UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සද්ධා සංකල්පය

(Mahabodhi Centenary Commemorative Volume - SAMBHASHA  සඟරාවේ පළ කරන ලද පූජ්‍ය ආචාර්ය එච්. සද්ධාතිස්ස මාහිමියන්ගේ The Saddha Concept in Buddnism ලිපියේ පරිවර්තනයකි)

ධර්මය පිළිබඳ ශ්‍රද්ධාව, සදාචාරාත්මක යහපත් අරමුණක් ගැන තාවකාලික හෘදය සාක්ෂ්‍යයෙන් ඇරඹෙයි. එහෙත් එය පසුව කෙමෙන් බුදුන්වහන්සේ, උන්වහන්සේ දෙසූ දහම සහ උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව පිළිබඳ නොසැලෙන විශ්වාසයක ස්වරූපයෙන් වැඩෙයි. බුදුන් වහන්සේ අන්ධ භක්තිය බැහැරකර ඇත. එය කිසිසේත් ස්වාත්ම පාරිශුද්ධිය පිණිස පිහිටක් නොවන බව උන්වහන්සේ සිය අනුගාමිකයන්ට පහදා දුන්හ.

බුදුදහම තුළ වූ විශ්වාසය නමැති සංකල්පය පාලි භාෂාවෙන් සද්ධා නමින්ද, සංස්කෘත භාෂාවෙන් ශ්‍රද්ධා නමින් ද හඳුන්වනු ලැබේ. සාමාන්‍යයෙන් පුරුදු පරිදි සද්ධා යන්න භක්තිය නමින් හඳුන්වනු ලැබුවත්, එය එසේ නොව විශ්වාසය යනු යි. බුදුදහම තුළ විශ්වාසය යන්න හෘදය සාක්ෂ්‍යය යන අර්ථයට ආසන්න තේරුමක් දෙන බව පෙනේ. තවදුරටත් විමසන විට, බෞද්ධ දර්ශනයට අනුව විශ්වාසය සිත තුළ සිට එය පිරිසුදු කරන මානසික සාධකයක් වන අතර කේවල විශ්වාසයටත් වඩා ගැඹුරු දාර්ශනික අර්ථයක් ප්‍රකට කරයි.

පළමුවෙන් කළ යුතු විවරණයකට අනුව එය යථාවබෝධයෙන් හෙවත්, චතුරාර්ය සත්‍යය පිළිබඳ හෘදය සාක්ෂ්‍යයෙන් උපන්නකි. දෙවැනිව විශ්වාසය ගෞරවය පිළිබඳ විඳීමක් හෝ කිසියම් පෞරුෂයකට හෝ ධාර්මික චින්තන කුලකයකට එහි අනුගාමිකයා ප්‍රදානය කරන සම්මානයකි. තුන් වැනිව එය සාක්ෂාත්කරණය පිළිබඳ නියත බලාපොරොත්තුවක් අඟවන අතර, කෙනෙකුගේ සහජ සදාචාර සංවර්ධනය පිළිබඳ ආචාර විද්‍යාත්මක මූලධර්ම හඳුන්වා දෙයි. ක්‍රි.ව. හතර වැනි සියවසේ විසූ බෞද්ධ දාර්ශනික අසංග පඬිවරයා සද්ධාව පිළිබඳ ලක්ෂණ තුනක් දක්වයි.

