UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘ශ්‍රද්ධාවට වඩා ප්‍රඥාවට තැන දෙමු’

ශ්‍රද්ධාව හා ප්‍රඥාව බෞද්ධ පිළිවෙතේ ප්‍රධාන ගුණාංග දෙකකි. ශ්‍රද්ධාව යනු ඇදහීම, භක්තිය, පැහැදීම, ආදී අරුත් දෙන බව සිංහල මහා ශබ්දකෝෂය දක්වයි. බුදුරදුන් කෙරෙහි හෝ සංඝයා කෙරෙහි එක්වරම දැකීමෙන් ඇති වන්නේ ශ්‍රද්ධාව යි. ඒ අනුව ශ්‍රද්ධාව, පැහැදීම යන අදහස දෙයි. බොහෝ දෙනා සසුනෙහි පැවිදි වුයේ ශ්‍රද්ධාව නිසයි. “අප්පසන්නානං පසාදාය පසන්නානං භීය්‍යෝ භාවාය යන සූත්‍රය අනුව, පැහැදීම, ශ්‍රද්ධාව ඇති කිරීමේ මඟයි. අශෝක රජු නිග්‍රෝධ සාමණේරයන් දැක පැහැදීම ශ්‍රද්ධාව විය.

බුදු දහමේ උගන්වන සප්ත ආර්ය ධනයේ පළමුවැන්න ශ්‍රද්ධාවයි. මෙම සද්ධා යන වචනය ත්‍රිපිටකයේ බොහෝ තැන්වල යෙදී ඇත.”ශ්‍රද්ධා බන්ධති පාත්‍යෙයං “ ශ්‍රද්ධාව සසර ගමනට උපකරණ සපයා දෙයි.

“ සද්ධා දුතියෝ පුරිසෝ හොති” සැදැහැවත්බව මිනිසාට දෙවැනි වේ “ සද්ධිධ විතතං පිරිසස්ස සෙට්ඨං “ ශ්‍රද්ධාව මිනිසාට ඇති සම්පතයි. “ සද්ධාය තරතී ඕඝං ශ්‍රද්ධාව සැඩ පහර තරණය කරයි. “ සද්ධා හත්ථො මහානාඝා “ ශ්‍රද්ධාව නමැති අත මහ ඇතෙකි. “සද්ධායිකො භික්ඛවෙ අරියසාවකෝ “ ශ්‍රද්ධාවන්තයා බුද්ධාදී උතුමන්ගේ සව්වකුවෙයි.මේ අන්දමට ශ්‍රද්ධාව විවිධ තැන්වල විවිධාකාරයෙන් විස්තර කර ඇත.

මෙසේ බොහෝ තැන්වල විස්තර කළ ද අභිධර්මයේ උගන්වන්නේ ශ්‍රද්ධාව මෝහ චෛතසිකයක් වශයෙනි. මෝඩ බව වැඩි වෙන්නෙ වැඩි වෙන්න ශ්‍රද්ධාව දියුණු වේ. මෝඩකම තුරන් වී ප්‍රඥාව දියුණු වු විට ශ්‍රද්ධාව සිඳී යන්නේය. රහතන් වහන්සේ තුළ ශ්‍රස්ධාව නැත. හේතුව ප්‍රඥාව දියුණු වි ඇති බැවිනි. කසී භාරද්වාජ සූත්‍රයේදී තථාගතයන් වදාළේ “ සද්ධා බීජං තපො වුටඨි පඤ්ඤා මෙ යුග නඞගලං ආදී වශයෙනි.

ශ්‍රද්ධාව බීජයයි. බීජය වැඩිකල් නිකම් තියන්න නුපුළුවන. එය බොල් වේ. වියළී විනාස වේ, එහි පැළයක් උපදවන ශක්තිය මැරී යයි. ඒ නිසා බීජ වැපිරිය යුතුය. බීජ වපුරන්න නිකම් නොහැකිය කුඹුරු හෑම අවශ්‍යය. කුඹුර හෑමට නම් නගුල හෝ ට්‍රැක්ටරය තිබිය යුතුය. පොළව බීජයට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුය. ඒ නිසා කීවේ “ පඤ්ඤා මේ යුග නඞ්ගලං “ ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් ප්‍රයෝජන ගන්න නම් ප්‍රඥාව තිබිය යුතුය. කුඹුර මඩ කර වැපුරුවේ නැතිනම් බීජ වලින් කවර වැඩක් ද ප්‍රඥාව යෙදවීමෙන් නියම ශ්‍රද්ධාව ප්‍රතිඵල සහිත වේ.

