කර්ම බලය
නසා ලබන
උතුම් ඵලය
විශ්‍රාමික ගුරු උපදේශක
ඒ.එම්.පේ‍්‍රමරත්න
කර්ම සංස්කරණ බල ශක්තිය ප්‍රහීණ කිරීමට නම් ඊට ප්‍රතිවිරුද්ධ බල
ශක්තියක් අවශ්‍ය බව පැහැදිලි ය. ඒ ප්‍රතිවිරුද්ධ බල ශක්තිය තමා විසින්ම
උපදවා ගත යුතු බව
බුද්ධානුශාසනයයි.බුදුවරු ඊට මඟ පෙන්වන්නෝ වෙත්. එහි ප්‍රථම මෙහෙවර
වන්නේ කර්ම සංස්කරණ බල ශක්තිය කයෙන් සහ වචනයෙන් වැරැදි ලෙස ක්‍රියාත්මක
වීම,
ව්‍යතික්‍රමණය (විතික්කම ) වීම,
බිඳ දැමීමයි.
යළි යළි ඉපදි ඉපදී මැරි මැරී, ජරා ව්‍යාධි මරණ දුක්ඛ, දෝමනස්ස පරිදේව
උපායාසාදීන්ට භාජනය වෙමින්, ජය පරාජය, කිත් පැසසුම්, සතුට අසතුට, දුක්
සැප, නින්දා ප්‍රශංසා, විඳව විඳවා යන මේ කරුමක්කාර ගමන කුමක් නිසා වේද?
කොතැනින් නතර වේද? කර්මය සහ කර්ම ඵල විපාක නො අදහන අහේතුක අකිරියවාදී
දිට්ඨිගත පුද්ගලයාට හෝ ඒවා නොතකන පුද්ගලයාට හෝ මේ ප්‍රශ්න වලට බැස කථා
කිරීමට අවශ්‍යතාවක් නැත. මේ සියල්ල මධ්‍යයේ උපතක් ලබන සෑම සත්වයෙක්ම
මරණය පළමු වන උපන් දින තෑග්ග ලෙස ලබා, මරණය දායාද කොටගෙන මොහොතෙන්
මොහොත මරණය කරා ම ගමන් කරයි.
මෙසේ ගමන් කරන්නේ ඊළඟ උපතකට අවශ්‍ය අඩුවැඩිය සපයා ගෙනය. එම සම්පාදන
ක්‍රියාවලිය ජිවත්වීම ලෙස දැකිය හැකිය. විපාක පිණිස සකස් කර ගත් කර්ම
මගින් අභිසංස්කරණය වූ භවාංග ශක්තියක් සහිතව සත්ත්වයා මරණයට පත් වෙයි.
කර්මය හා පුනර්භවය පිළිබඳ යම් වැටහීමක් ලබා ඇති තැනැත්තා තමන් කර්මය
ස්වකීය කොට ඇති බවද (කම්මස්සකතා) , කර්මය නිසාම හටගත් අයකු බවද (කම්ම
යෝනි) , කර්මය ස්වකීය නෑයා කොට ඇත්තකු බවද (කම්ම බන්ධු) කර්මය පිළිසරණ
කොට ඇත්තකු බවද (කම්ම පටිසරණා) බුද්ධ භාෂිතය මගින් තේරුම් ගනියි. එහෙත්
ඒ පිළිගැනීම මත සිටියදී වුවද ජීවිතය දිගටම පවත්වාගෙන යාමේ කැමැත්ත
ඇතිව (eagar to live on and on ) නැවත නැවත ඉපදීමට
(to be born again and again ) කැමැත්ත ඇතිව වාසය කරන පුද්ගලයා කර්මය ඥාතියා කොට ජීවත් වන
අතර එයම පිළිසරණ කොට නැවත උපතක් ලබා ගනියි. අවසානයේ මෙතැනත් (ඉත්ථභාව)
එතැනත් (අඤ්ඤභාව ) යන දෙතැනම කර්මය ස්වකීය කොට සිටියි.
