අධි වෙසක් පුර අටවක 2010.04.21
ජාතක කතා තේරුම් ගැනීම
ජාතක කතා විශ්වාස කළ හැකි ද? මේ ප්‍රශ්නය පසුගිය 6 වන දා
ඩේලිනිව්ස් පුවත්පතෙහි පළ කළ ලිපියකින් මතු කැරැ තිබිණ. හෙන්රි
රූපසිංහ නමැති අයකු විසින් ලියන ලද ‘ජාතක කතා විශ්වාස කළ හැකි
ද? (Can we count on Jataka tales? ) යන එම ලිපිය බුද්ධ
චරිතය, බුදුන් වහන්සේ වදාළ ධර්මය හා බෞද්ධ සාහිත්‍යය පිළිබඳ ව
නිසි අවබෝධයකින් යුතු ව කළ රචනාවක් නො වේ. සස ජාතකය, වෙස්සන්තර
ජාතකය හා භූ®රිදත්ත ජාතකය ගැන එහි විශේෂයෙන් සඳහන් ය. ඔහු ගේ
තර්කය අනු‍්‍රව වෙස්සන්තර ජාතකයේ දැක්වෙන පරිදි දරු දෙදෙනා හා
බිරිඳ ජූජක බමුණාට බාර දුන්නේ නම් මෙ කල නීතිය යටතේ
බෝධිසත්ත්වයන් හට බරපතළ වැඩ සහිත වසර දහයක සිර දඬුවමක් අවම
වශයෙන් නියම කැරේ.
එ පමණක් ද නො ව විද්‍යාඥයන් පවසන පරිදි පෘථිවිය වසර මිලියන
600ක් පැරැණි ය. මුල් යුගයේ දී පෘථිවියේ ජීවත් වූ සත්ත්වයන්
වන්නේ ඩයිනෝසෝරස් වුව ද බෝධිසත්ත්වයන් කිසිදු ආත්මයක
ඩයිනෝසරයකු ලෙස උපත ලබා නැතැයි ඔහු කියයි.
ක්‍රි. ව. 1215 දී අත්සන් කළ මහ අධිකාරි පත්‍රය (මැග්නාකාටා
ගිවිසුම) මඟින් බිහි වූ බටහිර මානව හිමිකම් සංකල්පය අනුව,
වෙස්සන්තර ජාතකය සඳහා පදනම් වී ඇති මානව සබඳතා පිළිබඳ බෞද්ධ
මතය තේරුම් ගැනීමට උත්සාහ දැරීම විහිළුවකි. එ සේ ම නිගාමී තර්ක
ශාස්ත්‍රය මත සංසාර ගමන තීරණය කිරීම ද බොළඳ උත්සාහයක් නො වේ ද?
කෙසේ වුව ද හෙන්රි රූපසිංහ මහතා ගේ එම ලිපියෙහි සඳහන් කරුණු
පිළිබඳ ව බෞද්ධයන් කුපිත විය යුතු නැත. එ පමණක් ද නො ව ඔහු ගේ
එම ලිපියට පිළිතුරු සැපයීම අනවශ්‍ය ය. මෙහි දී අප ගේ අරමුණ
වන්නේ ජාතක කතා යනු කුමක් දැයි සාකච්ඡා කිරීම පිණිස මේ අවස්ථාව
යොදා ගැනීම පමණි.
ජාතක කතා හඳුන්වනු ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ පූර්ව
ආත්මභවයන් පිළිබඳ ව කියන, කියැවෙන, ප්‍රකාශ කැරෙන වෘත්තාන්තයන්
වශයෙනි. සිංහල ජාතක පොත රචනා වී ඇත්තේ ක්‍රි. ව. පස්වන සියවසේ
දී අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවෙන් ලියන ලද
‘ජාතකට්ඨ කථාව‘ පදනම් කැර ගෙන ය. මෙය කුරුණෑගල යුගයේ දී
ලියැවුණු බවට තිබෙන කාල නිර්ණය ගැන විවාදයක් නොමැත. සිංහල ජාතක
පොත කතුවරුන් කිහිප දෙනකු ගේ නිර්මාණයක් යැයි එහි භාෂා රටාව
සියුම් ලෙස අධ්‍යයනය කළ බොහෝ වියතුන් ප්‍රකාශ කැර තිබේ.
ජාතක කතාවන්හි දක්නට ලැබන පොදු ලක්‍ෂණය නම්, වර්තමාන කතාවකින්,
අතීත කතාවකින් හා පූර්වාපර සන්ධි ගැළැපීමකින් සමන්විත වීම ය.