1. පරිපූර්ණ සහ ස්ථාවර විශ්වාසය හෙවත් හෘදය සාක්ෂ්‍යය
2. සන්සුන් සොම්නස සහ යහගුණ

3. අපේක්ෂාව හෙවත් පෙනෙන තෙක් මානයේ අරමුණක් ජය ගැනීමට ඇති කැමැත්ත කෙසේ වෙතත් බුදුන්වහන්සේගේ ඉගැන්වීම් විෂයයෙහි කැපවූ, අනුගාමිකයකුට ශ්‍රද්ධාව සම්බන්ධයෙන් ඉටුකළ හැකි වන්නේ ඉතා සරල කාරියකි. බුදුදහමට අනුව ශ්‍රද්ධාව ද්‍රව්‍ය ලෝකය දෙස බලා එය ඇති සැටියෙන් හෙවත් යථාර්ථයෙන් දැක අවධාරණය කරයි. ඒ මිස මිනිසා අවබෝධය විෂයයෙහි අන්ධභාවයට පත් කරවන ස්වාත්ම පැවැත්ම සඳහා වූ ආත්මාර්ථ කාමයට හෝ අන්ධ භක්තියට යොමු නොකරයි. ශ්‍රද්ධා බුද්ධියෙන් යමක් පැහැදිලිව දකින පුද්ගලයා ඊනියා ආත්මත් සහ එහි පැවැත්මක් නැති බව පසක් කර ගනී. ආධ්‍යාත්මික ප්‍රගතියෙන් නොපසුබට ජයග්‍රහණයක් ලබා ගන්නට කැමති පුද්ගලයා ධර්මය විෂයයෙහි සද්ධා සම්පන්න වීම බෙහෙවින් වැදගති. ඇයි ද යත්, එවන් සංවර්ධනයක් කෙරෙහි මූලික විසින් ශ්‍රද්ධාව පදනම් වන හෙයිනි. ශ්‍රද්ධා භීනයාගේ මානසික දියුණුව පහත් මට්ටමක පවත්නා හෙයින් ඔහු ගුණ දහමින් සහ භාවනා ප්‍රාගුණ්‍යයෙන් ද පිරිහෙන බව නියත ය.

සද්ධා ධනය සප්ත ආර්ය ධනයෙන් (සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග, පඤ්ඤා) පළමුවැන්න යි. සදාචාරය පිළිබඳ මනෝ ඉන්ද්‍රිය පහෙන්ද (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා) පළමුවැන්න වෙයි. සද්ධාවට ජීවබලය, සති, සමාධිය හා නිවැරදි අවබෝධ පිළිබඳ අත්‍යවශ්‍ය මානසික ගුණ ජනනය කරන විශිෂ්ට චුම්බක හෙවත් විනිවිද යන ශක්තියක් ඇත. එසේ ම ශ්‍රද්ධාව, කාමච්ඡන්ද හෙවත් කාමාශාව, ව්‍යාපාද හෙවත් වෛරය, ථීනමිද්ධ හෙවත් කය හා සිත දෙක්හි මැලිබව, උද්ධච්ච කුක්කුච්ඡ හෙවත් උඩඟු බව සහ කුකුස, විචිකිච්ඡා හෙවත් සැකය ආදි පඤ්චනීවරණ හෙවත් සිත අහුරා වසා දමන ක්ලේශ ධර්ම ඉවත් කරයි.

ධර්මය පිළිබඳ ශ්‍රද්ධාව, සදාචාරාත්මක යහපත් අරමුණක් ගැන තාවකාලික හෘදය සාක්ෂ්‍යයෙන් ඇරඹෙයි. එහෙත් එය පසුව කෙමෙන් බුදුන්වහන්සේ, උන්වහන්සේ දෙසූ දහම සහ උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව පිළිබඳ නොසැලෙන විශ්වාසයක ස්වරූපයෙන් වැඩෙයි. බුදුන් වහන්සේ අන්ධ භක්තිය බැහැරකර ඇත. එය කිසිසේත් ස්වාත්ම පාරිශුද්ධිය පිණිස පිහිටක් නොවන බව උන්වහන්සේ සිය අනුගාමිකයන්ට පහදා දුන්හ. උන්වහන්සේ නිතර ම අවධාරණය කර ඇත්තේ, සිය ඉගැන්වීම් හරිහැටි තේරුම් ගැනීමෙන් පසුව පමණක් විශ්වාස කළයුතු බව යි. බුදුහු අවබෝධය පදනම් කොට ගත් සද්්ධා සම්පන්න පුද්ගලයා හැම විට ම පැසසුමට ලක් කළ සේක. බෞද්ධ ශබ්දවේදයේ සද්ධා නමින් හැඳින්වෙන්නේ මේ විශ්වාසය යි. කිසියම් විශ්වාසයක් පදනම් කර ගෙන ලබා ගත් අවබෝධය ඇතැම් විට ප්‍රබල විය හැකි ය. බුදුන් වහන්සේ සද්ධාව රෝගියකු සිය වෛද්‍යවරයා හෝ ශිෂ්‍යයකු සිය ගුරුවරයා කෙරෙහි තබන විශ්වාසය සමඟ සසඳා ඇත. රෝගියා සිය වෛද්‍යවරයාගේ පිළියම් හා උපදෙස් වලින් යහදායක ප්‍රතිඵල ලබන විට ඔහුගේ සිත තුළ වෛද්‍යවරයා කෙරෙහි වඩවඩාත් ශ්‍රද්ධාව තහවුරු වෙයි. ඉදින් වෛද්‍යවරයාගේ ප්‍රතිකාරයෙන් රෝගියාට සුවයක් නොලැබෙන්නේ නම්, වෛද්‍යවරයා කෙරෙහි රෝගියාගේ ශ්‍රද්ධාව හෙවත් විශ්වාසය ලිහිල් වන්නට පටන් ගනී. එසේ ම ශිෂ්‍යයා වැඩිමනත් පහසුවෙන් සිය අධ්‍යයන කාරියෙහි නිරත වන අතර, වඩාත් ජයග්‍රාහි ලෙස විභාග වලින් ප්‍රතිඵල ලබා ගනීද, එකල්හි සිය ගුරුවරයා කෙරෙහි ඔහු තුළ වැඩිතර ශ්‍රද්ධාවක් හෙවත් විශ්වාසයක් ජනිත වෙයි.