සියලු සත්ත්වයෝ මරණයට බිය වෙති. (සබ්බේ මච්චුනෝ භයං ) ඒ ඇයි? මෙකී
ආකාරයට නැවත උපතක් කරා යෑමට ඇති බිය නිසා ද? නැතහොත් තත් භවය අත්හැරීමට
ඇති බිය නිසාද? මෙහිදී සත්‍ය වන්නේ දෙවැනි කාරණයයි. පෙර භවයන්හි කළ
කර්ම විපාකත්, තත් භවයේදී කරනු ලබන කර්ම විපාකත්, විඳව විඳවා සිටීමට
පෘථග්ජන පුද්ගලයා කැමැති වෙයි. “විඳීම” නමැති ආස්වාදය තුළ ඔහු “
විඳවන්නකු “ වී එහි ආදීනවය ලබයි. එනම් කර්ම සම්පාදනයෙහි කාර්ය නියුතු
වීම පෘථග්ජනයාගේ ස්වභාවයයි. ඒවා හොඳ ක්‍රියා හෝ නරක ක්‍රියා ලෙස විය
හැකිය. කර්මය විසින් සත්වයා උස් හෝ පහත් වශයෙන් බෙදා දක්වනු ලබන්නේ ය.
(කම්මං විභජ්ජේති සත්තා හීනපණිත්තාය ) යනු බුදු වදනයි. කර්මය මගින් ගෙන
දෙනු ලබන ඵල විපාක සසර තීරණය කරන අතර කර්ම ක්‍ෂය කිරීමෙන් ලැබෙන
ප්‍රබුද්ධ ඵලය සාංසාරික පැවැත්ම සල්ලේඛණය කරයි. මෙහිදී විමසා බලන්නේ එම
ප්‍රබුද්ධ ඵලයේ ස්වභාවයයි.
සිත, කය , වචනය යන තිදොරින් සක්‍රිය කරවන චේතනා මූලික ශක්තියක් ලෙස
කර්මය හඳුන්වනු ලැබෙයි. ඒවා හොඳ වැඩ හා නරක වැඩ වශයෙන් ප්‍රධාන ආකාර
දෙකකි. හොඳ වැඩ කළොත් හොඳ විපාකත් නරක වැඩ කළොත් නරක විපාකත් ලැබෙන බව
සෛද්ධාන්තිකව හෝ කරුණු සහිතව දැන උගත් බුද්ධානුගාමිකයා වැඩි වැඩියෙන්
හොඳ වැඩම කරමින් හොඳ විපාකම ලැබීම් උතුම් කොට සලකයි. එම චින්තනයේ
ආන්තික දෘෂ්ටිය ගත් බොහෝ අය නිවනද උත්කෘෂ්ඨ යහපත් කර්ම විපාකයක් ලෙස
වරදවා ගනිත්. හොඳ හෝ වේවා නරක හෝ වේවා කර්මයෙන් කර්ම විපාකයත් (කම්මෝ
විපාක වත්තන්ති) විපාකයෙන් කර්ම සම්භවයත් (විපාකෝ කම්ම සම්භවෝ) එයින්
පුනර්භවයත් (තස්මා පුනබ්බවෝ හෝති) වී , මෙසේ ලෝකය පවතින බව (ඒවං ලෝකෝ
පවත්තති) බුද්ධ දේශනයයි. බුදු දහමේ ඇතුළාන්ත ගාම්භීර ප්‍රබුද්ධ දර්ශනය
වන්නේ පුද්ගලයා කිසි කර්මයක් නොකෙරෙන තැනට යොමු කිරීමයි. “අර්හත්” යනු
එම ප්‍රාප්තිය හඳුන්වනු ලබන නාමයයි.
