UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ ඉතිහාසඥයෝ දෙදෙනෙක්

Mahabodhi Centenary Commemorative Volume - SAMBHASHA සඟරාවෙන් උපුටා ගන්නා ලද මහාචාර්ය සෙනරත් පරණවිතාන විද්වතාණන්ගේ Two Buddhist Historians මැයෙන් වූ ලිපියේ පරිවර්තනයකි.

බුද්ධපි‍්‍රය තෙරුන්ගේ යවනරාජ වෘත්තාන්තයට පාදක වූ වස්තු විෂය ප්‍රධාන වශයෙන් උපුටා ගෙන ඇත්තේ, මහා බුද්ධ රක්ෂිත ස්ථවිර නම් වූ ලේඛකයකු විසින් සම්පාදිත රාජවංශ පුස්තක නමින් හැඳින්වුණු පැරැණි ඓතිහාසික කෘතියකිනි. සිවු වන සිය වස මුල හරියේ දී සම්පාදිත එය, අනුරාධපුර අභයගිරි විහාරයේ සුරැකිව තිබිණි. බුද්ධපි‍්‍රය තෙරුන් විසින් දක්වන ලද තොරතුරු වලට අනුව, මහා බුද්ධරක්ෂිත තෙරණුවෝ සිංහල මවුපියනට දාව ශ්‍රී ලංකාවේ උපන්නෝ ය.

ලෝක ආගමක් ලෙස බුදුදහමේ නිර්ගමනය අත්‍යන්තයෙන් අශෝක අධිරාජ්‍යයාගේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වන බව සියලු ඉතිහාසඥයන් විසින් පිළිගනු ලැබේ. බුදුන් වහන්සේගේ පණිවිඩය සන්නිවේදනය පිණිස අධිරාජයා විසින් උපයාමාර්ග සැලසුම් කර ගන්නා ලද්දේ මහා පරිමාණ ප්‍රාන්ත පුරා පවත්වා ගෙන ගිය දේශපාලන බලයෙනි. මේ මහා පරිමාණ වපසරියට නූතන මුළු මහත් ඉන්දියාව, පකිස්ථානය සහ බටහිර පකිස්ථානයෙන් අපරදිගට ව්‍යාප්ත වූ ප්‍රදේශ ද ඇතුළත් ය. ඓතිහාසික විසින් මැනවින් දන්නා පරිදි මේ අධිරාජ්‍යය ගොඩනැඟුවෝ චන්ද්‍රගුප්තයෝ ය. ඔවුන්ගේ පුත් බින්දුසාරයෝ එය ඒ හැටියෙන් ම රැක ගත්තාහු පමණක් නොව විය හැකි පරිදි එහි දේශසීමා දකුණට ද ව්‍යාප්ත කළහ.

චන්ද්‍රගුප්තත්, බින්දුසාරත් බුදුදහමේ අනුග්‍රාහකයෝ නොවූහ. එහෙත් ඔවුහු අශෝකට බුදුදහමට හිතකර ප්‍රතිපත්ති සැලසුම් කර ගන්නට වුවමනා පසුබිම සකසා දුන්හ. එහිලා පුරාතන ඉන්දියාවේ මෙකී ශ්‍රේෂ්ඨ පාලකයන්ගේ ජීවන චරිතය පිළිබඳ විශ්වාසදායක තොරතුරු දැන ගැනීම බුදුදහම හදාරන්නවුනට බෙහෙවින් වැදගත් ය.

එහෙත් මේ වනතුරු බෞද්ධයන් පමණක් නොව හින්දුන් හා ජෛනයන් විෂයයෙහි ද අපට ලැබී ඇති ඓතිහාසික තොරතුරු සම්බන්ධයෙන් බොහෝ අඩුපාඩු ඇති බව දකින්නට ලැබීම කනගාටුවට හේතුවකි. මේ අතර අශෝකයන්ගේ මරණයෙන් පසු ඉන්දියාවේ සිදුවුණු වැදගත් සිදුවීම් පුරුදු පරිදි බුදුදහම සහ ඒ කලාපයේ ඉතිහාසය හදාරන ආධුනිකයන්ගේ ඉරණම කෙරෙහි බලපෑවේ ය.

