ධම්ම පද සැහැල්ල - 14 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
55. චන්දනං තගරං වාපි උප්පලං අථ වස්සිකි
එතෙසං ගන්ධජාතානං සීලගන්ධෝ අනුත්තරො
සඳුන්, මානෙල් සමන් – හැම සුවඳකට වඩා - සිල්වතුන් කෙරෙන් එන සිල් සුවඳ
අගනේ ය... .
හිතවතුනි, ගුණවත්ව, සිල්වත්ව සිටින ඔබ හැම විටම අනුන්ගේ සිත් දිනා
ගන්නේ .... ය.
56. අප්පමත්තෝ අයං ගන්ධෝ යායං තගර චන්දනී,
යොච සීලවතං ගන්ධො වාති දෙවෙසු උත්තමො
සඳුන් වැනි මල් කෙරේ පවත්නේ ඉතා සුළු සුවඳක් ය. ඒ සුවඳ, පවත්නේ සුළු
කලකි. සිල්වතුන් කෙරෙහි වූ ගුණ සුවඳ එසේ නොව දෙව් ලොවට පවා එය පැතිර
විහිදෙන්නේ....ය....
හිතවතුනි, ගුණවත්ව, සිල්වත්ව හැසිරෙන්න. මිනිසුන් ද දෙවියන් ද ඔබට හිස
නමනු ඇත.
57. තෙසං සම්පන්න සීලානං අප්පමාදවිහාරිනං
සම්මදඤ්ඤා විමුත්තානං මාරො මග්ගං න වින්දති
සියලු කෙලෙසුන් නැසූ, මහ රහත් බුදු පුත්තු, මරණයෙන් පසුව යන දෙස මරු
නොදන්නේ ය.....
හිතවතුනි, තුන් දොරින් සුසංවර තැනැත්තා සිතන මඟ, ලෝකයේ මෝඩයෝ නොම
දනිති.....
58. යථා සංකාරධානස්මිං උජ්ඣිතස්මිං මහාපථෙ
පදුමං තත්ථ ජායෙථ සුචිගන්ධං මනොරමං
මග අසල මඩ වතුර, වලක පිපුණත් නෙළුම රුවින්, සුවඳින් කිසිම අඩුවකුත් ඇති
නොවේ. (මේ ගාථාවේ අදහස ඊළඟ ගාථාවට සම්බන්ධය.)
59. එවං සංකාරභුතෙසු අන්ධභූතෙ පුථුජ්ජනෙ,
අතිරොචති පඤ්ඤාය සම්මාසම්බුද්ධසාවකොති
කුණු වලක් වැනි ලොවේ පහළ වන බුදු පුත්තු, රුවින් සුවඳින් නොඅඩු නෙළුම්
මල් වැන්නෝ ය. හිතවතුනි, උසස් ගති ගුණ පිරුණු සියල්ලෝ හැමවිටම හැම තැනක
උසස් සැලකිලි ලබති.
මතු සම්බන්ධ යි.
|