මේ ප්‍රබුද්ධ ප්‍රාප්තිය උදෙසා පිළිවෙත් පුරන්නා “ බෝධි සත්ව “ ලෙස
හැඳින්වෙයි. ඒ අනුව බෝධි සත්ත්ව ප්‍රතිපදාව යනු විපාක පිණිස වන කිසි
කර්මයක් නොකෙරෙන තැනට යනු පිණිස සංවිධානය වීම බව පිළිගත හැකිය. කර්ම
සකස් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමෙන් අර්හත් බුද්ධ,
ප්‍රත්‍යෙක බුද්ධ, සම්මා සම්බුද්ධ යන ත්‍රිවිධ බෝධි වලින් කුමක් හෝ
එකක් ක්‍ෂාත් සාත් කර සසර ගමන කෙළවර කෙරෙයි. කර්ම රැස් නොකිරීම යනු
කිසිවක් නොකර සිටීම නොවේ. එය කළ නොහැකි දෙයකි. කර්ම සංස්කරණයට හේතු වන
සාංසාරික මහා බල ශක්තියක් සසර සැරිසරන්නා තුළ ඇත. ඒ බල ශක්තිය
ක්‍රමයෙන් ප්‍රහීණ කරමින් සමුච්ඡේද වශයෙන් ස්ථිර අක්‍රියභාවයට පත් කරනු
ලැබීමේ ඒකාන්ත ප්‍රතිපදාව බෝධි සත්ත්ව ප්‍රතිපදාවයි. එහි නිෂ්ටාව
නිවනයි. නිවන යනු කර්ම විපාකයක් නොවේ. එසේ නම් එය කුසල කර්ම විපාකයක්ද
නොවේ. බෝධි සත්ව තෙමේ කුසල අකුසල දෙකම වීම සඳහා වන කර්මජ බීජ සංස්කරණය
වීමේ අනුසය ශක්තිය ප්‍රහීණ කරගෙන යන අයෙකි. බුද්ධකාරක ධර්ම හෙවත්
පාරමිතා යනු මෙකී කර්ම ප්‍රහීණ පටිපාටිය තුළ නිර්දේශිත දස ප්‍රවිධි බව
නිශ්චය කළ හැකිය.
කර්ම සංස්කරණ බල ශක්තිය ප්‍රහීණ කිරීමට නම් ඊට ප්‍රතිවිරුද්ධ බල
ශක්තියක් අවශ්‍ය බව පැහැදිලි ය. ඒ ප්‍රතිවිරුද්ධ බල ශක්තිය තමා විසින්ම
උපදවා ගත යුතු බව බුද්ධානුශාසනයයි.බුදුවරු ඊට මඟ පෙන්වන්නෝ වෙත්. එහි
ප්‍රථම මෙහෙවර වන්නේ කර්ම සංස්කරණ බල ශක්තිය කයෙන් සහ වචනයෙන් වැරැදි
ලෙස ක්‍රියාත්මක වීම, ව්‍යතික්‍රමණය (විතික්කම ) වීම, බිඳ දැමීමයි. එය
සීලය ලෙස හැඳින්විය හැකිය. සීලය පුහුණු ප්‍රතිපදාවකි. එහි පටන් ගැන්ම
වෙහෙසකර වුවත් කෙළවර නිරුත්සාහ ලක්‍ෂණ සහිතවෙයි. එය සීල විශුද්ධියයි. ඒ
සමගම වන දෙවෙනි මෙහෙවර වන්නේ කර්ම සංස්කරණ බල ශක්තිය මතුවන්නට හෙවත්
පරියුට්ඨාන වන්නට අවස්ථා මර්දනය කිරීම හෝ නැති කිරීමයි. එය චිත්ත
විශුද්ධියයි. සමාධි ශික්‍ෂාව වන එය සමථ භාවනාව තුළ ගොඩනැගෙන්නෙකි.
එහෙත් කර්ම සංස්කරණ බල ශක්තිය මෙ පමණකිනුදු නිරුද්ධ නොවේ. එය අනුසය
වශයෙන් යටපත්ව පවතී. සීල සමාධි වශයෙන් උපදවා ගත්, ඊට ප්‍රතිවිරුද්ධ
බලශක්තිය එයිනුදු ඉදිරියට හසුරුවන්නාට කර්ම සංස්කරණයට උපස්ථම්භක වන
සියලු ධර්මතාවන්හි යථා ස්වභාවය ත්‍රිලක්‍ෂණ සංඛ්‍යාතවද හේතු ඵල වශයෙන්ද
විශේෂයෙන් අනුලෝම ප්‍රතිලෝම ලෙස දැකිය හැකි වීමේ විපස්සනා ඤාණ පහළ කර
ගතහැකි වීමෙන් “ කර්ම සංස්කරණ බල ශක්තිය සමුච්ඡේද වශයෙන් නිරුද්ධ කර ගත
හැකි වන්නේය. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්‍ෂාව තුළ නිදේශිත ආර්ය
අෂ්ටාංගික මාර්ගය මෙය බවට මෙසේ සංක්‍ෂීජතකරණය කළ හැකි යැයි සිතමි.
