අගනා බිතුසිතුවම් සහිත
කෝඳුරුවාපොල
ටැම්පිට විහාරය
සටහන සහ ඡායාරූප
කුසුම්සිරි විජයවර්ධන
අප රටේ විහාරස්ථාන අතර ටැම්පිට විහාර වාස්තු විද්‍යාත්මකව ඉමහත්
වැදගත්කමක් හිමිකර ගනී. කුරුණෑගල දිස්ත්‍රික්කය මහනුවර යුගයට අයත්
එවැනි ටැම්පිට විහාර රාශියක් දැකිය හැකි ප්‍රදේශයකි. එහෙත් ඒ අතරින්
වැඩි විහාර ප්‍රමාණයක සිදුව ඇති පසුකාලීන ප්‍රතිසංස්කරණ නිසා පෞරාණික
අගය හීනවී ගොසිනි.මේ අතරින් කෝඳුරුවාපොල විහාරය වැදගත් වන්නේ එය
පුරාවිද්‍යාත්මක අගය සුරැකුණු රක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් නිසා ය. මෙය
ඉදිකරවූ බව සඳහන් වන්නේ මීගස්තැන්නේ අදිකාරම (දුම්බර නිලමේ) විසිනි.
කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) රජ දවස විසූ මෙම අදිකාරම විසින්
කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් කෝරළේ ටැම්පිට විහාර රාශියක් ඉදිකරවන ලද
බව හෝ පිළිසකර කරවන ලද බව සඳහන් වේ. ඔහු නැවතී සිටි බව සඳහන් වන්නේ
කුලියාපිටිය කෝන්ගහගෙදර ගමේ ය.
ටැම්පිට විහාරය |
මේ විහාරය වෙත ළඟාවීමට කුරුණෑගල කුලියාපිටිය මාර්ගයේ පැමිණ නාරම්මල සිට
කි.මී. 10 ක් පමණ ගොස් ගණන්ගමුව හන්දියෙන් වමට හැරී තවත් කි.මී. 2ක්
ගමන් කළ යුතු ය. කටුගම්පල හත්පත්තුවේ පිහිටා ඇති කෝඳුරුවාපොල ගම්මානය
පොල්වතු කෙත් වතු ගෙවතු සහිත තැනිතලා භූමියකි. ප්‍රදේශය ආශ්‍රිත
ජනතාවගේ ප්‍රධාන වෘත්තිය කෘෂිකර්මයයි. කෝඳුරුවාපොල යන නම ඇති වූ අන්දම
පිළිබඳව ප්‍රදේශයේ පැතිර ඇති ජනප්‍රවාදයක් නම් පුරාණයේ විහාරය ඉදිකර
ඇති ගල්තලාව මත මැති ඇමතිවරු රහස් සාකච්ඡා පවත්වා ඇති බවත් ඒ නිසා එයට
කෙඳිරුම්පොල යන නම ලැබී ඇති බවත් පසුව කෝඳුරුවාපොල වූ බවත් ය.
බිතු සිතුවම් |
තවත් ජනප්‍රවාදයකට අනුව ගමේ පිහිටි මසුරන් කෝට්ටේ නමින් හැඳින්වෙන වැව
(මේ වැව මෑතක දී ප්‍රතිසංස්කරණය කර තිබේ) හා ටැම්පිට විහාරයේ ආරම්භය
අතර සම්බන්ධයක් පවතී. වැව ඉදිකරන සමයේ වැව් බැම්ම කෙතරම් ශක්තිමත්
අයුරින් ඉදිකළත් කිහිප වරක්ම කැඩී යන්නට පටන් ගෙන ඇත.
