ධම්මපද සැහැල්ල - 8 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
චිත්ත වග්ගය
(33) චන්දනං චපලං චිත්තං - දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී - උසුකාරෝ වං තෙජනං
අරමුණෙන් අරමුණට - නිරතුරුව සැලෙන සිත - වරදකට යොමු නො වී - රැක ගැනුම
අසීරු ය. පුරුදු හී වඩුරාල - ලී ඇදය හරින සේ - නැණැත්තා චපල සිත -
හසුරුවා ගන්නේ ය.
හිතවතුනි, මිනිස් සිත - නිතර වරදට නැමේ. නැණැත්තෝ එබඳු සිත - මනා කොට
රැක ගනිති.අසංවර වූ සිතින් -විපත් පැමිණෙන්නේ ය. පාලනය වූ සිතින්
සම්පත් ගලන්නේ ය.
(34) වාරිජෝ ව ථලේ ඛිත්තෝ –ඔකමොකත උබ්භතො
පරිඵන්දති දං චිත්තං – මරධෙය්‍යං පහාත වේ.
දියෙන් ගොඩ දමන ලද - මාළුවකු පරිද්දෙන් - මිනිස් සිත සැලි සැලී - විවිධ
අරමුණු ගනී. සැලෙන ගති සහිත හිත සසර මග දික් කරයි. ඒ නිසා එම සිතෙන්
බැහැර විය යුත්තේ ය.
හිතවතුනි, මිනිස් සිත හැම විට ම චංචලය , සසල සිත දිවි ගමන අවුල් කර
ලන්නේ ය. එම නිසා තුන් දොරින් සංවරව විසීමෙන් නිසල වූ සිතින් සැප ළඟා
කර ගත යුතු ය.
(35) දුන්නිග්ගහස්ස ලහුනො - යත්ථ කාමනිපාතිනෝ
චිත්තස්ස දමථො සාධු - චිත්තං දන්තං සුඛාවහං
මොහොතකින් වෙනස් වන - වරදට ම ඇදී යන - සිත මෙල්ල කරලීම ඉතාමත් අපහසු ය.
මෙබඳු සිත කෙසේ හෝ මෙල්ල කරගත් අයට - මෙලොව පරලොව සැපත් ලැබිය හැකි
වන්නේ ය.
හිතවතුනි, ඔබේ සිත - වරදට ම ඇදෙන බව වෙන කවුරු නොදනිතත් – ඔබ හොඳින්
දන්නේ ය. වරදකට යා නොදී - සිත මෙල්ල කළෝතින් ඔබ කැමැති සැප ඔබට ලැබිය
හැකි වන්නේ ය.
(36) සුදුද්දසං සුනිපුණං - යත්ථ කාම නිපාතිනං
චිත්තං රක්ඛේථ මේධාවි - චිත්තං ගුත්තං සුඛාවහං
“සිත” කුමක්දැයි කියා - දැන ගැනුම අසීරු ය. ඉතාමත් සියුම් සිත මහා
බලවේගයකි. මෙබඳු වූ සිත සියුම් සිත - හසුරුවන නැණැත්තෝ - මෙලොව පරලොව
දෙකේ - මහා සැප ලැබ ගනිති.
හිතවතුනි, “ මිනිස් සිත “ අසම සම වේගයකි. ඉතාමත් පුදුම දේ එයින් කළ
හැක්කේ ය. එම නිසා සිත ගැනම සිතන්නට පෙළඹෙන්න . ඒ මගින් අරුම වූ සැප
උරුම කරගන්න.
මතු සම්බන්ධයි |