විසිතුරු ප්‍රතිභාන උපදවන අංගුත්තර නිකායෙන්
බෙලිඅත්තේ නිහිලුව
සිරි ධම්මානන්ද මූලික පිරිවෙන්පති
රාජකීය පණ්ඩිත,ශාස්ත්‍රපති
හත්තොටුවේ ඉන්දරතන හිමි
2010.04.13 පත්‍රය හා සම්බන්ධයි.
අට්ඨාන පාලියෙන් අනතුරුව ආරම්භ වනුයේ ඒකධම්ම පාලියයි. මෙහිදී
ඒකාන්තයෙන්ම සසර කළකිරීම පිණිස (නිබ්බිදාය) සසර නොඇලීම පිණිස (විරාගාය)
රාගාදීන්ගේ නිරෝධය පිණිස (නිරෝධාය) කෙලෙස් සන්සිඳීම පිණිස (උපසමාය)
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විශේෂයෙන් දැන ගැනීම පිණිස (අභිඤ්ඤාය)
චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස (සම්බෝධාය) නිර්වාණය පිණිස (නිබ්බාණය)
පවතින කරුණු දහයක් දැක්වේ. එම ධර්මවලින් එකක් හෝ භාවනා වශයෙන් වඩනා
ලද්දේ (භාවිතො) බහුල වශයෙන් කරන ලද්දේ (බහුලීකතො) ඉහත කී ආනිසංස ලබන්නේ
ය. එම ධර්ම 10 නම්
1. බුද්ධානුස්සතිය
2. ධම්මානුස්සතිය
3. සංඝානුස්සතිය
4. සීලානුස්සතිය
5. චාගානුස්සතිය
6. දේවාතානුස්සතිය
7. ආනාපානසතිය
8. මරණානුස්සතිය
9. කායගතාසතිය
10. උපසමානුස්සතිය
විශුද්ධිමාර්ගයේ දී සමසතලිස් කමටහන් අතුරින් දස අනුස්සති ලෙස විවරණය
කරනුයේ මෙම භාවනා කමටහන් දහයයි. අනතුරුව සම්මා දිට්ඨිය හා මිථ්‍යා
දෘෂ්ටිය පිළිබඳ කරුණු ඉදිරිපත් කරන සූත්‍ර රැසක් (22 ක් පමණ) ඇතුළත්
වේ.
1. මිථ්‍යා දෘෂ්ටිය නිසා නූපන් අකුසල් උපදියි. උපන් අකුසල ධර්ම
වැඩිවීමට, විපුලත්වයට පත්වේ.
2. සම්මාදිට්ඨිය නිසා නූපන් කුසල් දහම් උපදියි. උපන් කුසල් දහම්
වැඩිදියුණු වේ.
3. මිථ්‍යා දෘෂ්ටිය නිසා නූපන් කුසල් දහම් නූපදියි. උපන් කුසල් දහම්
පරිහානියට පත් වේ.
4. සම්‍යක් දෘෂ්ටිය නිසා නූපන් අකුසල් දහම් නූපදියි. උපන් අකුසල් දහම්
පරිහානියට පත්වේ.
5. අයෝනිසෝ මනසිකාරය හෙවත් නුනුවණින් මෙනෙහි කිරීම මිථ්‍යා දෘෂ්ටිය
ඉපදවීමට හේතු වේ.
6. යෝනිසෝ මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම සම්‍යක් දෘෂ්ටිය
ඉපදවීමට හේතු වේ.
7. මිසදිටුව නිසා ම සත්වයෝ මරණින් පසු අපායට, දුගතියට, විනිපාතයට හෙවත්
නිරයට ප්‍රතිසන්ධි වශයෙන් පැමිණෙති. (ඉපදෙති)
8. සම්මා දිට්ඨිය නිසා ම සත්වයෝ මරණින් පසු සුගති ස්වර්ග ලෝකයේ උපදිති.
9. යම්සේ කොහොඹ බීජයක් හෝ වැටකොළු බීජයක් හෝ තිත්ත ලබු බීජයක් හෝ
(නිම්බබීජං වා කොසාතකි බීජං වා තිත්ත කලා බිජං වා) තෙත් බිමක සිටුවන
ලද්දේ, පොළවෙන් යම් පඨවි රසයක්, ආපෝ රසයක් ඇදගෙන වැඩෙනුයේ ඒ සියල්ල
තිත්ත බව පිණිස (තිත්තකත්තාය) කටුක බව පිණිස (කටුක රස බව පිණිස)
අමිහිරි රස බව පිණිස (අසාතත්තාය) පවතින්නේමය. ඊට හේතුව නම් බීජය ළාමක
වූ හෙයිනි. එලෙසින්ම මිසදිටුගත් පුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ
පිරිපුන් වූ සමාදන් වූ කාය, වාග්, මනෝ කර්මයක් වේද චේතනාවක්,
ප්‍රාර්ථනාවක්, ප්‍රණිධියක්, සංස්කාරයක් වේද ඒ සියලු ධර්ම අනිෂ්ට වූ
(අනිට්ඨාය) අකාන්ත වූ අමනාප වූ අහිත වූ දුක් පිණිස පවතින්නේ ය. ඊට
හේතුව නම් දෘෂ්ටිය පාපී හෙයිනි. පවිටු දැකීම් ඇති නිසයි.
10. උක් බීජයක් හෝ හැල් බීජයක් හෝ මිදි බීජයක් හෝ (උච්ඡුබීජං වා සාලි
බීජං වා මුද්දිකාබීජං වා) තෙත් බිමෙහි සිටවූයේ, එමඟින් පොළවේ වූ පඨවි
රසයක්, ආපෝ රසයක් ඇද ගනී ද ඒ සියල්ල මධුරභාවය පිණිස, පි‍්‍රයභාවය
පිණිස, අත්‍යන්ත පි‍්‍රය බව පිණිස (මධුරත්තාය සාතත්තාය අසෙචකත්තාය)
පවතියි. ඊට හේතුව නම් බීජය සුන්දර භද්‍ර වීමයි. (යහපත්) බීජං හි
භද්දකං.