එහෙත් දැන් ඔවුනට සතුටු වන්නට හැකිව තිබේ. කෙසේ ද යත්, පැරණි කාසි හා පදක්කම් පිළිබඳ අධ්‍යයනයෙන් ලත් සාධනීය සාක්ෂ්‍ය මඟින් ලැබී ඇති යන්තමින් පිරිමසා ගත හැකි යාහිත්යික මූලාශ්‍රයන්ගෙන් ලැබෙන සුන්බුන් කීපයකිනි.

ඉන්දියානු හා බෞද්ධ ඉතිහාසය පිළිබඳ තොරතුරු විෂයයෙහි සතුටුදායක අත්දැකීමක් ලබන්නට හැකිවන ලේඛන කීපයක් ප්‍රකාශයට පත් කරන්නට මම වාසනාවන්තව සිටිමි. එහිලා විද්වතුන්ගේ සැලකිල්ල යොමු කිරීමට සුදුසු වන්නේ විශේෂයෙන් බුදුදහමත්, සාමාන්‍යයෙන් ඉන්දියානු ඉතිහාසය සහ සාහිත්‍යයත් පිළිබඳ අධ්‍යයනය කෙරෙහි වෙති යි මම විශ්වාස කරමි. මේ ලේඛනයන්ගේ ආරක්ෂාව පිණිස කටයුතු සම්පාදනය කර ඇත්තේ සුවිශේෂී පිළිවෙතක් අනුව වන අතර, ඒවා පිළිබඳ සොයා බැලීමක් කර ඇත්තේ කවර හැටියකින්වත් ඒවායේ වැදගත්කමට හානියක් වන පසුබිමක් යටතේ් නොවේ.

මේ සම්බන්ධයෙන් කෙටියෙන් කියතොත්, මම වසර හතරකට පමණ පෙර, දහවැනි සියවසේ කොටන ලද ලද සිංහල පුවරු සෙල්ලිපියක ඡායා පිටපතක් විෂයයෙහි සියුම් අධ්‍යයනයක නිරතව සිටියෙමි.

මේ පරීක්ෂණයෙහි සාවධානගතව සිටියදී ඡායා පිටපතෙහි තීන්ත ආලේපය නොපැහිදිලිව තිබුණු තැන්වල, ඉතා කුඩා අකුªරින් කැටයම් කරන ලදුව ඉතිරි වූ කැබලිති, කලින් කැටයම් කර තිබුණු සෙල් ලිපියක පේළි අතර ඉඩෙහි යන්තමින් ඒවායේ මතුපිටින් ගෑවී ගෙන යන බවක් පෙනිණ. අකුරුවල ආකෘතියෙන් පෙනී ගියේ මේ ඉතා කුඩා අකුරු මූලික හෙවත් කාලීන කැටයම් කර තිබුණු ලිපියට සියවස් දෙකක් හෝ තුනකට පමණ පසු යම් කලෙක භාවිතයේ යෙදුණු ඒවා බව යි.

ඇතැම් අකුරු ඊටත් පසුකාලීන ඒවා බව පෙනේ. එනම් පසළොස් වැනි සියවස තරම් වෙයි. මේ පසුකාලීන අකුරු ඉතාම නොපැහැදිලි ය. ඇතැම්විට, සැලකිය යුතු ගැඹුරකින් කැටයම් කරන ලද මුල් ලේඛනය පැහැදිලි කර ගන්නට ඡායා පිටපත සූදානම් කිරීමේදී යොදන ලද තීන්ත ආලේපය මුළුමනින් මැකී යන්නටත් හැකිය. එකට ගැළපෙන වාක්‍ය ඛණ්ඩ හා වාක්‍ය කීපයක් කියවා තේරුම් ගැනීමේදී, කලින් ලියූ ඒවා මකා ඒ මතුපිට ලියූ ඒවා බවත්, එසේ විය හැකි නම් ඒවා සංස්කෘත භාෂාවෙන් ලියූ බවත් හෙළි වෙයි. ඒ අතර ඒ අකුරු වඩාත් ඓතිහාසික බවත් සිතිය හැකි ය.

