදු දහමේ බලපෑම හා තදනුබද්ධ ග්‍රන්ථයන් පරිශීලනය කිරීමේ
ප්‍රතිඵලයක් වශයෙන් යැයි කීමේ වරදක් නොදකිමි.
නිසි පරිදි කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු බුදුරජාණන් වහන්සේ යනු ලොකු,
කුඩා, කුලීන, කුලහීන, බාල, තරුණ, මහලු යන සෑම අංශයකම පුද්ගලයන් සමග ඉතා
සමීප සබඳතාවක් පවත්වමින් පුරා පන්සාලිස් (45) වසක් දඹදිව ගම් නියම්ගම්
සැරිසරමින් යොදුන් ගණන් පා ගමනින්ම වැඩම කොට ස්වාවබෝධිත ශ්‍රී සද්ධර්මය
ජනතාවට දේශනා කළ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණෝ ය. සෘද්ධි බලයෙන් වැඩියාහු
නම් ඒ ඉතා සීමිත අත්‍යවශ්‍යම වූ අවස්ථා කිහිපයකදී පමණි. අටලෝ දහමින්
කිසි විටෙක නොසැළුණු උන්වහන්සේ ඒ සියල්ලට මැදිහත් සිතින් යුක්තව මුහුණ
දුන්හ. සම්බුද්ධත්ව ලාභයත් සමඟම ජාතිය හෙවත් ඉපදීම දුරලූ නමුත් බුදු
සිරුර ජරා, ව්‍යාධි, මරණ යන ධර්මතාවනට ලක් විය. වරක් අනඳ හිමියනට තථාගත
සිරුරේ පරිණාමය පිළිබඳව බුදුරදුන් මෙසේ ප්‍රකාශ කළහ.
“... අහං ඛො පනානන්ද එතරහි ජින්නො, වුද්ධො, මහල්ලකො, අද්ධගතො, වයපත්තො
අසීතිකො මෙ වයො වත්තති. සෙය්‍යථාපි ආනන්ද ජජ්ජරසකටං වේගමිස්සකෙන මඤ්ඤෙ
තථාගතස්ස කායො යාපෙති...” (මහාපරිනිබ්බාන සූත්‍රය)
ආනන්ද මා දැන් වයස්ගත වූවෙකි. මහල්ලෙකි. අසූ වයස් පිරුණු මාගේ ශරීරය
දැන් දිරූ කරත්තයක් යන්තම් පිළියමෙන් පවත්වන්නාක් මෙන් යැපේ...
යනුවෙනි. තවද අවශ්‍ය අවස්ථාවන්හිදී උන්වහන්සේ ද ඖෂධ වර්ග පාවිච්චි කළ
බව මහාවග්ගපාලියේ චීවරක්ඛන්ධකයේ මෙම පාඨය නිදසුන් සපයයි. “...
දොසාභිසන්නො බො ආනන්ද තථාගතස්ස කායො. ඉච්ඡති තථාගතො විරේචනං පාතුං...”
“... ආනන්දය තථාගත ශරීරය බොහෝ දෝෂයන්ගෙන් යුක්ත වූයේ වෙයි. තථාගතයෝ
විරේක බෙහෙතක් පානය කරන්නට රුචි කෙරෙති....” මෙමඟින් බුදුරදුන් ද
සාමාන්‍ය මිනිස් වර්ගයා මෙන් ශරීරයේ දොස් කිපුණු විට විරේචනයක් ගැනීම
අනුගමනය කළ ප්‍රතිකාර ක්‍රමයක් බව පෙනේ.
මෙයට අමතරව බුදුන් වහන්සේට ද පිපාසය දැනුණු අවස්ථා, විවේක ගැනීමට
අවශ්‍ය වූ අවස්ථා, ස්නානය කිරීමට අවශ්‍ය වූ අවස්ථා සහ ඒ සියල්ලම
සාමාන්‍ය පුද්ගලයකුට සමානව සිදු කළ බවට සාධක නිකාය ග්‍රන්ථයන්ගෙන්
සැපයේ. උන්වහන්සේ ද පාලුව, තනිකම, කාන්සිය වැනි පොදු මිනිස් ගති
ලක්‍ෂණවලින් සංවේදී වූ බවට මේඝිය තෙරුන් විසින් බුදුරදුන් මහමඟ තනිකර
දමා ගිය අවස්ථාව කදිම නිදසුනකි.