බුදුන් වහන්සේ සිය ඉගැන්වීමේදී භික්ෂූන් අමතා මෙසේ කියා ඇත. ‘ආයුෂ්මත්නි, නුවණැති පුද්ගලයෙක් යම් සේ උරගලෙහි ගාමින්ද, රත්කරමින් ද, කපමින්ද, රත්රන් පරීක්ෂා කරන්නේ ද, එසේ ම ඔබ මගේ වචනය ප්‍රායෝගිකව අත්හදා බැලිය යුතු ය. හුදෙක් මා කෙරෙහි ඇති ගෞරවයෙන් පමණක් නොපිළිගත යුතු ය. ‘බුදුන් වහන්සේ කෙරෙහි බෞද්ධයන්ගේ විශ්වාසය නියතයෙන් ම හොඳ වෛද්‍යවරයෙකු කෙරෙහි හොඳ රෝගියකු හෝ හොඳ ගුරුවරයකු කෙරෙහි හොඳ ශිෂ්‍යයකු හෝ තබන විශ්වාසය වැනි ය. ඔවුනට එහිලා ගරු කටයුතු පසුබිමක් ඇත. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අන් කිසිවකට පළමු බෞද්ධයාට විශ්වාසය කළ හැකි පරිදි ඉදිරිපත් කර ඇත. එසේ කියයුත්තේ, ඔවුනට තේරුම් ගත හැකි යමක් වේද, එය ලෝක ස්වභාවයට අනුකූ®ල වන පරිදි ප්‍රත්‍යක්ෂ ලෙස සහතික කැරෙන හෙයිනි. එමගින් තමන් සමඟ බැඳී පවතින දුක පිළිබඳ ස්වභාවයේ නිමාවක් දකින්නට අදාළ ක්‍රමවේදය ප්‍රතිඵලදායක බව බෞද්ධයාට පෙනේ. අවසන් වශයෙන් ඒ ධර්මය ‘තමන් විසින් එන්න බලන්නැ’ යි (ඒහි පස්සික) ආරාධනය කරයි. තමන්ගේ සෘජු අත්දැකීමෙන් ධර්මය පිළිගතමනා බවට පැහැදිලි සාධක හෝ අවබෝධයක් ලැබෙන තාක්කල් පමණක් සැකය දරා සිටින ලෙස අනුශාසනා කරනු ලැබේ. එනම් විචිකිච්ඡාව පැවතිය යුත්තේ ඒතාක් පමණි. මේ තත්ත්වය ඇතිවන්නේ තවදුරටත් සුපුරුදු සැක ඇති නොවන පරිදි ප්‍රථමධ්‍යාන භාවනාවට එළඹෙනවාත් සමග ය.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තුළ පරම අධිකාරය වන්නේ, කර්මය හෝ චේතනා සහ එහි විපාක පිළිබඳ චර්යාව විෂයයෙහි හේතුව සහ ඵලය සම්බන්ධ ස්වභාව නීතිය යි. උන්වහන්සේගේ ආචාර ධර්මානුකූල ඉගැන්වීම් සහතික විසින් ම පුද්ගලයාගේ් උපරිතම අවබෝධයේ කුළුගැන්වීම යි. එහ හුදෙක් සංසාර නම් වූ පුද්ගලයාගේ පුනර්භව සන්තතිය පිළිබඳ දුක්ඛාත්මක තත්ත්වයෙන් මිදීමට මාර්ගය වෙයි. නියත වශයෙන් ම තමා ඉදිරිපත් කරන්නේ, වෛද්‍යවරයකු තමාගේ රෝගියකුට පිළියම් යෙදීමේදී අනුගමනය කරන ක්‍රමයක් බඳු එකක් පමණකියි බුදුන් වහන්සේ කියා ඇත. එනම් මෙසේය. ‘තුම්හේහි කිච්චං ආතප්පං, අක්ඛතාරෝ තථාගතා’ හෙවත් ‘ඔබ විසින් කෙලෙස් තවන වෙර වැඩිය යුතුය. තථාගතයෝ හුදෙක් එයට මාර්ගය පමණක් ඉදිරිපත් කරන්නෝ ය’.

