UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය:
පරම විඥානාර්ථ බෞද්ධ සමාගම මගින් මෙරට මුලින්ම ඇතිකළ බෞද්ධ බාලිකා විද්‍යාලය කුමක්ද?

පිළිතුර
කොළඹ මරදාන සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය වේ.

ප්‍රශ්නය
බෞද්ධ සිද්ධස්ථාන ඉදිරිපස දක්නට ලැබෙන ආරුක්කු හැඩයෙන් යුතු කලාත්මක, කැටයම් සැරසිලි සහිත දොරටුව හැඳින්වෙන්නේ කුමන නමකින්ද?

පිළිතුර
මකර තොරණ යනුවෙනි.

ප්‍රශ්නය
“දැරිය අද පටන් ඔබ මගේ මෑණියන් වශයෙන් සලකමි. එබඳු මවු ගුණ ඔබ ළඟ ජීවමානව පවතින බව මම සියැසින් දුටුවෙමි” මෙසේ බුදු පාමොක් මහසඟගණ ඉදිරියේ එක්තරා ධනවත් සිටුවරයෙක් තම දියණිය කෙරෙහි සතුට පළකළේය. මෙම දියණිය කවරෙක්ද? සිටුවරයා කවුද?

පිළිතුර
දියණිය විශාඛා සිටු දියණියයි. මිගාර සිටුවරයා විසින් දියණිය පැසසුමට ලක්කළ අතර ඒ හේතුවෙන්ම විශාකා මිගාර මාතා යන ගරු නාමයෙන්ද ප්‍රසිද්ධියට පත් වූවාය.

ප්‍රශ්නය
සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ සුවිශේෂ සංවර්ධන කලාපය කුමක්ද?

පිළිතුර
අනුරාධපුර - පොළොන්නරුව

මහනුවර

ප්‍රශ්නය
පස්වන සියවසේ මෙරට මහානාම රජු දවස ලක්දිවට සපැමිණි පඬිවරයෙකු අතින් සුවිශේෂ වූ ග්‍රන්ථයක් සකස් විය. ශාසනික වශයෙන් වර්තමානයෙහිද සම්භාවනාවට ලක්වූ එම ග්‍රන්ථයේ නාමය කුමක්ද? එම ග්‍රන්ථය ලියූ පඩිවරයා කවුද?

පිළිතුර
සුවිශේෂ ග්‍රන්ථය විශුද්ධි මාර්ගය යි. ග්‍රන්ථ කතුවරයාණෝ බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේය.

ප්‍රශ්නය
ලංකා ශාසනික ඉතිහාසයේ භික්‍ෂුවංශ කථාවේ ඉතා සුවිශේෂ වූ ‘සංඝරාජ’ පදවියට පළමුවරට පත්වූ මාහිමිපාණන් වහන්සේගේ නම කුමක්ද?

පිළිතුර
දිඹුලාගම මහා කාශ්‍යප මාහිමිපාණන් වහන්සේ

ප්‍රශ්නය
ශ්‍රී ලංකාවේ දළදා පෙරහර පැවැත්වූ රජවරුන් අතරෙන් අවසන් වරට දළදා පෙරහර පැවැත්වූ රජතුමාගේ නම කුමක්ද?

පිළිතුර
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

ප්‍රශ්නය
සිල් ආරක්‍ෂා කිරීමෙන් සිල්වතෙකු උදෙසා පාරලෞකික වශයෙන් ලැබෙන සම්පත් මොනවාද?

පිළිතුර
ධන සම්පත් ලැබේ. කීර්තිය ලැබෙයි. නිර්භීත කම (අභීතබව) ඇතිවෙයි.මරණයට බිය නොවෙයි. මරණින් මතු සුගතිගාමී වෙයි.

ප්‍රශ්නය
දෙපිරිසක් අතර ඇතිවූ යුද්ධය නිසා සිදුවීමට ගිය ජීවිත විනාශය බුදු රජාණන් වහන්සේ ගේ මැදිහත්වීම නිසා සමථයකට පත්විය. මේ දෙපිරිස කවුද? යුද ආරාවුල සඳහා හේතු පාදකවූ කරුණ කුමක්ද?

පිළිතුර
ශාක්‍ය කෝළිය දෙපිරිසවේ. රෝහිණී නදියෙහි ජලය බෙදා ගැනීමේ අයිතිය පිළිබඳව ආරවුල ඊට හේතුපාදක විය.

ප්‍රශ්නය
පැරැනි වාස්තු විද්‍යාත්මක තොරතුරු අතර ස්ථූප ආකෘතියට ලැබෙන්නේ විශිෂ්ට ස්ථානයකි. මෙම ආකෘති නාමික වශයෙන් කොපමණද?

