බක් අව අටවක 2010.04.06
පහන නිවා ආලෝකය නො පතමු
දෙවියන් පිළිබඳ ව ඉගැන්වෙන සියලු ආගම් විසිඑක්වන සියවසෙහි මැද
භාගය වන විට අභාවයට පත් වී මිනිස් සිත් සතන් පුබුදු කළ හැකි එක
ම ආගම වන්නේ බුදු දහම යැයි ‘ගැඹුරු මුහුද’ නමැති කෘතියෙන්
ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් අනාවැකියක් පළ කළේ ය. දේව වාක්‍යයක්
මෙන් එම අනාවැකිය යළි යළිත් උපුටා දක්වනු මිස ඊට පදනම් වූ බුදු
දහමේ හරය ආරක්‍ෂා කිරීමට මෙ රට බෞද්ධයන් උත්සාහ ගන්නේ ද යන්න
සැක සහිත ය. එම අනාවැකිය පිළිබඳ ව සැලැකිලිමත් වන්නේ නම්, බුදු
දහම සමාජයීය ඵලයක් බවට පත් කැර ගැනීමට අප වෙහෙස විය යුතු ය.
එහෙත්, පංචශීලයෙන් තොර ව බෞද්ධයන් ලෙස පෙනී සිටීම මෙන් ම
ධර්මාවබෝධය නොමැති ව නිවන් පැතීම ද අද දක්නට ඇති සාමාන්‍ය
තත්ත්වය යි. මෙය වෙනස් කිරීමට ඇති එක ම මඟ වන්නේ, අංගුත්තර
නිකායේ තික නිපාතයේ දැක්වෙන පරිදි ධර්ම විනය විවෘත ව තිබෙන
තරමට හා ප්‍රචාරය වූ තරමට බැබළෙයි, වැසී තිබෙන තරමට නො බැබළෙයි
යන බුද්ධ දේශනාව අනුගමනය කිරීම ය.
එහෙත් ඊට එරෙහි බාධක බොහෝ තිබේ. කුමාරතුංග මුනිදාසයන් විසින්
1934 ඔක්තෝබර 02 වන දින ලක් මිණ පහන කතු වැකියෙහි තබා ඇති මේ
සටහන මෙහි දී අප ගේ අවධානයට යොමු විය යුතු ය.
‘කුල විසින් බෙදී, නිකාය විසින් බෙදී, ප්‍රදේශ විසින් බෙදී,
පක්‍ෂ විසින් බෙදී, පිරිවෙන් විසින් බෙදී, අනුන් හෙළා, තමන්
හුවා, ගිහි කම් පැවිදි කම් කොටැගත්, විහිළු කාරයන් ගෙන්
බුද්ධාගමය දියුණු වෙතියි සිතීම තරම් මුළාවක් ඇති විය හැකි නො
වේ. නොබෙදෙන්නට කී බුදුන් ගේ අවවාදය මෙ සේ කඩ කළවුන් අපට කරන
අවවාදයෙන් ද අප නිවන් දක්නේ? එක් පිරුවනෙකින් හෙළි වූ
ශාස්ත්‍රීය සත්‍යයක් පිළිගැනීම අනෙක් පිරිවනකට අගෞරවයක් සේ
සැලැකේ. එක් උසස් පිරුවනෙකැ මේ මතය බලවත් වැ පවතී. සත්‍ය කො
තන්හි උපත ද සත්‍යය මැයි’
සත්‍යය කො තන්හි උපත ද සත්‍යය වන්නා සේ ම අසත්‍යය කො තන්හි උපත
ද අසත්‍ය බව සලකා ක්‍රියා කළ යුතු ය. ඒ අරුතින් ගත් කල, බුදුන්
වහන්සේ ට හා බුදු දහමට නිඟා කැරෙන ඊනියා දහම් පොත් ආදියට එරෙහි
ව නීතිමය පියවර ගැනීම යුක්ති සහගත ය. ඒ සඳහා දණ්ඩ නීති
සංග්‍රහයෙහි 291 ආ වගන්තිය මඟින් ප්‍රතිපාදන සලසා තිබේ. එම
වගන්තිය මෙ සේ ය.