බුදුරදුන් ජීවමාන කාලයේ විසූ මිනිසුන් ගේ ක්‍රියාකාරකම් හා ගති
ලක්‍ෂණ ආදිය නිසා මතු වූ ගැටලු විසැඳීම සඳහා බුදු රදුන් දේශනා
කළ ධර්මය විෂය කොට ගත් සාහිත්‍යාත්මක හා උපදේශාත්මක අගයකින්
යුත් නිර්මාණ වශයෙන් මේවා සැලැකේ. මේ ජාතක කතා වර්තමානයට
කෙතරම් අගනේ දැයි තේරුම් ගැනීම පිණිස සමුද්ද වාණිජ ජාතකය හොඳ
උදාහරණයකි. සුනාමි උදම් රළ පිළිබඳ ව ලියැවුණු ඉතා විශිෂ්ට
නිර්මාණයක් ලෙස එය හැඳින්විය හැකි ය.
උදම් රළ හෙවත් මුහුද ගොඩ ගැලීම කෙරෙහි බලපාන පාරිසරික සාධක,
උදම් රළ නැඟෙන කාලවකවානුව හා එහි ස්වභාවය, එයින් ගැළවීමට ඇති
මාර්ගය ආදිය පැවැසෙන මෙ බඳු ඓතිහාසික නිර්මාණයක් ලෝක
සාහිත්‍යයේ තවත් තිබේදැයි සැක සහිත ය.
ජාතක කතා හැදෑරීම අනවශ්‍ය යැයි කියන පුද්ගලයන් භරතසිංහ
උපාධ්‍යාය සූරීන් විසින් හින්දියෙන් ලියන ලද ‘පාලි සාහිත්‍යයේ
ඉතිහාසය’ නමැති ග්‍රන්ථයේ සඳහන් කරුණු ගැන අවධානය යොමු කළ යුතු
ය. හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමියන් සිංහලට පරිවර්තනය කළ එම
ග්‍රන්ථයේ ඡේද කිහිපයක් අපි මෙහි උපුටා දක්වමු.
”වර්තමානයේ ජාතක කථා 547 ක් දක්නට ලැබේ. නමුත් මේ සංඛ්‍යාව ද
ඉහළින් සිටි යි. ඇතැම් කථා අල්ප රූපාන්තර සමඟ දෙතැනක දක්නට
ලැබේ. නැතහොත් එකක් වෙනත් තැනක ඇතුළත් කොට ඇත. මේ ආකාරයෙන්
ජාතක කථා කිහිපයක් සූත්‍ර පිටකය, විනය පිටකය හා වෙනත් පාලි
ග්‍රන්ථවල දක්නට ලැබේ. නමුත් ජාතකවල වර්තමාන රූපයෙන් සංගෘහිත
නො වේ.”
‘‘මෙහි දී අපට කිව හැක්කේ එක්තරා ආකාරයක විශ්ව ධර්මය ජාතක
කාලීන සමාජයේ ප්‍රචලිත ව තිබූ බවත්, එහි සාමාන්‍ය සමාජයේ
විශ්වාස හා ඔවුන් ගේ විවිධ ලෞකික සහ අධ්‍යාත්මික අවශ්‍යතා එම
තත්ත්වයේ තිබූ බව ය. එ නම් පූජා, වන්දනා, දාන, දෙවියන් සරණ යෑම
ආදිය ප්‍රධාන විය. වැඩි විවේචනයක් නො කොට අපි මෙපමණක් කියමු. එ
නම් ජාතක කථා පැරැණි භාරතීය සාමාජික ජීවිතය සම්බන්ධ කරුණු ලබා
දෙන අගාධ භාණ්ඩාගාරයක් බව ය.”
” ජාතක විදේශීය සාහිත්‍යයට කෙ සේ බලපෑවේ ද, කිනම් මාධ්‍යයකින්
බුදු දහම යුරෝපය තෙක් ගමන් කළේ ද යන්න ඉතා පුදුමාකාර
සිද්ධියකි. ජාතක කථා මුහුදු මාර්ගයෙන් ලංකාව, බුරුමය, සියම,
ජාවා, සුමාත්‍රා, ඉන්දු චීන ආදී ගිනිකොන දිග රටවල් වෙත ගිය අතර
වාස්තු විද්‍යා, කලා ආදියේ එය දැකිය හැකි ය.
’ග්‍රීක සාහිත්‍යයේ ඊසප් ගේ කථා ප්‍රසිද්ධ ය. ප්‍රංශ, ජර්මන්
හා ඉංග්‍රීසි පඩිවරුන් ගේ සොයා ගැනීම්වලින් පැහැදිලි වන්නේ
ඊසප් ග්‍රීකයෙක් වූ බව ය. නමුත් ඔහු සිටි කාලය පිළිබඳ සම්පූර්ණ
නිශ්චයක් නැත. ඊසප් කථා යුරෝපීය සාහිත්‍යයට තදින් බලපෑවේ ය.
පඬිවරුන් පෙන්වා දී ඇත්තේ ඊසප් ගේ වැඩි සංඛ්‍යාවක් කථාවලට ජාතක
කථා ආධාර වූ බව ය.”
එ සේ නම් ජාතක කතා නො වැදගත් යැයි ඉවත දැමිය හැකි ද? |