UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කැප්පෙටිපොල පරපුරෙන් බිහි වූ මාකෙහෙල්වල ශ්‍රී අභයරාජ විහාරය


අලුත්වැඩියා කරන ලද ටැම්පිට විහාරය

ගල්බොඩ කෝරළයේ එගොඩපොත පත්තුවේ පිහිටි මාකෙහෙල්වල සුන්දර ගම්මානය ජාතික වීරයකු වශයෙන් සම්භාවනා ලබන ඉංගී‍්‍රසි පාලන සමයේ ඌව දිසාවේ තනතුර ඉසිලූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවගේ ජන්ම භූමිය වශයෙන් වැදගත් වේ. ඔහු 1818 උඩරට මහ කැරැල්ලේ දී සිංහලයන්ට එක්වී එයට නායකත්වය දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස කැරැල්ල පරාජය වූ පසු ඉංගී‍්‍රසින්ගෙන් හිස් ගැසුම් කෑවේය. ඔහුගේ සොහොයුරා වූ මද්දුම බණ්ඩාර කැප්පෙටිපොළ නිලමේ වාසය කළේ ද මෙම ගමේ ය. ඔහු විවාහ වී සිටියේ මොල්ලගොඩ හතර කෝරළයේ දිසාවගේ නැගණිය වූ අභයකෝන් හේරත් වාසල මුදියන්සේ රාළහාමිල්ලාගේ ටිකිරිකුමාරි සමඟයි. සිය සොහොයුරාගේ අකල් මරණයෙන් කම්පාවට පත්ව සිටි කැප්පෙටිපොල නිලමේගේ සොහොයුරු මද්දුම බණ්ඩාර නිලමේ ද අකල්හි මරණයට පත් වූ බව පැවසේ. ඔවුන්ට දරුවන් සිටියේ නැත. මේ නිසා හුදෙකලාව කල් ගත කළ ඔහුගේ බිරිඳ වූ ටිකිරි කුමාරි පසුව කැප්පෙටිපොළ පරපුරට අයත් වලව්ව පන්සලක් කර ඒ ආසන්නයේ ටැම්පිට විහාරයක්ද ඉදිකරවා මහා සංඝරත්නයට පූජා කළා ය. එහිදී වලව්වේ ඉඩම්වල රාජකාරි කළ පවුල් කිහිපයක්ද සමඟ එම ඉඩම් පූජා කර ඇත. අදත් විහාරයට අයත් එම ඉඩම් භුක්ති විඳිමින් රාජකාරි කරන්නේ එම පවුල්වලින් පැවතෙන්නෝ වෙති.

මෙම විහාර පූජාව සිදුකරන ලද්දේ එවකට ප්‍රදේශයේ කීර්තිමත් සංඝයා වහන්සේ නමක වූ වේකොළදෙණියේ ශ්‍රී සුමන ස්වාමීන් වහන්සේට ය. ඒ 1855 ඔක්තෝබර් 2 දාය. මේ අනුව මහනුවර යුගයෙන් පසු ඉදිවූ ටැම්පිට විහාර අතරින් එකක් වශයෙන් මාකෙහෙල්වල විහාරය සැලකිය හැකි ය. එවක පටන් මේ විහාරය ප්‍රදේශවාසීන්ගේ ආගමික කර්තව්‍යයන් සඳහා දායකත්වය ලබා දුන්නේ ය. මෙම පුදබිම පිහිටා ඇත්තේ මාවනැල්ල සිට රඹුක්කන පාරේ කි.මී. 11.5 ක් දුරින් පිහිටි කැප්පෙටිපොල හන්දියේ ඉතා සුන්දර වටපිටාවක ය.

කැප්පෙටිපොල වලව්වේ පැවති සංඝාවාසය පසුකාලීනව අබලන් තත්ත්වයට පත්ව තිබුණි. 1986 දී එම පැරණි ගොඩනැගිල්ල ඉවත් කර එම ස්ථානයේ දෙමහල් සංඝාවාසයක් ඉදි කර තිබේ. මේ නිසා ඉතා වැදගත් පැරණි වලව්වක් අපට අහිමි වී ඇත. පැරණි ගොඩනැගිල්ලේ තිබූ දැව උළුවස්සක් පමණක් අලුත් ගොඩනැගිල්ලට එක් කර තිබේ.