නැකත්කරුවකු එයට හේතුව ලෙස පවසා තිබෙන්නේ වැව තැනීම ආරම්භ කළ නැකත අසුභ
බවත් එය මඟ හැරීම සඳහා ගමේ ගල් තලාව මත විහාරයක් ඉදිකළ යුතු බවත් ය. ඒ
අනුව ගල් තලාව මත අදිකාරම විසින් විහාරය ඉදිකරවා එහි වැවට නෙත් යොමු වන
සේ හිඳි බුදු පිළිමයක් නිර්මාණය කරවා තිබේ. ඊට පසු වැව තැනීමේ වැඩ
කටයුතු සාර්ථක වූ බව එම ජනප්‍රවාදයේ පැවසේ. කෝඳුරුවාපොල විහාර භූමියට
පිවිසෙන විටම පර්වතය මත පිහිටා ඇති ටැම්පිට විහාරය ධර්ම ශාලාව සහ නව
විහාරය අප නෙත ගැටේ. නව සංඝාවාසය පිහිටා ඇත්තේ පහල බිමේ ය. පර්වතය හරහා
ගමන් කර විහාර මළුවට පිවිසීමට මෑතක දී වාහල්කඩක් සහිත මාර්ගයක් සකසා
තිබේ.
මෙහි ආරම්භක භික්ෂූන් වහන්සේලා පිළිබඳ සාධක නොමැත. 19 වන සියවසේ
අගභාගයේ මාකඳුරේ හාමුදුරුවෝ නමින් ස්වාමීන් වහන්සේ නමක් වැඩ විසූ අතර
ඊට පසු රණස්ගල්ලේ ගුණරතන හිමි විහාරාධිපති ධූරය දරා තිබේ. 1959 සිට
වඩුවාවේ ගුණරත්න හිමි මෙහි විහාරාධිපති ධූරය දරා ඇති අතර වර්තමාන
විහාරාධිපති වන්නේ ත්‍රිපිටකවේදී පැලවත්තේ සංඝරක්ඛිත හිමියෝ වෙති.
දොරටුපාල මූර්තියක් |
විහාරය ඉදිකර තිබෙන්නේ පර්වතය මත සිටවූ අඩි 2ක් පමණ උස ගල්ටැම් 11ක් මත
ය. පර්වතය සමතලා කර ගැනීමට පදනමක් ඉදිනොකර සෘජුවට කලුගල් ටැම් ඒ මත
සිටුවා තිබේ.
පර්වතයේ ස්වරූපය අනුව ගල්ටැම්වල උස වෙනස් වේ. ඒවායේ ඝනකම ද එකිනෙකට
වෙනස් ය. විහාරයට පිවිසීමට ඉදිරිපසින් කලුගල් කුට්ටි යොදා පියගැට පෙළක්
නිර්මාණය කර ඇත. ටැම් මත පිහිටි විහාර ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් දිග අඩි
23 අඟල් 8 සහ පළල අඩි 18 අඟල් 6කි. ප්‍රතිමා මන්දිරය දිග අඩි 13 අඟල් 2
ක් සහ පළල අඩි 11 කි. ප්‍රදක්ෂිණා පථයේ පළල අඩි 2 අඟල් 6 ක් වන අතර එය
ප්‍රතිමා මන්දිරය වටා යන සේ සම්පූර්ණ බිත්තිවලින් යුක්ත ය.
මේ නිසා එම පටු තීරය අඳුරු ස්වභාවයෙන් යුක්ත ය. එම අඳුර නැති කිරීමට හා
වාතාශ්‍රය ලැබීමට පිටුපස බිත්තියේ කුඩා කවුලු හතරක් තබා තිබෙන අයුරු
දැකගත හැකිය. මෙම ප්‍රතිමා මන්දිරයේ පිටත බිත්තිවල හෝ ප්‍රදක්ෂිණා
පථයේ බිත්තිවල බිතුසිතුවම් නොමැත. බිත්ති අතර ඇති පටු ඉඩකඩ නිසා
ප්‍රදක්ෂිණාවේ යෙදෙන වන්දනාකරුවන්ට සිතුවම් නැරඹීමට අපහසු වීම එයට හේතු
විය හැකි ය.
විහාරයේ ඉදිරිපසින්ම ඇති උළුවස්ස අලංකරණවලින් තොර ය. ඊට පසු හමුවන දෙවන
උළුවස්ස සහිත බිත්තිය මකර තොරණකින් අලංකාර කොට තිබේ. චන්ද්‍ර වංකය සහිත
චාම් උළුවස්ස පළල අඩි 3ක් සහ උසින් අඩි 5 අඟල් 4 ක් වේ.මෙහි පිහිටි මකර
තොරණෙහි කීර්තිමුඛය කැඩී විනාශ වී ඇත. දෙපසින් කඩු අතින් ගත් දොරටු පාල
රූප දෙකකි. මකරා මත දේව රූප නිර්මාණය කර ඇත. මකර තොරණෙහි සායම් මැකී
ගොස් තැනින් තැන තීන්ත මතුවී පෙනේ.
