මැදින් පුර අටවක 2010.02.22
ජීවමාන මිනිසා
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය භාවිතය පිළිබඳ විවාදය මැතිවරණයක්
ආසන්නයේ උත්සන්න වන අයුරු අපි දැක ඇත්තෙමු. ජනමතය, ජනමාධ්‍ය
භාවිතය හා දේශපාලන ව්‍යාපාර අතර පවතින දුරස්ථභාවය මෙයට බොහෝ
සෙයින් බලපා තිබේ.එහෙත් ජනමතය ගොඩනැඟීම සඳහා ජනමාධ්‍ය යොදා
ගැනීම, ජනමතයට ගැළපෙන දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම හෝ
දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය පරිදි ජනමාධ්‍ය හැසිරවීම පහසු
කාර්යයක් නො වේ. ඒ අසීරු කාර්ය පැහැදිලි කිරීම පිණිස අප මෙහි
දී තෝරා ගත්තේ ‘ජනමාධ්‍යවේදීය සමාජ විද්‍යාව‘ නමැති ආචාර්ය
ටියුඩර් වීරසිංහ ගේ කෘතියයි. එහි එක් ඡේදයක් මෙ සේ ය.
“ජනමතය යනු එක් එක් මිනිසුන් ගේ මතවල එකතුවක් නො වේ. එය
අන්‍යොන්‍ය තොරතුරුකරණයේ හා මත හුවමාරුවේ ප්‍රතිඵලයකි. එම නිසා
ජනමතය ඕනෑම අවස්ථාවක ඒකීය සමස්තයක් ලෙස ඉදිරිපත් වෙයි. සමස්තයේ
සන්දර්භය තුළ විවිධ අදහස් හා මත සමමිතිකරණය කළ යුතු ය. ගැළපිය
යුතුය. ජනමතය ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක නො වන අතර එය
ප්‍රසිද්ධියේ සාධකයක් හැටියට ක්‍රියාත්මක වේ. ඒ හා මේ සිද්ධිය
සම්බන්ධ ව ජනමතය හැඩගැස්විය යුතු ය. යම් සිද්ධියක් සම්බන්ධ ව
ජනමතය හැඩ ගැසෙන්නේ නිශ්චිත යාන්ත්‍රණයක් මගිනි. වර්තමානයේ
ජනමතය හැඩගැස්වීමේ ක්‍රියාවලිය තුළ තීරණාත්මක කාර්ය භාරයක්
හිමිවන්නේ ජනමාධ්‍ය වේදයට යි.”
මෙ රට ජනමතය හැඩගැස්වීමෙහි ලා තීරණාත්මක ලෙස ජනමාධ්‍ය මෙහෙය වූ
ඩී.ආර්.විජයවර්ධන මහතා (1886 - 1950 ) පිළිබඳ ව අපට මෙහි දී
අමතක කළ නො හැකි ය. එ බැවින් හෙටට (පෙබරවාරි මස 23 වන දිනට )
යෙදී ඇති ඔහු ගේ 124 වන ජන්ම දිනය වෙනුවෙන් අද දින කතු වැකිය
වෙන් කැරේ.
පුවත්පත් ලෝකයේ ජීවමාන මිනිසා යනුවෙන් ‘දිනමිණ’ පුවත්පතට අප
ලියූ ලිපියක කොටස් කිහිපයක් මෙහි උපුටා දක්වමු.
“ශ්‍රී ලංකාවේ පුවත්පත් බිහි වී ගත වූ සියවස් දෙකක කාල
පරාසයෙන් මේ දක්වා වසර 96 ක් ඩී.ආර්. විජයවර්ධන මහතා ගේ අණසක
පැතිර පවතී. වර්ෂ 1886 පෙබරවාරි මස 23 වන දා උපත ලද ඩී.ආර්.
විජයවර්ධන මහතා 1950 ජුනි 13 වන දා මෙ ලොව හැර ගියේ ය. එහෙත්
ඔහු ගේ අභාවයෙන් පසු ගත වූ කාලය තුළ ද මෙ රට පුවත්පත්
ව්‍යාපාරය ඔහු ගේ් අණසක යටතේ පවතින බැව් කීම අතිශයෝක්තියක් නො
වේ.
“නවීන මුද්‍රණ යන්ත්‍රය විශාල සමාජ බලයක් බවට පත් වෙමින් තිබූ
පසුබිමක ප්‍රථම සිංහල පුවත්පත වන ලංකා ලෝකය 1860 දී බිහිවිය.
අනතුරු ව බිහි වූ ලක් රිවි කිරණ, ලක්මිණ, ලක්මිණි පහණ , සත්‍ය
මාර්ගය, රිවිරැස , සරසවි , සඳරැස, කසය, ජිනෝදය, ඉලපත, ඉර උදාව,
ආදිය කෙටි කලක් බැබළී නිවී ගිය පුවත්පත් ය.”