නව විහාරයේ දසුනක්

නව විහාර මන්දිරයක් සහ ධර්ම ශාලාවක්ද විශාල හිටි බුද්ධ ප්‍රතිමාවක්ද මෙම භූ®මියේ ඉදිවී තිබේ. අට විසි බුදුන් වහන්සේලා පිට දුන් බෝධි වෘක්ෂ සියල්ල ද මෑතක දී රෝපණය කර ඇත්තේ වර්තමාන විහාරාධිපති වහන්සේ වන මණ්ඩාවෙල ධර්මාරාම හිමියන්ගේ උත්සාහය සහ දායක දායිකාවන්ගේ කැපවීම මත ය. පැරණි ටැම්පිට විහාරය පිහිටා ඇත්තේ නව විහාර භූ®මියේ සිට මී.300 ක් පමණ දුරින් රබර් වත්තක් මධ්‍යයෙහිය. අද එය කිසිවෙකුගේ අවධානයට ලක් නොවී ජරාවාස වෙමින් පවතී. බැතිමතුන් මල් පුජා කිරීමට පවා මේ දෙසට නොපැමිණේ. දැනට මෙහි දක්නට ඇත්තේ 1961 දී එවකට විහාරාධිපති වූ මීපිටියේ මේධංකර හිමියන්ගේ අනුශාසකත්වයෙන් කරන ලද අලුත්වැඩියාවේ දී නිර්මාණය කළ ප්‍රතිමා සහ සිතුවම් වේ. එම නිසා එහි තිබූ පුරාවිද්‍යාත්මක අගය වියැකී ගොස් තිබේ. අඩි 7 ක් උස ගල් ටැම් 21 ක් මත විහාරය පිහිටා තිබේ. මෙහි දිග අඩි 20 අගල් 8 ක් ද පහළ අඩි 17 අඟල් 10 ක් වේ. විහාර මන්දිරය වටා යන සේ ඇති ප්‍රදක්ෂිණා පථය පළල අඩි 2 අඟල් 6 කි. ඒ වටා ඇති දැව කුළුණු 1961 අලුත්වැඩියාවේදී යෙදූ ඒවා බව පෙනේ. ප්‍රදක්ෂිණා පථය වටා වූ අත්වැලක් දැනට දක්නට නැති නිසා අනාරක්ෂිතය. එය විනාශ වී යන්නට ඇත. ආනති දෙකකින් යුත් සිවුරැස් වහලයට සෙවිලි කර ඇත්තේ රට උළුය.


විහාරාධිපති මණ්ඩාවෙල ධම්මාරාම හිමි

ප්‍රතිමා මන්දිරයට පිවිසෙන උළුවස්ස දෙපස සිංහ රූප දෙකකි. එයට ඉහළින් මකර තොරණකි. එයින් කුඩා ගර්භයකට ඇතුළුවේ. මෙම ගර්භයේ බිත්තිවල සූවිසි විවරණය සිත්තම් කර තිබේ. මෙහි සිට ප්‍රතිමා මන්දිරයට ඇතුළු වීමට ඇති ප්‍රවේශයේ උළුවස්ස කැටයමින් යුක්තය. එය දෙපස දොරටුපාල ප්‍රතිමා දෙකකි. උළුවස්සෙහි තීන්ත ආලේප කර තිබේ. උළුවස්ස වටා යන ලියවැල් සහ පලාපෙති මෝස්තරයකි. ඉහළ හරස් කඳෙහි දක්නට ලැබෙන්නේ හොටයෙන් ලියවැල් ගත් හංසයන් දෙදෙනෙකි. දොරෙහි ද මල් මෝස්තර චිත්‍රගත කර තිබේ. ප්‍රතිමා මන්දිරයෙහි හිටි බුද්ධ ප්‍රතිමාවක්ද ඒ දෙපස සැරියුත් මුගලන් රහතන් වහන්සේලාද නිර්මාණය කර තිබේ.

අද මෙම පුද බිම අවට ප්‍රදේශයට විශාල ශාසනික සේවාවක් කරන විහාරස්ථානයක් බවට පත්ව තිබේ.

 

 

අධි වෙසක් පුර අටවක

අධි වෙසක් පුර අටවක අප්‍රේල් 21 වන දා අපර භාග 12.46 ට ලබයි.
22 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 21 වන දා බදාදා ය.

 මීළඟ පෝය
අප්‍රේල් 28 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]