කිසි ගුරුවරයකුගේ උපදේශ රහිතව මෙම මහා ක්‍රියාව කර, ප්‍රඥාවන්ත වූ අන්
අයටම ඉහත කී කර්ම සංස්කරණ ක්‍රියාවලිය අත්හිටුවන ඒකායන මාර්ගය විවෘත කර
දෙන අසම ශාස්තෘවරයාණන් වහන්සේ , බුදුරජාණන් වහන්සේය. සංසාරයේ මේ සඳහා
කළ යුතු “ මහා කැප කිරීම්” සම්භාරය අප්‍රමාණ ය. පූර්වයෙහි පහළ වූ සම්මා
සම්බුදු රජාණන්වහන්සේ නමකගෙන් නියත විවරණ ලබා ගෙනම මේ ගමන ආරම්භ කිරීම
ධර්ම නියාමයකි. ශ්‍රද්ධා වීර්ය ප්‍රඥා ත්‍රිත්වය සමව පාරප්‍රාප්ත කොට
ගුරු උපදේශ රහිතව කර්ම සංස්කරණ ශක්තිය සමුච්ඡේද වශයෙන් ක්‍ෂය කළ නමුත්,
ඒ මඟ අන් අය වෙත විවෘත කර දැක්වීමේ හැකියාව නොලැබූ උතුමෝ ප්‍රත්‍යක
බුද්ධ (පසේ බුදු )ලෙස දැක්වේ. සම්මා සම්බුද්ධ හා ප්‍රත්‍යෙක බුද්ධ යන
දෙදෙනා අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරව (එකවර සිදු නොවන) පහළ වෙති. පසේ
බුදුවරයකුට සම්මා සම්බුදුවරයාණන් වහන්සේ නමක් අභිමුඛයේදී නියත විවරණයක්
ලැබීම අවශ්‍ය යැයි සඳහන් නොවේ.
සම්මා සම්බුදුවරයකුගෙන් ම මාර්ගෝපදේශය ලබා, උන් වහන්සේගේ අනුශාසනා
පරිදි පිළිවෙත් පූරණය කොට කර්ම සංස්කරණ බල ශක්තිය මුළුමනින්ම නිරුද්ධ
කරන උතුමෝ අර්හත් බුද්ධ නම් වෙත්. මෙය ශ්‍රාවක බෝධිය ලෙසද දැක්වේ.
රහතුන්ගේ පහළ වීම බුද්ධෝත්පාද කාලයකදීම පමණක් වන්නකි.
අනාගාමී තැනැත්තා යනු බුද්ධෝත්පාද කාලයකදීම බුදු මඟ ගෙන, තවත් එක්
උපතක් පමණක් ගෙන (ශ්‍රද්ධාවාසයක) එහිදී සියලු කර්ම සංස්කරණ ශක්තිය
නිරුද්ධ කරන උතුමාය. එනිසා අනාගාමී තැනැත්තා තුළ කර්ම ශේෂයක් ඉතිරිව
ඇත. සකෘදාගාමී තැනැත්තා යනු කර්ම සංස්කරණ බල ශක්තිය මුළුමනින්ම නිරුද්ධ
කර නැතත්, කාම සුගති භූමියක එක්වරක් පමණක් ඉපිද එහිදී නිවන පසක් කරන
උතුමාය. සෝවාන් තැනැත්තා තුළ ශේෂව ඇත්තේ මේ සංසාරයෙහි උපරිම වශයෙන්
උත්පත්ති හතක් පමණක් කාම සුගති භූ®මියක ගැනීමට අවශ්‍ය කර්ම සංස්කරණ
ශක්තියක් පමණකි.
සම්‍යක් සම්බුද්ධ, ප්‍රත්‍යෙක බුද්ධ, අර්හත් බුද්ධ යන කුමක් හෝ බෝධියක්
ක්‍ෂාසාත් කරගත් උතුමන්ට කර්ම සිත් කිසි විටකත් පහළ නොවන අතර ඊට අනුරූප
විපාක සිත්ද පහළ නොවන්නේ ය.ඒ අනුව කුසල් හෝ අකුසල් සංස්කරණයක් ද නැත.