එලෙසින් ම සම්‍යක් දෘෂ්ටිගත පුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ
සමාදන් වූ යම් කාය කර්මයක්, වාක් හෝ මනෝ කර්මයක් වේද යම් චේතනාවක්, යම්
ප්‍රාර්ථනාවක්, යම් චිත්ත ප්‍රණිධියක්, යම් සංස්කාරයක් වේද ඒ සියලු
ධර්ම ඉෂ්ට වූ මනාප වූ හිත වූ සුව වූ බව පිණිස වන්නේ ය. ඊට හේතුව නම්
යහපත් දැකීම් ඇතිවීමයි. දෘෂ්ටිය යහපත් වීමයි.
11. මිසදිටුගත් විපරීත දර්ශන (වැරදි ලෙසම දකින) පුද්ගලයා බොහෝ දෙනාට
අහිත දුක් පීඩා පිණිස පවතියි. ඔහු දස අකුසල කර්මපථයන්හි ජනයා සමාදන්
කරවයි. සද්ධර්මය සඟවා අසද්ධර්මයෙහි ජනයා පිහිටුවයි.
12. නිවැරැදි දැකීම් ඇති සම්මාදිට්ඨිගත පුද්ගලයා බොහෝ දෙනාට යහපත, සැප
පිණිස පවතියි. ඔහු අසත්ධර්මය සඟවා සද්ධර්මයෙහි ජනයා පිහිටුවයි. දසකුසල්
හි ජනයා උත්සාහවත් කරවයි.
13. මිසදිටු බව මහාසාවද්‍ය වූ (මහාසාවජ්ජං) අතිශය බරපතළ පාප කර්මයකි.
සියලුම ආකාරයේ වැරැදි මිසදිටු බව (මෝහය) මුල්කරගෙන ඇත. (මිච්ඡාදිට්ඨි
පරමානි භික්ඛවෙ වජ්ජානි)
14. මක්ඛලී ගෝසාල (මක්ඛලී මොසපුරිසො) බඳු අතිශය පාපකාරී, බොහෝ ජනයාගේ
දුක්, පීඩා පිණිස පවතින වෙනත් පුද්ගලයකු නැත. නදී මුව දොරක තැබූ (ඇට
වූ) දැලට කෙමණට බොහෝ මසුන් හසුව විනාශ වන්නාක් මෙන් මක්ඛලී බොහෝ දෙනාට
දුක් පිණිස කටයුතු කරයි. ඔහු මිනිස් ලොව උපන් මිනිස් කෙමනකැයි සිතේ.
(මනුස්සඛිපං මඤ්ඤෙ ලොකෙ උප්පන්නො)
15. වරදවා දෙසන ලද අත්‍ය ශාසනයන්හි (දුරක්ඛාතත්තා ධම්මස්ස) සමාදන්
වන්නෝත් සමාදන් කරවන්නෝත් බොහෝ පවුරැස් කරගනිති.
16. ඒකාන්තයෙන් ම නිවන ලැබීමට ම මැනවින් දෙසන ලද ශාසනයෙහි
(ස්වාක්ඛාතත්තා ධම්මස්ස) සමාදන් වන්නෝත් සමාදන් කරවන්නෝත් බොහෝ පින්
රැස් කරගනිති. ඉන් අනතුරුව දුරක්ඛාත හා ස්වාක්ඛාත (මනාව නොදෙසු හා මනාව
දෙසූ) ශාසන දෙකෙහි ඇති වෙනස්කම් කිහිපයක් පෙන්වා දෙයි.
17. දුරක්ඛාත ශාසනයේ ලක්‍ෂණ - (දුරක්ඛාතෙ ධම්මවිනයෙ)
1. දායකයා විසින් ප්‍රමාණය දත යුතුයි. ප්‍රතිග්‍රාහකයා විසින් නොදත
යුතු යි.
2. පටන් ගත් (ඇරඹු) වීර්ය ඇති නමුත් සැමදා දුකසේ වෙසෙයි.
3. කුසීත – කම්මැලි පුද්ගලයා සුවසේ වෙසෙයි.
18. ස්වාක්ඛාත – මැනවින්
දෙසූ ශාසනයේ ලක්‍ෂණ – (ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ)
1. ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රමාණය දත යුතු යි. දායකයා විසින් නොදත
යුතු යි.
2. කුසීත – කම්මැලිව සිටින්නා සැමදා දුකින් සිටියි.
3. ඇරැඹූ වීර්ය ඇති පුද්ගලයා සැමදා සැපෙන් සිටියි.
19. ඉතා ස්වල්ප වූද අශුචිය ඉතා දුග ද වේ. එලෙසින් ම අල්පමාත්‍රයක් වත්
භවය වර්ණනා නොකිරීම බුදුවරුන්ගේ සිරිතකි. ඇසුරු ගසන ක්‍ෂණයක් හෝ භවයේ
පැවැත්ම වර්ණා නොකරති.අප්පමත්තකම්පි භවං ත වණ්ණෙමි, අත්තමසො අච්ඡරා
සංඝාතමත්තම්පි.
අල්පමාත්‍ර වූ මුත්‍රා, කෙළ, සැරව, ලේ දුගඳ පිණිස පවතියි ද එලෙසින් ම
අල්පමාත්‍ර වූ භවය (භවයේ පැවැත්ම) දුක පිණිස පවතියි.
මතු සම්බන්ධයි
|