දුක වඩන සසර රඳවන උපාදානය
මොරටුව එගොඩඋයනේ
විදර්ශනාරාම මූල මහා විහාරවාසී
මීරිගම සුගතනන්ද හිමි
පුද්ගලයන් හා වස්තු උපාදානය කිරීමෙන් සත්වයා දුකට පත්වෙයි. ළඟින් ඇසුරු
කරන හිතෛෂී පුද්ගලයකුට යම් කරදරයක් විපතක් වියෝවීමක් සිදු වු විට තමන්ට
ඇති වන්නේ මහත් වූ චිත්ත පීඩාවකි. ඒ වාගේම එවැනි ආශ්‍රයක්, පි‍්‍රයමනාප
බවක් පුද්ගලයකුට හෝ වස්තුවකට නැත්නම් ඒවාට කුමක් වුවත් තමන්ගේ මනසට
වේදනාකාරී ස්වභාවයක් ඇති නොවේ.ඉහත සඳහන් අවස්ථා දෙක තුළ දී ගම්‍ය වන්නේ
ස්වරූප දෙකකි. එනම් පුද්ගල වස්තු පිළිබඳ සත්වයා තු ළ ඇති උපාදානය අනුව
මනසට දැනෙන දුක ද අඩු වැඩි වන බවයි.
උපාදානය නම් සිතෙන් අල්ලා ගැනීමයි. එය සත්වයාගේ සිත තුළ තෘෂ්ණාව නිසා
ඇති වන්නකි. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද සූත්‍රයේදී “තණ්හා
පච්චයා උපාදානං “ යනුවෙන් ඒ ගැන දේශනා කර තිබේ. එහි තේරුම තණ්හාව
හේතුවෙන් උපාදානය ඇති වන බව යි.
සත්වයා යම් යම් පුද්ගලයන්ට හා වස්තුවලට ඇලුම් කරයි. ඒවා කෙරෙහි පවතින
තෘෂ්ණාව වර්ධනය වීමෙන්, උපාදානය ඇති වෙයි.
එවැනි තෘෂ්ණාවක් පුද්ගල චිත්ත සන්තානයෙන් ඉවත් කිරීමට විශාල
පරිශ්‍රමයක් ගත යුතුව තිබේ.
සත්වයෝ කාමයන්ට දැඩි ලෙස ඇලුම් කරති. එයින් මිදීමට ඔවුහු අකැමැති වෙයි.
එහිම ඇලී ගැලී වාසය කිරීමට කැමැති වෙති. කාම ලෝකය තුළ අපට පි‍්‍රයමනාප
වූ පුද්ගලයන් හා වස්තු ඇත. ඒවා පිළිබඳ අප තුළ දැඩි තෘෂ්ණාවක් උපාදානයක්
ඇතිවෙයි. ඒ උපාදානය පහළ වූ පසු ඒවා තමා සන්තක කර ගැනීමට සිත් පහළ වෙයි.
එවිට කැමැත්තකින් හෝ බලහත් ආකාරයෙන් හෝ ඒවා ලබා ගැනීමට උත්සාහ කරයි.
එසේත් බැරි වුණොත් ඒවා සොරකම් කරගෙන හෝ තමා සතුකර ගනියි. එසේ කරන්නේ
පුද්ගලයන් හා වස්තු පිළිබඳ සත්වයා තුළ පාලනය කරගත නොහැකි උපාදානය ඇති
වීම නිසයි. එය අවිද්‍යාව නොදැනීම නිසා ඇතිවන තත්ත්වයකි.
බුදුරජාණන්වහන්සේ පට්ච්ච සමුප්පාද සූත්‍රයේ දී “අවිජ්ජා පච්චයා සංඛාරා”
යනුවෙන් දේශනා කර තිබේ. අවිද්‍යාව නිසා සත්වයා සංස්කාර නම් වූ කුසල්
අකුසල් රැස් කර ගන්නා බව එයින් කියැවෙයි. සත්වයාගේ සිත තුළ අවිජ්ජා
හෙවත් නොදැනීම , මුලාව ඇතිවීම නිසා පුද්ගල වස්තු ඇතුළු ලෝකය පිළිබඳ
උපාදානය පිහිටන බව ඒ අනුව කිව හැකිය. උපාදානය නිවනට ඍජු බාධකයකි. එය
තිබෙන තුරු සත්වයාට නිවන් දැකිය නොහැකිය.