නමුත් ඒ උතුමෝද ජීවත් ව සිටින කාලය තුළ ජීවිතේන්ද්‍රිය පවත්වා ගැනීම
සඳහා අවශ්‍ය කායික, වාචසික, මානසික ක්‍රියා සියල්ල කරත්, එහෙත් කර්ම
සම්භවයට හේතුවන සියලු ක්ලේශ ශක්තීන් නිරුද්ධ කර ඇති නිසා (ඡන්ද රාගය
නිරුද්ධ කර ඇති නිසා) උන් වහන්සේට පහළ වන සිත් “ කි‍්‍රයාසිත් “නමින්
ධර්මයෙහි හැඳින්වේ.
උන් වහන්සේද වැඳුම් පිදුම්,පරෝපකාර, ගිලානෝපස්ථාන , දාන මාන , භාවනාදී
සද්කාර්ය කරත්, එම ප්‍රාප්තියට පත් නොවු පරිබාහිර කෙනකුට තමන්ගේ
දෘෂ්ටිකෝණයෙන් බලන විට ඒ සියල්ල පුණ්‍ය ක්‍රියා ලෙස පෙනෙනු ඇත.නමුත් ඒ
දකින සැටියක් මිස , සත්‍ය ස්වභාවය නොවේ.
අර්හත් ඵලයේදී කර්ම රැස් කැරෙන ක්‍රියා සාධක, බල ශක්තිය මුළුමනින්ම
නිරුද්ධ කළ පසු, ඒ ක්‍ෂණයේ පටන් කුසලා කුසල කර්ම කිසිවක් නොකැරෙන නිසා
විපාක පිණිසද කිසිවක් නොයෙදෙන්නේ ය. නමුත් අනන්ත සංසාරයේ අප්‍රමාණ
වශයෙන් කරන ලද කර්ම විපාක සියල්ලම අවසන් වූ පසු මෙම රහත්ඵලය උදාවේ යැයි
තීරණය කළහොත් කිසිවකුටත් අර්හත් බෝධිය ක්‍ෂාත්සාත් කළ නොහැකි වන්නේය.
රහතන් වහන්සේ යළි උපතක් කරා ඒමට හේතු වන උපපජ්ජ වේදනීය කර්මද නොකරන
නිසා පුනර්භවක් නොලබයි.
පුනර්භවයක් නොලබන නිසා ඊට පෙර භවයන්හි කරන ලද කවර ආකාරයක හෝ කර්ම වල
විපාක දීමට අවස්ථාවක් නොමැති වීමෙන් ඒවා අහෝසි වී යන්නේය. රහත් ඵලයේදී
කාල,ගති , උපධි, ප්‍රයෝග යන සිව් සම්පත්තිවල උපරිමය උදාකරගෙන ඇති නිසා,
සතර විපත්තිද නොඑළඹෙන්නේය. එනමුත් මුගලන් මහ රහතන් වහන්සේට සොරුන් ගෙන්
බලවත් විපත් සිදුවීම,ලෝසක රහතන් වහන්සේට පිණ්ඩපාතය නොලැබීයාම ආදී
අවස්ථාවලින් දැක්වෙන පරිදි රහත් ඵලයේදි වුවද පෙර උත්පත්ති භවයන්හි කළ
සමහර කර්ම විපාක ලැබුනු බව සඳහන් වෙයි. උතු,බීජ, ධම්ම, චිත්ත යන නියාම
ධර්මයන් මගින් හෝ මෝලිය සීවක සූත්‍රයේ සඳහන් පරිදි කර්ම නොවන අනෙකුත්
අවස්ථා ඛ්ත මගින් හෝ එකී අවස්ථා දැක්විය නොහැකි බැවින් කර්ම විපාක ලෙසම
ඒවා දක්වනු ලබනවා විය හැකිය.
රහත් ඵලය යනු උත්පත්ති භව හත අටකින් ලබන්නක් නොව කල්ප සංඛ්‍යාත වර්ෂ
ඒකක ගණනාවක් පාරමී ධර්ම පුරා ලබන්නකි.එසේ පුරන්නා, කලින් සඳහන් කළ
පරිදි කර්ම ස්වභාවය ඇතිව, කර්ම සම්භවය ඇති කරවන, ක්ලේශ බල ශක්තීන්
ක්‍රමයෙන් ප්‍රහීන කරමින් යන අයෙකි. එමගෙහි පළමු පියවරේදී සතර අපා ගත
වීමට හේතුවන සියලු කර්ම සහ කර්ම විපාක ශක්තීන් , ආර්ය මාර්ග ගරුක ධර්ම
මගින් අකර්මණ්‍ය වෙයි.