ශ්‍රද්ධාව තේරුම් ගැනීමට නම් ශ්‍රද්ධාවේ ප්‍රභේද ගැනද සිතිය යුතුය. ආකාරවතී සද්ධා අමූලිකා සද්ධායැයි ශ්‍රද්ධාව දෙපරිදිව දැක්වේ. ආකාරවතී සද්ධාව වූ කලි බුද්ධිමය ලක්ෂණ වලින් යුතු ශ්‍රද්ධාවයි මූලික සද්ධාව වූ කලි පදනම් විරහිත සද්ධාවයි.

අපි මෙය මෙසේ විස්තර කර අවබෝධ කරගනිමු. උපාලි පොක්කරසාති, ජානුස්සෝණී ආදී බුද්ධකාලීන බමුණෝ තථාගතයන් ගැන අසා තථාගතයන් ගැන විපරම් කර තථාගතයන් වූ කලි දෙතිස් මහ පුරිස් ලකුණු වලින් ඇත්තටම යුක්තද, සම්මා සම්බුද්ධ අරහං ආදි ගුණ ඇත්තටම තිබෙන ඒවාද යනුවෙන් විචාර පූර්වකව විමසා බලා ශාස්ත්‍රානුකූ®ලව පර්යේෂණ කර බුදුන් කෙරෙහි පැහැදී ශ්‍රද්ධාවන්තයෝ වූහ. එසේ විචාර පූර්වකව බලා පරීක්‍ෂා කිරීමෙන් පසුව ඇතිවන ශ්‍රද්ධාව ලෝකයේ කිසිවෙකුට වෙනස් කළ නොහැකිය. ඒ ආකාරවතී ශ්‍රද්ධාවයි. එය බුද්ධිය දර්ශනය මත පිහිටි ශ්‍රද්ධාවකි.

ශ්‍රද්ධාව වූ කලී බෞද්ධයන්ට පමණක් අයිති දෙයක් නොවේ. ශ්‍රද්ධා යනු ඇදහිම විශ්වාසය, ප්‍රේමය යන අරුත් දෙන බව මුලින් සඳහන් කර ඇත. කතෝලික, මුස්ලිම්, හින්දු ආදීන් තුළද ඒ ඒ දෙවියන් පිළිබඳව ඇදහීම , විශ්වාසය පේ‍්‍රමය භක්තිය ඇත. ඒ ශ්‍රද්ධාවමයි.

එහෙත් ඒ ශ්‍රද්ධාව විචාර පුර්ව ක, පර්යේෂණාත්මක වෙනස් නොවන ශ්‍රද්ධාවක් නොවේ. ඒ නිසා ඒ ශ්‍රද්ධාව අමූලිකා ශ්‍රද්ධාවයි. පදනමකින් තොර විශ්වාසය ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධා ලෙස චංකී සූත්‍රය විස්තර කරයි. අපේ ඇතැම් බෞද්ධයෝ මේ අමූලිකා ශ්‍රද්ධාවෙන් යුතු අය බව ඒ අය නිවන් මග යයි සිතා කරන කියනදේ වලින් මනාව ඔප්පු වේ.

මෝඩ ශ්‍රද්ධාවන්තයන්ගේ මේ ශ්‍රද්ධාව සකල පූජ්‍ය පන්තිය විසින්ම ප්‍රයෝජනයට ගත් අයුරු ඉතිහාසයෙන් පෙනේ. අතීතයේ පැවති කුරුස යුද්ධය හොඳ උදාහරණයකි. ආගම වෙනුවෙන් යුද්ධයකට යාම ස්වර්ගයට යාමේ අවස්ථාව බව උගන්වමින් ජනයා යුද්ධයකට පෙළඹවූහ.