ඒවා මත පසුව ලියන ලද අකුරු වඩා පැහැදිලිව පෙනෙනු පිණිස විශේෂයෙන් සූදානම් කරන ලද්දේ මේ වන විටත් පුරාවිද්‍යා කොමසාරිස්ව සිටින ආචාර්ය සී.ඊ. ගොඩකුඹුර විසිනි. එහිලා මවිසින් වැඩිදුරටත් බෙහෙවින් වෙහෙසකර කාර්ය භාරයක් ඉටුකරන ලදී. ඒවා කියවීම බෙහෙවින් අමාරු කාරියක් විය. එයට හේතුව එක් එක් අවධිවල කැටයම් කරන ලද අකුරු තට්ටු පිට තට්ටු කීපයක් තිබීම යි. එබැවින් එක් තට්ටුවකට උඩින්හෝ යටින් ඇති තට්ටුවේ සටහන් කර ඇති අකුරු විමසා වෙනස දැන ගන්නට ඇස පුරුදු කර ගැනීම වඩ වඩාත් දුෂ්කර බව කිය යුතුය.

දරාගත නොහැකි වේදනාව පවා නොසලකා මේ ඡායා පිටපත් කියවීමෙන් ලබාගත් ප්‍රගතිය ප්‍රමාණවත් එකක් විය. එසේ කියවා පළමුවෙන් තේරුම් ගත හැකි එකක් වූයේ මැසිඩෝනියානු ආක්‍රමණික ඇලෙක්සැන්ඩර් ගැන වෘත්තාන්තයකි. එය සටහන්ව තිබී ඇත්තේ බුද්ධපි‍්‍රය තෙරුන් විසින් ලියන ලද ‘යවනරාජ වෘත්තාන්ත’ නම් කෘතියේ ය.

උන්වහන්සේ සිරිවිජය පාලක මාරවිජයෝත්තුංග විසින් පිහිටුවන ලද නාගපට්ටන විහාරයේ අධිපති වූහ. උන්වහන්සේ පාලි භාෂාව ඉගෙන ගන්නා ශිෂ්‍යයන් අතර ප්‍රභාවිත ‘රූපසිද්ධි’ නම් ව්‍යාකරණ ග්‍රන්ථයේත් ‘පජ්ජමධු’ නම් පාලි කාව්‍යයේත් කතුවරයා ලෙස හඳුනාගනු ලැබ සිටියහ.

බුද්ධපි‍්‍රය තෙරුන්ගේ යවනරාජ වෘත්තාන්තයට පාදක වූ වස්තු විෂය ප්‍රධාන වශයෙන් උපුටා ගෙන ඇත්තේ, මහා බුද්ධ රක්ෂිත ස්ථවිර නම් වූ ලේඛකයකු විසින් සම්පාදිත රාජවංශ පුස්තක නමින් හැඳින්වුණු පැරැණි ඓතිහාසික කෘතියකිනි.

සිවුවන සිය වස මුල හරියේ දී සම්පාදිත එය, අනුරාධපුර අභයගිරි විහාරයේ සුරැකිව තිබිණි. බුද්ධපි‍්‍රය තෙරුන් විසින් දක්වන ලද තොරතුරු වලට අනුව, මහා බුද්ධරක්ෂිත තෙරණුවෝ සිංහල මවුපියනට දාව

ශ්‍රී ලංකාවේ උපන්නෝ ය.

අභයගිරි විහාරයේ සසුන්ගතවූ උන්වහන්සේ පුහුණුවෙහි මූලික පියවර සපුරා භික්ෂුත්වයට අදාල දැනුම අත්පත් කරගෙන, පස්විසි වියේදී පඤ්චනද (පංජාබ්) රටට ගොස් එවක ඒ ප්‍රාන්තයේ ජීවත් වූ ගී‍්‍රක භාෂාව හා ගී‍්‍රක සංස්කෘතික දැන සිටි ජාතීන් අතර බුදුදහම ප්‍රචාරය කිරීමෙහි නිරත වූහ.

ඒ සඳහා උන්වහන්සේට ගීි‍්‍රක් භාෂාව ගැන දැනුමක් ලබා ගන්නට සිදුවිය. ඒ අතර පඤ්චනද දේශය හා ඉන් ඔබ්බට බටහිරත් භාවිත වෙනත් භාෂා ගණනාවක් විෂයයෙහි ප්‍රවීණයකු වන්නට හැකිවිණැ යි කියනු ලැබේ. එහිලා පර්සියන්, ලතින්, පෙහ්ලවී, ලොග්ඩියන් සහ ජනතාව විසින් ප්‍රායෝගිකව කථා ව්‍යවහාරයේ භාවිත ආර්ය දේශීය භාෂා ද විය.