නිවන වළක්වා භවය පැවැතීමට හේතු වන උපාදානය, සිව් වැදෑරුම් ය. එනම්
1. කාම උපාදානය
2. දිට්ඨි උපාදානය
3. සීලබ්බත උපාදානය
4. අත්තවාද උපාදානය යන හතරයි
කාම උපාදානය නම් තමන් පි‍්‍රය මනාප පුද්ගල, වස්තු ආදියට ඇති බලවත්
ඇල්මයි. ආශාවයි. දිට්ඨි උපාදානය නම් දස වස්තුක මිථ්‍යා දෘෂ්ටියයි. එනම්
1. දුන් දෙයෙහි විපාක නැත.
2. පිදීමේ විපාක නැත
3. ගුණවතුන්ට සැලකීමේ විපාක නැත
4. කුසල අකුසල කර්මවල විපාක නැත
5. මොලොවක් නැත
6. පරලොවක් නැත
7. මවට කරන හොඳ නරක වල
විපාක නැත
8. පියාට කරන හොඳ නරක වල
විපාක නැත
9. ඕපපාතිකවූ උපදින සත්වයන් නැත
10. බුදුවරයන් නැත ආදියයි
සීලබ්බත උපාදානය නම් එළුවන් , බල්ලන් , ගවයන් ආදී (අජ්‍ර ව්‍රත, සුණඛ
ව්‍රත, ගෝව්‍රත) තිරිසනුන් ජීවත් වන විලාශයට තමන් ජීවත් වීමයි. එවැනි
ව්‍රත සමාදන් වීමෙන් සංසාර දුක නැසිය හැකි බව , බුද්ධ කාලීන ඇතැම්
ශාස්තෘවරු සිතූහ.
අත්තවාද උපාදානය නම් ආත්මය නිත්‍ය කොට පිළිගැනීමයි. ආත්මය සේ සලකන
සත්වයා, පුද්ගලයා , මම, මගේ යන වැරැදි බැඳීම ඇති කර ගැනීම යි.
මේ ආකාරයෙන් පවතින උපාදානය ප්‍රත්‍ය වීමෙන් භවය ඇති වන බව කියැවෙයි. ඒ
කෙසේද යත්, සත්වයා තුළ ඇති උපාදානය කරණකොට ගෙන ඔවුහු කුසලා කුසල කර්ම
රැස් කරති. එම කර්ම වල විපාකද තිබේ.
කර්ම කරන සත්වයාට එහි ඇතැම් විපාක මේ ආත්මයේදීම ද දිට්ඨ ධම්ම වේදනීය
වශයෙන් ලැබීමට පුළුවන. නොඑසේ නම් දෙවන ආත්මයේ දී උපපජ්ජ වේදනීය වශයෙන්
හෝ තුන්වන ආත්මයේ පටන් නිවන් දක්නා ජාති දක්වා කවර හෝ ආත්මයකදී
අපරාපරිය වේදනීය විපාක වශයෙන් විඳින්නට සිදුවෙයි. ඒ ආකාරයට විපාක
විඳවීමට සත්වයාට භවයක් ඇති විය යුතුය. “උපාදාන පච්චයා භවො” යනුවෙන්
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එයයි.
පුද්ගලයන් හා වස්තු උපාදානය කිරීමෙන් සත්වයා දුකට පත්වෙයි. ළඟින් ඇසුරු
කරන හිතෛෂී පුද්ගලයකුට යම් කරදරයක් විපතක් වියෝවීමක් සිදු වු විට තමන්ට
ඇති වන්නේ මහත් වූ චිත්ත පීඩාවකි. ඒ වාගේම එවැනි ආශ්‍රයක්, පි‍්‍රයමනාප
බවක් පුද්ගලයකුට හෝ වස්තුවකට නැත්නම් ඒවාට කුමක් වුවත් තමන්ගේ මනසට
වේදනාකාරී ස්වභාවයක් ඇති නොවේ. ඉහත සඳහන් අවස්ථා දෙක තුළ දී ගම්‍ය වන්නේ
ස්වරූප දෙකකි. එනම් පුද්ගල වස්තු පිළිබඳ සත්වයා තු ළ ඇති උපාදානය අනුව
මනසට දැනෙන දුක ද අඩු වැඩි වන බවයි.
කෙසේ නමුත් සත්වයා තුළ උපාදානය තිබෙන තුරු ඔහුට සසරින් මිදීමක් නැත.
පුනර්භවය සිදුවෙයි. එම නිසා සත්වයා උපාදානය අවම කර ගැනීමට නැති කර
ගැනීමට උත්සුක විය යුතුය.
එය මෙලොව ජීවිතය තෘප්තිමත්ව සොම්නස්ව පවත්වා ගැනීමට රුකුලකි. සැනසිල්ලට
හේතුවකි. පරලොව ජීවිතයටද ශාන්තියකි. නිර්වාණාවබෝධයට මඟකි.
|