ශ්‍රද්ධාවේ මෙවැනි මෝහමය අංශයක් පැවතිය ද ශ්‍රද්ධාව ද අවැසි ගුණයකි. සඟ සසුන පවතින්නේ සැදැහැයෙන් සසුන්වත් කුළ දරුවන් නිසාය. පන්සල විහාර ආරාම පවතින්නේ ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් නිසාය. ශ්‍රද්ධා ගුණයෙන් හීන වුවහොත් මේවායේ පැවැත්මක්ද නැත . වරද තියෙන්නේ මේ අමූලිකා ශ්‍රද්ධාවන්තයන් ඇතැම් පූජක පක්‍ෂය විසින් වැරැදි ව්‍යාපාර වල යෙදෙවීමේය.

ශ්‍රද්ධාව තවත් ආකාරයකට විස්තර වේ. බෝසත්වරුන්ගේ ශ්‍රද්ධාව ආගමන ශ්‍රද්ධාවය. ආර්ය ශ්‍රාවකවරුන්ගේ ශ්‍රද්ධාව අධිගමන ශ්‍රද්ධාවයි. පෘථග්ජනයන්ගේ ශ්‍රද්ධාව ඔකප්පන ශ්‍රද්ධාව යි.

දැන් ප්‍රඥාව දෙස අවධානය යොමු කරමු. බුද්ධකාරක ධර්ම වන දස පාරමිතාවේ ප්‍රඥාව එක් පාරමිතාවකි. එහි ශ්‍රද්ධා පාරමිතාවක් නැත. ධම්මචක්ක සූත්‍ර දේශනාවේදී පඤ්ඤා උදපාදි ඥානං උදපාදි කීවා මිස ශ්‍රද්ධා උදපාදී කියා සඳහන් වන්නේ නැත. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ න දුප්පඤස්ස මාගේ ධර්මය නුවණැත්තන්ට කීවා මිස ශ්‍රද්ධාවන්තයන්ට යැයි වදාළේ නැත. මේ අනුව ප්‍රඥාව බෞද්ධ දර්ශනයේ මූලික තැනක් ගනී. ලෝකයේ ඇති සියල්ලටම වඩා උතුම් දෙය ප්‍රඥාවයි.

ලෞකික ලෝකෝත්තර වශයෙන් ප්‍රඥාව, දෙවැදෑරුම්ය. කාමාවචර , රූපාවචර , අරූපාවචර සිත්වල ප්‍රඥාව, ලෞකික ප්‍රඥාවයි. සතර මාර්ග සතර ඵල සිත්වල ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාවයි.

චින්තාමය ප්‍රඥාව , ශ්‍රැතමය ප්‍රඥාව, භාවනාමය ප්‍රඥාව යැයි ප්‍රඥාව තෙපරිදිය. භෞතික කර්මාන්ත පිළිබඳ ප්‍රඥාව, වෛද්‍ය නක්‍ෂත්‍ර ආදී ශාස්ත්‍ර පිළිබඳ පවත්නා ප්‍රඥාව .මේවා පිළිබද අනුන්ගේ උපදෙස් නොලබා තමන් විසින් අවබෝධ කර ගැනීම චින්තාමය ප්‍රඥාවයි. බණ අසා දහම් පොත් කියවා ලබාගන්නා ප්‍රඥාව ශ්‍රැතමය ප්‍රඥාවයි. භාවනා වඩා ධ්‍යාන වඩා ලබාගන්නා ප්‍රඥාව භාවනාය ප්‍රඥාවයි.

තවදුරටත් යහපත් දැනීම නිවැරැදී දැනීම, පිරිහීමේ හේතු වළක්වා ගන්නා සැටි දැනීම, ආය කෞෂල්‍ය උපාය ප්‍රඥාව වේ. පරිහානිය කරා යන අර්ථ හානිය කරන ක්‍රම වළක්වා ගැනීම අපාය කෞෂල්‍ය සම්බන්ධ ප්‍රඥාවයි. හදිසි අතුරු අන්තරාවලින්ද මිසදිටු දර්ශනයන්ට මුලා වීමෙන්ද බේරීමේ උපාය කෞශල්‍ය නම් වූ ප්‍රඥාවයි.

ප්‍රඥාව ඇතිවීම ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබිය යුතුය. නුවණැති බව පතා කළ පින් තිබිය යුතුය. අතීත අකුසල කර්ම නැති විය යුතුය. දහම් දෙසීම, බණ ඇසීම, දහම් පොත් කියවීම ලිවීම, ප්‍රඥාවන්තයින් ඇසුරු කිරීම, ප්‍රඥාව වැඩීමට හේතු වන්නේ ය.