‘ආගමික හැඟීම් කෙලෙසීම සඳහා ඒකාන්ත හා ද්වේෂ සහගත අදහසින්
භාෂිත හෝ ලිඛිත වචනයෙන් හෝ දැකිය හැකි නිරූපණ වලින් එකී ආගමට
හෝ ආගමික විශ්වාස වලට නින්දා කරන හෝ නින්දා කිරීමට තැත් කරන
තැනැත්තකුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක
බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින් ම
දඬුවම් කළ යුතු ය.’
එ සේ වූව ද බුදුන් වහන්සේට හා බුදු දහමට නිඟා කැරෙන ප්‍රකාශන
පළ කිරීම වැළැක්වීම සඳහා වාරණ මණ්ඩලයක් යෝජනා වී ඇතැයි පසුගිය
මාර්තු මස 28 වන දා ඉරිදා ලක්බිම පුවත් පත වාර්තා කැර තිබිණ.
එහි මෙ සේ සඳහන් ය.
‘බෞද්ධ පොත් ලිවීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් අවසර
ගත යුතු යැයි නීතියක් පැනවීමට කටයුතු කිරීම සඳහා රැස්වීමක්
කැඳවා තිබිණ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැත්තෙන් එන ආරංචිවල
ඇත්තේ මේ රටේ එවැනි නීතියක් නොබෝ දිනකින් පැනවීමට දැන් නීති
කෙටුම්පත් සකස් කැරෙමින් පවතින බව ය. මේ නීති කෙටුම්පත් නොබෝ
දිනකින් සකසා අවසන් වූ කල්හි, බෞද්ධ පොත් ලියනා ලේඛකයකුට ඒ
පොත් පළ කිරීමට ඉඩක් ලැබෙන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
අවසරය ද ඒ සමඟ වේ නම් පමණි.’
මෙ බඳු වාරණ මණ්ඩලයකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වේ ද යන්න
මෙහි දී සලකා බැලිය යුතු ය. දියුණු තාක්‍ෂණය සුලබ මෙ කල
අන්තර්ජාලය හෝ වෙනත් උපක්‍රම භාවිත කොට නිදහසේ ප්‍රකාශන එළි
දැක්වීමට අවකාශ තිබේ. එය මේ වාරණ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයට
බාධකයක් නො වේ ද?. එ පමණක් ද නො ව පළ කිරීමට අවසර නො ලැබෙන
පොත් කතුවරුන් විසින් වාරණ මණ්ඩලයට එරෙහි ව අධිකරණය වෙත යෑම ද
වැළැක්විය නො හැකි කරුණකි. එ විට බුදු දහම පිළිබඳ ව අවසන්
තීරකයා වනු ඇත්තේ අධිකරණය යි. මෙය යහපත් තත්ත්වයක් ලෙස සැලැකිය
හැකි ද?
මෙහි දී ද අපි කුමාරතුංග මුනිදාසයන් ගේ අදහසක් ගෙනහැර දැක්වීමට
කැමැත්තෙමු. 1934 නොවැම්බර් මස 20 වන දින ලක්මිණි පහන කතු
වැකියෙහි එතුමා මෙ සේ සඳහන් කැර තිබිණ.
‘බුද්ධාගමය මෝඩයන් ගෙන් පෝෂිත වන බවක් හැඟැවීම බුදුනට කළ හැකි
මහත් මැ නින්දාව යැ. සියලු ප්‍රයත්නය කළ යුත්තේ සත්‍යාවබෝධයට
යි. සත්‍යය නො බලන්නට, නොබලවන්නට, නොසොයන්නට, නොසොයවන්නට,
නොවිමසන්නට, නොවිමසවන්නට පුරුදු කැරැවීමෙන් සත්‍යාවබෝධයෙක් වේ
නම් පහන නිවීමෙන් ආලෝකය ද ලැබිය හැකි වේ. මෝඩයන් දහසක්
පැහැදවීමට වඩා එක් නුවණැත්තකු පැහැදවීම මැනැවැයි සිතමු.
ගිහියන් ඇසුරු කරන සුශීල භික්‍ෂූන් ගේ පරම යුතුකම නම් මෝඩ
ගිහියනට නුවණ දීම යි.’
කුමාරතුංග මුනිදාසයන් කියූ පරිදි ම මෝඩ ගිහියනට නුවණ දීම
වෙනුවට පහන නිවා දැමීම සුදුසු යැයි නො සලකත් වා!. |