බුදුන් වහන්සේ සත්ථා හෙවත් ගුරුවරයා නමින් හැඳින්වෙති. තමා විසින් ම සත්‍යය අවබෝධ කර ගැනීමෙන් පසු උන්වහන්සේ එය ලෝකයට ඉගැන්වූහ. බුදුදහම දේව වාක්‍යයක් නොවේ. එය බුදුන් වහන්සේ විසින් සිය උත්සාහයෙන් අවබෝධ කර ගන්නා ලද විමුක්තිය සඳහා වූ මාර්ගයකි. උන්වහන්සේ විසින් මහා කරුණාවෙන් මනාව සංහතියට උගන්වන ලද්දකි. තමන්ගේ ම බුද්ධිය, අවබෝධය හා පළපුරුද්දේ ආලෝකයෙන් එහි වලංගුභාවය තක්සේරු කරන ලෙස උන්වහන්සේ මානව සංහතියෙන් ඉල්ලා සිටියහ. බුදුන් වහන්සේ සිය දේශනාවට, හෝ සම්ප්‍රදායට අන්ධ භක්තියෙන් යුක්තව හිතුමතයට යම් කිසිවක් එකතු නොකරන ලෙස අත්‍යන්ත අවධාරණයෙන් ශ්‍රාවකයනට අවවාද කළහ. එය බුදුන් වහන්සේගේ චිරාගත දේශනාවක් වන කාලාම සූත්‍රයෙන් පැහැදිලිව පෙනේ. එහිදී උන්වහන්සේ මෙසේ දක්වන සේක.

‘කාලාමයෙනි, අප විසින් මෙසේ අසා ඇතැ යි හෝ පරපුරින් පැවත එතැ යි හෝ මෙය මෙවන් ධර්මයකැ යි කවුරුන්වත් කී පමණින් හෝ ත්‍රිපිටක පාලියට සම වෙති යි හෝ තර්කානුකූල යැ යි හෝ න්‍යයානුකූ®ල යැ යි හෝ නොයෙක් ලෙසින් විතර්ක කිරිමෙන් හෝ තමන් සිතන හැටියට නිවැරදි හා සමාන වේ යැයි හෝ මේ ශ්‍රමණ තෙමේ හපනෙකි යි හෝ එබැවින් පිළිගත යුතු යැයි හෝ මේ ශ්‍රමණ තෙමේ අපේ ගුරුවරයා යැයි හෝ පිළිගැනීම නොමැනවි.

කාලාමයෙනි, මේ ධර්මය අකුසල ය, මේ ධර්මය සාවද්‍ය ය, මේ ධර්මය නැණවතුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ය. මේ ධර්මය අනුගමනය කිරීම අහිත පිණිස හේතුවන්නේ යැයි පෙනේ නම් නොපිළිගෙන අත්හරිනු මැනවි.