ශ්‍රද්ධාව හා ප්‍රඥාව යන සංකල්ප දෙකින් වඩා වැදගත් වන්නේ ප්‍රඥාවය. වක්කලී හාමුදුරුවෝ මහා ශ්‍රද්ධාවන්තයා ය. අමූලික ශ්‍රද්ධාවෙන් පීඩිත වු වක්කලී නිතරම බුද්ධ ශරීරය දෙස බලා සතුටක් විඳී. ජරාවෙන් ව පීඩිත වු ශරීර දෙස බලා සිටීමෙන් මෝඩ සතුටක් විඳියි.

ප්‍රඥාවන්තයා වූ සැරියුත් තෙරුන් බුදුන් ප්‍රමුඛ සියලු දෙනා විසින් මහත් ගරු සම්මානයෙන් පුදනු ලැබීය. මේ ශ්‍රද්ධාව හා ප්‍රඥාව පිළිබඳව අංගුත්තර නිකාය ටීකාවේ මෙසේ සටහන් කර ඇත.

ප්‍රධාන ධර්මයන්හි ශ්‍රද්ධාව බලවත් වූ විට ප්‍රඥාව හීන වේ. ප්‍රඥාවෙන් තොර ව ශ්‍රද්ධාවෙන් බලවත් වූ විට ඒ තැනැත්තා කපටීන්ට අසු වී අමාරුවේ වැටේ. යමෙක් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ අපිරිසුදු ඥානයෙන් යුක්ත වේ. එසේ අපිරිසුදු නුවණින් බලවත් ශ්‍රද්ධාවෙන් යුත් පුද්ගලයා නොපැහැදිය යුතු අවස්ථාවල නොපැහැදිය යුතු පුද්ගලයන් පිළිබඳව පහදී. කපටි පුද්ගලයන්ට අසුවෙයි.

ශ්‍රද්ධාව ජලය මෙනි. වස්ත්‍රය ජලයෙහි තෙමා සෝදන කුඩු දමා පැල්ලම් ඇති තැන් මනාසේ උලා රෙදිසෝදන ප්‍රයෝගය මෙන් සිත ශ්‍රද්ධා නමැති ජලයේ පොඟවා පිරිසුදුකොට ස්වකීය සමාධිය ඇති කරවා ක්‍රමයෙන් ප්‍රඥාව දියුණු කළ යුතුය. ප්‍රඥාව දියුණු වූ පසු ශ්‍රද්ධාව නැතිවනු ඇත. (අංගුත්තර නිකාය ටීකාව)

මේ ශ්‍රද්ධා ප්‍රඥා සංකේත දෙක අනුව විමසන විට අවබෝධ විය යුතු වන්නේ, බෞද්ධයා සැදැහැවතකුට වඩා නුවණැත්තකු වීමට උත්සාහ ගත යුතු බවයි. අපේ හාමුදුරුවරු වැඩිබරක් දෙන්නේ ශ්‍රද්ධාවන්තයින් ඇති කිරීමට විනා ප්‍රඥාවන්තයින් ඇති කිරීමට නොවේ. මිහිඳු හිමියන් උත්සාහ කළේ දෙවනපෑතිස් රජු ප්‍රඥාවන්තයකු කිරීමටය. අද ධර්ම දේශනා ආරම්භ කරන්නේ සැදැහැවතුනි කියා මිස නුවණැත්තනි කියා නොවේ. භික්ෂූන් වහන්සේ උනන්දු විය යුතුවන්නේ සැදැහැවතුන් නොව ප්‍රඥාවන්තයන් බිහි කිරීමටය. තමන්ට ලැබෙන ලාභ සත්කාර ගැන නොසිතා බෞද්ධයින් ප්‍රඥාවන්තයන් කිරීමට භික්ෂූන් වහන්සේ පෙළඹිය යුතු වේලාව දැන් උදාවී ඇත. ඒ මගින් බුදුසසුන වැඩි කලක් බැබළෙනු ඇත.

පොසොන් අමාවක පෝය

 පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12 වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 11 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]