නමුත් ඒ ගමන් මගේදී වුවද සාංසාරික බලවත් අකුසල ගරුක කර්මයක් ඔහු අතින්
වී තිබුනොත් එහි විපාකය අපරාපරියව ලැබෙන අවස්ථාව රහත්ඵලය ලත් උත්පත්ති
භවයම වීමට ඉඩ ඇතැයි පිළිගත හැකිය. ඒ විපාකය පුද්ගලයාට ලැබෙන්නක් නොව
සෝපාදිශේෂව දරා සිටින පංචස්කන්ධයට ලැබෙන්නකි. හේතු ඵල දහම ලෝකයේ කවදත්
පවතින න්‍යායකි. රහතන් වහන්සේ හේතුඵල දහම නැති කළ අයෙකු නොව එමගින්
ඇතිවන උපධි නැති කළ කෙනෙකි. රහත් ඵලයේදි විපාක පිණිස වන කර්ම රැස්
කිරීමේ අභිසංස්කරණ ක්‍රියාවලිය සමුච්ඡේද වශයෙන් නිරුද්ධ කෙරෙනු මිස
විපාක පිණිස ඇති පුර්ව හිමිකම් සියල්ල ඒකාන්ත වශයෙන් නිරුද්ධ කෙරෙනු
නොවේ. කර්ම සිත් සහේතුකය. විපාක සිත් අහේතුකය. රතන සූත්‍රයේ එන , “
ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං “ යන පාඨයට දී ඇති අරුත අනුව උදාවී
තිබෙන, රහතන් වහන්සේ සහ කර්ම විපාක පිළිබඳව මතු වන ගැටලුවලට විසඳුමක්
මේ අයුරින් ගත හැකියයි සිතමි. මෙම සඳහන කළේ අපට හැඟෙන සැටියෙනි.
ඉදින් මෙකී සතර ඵලයෙන් මෙහා පැත්තේ සිටින අපට කර්මජ බීජ නිෂ්පාදනය
අත්හිටුවීම හැකිවන්නේ කවරදාකදැයි කිසිවෙකුටත් තීරණය කළ නොහැකිය. නමුත්
කළ හැකි අය බුද්ධෝත්පාද කාලයකම උපත ලබති. මෙයද බුද්ධෝත්පාද කාලයකි.
මිනිස් උපතක් වුවද අබුද්ධෝත්පාද කාලයක ලැබුවොත් කර්ම ක්‍ෂය කිරීමෙන්
ලබන අවසාන ඵලය උදාකර ගත නොහැකිය. එහෙත් යම් බුද්ධෝත්පාද කාලයක කර්ම
ක්‍ෂය කර අවසාන ඵලය ලබන අයත්, අබුද්ධෝත්පාද කාලයකදි සම්‍යක් සම්බෝධිය
හෝ ප්‍රත්‍යෙක බෝධිය ලබන අයත්, මේ සංසාරයේ අබුද්ධෝත්පාද කාලවලදීද
මිනිසුන් ලෙස හෝ වෙනත් සත්ත්වයින් ලෙස හෝ උපත ලබා සිටින බව අමතක නොකළ
යුත්තේය. ඔවුන් බෝධි සත්ත්ව පාරමී ධර්මයන් පුරන අය වෙත්. එහෙත් ඒ මාර්ග
ප්‍රතිපදාව බුද්ධෝත්පාද කාලයකදී පමණක් ලබා ගත හැකි එකකි.
කර්ම ක්‍ෂය කිරීමෙන් ලැබිය හැකි ප්‍රබුද්ධ ඵලය ලබා ගැනීමට මිනිස් ලොව
තරම් ශ්‍රේෂ්ඨ වූ වෙනත් ලොවක් , උත්පත්ති භූ®මි තිස් එකෙහිම නැත.
අනෙකුත් භූමි සියල්ලේම උපත් තීරණය කරනු ලබන්නේද මේ මිනිස් භවයේ සිටය. ඒ
සියලු උපත් වලින් වියුක්ත වූ ,සියලු දුකින් මිදුණාවූ, ඵලාභිෂේකය ලැබිය
හැකි මාර්ගය අනුගමනය කළ හැකි වන්නේද මනුෂ්‍යයාට පමණකි. |