“.... ආගමෙහි තාව මෙඝිය එකම්හා. යාව අඤ්ඤා කොචි භික්ඛු ආගච්ඡති....”
මේඝිය මා තනිවමය. වෙනත් භික්‍ෂුවක් එන තෙක් බලාපොරොත්තු වන්න..”
යනුවෙන් උන්වහන්සේ පැවසුවේ එබැවිනි.
ස්වභාව සෞන්දර්යය කෙරෙහි උන්වහන්සේ තුළ වූයේ වීතරාගී පි‍්‍රය භාවයක් බව
ආනන්ද උදේන චෛත්‍යය රමණීයයි. ගොතමක චෛත්‍යය රමණීයයි. චාපාල චෛත්‍යය
රමණීයයි. වැනි ප්‍රකාශයන්ගෙන් සනාථ වේ. විවේකී සෑම අවස්ථාවකම පාහේ ගසක්
යට දෙපට සිවුර අතුරා ඒ මත වැඩ සිටීමට රුචි කළහ. නොයෙක් අවස්ථාවන්හිදී
ධර්ම කරුණු පැහැදිලි කිරීම සඳහා ගත් උපමා ආදිය ස්වාභාවික පරිසරයෙන්
සැමට තේරෙන පරිදි යෙදූහ.
සෞඛ්‍ය ආරක්‍ෂාව කෙරෙහි ද බුදුරජාණන් වහන්සේ දැක් වූ සැලකිල්ල
අද්විතීයය. වළඳන පාත්‍රයේ පිරිසුදුභාවය පමණක් නොව බීමට ගන්නා ජලයේ
පවිත්‍රත්වය ගැන ද සැළකිලිමත් වූ බවට අටපිරිකර සඳහා පෙරහන්කඩය
අනුදැනීමම සාක්‍ෂි දරයි. වැසිකිළි කැසිකිළි පරිහරණයේ දී අනුගමනය කළ
යුතු පාරිශුද්ධිය සහ සයනස්ථානය, පොරවන සිවුරු වැනි දෛනිකව පාවිච්චි කරන
දෑ කෙරෙහි ද අවධානය යොමු කරමින් ඒ සියල්ල ක්‍රමවත් භාවයෙන් යුක්තව තබා
ගත යුතු බව අවධාරණය කළහ.
ඇත්ත ඇති සැටියෙන් කාලානුරූපව අදාළ තැනැත්තාටම දේශනා කිරීමේ අසමසම
කෞෂල්‍යයක් බුදුන් වහන්සේට තිබුණි. සිවුරු හැර යාමට සිටි චුල්ලපන්ථක
හිමියන්ටත්, දිවි නසා ගැනීමට සිටි සුභද්‍ර භික්‍ෂුවටත්, සිහි විකල්ව
සිටි කිසා ගෝතමියටත්, දැඩි ලෙස ගිලන්ව සිටි තිස්ස තෙරුන්ටත්, අසරණව
සිටි භද්‍රවතිකා ඇතින්නටත්, කෲර පැවතුම් ඇති අංගුලිමාල හා ආලවකටත්
පිහිට වූ ආකාරයන්ම බුදුන් වහන්සේ සතු ශ්‍රේෂ්ඨ ආචාර්යත්වය,
පරචිත්තවිජානනය, ස්ථානෝචිත ප්‍රඥාව, කායික මානසික වෛද්‍ය ඥානය හා අසමසම
ශාස්තෘත්වය මොනවට විෂද කරයි.
මේ අනුව බුදුරජාණන් වහන්සේ යනු අමනුෂ්‍යයෙක්, දෙවියෙක්, භූතයෙක්,
ගාන්ධර්වයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන බවත්, උපරිම දුරට චිත්ත ශක්තිය
මෙහෙයවූ උත්තරීතර මනුෂ්‍යයකුම වන බවත් පැහැදිලි වේ.
|