බුදුන් වහන්සේ කිසි ම විටක තමන් තුළ හෝ තමන්ගේ් ඉගැන්වීම් තුළ අන්ධ හෝ යටහත් පහත් භක්තියක් ඇතැ යි සිය අනුගාමිකයනට හැඟෙන්නට ඉඩ තැබුවේ නැත. උන්වහන්සේ සිය ශ්‍රාවකයනට ඉගැන්වූයේ බුද්ධිමත් විමර්ශනයට යොමු වන ආකාරයෙනි. කාලාමයනට විමසීමට දිරි ගන්වමින් බුදුහු මෙසේ කියති. ‘කාලාමයෙනි, ඔබේ සැක කිරීම සාධාරණය, දෙගිඩියාව සාධාරණ ය. ඔබතුළ අවිනිශ්චිත බවක් ඇති වන්නේ සැක ඇති කල්හි ය. ‘සත්‍යයට සහ යුක්තියට එකඟ නොවන කිසිවක් ශ්‍රාවකයාට පිළිගන්වන්නට බුදුන්වහන්සේට වුවමනා වූයේ නැත. උන්වහන්සේ අපට යෝජනා කරන්නේ හැම දෙයක් ම ඇති සැටියෙන් හෙවත් යථාභූතව අවබෝධ කර ගන්නටය.

වරක් නිගණ්ඨ නාථපුත්තගේ (මහාවීර) ළෙන්ගතු අනුගාමිකයකු වූ උපාලි ගෘහපතිය බුදුන් වහන්සේ වෙත පැමිණ සාවධානව උන්වහන්සේගේ අවවාදයට ඇහුම්කන් දීමෙන්පසු ශ්‍රද්ධාවෙන් ඇලලී ගොස් බුද්ධානුගාමිකයකු වන්නට අවසර පැතීය. එවිට බුදුහු මෙසේ කියති. ‘ගෘහපතිය, සිතාමතා සිහිමත්ව කටයුතු කරන්න. එසේ සිතා සරණ යෑම ඔබ වැනි වෙනත් ශාස්තෘවරයකුගේ අනුගාමිකයකුට ගැළපෙන ක්‍රමය යි’ ඉක්බිති උපාලි ගෘහපතියා තිසරණයෙහි පිහිටියේ ය.

බුදුන් වහන්සේගේ පිළිවෙතට අනුව කිසිවකු සිය ගුරුවරයා අන්ධානුකරණය නොකළ යුතුය. හුදෙක් ගුරුවරයාගේ දැමුණු හෝ පහදින පෞද්ගලිකත්වයෙන්, දැහැමි බව හෝ ස්වාත්ම විමුක්තියෙන් තමාට පිහිටක් බලාපොරොත්තු නොවිය යුතුªය. ගුරුවරයාගේ ස්වාත්ම පාරිශුද්ධියෙන් තමාගේ ආත්ම පාරිශුද්ධිය සිදු වේ යැ යි අනුගාමිකයා සිතීම මුලාවකි.

වේදයෙහි ප්‍රවීණ වක්කලී නම් බ්‍රාහ්මණයෙක් භික්ෂූ පැවිද්ද ලැබී ය. වක්කලී බුදුන් වහන්සේගේ රූපකාය දෙස බලා සිටීමෙහිලා අතෘප්තිකරයෙක් විය. ඔහු බොහෝ සෙයින් කල්ගත කළේ බුදුන් අසල ගැවසෙමින් උන්වහන්සේගේ රූපශ්‍රීය නරඹමිනි. ඉක්බිති බුදුහු මෙසේ කියති. ‘අපොයි වක්කලී, මගේ මේ පිළිකුල දනවන සිරුර දෙස බලා සිටීමෙන් කවර නම් පලක් ද? මා දැකීම නම් ධර්මය දැකීමයි. එබැවින් යමෙක් ධර්මය දකී ද හෙතෙම මා දකී.’

ආදී බුදුදහම පාලි මූල ග්‍රන්ථවල ඇතුළත් වෙයි. ඒවා සම්පාදනය කරන ලද්දේ බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්බිතිව අජාසත් රජුගේ අනුශාසකත්වය යටතේ, උතුරු ඉන්දියාවේ රජගහ නුවරදී බුදුන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් විසිනි. සියවස් විසිපහක් පමණ ගෙවී ගිය කාල පරාසය තුළ බෙහෙවින් ම විය හැකි පරිදි, ඇතැම් විට නොයෙක් තැන සාවද්‍ය කරුණු ඇතුළු වනු නොවැළැක්විය හැකි ය. එතෙකුදු වුවත් මෙතෙකුත් බුද්ධ දේශනාව පිළිබඳ ආසන්නතම සහ අත්‍යන්තයෙන් විශ්වාසනීය මූලාශ්‍රය වන්නේ මේ ග්‍රන්ථ සමුදාය වන බව ඒකාන්තව කිිය හැකි ය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තේරුම් ගන්නටත්, උන්වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කරන්නට දිරි ගැන්වීමක් ලබා ගන්නටත් බෞද්ධයෝ මේ ග්‍රන්ථ කියවති. මේ ග්‍රන්ථයෝ ඒ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන්ගේ ශ්‍රාවකයනට අනුශාසනයක් ලෙස සලකනු ලබති. සැබවින් ම ඒවා හුදෙක් පිළිගෙන ගරු බුහුමන් කිරීම සහ ඒවායේ ඇතුළත් ධර්මය විශ්වාස කිරීම සඳහා පමණක් නොවේ. ඒවා තේරුම් ගැනීමත්, ප්‍රායෝගිකව පිළිපැදීමත් සඳහා ය.