මෙහි බිතුසිතුවම් නිමා කර ඇත්තේ මැටි බිත්ති මත ඉතා ඝනකමින් අඩු සියුම්
මකුළු මැටි තට්ටුවක් ආලේප කිරීමෙන් පසුව ය. මේ නිසා බොහෝ ස්ථානවල මකුළු
තට්ටුව ගැලවී ගිය ස්ථාන දැකගත හැකි ය.
්‍ප්‍රතිමා ගෘහය තුළ දක්නට ලැබෙන සිරස්පත සහිත හිඳි බුද්ධ ප්‍රතිමාව ආසනය
ද සමඟ උසින් අඩි 7 අඟල් 3 කි. එහි සිවුරු රැළි දියරැළි ආකාරයෙන් යුක්ත
ය. ප්‍රතිමාව වටා යන සේ ඇති අලංකාර කේතු මාලාව ගිනි දැල් ආකාරය ගනී.
බුද්ධ ප්‍රතිමාව අසලම නමස්කාර කරමින් සිටින්නේ සැරියුත් මුගලන් දෑගසව්
වහන්සේලා ය. එයට එපිටින් මල් රැගෙන බුදු හිමියන්ට නමස්කාර කර සිටින
අයුරින් රහත් රූප ද බිත්තියේ ඉහළින් සත් සතිය ද සිත්තම් කර තිබේ.
පැරැණි බුද්ධ ප්‍රතිමා වහන්සේ |
මේ සිතුවම් අතර අවකාශය පිරවීමට සපු මල් නෙලුම් මල් ආදිය යොදගෙන තිබේ.
සිතුවම් සඳහා දීප්තිමත් රතු කහ නිල් යන වර්ණ යොදා ගැනීමට ශිල්පියා
පෙළඹී ඇත. කලු භාවිත කර ඇත්තේ අවම වශයෙනි. සිතුවම් වටා යන රේඛාව රතු
පැහැයෙන් යොදාගෙන තිබීම මෙහි දැකගත් හැකි විශේෂත්වකි.
හිඳි ප්‍රතිමාව දෙපසින් ඇත්තේ බොහෝ ටැම්පිට විහාරවල මෙන් හිටි බුද්ධ
ප්‍රතිමා දෙකකි.ඒවා උසින් අඩි 6 අඟල් 6 බැගින් වේ. එයට මෙපිටින් වම්පස
බිත්තියෙහි විෂ්ණු දේව ප්‍රතිමාවක් (උස අඩි 7) සහ දකුණු පස බිත්තියේ
නාථ දේව ප්‍රතිමාවක් ද වේ. වියනෙහි නිරූපණය කර ඇත්තේ සූවිසි විවරණ
චිත්‍රාවලියකි.
පහන් දැලි බැඳීම නිසා මෙම සිතුවම් දුර්වර්ණ වී ඇත. මකර තොරණ අසල
වියනෙහි මල් මෝසතර ඇඳ තිබේ. විහාර ගෘහයේ සෑම අවකාශයක්ම මනාව භාවිත කර
බිතුසිතුවම්වලින් අලංකාර කර සැදැහැවතුන් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත
කිරීමට සිත්තරා සමත් වී තිබේ.
විහාරයේ පියස්ස පල හතරකින් තනා පෙති උළු සෙවිලි කර ඇති අතර පියස්ස මත
මැටි කොත් දෙකක් දැකගත හැකි ය.මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම් සහ
මූර්ති ආරක්ෂා වී පවතින කෝඳුරුවාපොල ටැම්පිට විහාරය ප්‍රදේශයේ ඓතිහාසික
වශයෙන් වැදගත් ස්ථානයක් ගන්නා ස්මාරකයකි. පසුගිය දා මෙහි සමහර ප්‍රතිමා
නිදන් හොරු විනාශ කර නිදන් සොයා තිබේ. මෙවැනි අගනා පුරාවිද්‍යා උරුමයන්
කෙරෙහි හැඟීමකින් තොරව ඒවා විනාශ කිරීම විශාල අපරාධයකි. |