පසළොස් වසරක් පංජාබයේ ධර්ම ප්‍රචාරයේ නිරත වූ උන්වහන්සේ ආපසු ශ්‍රී ලංකාවට ආහ. එසේ වඩින ගමනේදී උන්වහන්සේට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ දැක බලා අත්දැකීම් ලබා ගන්නට හැකි වූ බව දැක්වෙයි. උන්වහන්සේ එසේ දැක බලා ගත් හැම ප්‍රදේශයකදී ම ඒ එක එක ජනයාගේ භාෂාවට අමතර ඔවුන්ගේ් ඉතිහාසය සහ ජාතික සංස්කෘතික සම්ප්‍රදාය ද අධ්‍යයනය කළහ.

උන්වහන්සේ මහසෙන් රජුගේ් (ක්‍රි.ව 276 - 303) පාලනයේ අවසාන හරියේදී ආපසු ශ්‍රී ලංකාවට ආහ. ඉක්බිති රජතුමා මුණ ගැසුණු මහා බුද්ධරක්ෂිත තෙරණුවෝ තමන්ගේ සංචාරය පිළිබඳ විස්තරයක් රජුට ඉදිරිපත් කළහ. අනතුරුව සිය සංචාරයේදී බුද්ධරක්ෂිත තෙරුන් එක්රැස් කර ගත් ඥාන සම්භාරයෙන් මවිතයට පත් රජතෙමේ, උන්වහන්සේ සංචාරය කළ රටවල රාජ පරම්පරාවන්ගේ ඉතිහාසය සහ එහිලා තොරතුරු ලබා ගන්නට මූලාශ්‍රය විසින් කියවූයේ කවර පතපොත දැයි විස්තර කරමින් ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස ඉල්ලා සිටියේ ය.

එසේ ඉල්ලා සිටි රජු විසින් ඒ කාරිය කර ගෙන යනු පිණිස වුවමනා පහසුකම් සලසා දෙන ලදී. ඉක්බිති අභයගිරි විහාරයේ නවාතැන් ගත් බුද්ධරක්ෂිත හිමියෝ තමන් දැන සිටි සියලු රාජ්‍යයන්ගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ඇතුළත් ‘රාජවංශපුස්තක’ නම් ග්‍රන්ථය ලියූහ. එහි වැදගත් කොටසක් වූයේ ගී‍්‍රක හා රෝම අධිරාජ්‍යයන් පිළිබඳ තොරතුරු යි. එසේ ම තමා නැවතී සිටි කාලය තෙක් ඉන්දියාවේ වැජඹුණු රාජකීය පරම්පරා ගැන විස්තරයක් දක්වා ඇත.

රාජවංශපුස්තක ග්‍රන්ථය ලියා ඇත්තේ එවක පැවති සිංහල භාෂාවෙනි යි කියනු ලැබේ. එහෙත් තවත් පුවතක් අනුව, එහි සංස්කෘත පිටපත බුද්ධරක්ෂිත හිමියන් විසින් ම ලියන ලද්දකි. වෙනත් මතයක් අනුව සංස්කෘත පිටපත පසුකාලීනව පිටස්තරයකු විසින් ලියැවුණකි. වසර පහක් තුළ රාජවංශපුස්තක කෘතිය ලියා නිම කළ කතුවරයා යළිත් පඤ්චනද (පංජාබ්) රටට ගොස් සිය ආගමික කටයුතු කර ගෙන යන ලදැයි කියනු ලැබේ. උන්වහන්සේ බොහෝ ආයු වළඳා එහිදී අපවත් වූහ.

පංජාබයේ බෞද්ධයන් උන්වහන්සේගේ සොහොන මත ස්තූ®පයක් ගොඩනගා ඇතැයි කියා තිබේ.

මහසෙන් රජ රාජවංශ පුස්තක ග්‍රන්ථය බෙහෙවින් අගය කළ බව සඳහන් වෙයි. එහෙත් මහාවිහාර භික්ෂූහු එය මිථ්‍යා දෘෂ්ටික යැ යි ප්‍රකාශ කර තම නිකායේ සාමාජිකයනට කියවීම තහනම් කළහ.

