මැදින් අමාවක 2010. 03. 15
මනාප සටන
මේ දිනවල අපට වැඩි වශයෙන් ම අසන්නට හා දකින්නට ලැබෙන්නේ, ලබන
මස 08 වන දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී
සිටින අපේක්‍ෂකයන් ගේ මනාප සටනට අදාළ කරුණු ය. ඊට රූපවාහිනී,
ගුවන්විදුලි හා පුවත්පත් වැනි ජනමාධ්‍ය පමණක් නො ව තාප්ප,
විදුලි කණු ආදිය මෙන්ම තාර පාර ද යොදා ගෙන තිබේ. පාර්ලිමේන්තු
මැතිවරණය කෙතරම් තියුණු තරගයක් දැයි අපේක්‍ෂක සංඛ්‍යාව වෙත
අවධානය යොමු කළ විට පැහැදිලි වනු ඇත.
ඉදිරි මැතිවරණයේ මනාප ඡන්දයෙන් 196 දෙනකු හා ජාතික
ලැයිස්තුවෙන් 29 දෙනකු වශයෙන් මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා
ගැනීමට නියමිත ය. ඒ සඳහා දේශපාලන පක්‍ෂ 34 ක් හා ස්වාධීන
කණ්ඩායම් 310 ක් නියෝජනය වන පරිදි අපේක්ෂකයෝ 7537 ක්
ඉදිරිපත්ව සිටිති. ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මෙන් ම
ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ විශේෂ තරගකරුවන් ලෙස
සැලැකීම වරදක් නො වේ.
ලෝකයේ කිසිදු මැතිවරණයක දී දක්නට නො ලැබෙන සිදුවීමක් ද මෙ වර
වාර්තා වී තිබේ. ඒ එජාප අපේක්‍ෂකයන්ගෙන් දින රහිත ඉල්ලා
අස්වීමේ ලිපි ලබා ගැනීම ය. එජාප යෙන් මැතිවරණයට ඉදිරිපත් වී ජය
ගත් පසු පක්‍ෂය හැර නො යන බවට එම ලිපිවලින් ප්‍රකාශ කැර ඇත. එය
මෙ වර මැතිවරණයේ ප්‍රතිඵලය කලින් ම පිළිගැනීමක් බඳු ය. මේ
තත්ත්වය නිසා මනාප තරගය වඩාත් උත්සන්න වී ඇත්තේ එක්සත් ජනතා
නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයන් අතර ය. කොළඹ දිස්ත්‍රික්කයට
ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් දෙදෙනකු මැතිවරණ ප්‍රචාරක
කටයුතු සඳහා රුපියල් කෝටි දෙසීය බැගින් වෙන් කැර ඇතැයි එක්
පුවත්පතක් වාර්තා කැර තිබිණ. මෙය, මනාප තරගයේ යථා ස්වභාවය හෙළි
කැරෙන සාක්කියකි.
මේ මැතිවරණයේ දී වැඩි ම කණ්ඩායම් ගණනක් ඉදිරිපත් වී ඇත්තේ
දිගාමඬුල්ල දිස්ත්‍රික්කයට ය.එහි දී ඡන්දය ඉල්ලීමට පිළිගත්
දේශපාලන පක්‍ෂ 17 ක් හා ස්වාධීන කණ්ඩායම් 51 ක් සුදුසුකම් ලබා
ඇත. එම දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ කණ්ඩායම් හතරක නාම යෝජනා
ප්‍රතික්ෂේප වූ බව ද සැලැකිල්ලට ගත යුතු කරුණකි. එහි එක්
නාමයෝජනා ලැයිස්තුවකට අපේක්‍ෂකයන් දස දෙනකු ඇතුළත් වියයුතු
බැවින් මන්ත්‍රී ආසන හතක් සඳහා තරග වැදී සිටින ගණන 680 ක් වී
තිබේ. ඡන්දපොළ නියෝජිතයන් වැඩි ගණනක් පත් කැර ගැනීම පිණිස යොදන
දේශපාලන උපායක් ලෙස ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කිරීම නිසා මේ
තත්ත්වය ඇති වුව ද එය මනාප සටනේ ම එක්තරා ප්‍රකාශනයක් වශයෙන්
සැලැකීමට පුළුවන.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වන වගන්තිය මඟින් හඳුන්වා
දෙන ලද සමානුපාතික නියෝජනය නිසා උපන් මනාප තරගයේ අහිතකර
ප්‍රතිඵල මොනවා ද?
(අ) දිස්ත්‍රික්කයක් පුරා ප්‍රචාරක කටයුතු සිදු කිරීමට
අපේක්‍ෂකයකු විසින්
විශාල මුදලක් වැය කළ යුතු වීම.
(ආ) එක ම කණ්ඩායම තුළ ද මනාප ගැටුම් ඇතිවීම.
(ඇ) දේශපාලන ප්‍රතිපත්ති වෙනුවට පුද්ගල ප්‍රතිරූපය මත
ජයග්‍රහණය
තීරණය වීම.
(ඈ) ඇතැම් ඡන්ද කොට්ඨාසවලට නියෝජිතයකු පත් නො වීම.
(ඉ) මනාප ඡන්ද ක්‍රමයෙහි සංකීර්ණත්වය නිසා ඡන්ද දායකයා අපහසුවට
පත් වීම.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ම නිර්මාණය කළ මේ දේශපාලන
සංස්කෘතියට එරෙහි ව බොහෝ විවේචන එල්ල වී තිබේ. පවතින අයහපත්
දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා මැතිවරණ ක්‍රමය සංශෝධනය
කළ යුතු යැයි පොදු පිළිගැනීමක් පවතී. එ බඳු සංශෝධනයක් කිරීමේ
දී අවධානය යොමු විය යුතු වැදගත් කරුණක් ඇත. එ නම් ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 9 වන වගන්තියෙන් පැවසෙන කරුණය.
ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන අතර බුද්ධ
ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතු යැයි 9 වන
වගන්තියෙහි දක්වා තිබේ. එ සේ නම් මැතිවරණ ක්‍රමය ඇතුළු අනෙකුත්
ව්‍යවස්ථාමය නියමයන් මගින් බෞද්ධ සාර ධර්ම ආරක්‍ෂා කිරීම
අවශ්‍ය ය.
බුදු දහමට අනුව යහපත් පාලකයන් තුළ තිබිය යුතු ගුණාංග දසරාජ
ධර්මය ලෙස විග්‍රහ කැරේ. දානය, පරිත්‍යාගය, ශීලය, තපස,
අහිංසාව, අක්‍රෝධය, සෘජුභාවය, මෘදුභාවය, ඉවසීම, අවිරෝධතාව යන
එම ගුණාංග වර්ධනය පිණිස ව්‍යවස්ථාමය නියමයන් යොදා ගන්නේ කෙසේද
යන්න විසඳාගත නො හැකිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය
අර්ථ විරහිත ය.
බටහිර දේශපාලන දර්ශනයේ වර්ධනය පිණිස ක්‍රිස්තියානි පල්ලිය
විසින් සිදු කළ මැදිහත්වීම අප මෙහි දී සැලැකිල්ලට ගත යුතු
කරුණකි. යටත් විජිත භාවය නිසා යටපත් වූ අප ගේ විශිෂ්ට උරුමයන්
බටහිර සංකල්ප නිසා නො සලකා හැරීමේ වරද දැන්වත් නිවැරැදි විය
යුතු ය. |