ධම්මපද සැහැල්ල - 7 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
29. අප්පමත්තො පමත්තේසු සුත්තේසු බහුජාගරො
අබලස්සං ව සීඝස්සෝ හිත්වා යාති සුමේධ සො
සැදැහැ ඇති තැනැත්තා - පමා වන්නන් අතර, නොපමාව නිදිවරා, බණ භාවනා කරයි.
බලැති අසු ජය කණුව, වෙත ළඟා වන ලෙසින්, අමා මහ නිවන් සුව, ඔහු ලබා
ගන්නේ ය.
හිතවතුන් අලස නැති - දිරිය ඇති තැනැත්තෝ - දිවා රෑ නිදිවරා, නොපමාව
වෙහෙස වෙති. ඒ අනුව දියුණුවේ හිණි පෙළේ ඉහළ නැග, ජීවිතේ සරසාර - බව
දකිති. සැප විඳිති.
30. අප්පමාදෙන මඝවා දෙවානං සෙට්ඨතං ගතො
අප්පමාදං පසංසන්ති පමාදො ගරහිතො සදා
මඝ’ තෙමේ නොපමාව - කළ පිනෙන් දෙව් ලොවේ- සක් දෙවිඳු පදවි ලැබ - මහත්,
සැප වින්දේ ය. ‘පමාවට’ හැම දෙනා- ගැරහුම් කරන්නෝ ය. නොපමාව‘ බුදුන්ගෙන්
පැසසුම් ලබන්නේ ය.
හිතවතුනි, දිරිය ඇති නිතර පරහිත කැමැති, තැනැත්තේ උසස් වූ පදවි ලැබ
ගන්නෝ ය. කළයුත්ත කළ යුතු ම වෙලාවට කරන්නා, අසල්වැසියන් අතර පෙරමුණ
ලබන්නේ ය.
31. අප්පමාදරතො භික්ඛු පමාදෙ භයදස්සි වා
සංයෝජනං අණුං ථූලං ඩහං අග්ගීව ගච්ඡති
යම් කෙනෙකු ‘පමාවේ’ වරද ගැන දැන ඉගෙන නිරතුරුව නොපමාව - තුන්දොර ම රකී
නම් / කෙලෙස් කුණු රොඩු දවන - මහා ගින්නක් සෙයින් - සියලු කෙළෙසුන් නසා
- ඔහු නිවන්සුව ලබයි.
හිතවතුනි නිරතුරුව - පලක් ඇති වැඩක්ගැන - සිත යොදන තැනැත්තා - නිසැකව ම
ජය ලබයි. කෙබඳු බාධාවකින් - වුව ද පසු නොබස්නා - තැනැත්තෝ ලෝකයේ -
පෙරමුණට එන්නෝ ය.
32. අප්පමාදරතො භික්ඛු පමාදෙ භය දස්සි වා
අභබ්බො පරිහාණාය නිබ්බාණස්සේව සන්තිකේ
යම් නුවණ ඇති කෙනෙකු, පමාවේ වරද දැක - නොපමාව තුන්දොරින් - කුසල් රැස්
කරයි නම්/ ඔහු දෙලොව ජීවිතය මනා සේ ගත කරයි. අන්තිමට අමා මහ නිවන් සුව
විඳ ගනී. හිතවතුනි, ලෝකයේ , ඉරක් යට සඳක් යට, දිවි ගෙවන විට අපට ගැටලු
මතු වන්නේය. දිරි ඇතිව අනලස්ව - නැණ ඇතිව නොපමාව - ඒ ගැටලු ලිහන්නට -
වෙහෙස ගත යුත්තේ ය. මෙලොව පරලොව දෙකේ - සැප සතුට සැදෙන මග - ඒ ගැටලු
විසඳීම - තුළින් බිහි වන්නේ ය.
මතු සම්බන්ධයි
|