පිළිතුර
ස්ථූප ආකෘති හයකි. ඝන්ඨාකාර, ඝටාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, අම්ලාකාර (නෙල්ලි ඵලයක ස්වභාවය)

ප්‍රශ්නය
ලංකා ශාසනික ඓතිහාසික තොරතුරු අනුව ‘හත්ථාලහක මෙහෙණවර’ නමින් හැඳින්වෙන්නේ කුමක්දැයි පැහැදිලි කරන්න.

පිළිතුර
‘සංඝමිත්තා’ අරහත් මෙහෙණින් වහන්සේ ප්‍රධාන මෙහෙණින් වහන්සේලා වාසස්ථානය සඳහා දෙවන පෑතිස් මහරජතුමා කරවූ ආරාමයයි.

ප්‍රශ්නය
ධර්‍මාශෝක රජතුමා ඔටුනු පැළඳීමෙන් 18 වන වර්ෂයෙහිදී දඹදිව පැළලුප් නුවර සිදුවුන විශේෂ සාසනික සිදුවීම කුමක්ද?

පිළිතුර
මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 03 වන ධර්ම සංගායනාව පැවැත්වීම හා විදේශීය ධර්මදූත පිරිස් පිටත්ව යෑමත් මෙම කාලය තුළ සිදුවිය.

ප්‍රශ්නය
අනුරාධපුර ශාසනික ඉතිහාසයෙහි ආරම්භක අවස්ථාවෙහිදී නිතර සඳහන් වන නම් දෙකකි. සුමන හා භණ්ඩුක මේ නමින් හඳුන්වන දෙදෙනා කාගේ කවුරුන්ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
සුමන සාමණේරයන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත කණ්ඩායමේ වූ එකම සාමණේරයන් විය. ගිහි උපාසක භණ්ඩුකද මෙම කණ්ඩායමේ එකම ගිහි උපාසක තැනැත්තා විය.

සඟමිත් මහ රහත් මෙහෙණින් වහන්සේ පැවිදි වීමට කලින් විවාහයෙන් උපත ලද පුතු සුමන සාමණේරයන් වහන්සේය. භණ්ඩුක උපාසක වේදිස දේවිය ගේ (මිහිඳු මාහිමිගේ මව) නැගණිය ගේ පුතු විය.

ප්‍රශ්නය
යහපත් වචනය “සම්මාවාචා” අංග 04කින් පිරිසුදු විය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළහ. මෙම අංග 04 මොනවාද?

පිළිතුර
බොරුවක් (මුසාවක්) නොවීම කේළමක් (පිසුණාවාචා) නොවීම. පරුෂ වචනයක් (පරුෂා වාචා)නොවීම හිස් වචනයක් (සම්පප්ප්‍රලාපා) නොවීම.

ප්‍රශ්නය
පුනර්භවය පිළිබඳව බෞද්ධයෙකුට තිබෙන උසස්ම අධිකාරිය භාග්‍යවතුන් වහන්සේය. සිද්ධාර්ථ ගෞතම බෝධි සත්වයන් වහන්සේ බුද්ධත්වය සාක්‍ෂාත් කරගත් රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහි උන් වහන්සේ සිය පූර්ව ජන්මයෙන් දැනගැනීමේ ඥාණය ලබාගත්හ. මෙම සුවිශේෂ වූ ඤාණයෙහි නම කුමක්ද?

පිළිතුර
පුබ්බේ නිවාසානුස්සති ඤාණයයි

ප්‍රශ්නය
බුදු දහමට අනුව දානය හෙවත් පරිත්‍යාගය දස කුසල කර්ම වලින් පළමු වැන්නයි. එය පාරමිතාවක් වශයෙන් ද සැලකේ. දානය දීමෙහි වස්තුව අනුව ‘තිවිධං දානං’ ආකාර තුනක් වේ. පැහැදිලි කරන්න.

පිළිතුර
ඉන්ද්‍රිය ගෝචර වස්තු දානය – ආමිස දානයයි
ජීවිත මරණින් ගැලවීම – අභය දානයයි
ධර්මය විවිධ ක්‍රම මගින් ප්‍රදානය කිරිම ධර්ම දානයයි.

මෙම දාන අතරෙන් ධර්ම දානයම වඩා ශ්‍රේෂ්ඨ බව බුදුරදුන් වදාළහ.

ප්‍රශ්නය
චතුරාර්ය සත්‍යයෙහි දැක්වෙන පරිදි තෘෂ්ණාව සම්පූර්‍ණ වශයෙන් වෙන්වීම හැඳින්වෙන්නේ කුමන ආර්ය සත්‍යය නමින්ද?