“එච්.එස්. පෙරේරා මහතා විසින් 1909 දෙසැම්බර් 17 වන දා ආරම්භ
කොට ඉතා සාර්ථක ව පවත්වා ගෙන එනු ලැබූ දිනමිණ පුවත්වත , 1914
දෙසැම්බර් 14 වන දා ඩී.ආර්. විජයවර්ධන මහතා අතට පත් විය.
එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නීතිය හදාරා 1912 දී
මවුබිමට පැමිණ සිටි විසිහය හැවිරිදි දොන් රිචඩ් විජයවර්ධන මහතා
මෙ රට පුවත්පත් ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයා බවට පත් වුයේ
දිනමිණ දිනපතා පුවත්පතෙනි.”
“දිනමිණෙන් ඇරැඹි ගමන නො නැවතී ඉදිරියට ගිය ඔහු සිලනීස් නමැති
පුවත්පත මිල දී ගෙන 1918 ජනවාරි 03 වන දා සිට ඩේලිනිවුස් යන
නමින් පළ කළේය. 1923 දී ඔබ්සර්වර් පුවත්පත ද මිලදී ගැනීමට ඔහු
සමත් විය.”
“ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම පිහිටුවන
අවස්ථාව වන විට (1926 දී) ඩී.ආර්. විජයවර්ධන මහතා සතු ව
පුවත්පත් තුනක් තිබිණ. එම සමාගමේ ප්‍රතිවාදියා වූ ටයිම්ස් ඔෆ්
සිලෝන් සමාගම එවකට ඉංගී‍්‍රසි පුවත්පත් පමණක් ප්‍රකාශයට පත් කළ
බව ද අවධාරණය කිරීම වැදගත් ය.”
“ලේක්හවුස් ආයතනයේ පුවත්පත් ප්‍රකාශන කටයුතු තවදුරටත්
ක්‍රමයෙන් පුළුල් විය. 1930 මාර්තු 30 වන දා සිළුමිණ පුවත්පත ද
1932 දී තිනකරන් හා 1948 දී වාරමංජරී යන දෙමළ ප්‍රකාශන ද ආරම්භ
කිරීම මෙ රට පුවත්පත් ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස සැලැකිය
යුතු ය.”
ඩී.ආර්. විජයවර්ධන මහතා අපට වැදගත් වන්නේ සාර්ථක පුවත්පත්
ව්‍යාපාරයක් ආරම්භ කළ නිසා ම නො වේ. ඔහු විසින් ඉටු කරන ලද
මෙහෙය , ඔහු ජීවත් වූ සමාජ, ආර්ථික හා දේශපාලන අවකාශය මත තබා
විනිශ්චය කළ යුතු ය.
ඔහු ගේ ළමා කාලය (එනම් 19 වන සියවසෙහි අගභාගය ) වන විට, රට
විශාල පරිවර්තනයකට භාජනය වෙමින් පැවැතිණ. මත්පැන් ව්‍යාපාරය,
වෙළෙඳ වැවිලි අංශය, මිනිරන් කර්මාන්තය හා ක්‍රිස්තියානි ආගම
වැලැඳ ගැනීම ආදිය මගින් නව සමාජ බලවතුන් බිහිවන්නට විය. එම
ගමන් මඟ තෝරා නො ගත් ඩී. ආර්. විජයවර්ධන මහතා, යටත් විජිත
සංස්කෘතියෙහි බුද්මය දේපළ ඉපැයීමට උනන්දු වී තිබේ. ද්විතීය
අධ්‍යාපනය සඳහා විදේශගත වීම, නව තාක්‍ෂණික ශිෂ්ටාචාරය කෙරෙහි
නැඹුරුවීම, ආර්ථික ලාභයට සීමා නො වූ සමාජ බලයක් සහිත
ව්‍යාපාරික ක්‍ෂේත්‍රයක් තෝරා ගැනීම, රටේ සිදුවෙමින් පැවැති
දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා දායකවීම ආදිය සලකා බැලූ විට ඔහු ගේ
චරිත ලක්‍ෂණ හඳුනා ගැනීමට පුළුවන.
ලේක්හවුස් මන්දිරය ඔහු ගේ ජීවන දර්ශනයේ සංකේතය වැනි ය. එය
ආකර්ෂණීය ව්‍යාපාරික ස්ථානයක් මෙන් ම අතීත කලා නිර්මාණවලින්
ආභාෂය ලත් සියලු පහසුකම් සහිත ශක්තිමත් ගොඩනැගිල්ලකි. ඔහු ගේ
අභාවයෙන් හැට වසරකට පසු ද ඔහු ජීවමාන මිනිසකු වන්නේ අපට ඉතිරි
කළ මේ දායාද නිසා නො වේ ද?. |