කෙසේ වෙතත් වෙනත් අභයගිරි විහාරය පළමුවැනි පරාක්‍රමබාහුගේ (1153 - 1186) රාජ්‍ය සමයේ මර්ධනයට ලක්වන තුරුම රාජවංශ පුස්තක’ ග්‍රන්ථය එහි සුරැකිව තිබිණ. එහි මුල් පිටපතේ අනුපිටපතකුත්, සංස්කෘත පරිවර්තනයකුත් සුවර්ණපුර (ශ්‍රී විජය එනම්, සුමාත්‍රාවේ නූතන පලෙම්බෑං) පුස්තකාලයේදී සොයා ගෙන ඇත. 1215 දී පොළොන්නරුවේ රජබවට පත් මාඝ විසින් එහි පිටපතක් ලබාගෙන තිබේ. රාජවංශ පුස්තකයේ මුල් පිටපතින් සහ සංස්කෘත පිටපතින් උපුටා ගත් කොටස් මාඝගේ අණ පරිදි මුල්කර ශිලා ලේඛනයන්හි කැටයම් කර ඇත. ඒවා මත කැටයම් කරන ලද පශ්චාත් ලේඛන නිසා දැන් ඒවා කියවීම අති දුෂ්කර ය. එහෙත් සෑහෙන තරම් දිග වාක්‍යපාද කියවා තේරුම් ගත හැකිව ඇත. ඒ අතර සංස්කෘත පිටපතින් චන්ද්‍රගුප්ත සහ බින්දුසාර ගැන තොරතුරු දැක්වෙයි.

ඉහත විස්තර කරන ලද ආකාරයෙන් තවත් ඓතිහාසික ග්‍රන්ථයකින් කොටස් උපුටා ගෙන ගලෙහි කැටයම් කර ඇත. එය ‘පරම්පරාපුස්තක’ නමින් හැඳින්වෙයි. එහි කතුවරයා වූයේ භද්‍ර තෙරුණුවෝ ය. උන්වහන්සේ ස්වර්ණපුර (ගී‍්‍රවිජය) සංඝනායක හිමියන්ගේ ශිෂ්‍යයෙකි. භද්‍ර තෙරුන් සිය අධ්‍යාපනය ලබා ගත්තේ අනුරාධපුරයේ අභයගිරි විහාර නිකායේ නායක හිමියන්ගෙනි. ඒ ග්‍රන්ථය වික්‍රමබාහුගේ (1111 - 1132) පාලන සමයේ ලියන ලද්දකි.

එය අති විශාල ග්‍රන්ථයක් වන අතර ඉතිහාසයට ප්‍රවේශ වන්නේ චරිතාපදාන ආකෘතියෙනි. ‘රාජවංශපුස්තක’ කෘතිය යම් සේ ඒ ඒ රටවල නොයෙක් රාජපරම්පරාවන්ගේ ඉතිහාසය සමඟ සහගාමී වන අතර ‘පරම්පරාපුස්තක’ ග්‍රන්ථය එයට විකල්ප ලෙස විශිෂ්ට ඓතිහාසික චරිතයන්ගේ වැදගත් ජයග්‍රහණ සඳහන් කරමින් චරිතාපදාන ආකෘතියෙන් තොරතුරු දක්වා ඇත.

පරම්පරාපුස්තක කෘතිය ලියා ඇත්තේ දොළොස් වැනි සියවසේ පළමු වැනි කාර්තුවෙහි වුවත්, එයට උපයෝගී කරගත් මූලාශ්‍ර ඊට බෙහෙවින් පූර්වතර ඒවා බව පෙනේ. එයට හේතු මෙසේ දැක්විය හැකිය. එනම්, රාජවංශපුස්තකය සේ ම, පරම්පරාපුස්තකයක් සමාන විෂය අන්තර්ගතයක් ආශ්‍රය කර ගෙන ඇතත්, පරම්පරාපුස්තකය, රාජවංශපුස්තකයට වඩා තොරතුරු සහ විස්තර ඉදිරිපත් කරයි. චන්ද්‍රගුප්ත විෂයයෙහි එක් එක් ග්‍රන්ථයක් ඉදිරිපත් කර ඇති තොරතුරු විස්තරයෙන් එය මැනවින් පැහැදිලි වෙයි.