පිළිතුර
දුක්ඛ නිරෝධාර්ය සත්‍යය නමිනි.

ප්‍රශ්නය
පෙල දහමට අනුව දසරාජ ධර්මයට අයත් ගුණ ධර්ම වලින් අජ්ජව මද්දව නමින් ද්වෙ ධම්මා ගුණ ධර්ම දෙකක් සඳහන් වෙයි. මේ නම්වලින් සඳහන් වන ගුණදහම් දෙක මොනවාද?

පිළිතුර
“ අජ්ජව“ හෙවත් සෘජුකම නම් නොපැකිල තීරණ ගැනීමේ ශක්තියයි. ‘මද්දව‘ හෙවත් මෘදුකම කරුණු පැහැදිලිව අවබෝධ වූ විට එය පිළිගෙන කාරුණිකව ක්‍රියා කිරීමේ මහත්ම ගුණ යයි.

ප්‍රශ්නය
බුදු දහමට අනුව විවිධ චර්යා අනුව පුද්ගල ජීවිතය වර්ගීකරණය කරනු ලබයි. ජන්මය නොව ක්‍රියාව අනුව බ්‍රාහ්මණ හා වසල වශයෙන් වෙන්කොට හඳුනාගත හැකිබව බුදුදහම අවධාරණය කරයි.මේ විවිධ පුද්ගලයන් අතරෙන් සුවිශේෂ පුද්ගලයෝ දෙදෙනෙක් “ද්වෙ පුග්ගලා දුල්ලභං” දුර්ලභ පුද්ගලයන් දෙදෙනෙකු වශයෙන් හඳුන්වා ඇත. මෙම දුර්ලභ සුවිශේෂ වූ දෙදෙනා කවුද?

පිළිතුර
පළමුවන පුද්ගලයා ‘පුබ්බකාරී’ වශයෙන් හඳුන්වා ඇත. මොහු නිරාමිෂව ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු රහිතව අනුන්ට උපකාරීවන තැනැත්තාය. දෙවැන්න අනුන් කළ උපකාරය අගයකොට එය මතකයේ රඳවාගෙන පෙරළා උපකාර කරන “කෘතඤ කතවේදී” නමින් හඳුන්වයි. මෙබඳු කෘතවේදී පුද්ගලයන් ලොව දුර්ලභ බව “කතඤ්ඤු කතවේදී පුග්ගලො ලොකස්මිං” යනුවෙන් බුදු රදුන් වදාළහ.

ප්‍රශ්නය
දස පාරමිතා වන්ගෙන් එකක් වන (ඛන්තී) ඉවසීම උසස්ම ආගමික ශික්‍ෂණය (තපස) වශයෙන් හඳුන්වා තිබේ. ඉවසීමේ ගුණය ඇති පුද්ගලයාට ප්‍රතිදාන (අනුසස්) පහක් ලැබේ. ඒ මොනවාද?

පිළිතුර
බොහෝකොට ජන ප්‍රසාදයට පත්වෙයි. ද්වේශ සහගත සිතුවිලි වලින් මිදී මෙත් සිතිවිලි වලින් කාරුණිකව ජීවත් වෙයි. ජීවිත පැවැත්ම හැකිතාක් නිවරැදි කර ගනියි.ජීවිත අවසානය සිහි නුවණින්ම කලුරිය කරයි. මරණින් මතු සුගතිගාමී වෙයි.

ප්‍රශ්නය
පුද්ගල ජීවිතයෙහි දෛනික වශයෙන් පුරුදු පුහුණු කරගත යුතු කරුණු අතරෙන් තුනක් බුදුරජාණන් වහන්සේ නිරතුරුව පැවිදි ගිහි ශ්‍රාවකයනට අනුදැන වදාළහ. ඒ සුවිශේෂවූ කරුණු තුන මොනවාද?

පිළිතුර
1. අප්පිච්ඡතා - අඩු කැමැත්ත – ආශාව අවම කර ගැනීම

2. සන්තුට්ඨිතා - ලද දෙයින් සතුටු විම

3. සල්ලේඛතා - කෙලෙස් නැති කිරීම

මෙම කරුණු පුද්ගල ආධ්‍යාත්මික අභිවෘද්ධියට බෙහෙවින් හේතුවන නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයනට එය නිරතුරුව භාවිත කරන ලෙස අනුදැන වදාළහ.


මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 15 වනදා සඳුදා පූර්ව භාග 12.31 ට ලබයි. 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.07 ට ලබයි.
සිල් සමාදන්වීම 15 වනදා සඳුදාය

මීළඟ පෝය මාර්තු 23 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]