පරම්පරාපුස්තකයෙන් උපුටා ගන්නා ලද කොටස් කෝට්ටේ සවැනි පැරකුම්බාගේ (1412 - 1467) අණ පරිදි එකලත්, ඊට පසුතර කල්හිත් සෙල්ලිපිවල කැටයම් කර ඇත. පරම්පරාපුස්තකයෙන් උපුටා ගනු ලැබූ උද්ධෘතයන්ගෙන් මවිසින් සාර්ථක ලෙස තේරුම් කරගත්තොරතුරු ගණනාවක් ඇත. එනම්, චන්ද්‍රගුප්ත, පඤ්චනද දේශය ආක්‍රමණය කළ යුවස්ථ ධෘමත් (ඉයුතිදේමුස්) බැක්ට්‍රියාවෙන් නිදහස් කර ගත් පංජාබයේ ගි‍්‍රක් රාජධානියක් පිහිටැවූ ධ්මිත්‍ර (ඩිම්ට්රියස්) සාර්ථක ලෙස ඉන්දියාවේ ගි‍්‍රක් යටත් විජිත ව්‍යාප්ත කර, ආරක්ෂා කර ගත් මයනේන්ද්‍ර (මිනැන්ඩර්) ආදින් පිළිබඳව යි.

මේ ලේඛනවල නූතන ගී‍්‍රක් මූලාශ්‍ර හෝ ඉන්දියානු ඓතිහාසික සම්ප්‍රදායයෙන් ලද නොහැකි ඓතිහාසික තොරතුරු ඇතුළත් ය. උදාහරණයක් ලෙස රාජවංශපුස්තකය සහ පරම්පරාපුස්තකය යන දෙක ම චන්ද්‍රගුප්ත විසින් සෙලියුකස් නිකටෝර් (වාලුක්‍ය නිකටෝර) තීරණාත්මක ලෙස පරාජයට පත්කොට ඔහු සිරභාරයට ගත් මහා යුද්ධය ගැන සඳහන් කරයි. සෙලියුකස් අමාරුවෙන් නිදහස ලබා ගත්තේ පර්සියාවට නැගෙනහිරින් පිහිටි පර්සියානු අධිරාජ්‍යයට අයත් සියලු මහා ප්‍රදේශ චන්ද්‍රගුප්තට පවරා දෙමිනි. ඒ අගර සෙලියුකස්ට බැක්ට්‍රියාව ආපසු තබා ගන්නට ගිවිස ගන්නා ලදී.

ඉක්බිති ගිවිසුමට අනුව සෙලියුකස්ගේ දියණිය වූ ස්වර්ණාක්ෂි චන්ද්‍රගුප්තට පාවා දීමටත්, ඒ වෙනුවට ඇතුන් පන්සියයක් සෙලියුකස්ට පරිත්‍යාග කිරීමටත් එකඟ වුණු බව වාර්තා කොට ඇත. පරම්පරාපුස්තක ග්‍රන්ථයේ දැක්වෙන පරිදි, තක්ෂිලා රාජධානියෙහි සහ ඇලෙක්සැන්ඩර්ගේ සම්ප්‍රාප්තියට පෙර ආසන්න රටවල පැවති තත්ත්වය ගැනත් අපට දැන ගන්නට හැකි ය.

ඒ අනුව චන්ද්‍රගුප්ත රජබවට පත්වීම සහ පඤ්චනද දේශයේ බෞද්ධ සමයේ ධ්මිත්‍රගේ (ඩිමිටි‍්‍රයස්) ප්‍රවේශය වැනි සංසිද්ධි ගැන වැදගත් තොරතුරු පිළිබඳ දින වකවානු ද දෙපක්ෂයේ ම වගකිය යුතු බලධරයන්ගෙන් දැන ගන්නට ලැබෙයි. මේ සංසිද්ධින්ගේ කේන්ද්‍රිය ලක්ෂ්‍යය වන්නේ ක්‍රි.පූ 545 ය.

මෙහි සඳහන් ලියකියවිලි පිළිබඳ තොරතුරු, දැනට සැලසුම් කරමින් පවතින ‘ ද ගි‍්‍රක්ස් ඇන්ඩ් මෝර්යාස්’ මැයින් වන කෘතියෙහි ඉදිරිපත් කරනු ලබනු සහ සාකච්ඡා කරනු ලබනු ද ඇත. එහිදී මුල් සංස්කෘත පෙළ හෙවත් පාඨ ද ඉදිරිපත් කරනු ලැබේ.

අධි වෙසක් පුර අටවක

අධි වෙසක් පුර අටවක අප්‍රේල් 21 වන දා අපර භාග 12.46 ට ලබයි.
22 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 21 වන දා බදාදා ය.

 මීළඟ පෝය
අප්‍රේල් 28 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]