බුදුන් වහන්සේ සිය දහම පහුරකට උපමා කොට ඇත. උන්වහන්සේ මෙසේ කියති. ‘භික්ෂූනී මම ඔබට මෙසේ කියමි. මාගේ මේ ධර්මය පහුරකට උපමා කරමි. එය සංසාර ඕඝය තරණය කරනු පිණිසයි. එය තරයේ ග්‍රහණය කිරීම සඳහා නොවේ. කෙසේ ද යත්, පුද්ගලයෙක් මහා දිය පාරකින් එතෙර වන්නට එයි. ඔහු එයින් සුවසේ එතෙර විය හැකි මඟක් නොදකී. ඔහු ලීකෝටු, අතු ඉති, කොළ සහ වැල් යොදා ගෙන පහුරත් තනාගනී. ඉක්බිති දිය පහරින් එතෙර වෙයි. භික්ෂුනී දැන් ඔහු මෙසේ කියති යි සිතන්න. මේ පහුර මට බෙහෙවින් පිහිට වූයේය. එබැවින් කෘතවේදී වීමක් ලෙස මම එය හිස මතට ගෙන මා යනතාක් දුර ගෙන යමි. ඉතින් භික්ෂුනී ඔහු පහුරක් සමග පවත්වන සම්බන්ධය මැනවි ද?’

මඟියාගේ ඒ ක්‍රියාව නිවැරදි නොවන බවට භික්ෂුහු එකඟ වෙති. ඉකිබිති බුදුහු මෙසේ පැහැදිලි පිළිතුරක් දක්වති. ‘ඇවැත්නි, එසේ ම මා විසින් දේශනා කරන ලද ධර්මයත් සංසාර ඕඝයෙන් එතෙර වීම පිණිස මිස දැඩිව ග්‍රහණය කර එල්ලී සිටීමට නොවේ. ‘බුදුන් වහන්සේ තමන්ගේ දේශනාවකදී තමා හෝ තමන් පෙන්වා ඇති විමුක්ති මාර්ගය හෝ ඒ මාර්ගය අනුගමනය කරන තම ශ්‍රාවකයන් ගැන හෝ කිසිදු කඩිනම් නිගමනවලට එළඹෙන්නට හදිසි නොවන ලෙස වරක් එක්තරා බ්‍රාහ්මණයකුට අවවාද කළහ. හැම දෙයක් සම්බන්ධයෙන් ම මෙහිදී දක්වා ඇත්තේ එක්තරා තත්ත්වයක් සහ තරාතිරමකි. ප්‍රමාණවත් සාක්කි වලින් තොරව, උපරිම තත්ත්වයට අදාළ පරිදි කිසිවක් ගැන නිගමනයකට එළඹීම නො මැනවි. බුදුන් වහන්සේ මේ තත්ත්වය ගැන ඇතකු උපමාවට ගෙන පහදා දෙන්නට උත්සාහ කර ඇත. ඒ මෙසේ යි.

‘එක්තරා පුද්ගලයෙක් වනගත වූයේ එහි දිගපුළුල් පා සටහනක් දකී. එය නියතයෙන් ම මහා හස්තී රාජයකුගේ පා සටහනක් බවට නිගමනය කරයි. එහෙත් ඇතුන්ගේ මංහසර දන්නා දක්ෂ පුද්ගලයෙක් එය දැක මෙසේ කියයි. මේ පා සටහන නම් නිසැකයෙන් ම මහා හස්ති රාජයකුගේ ම යැ යි එක් වරම නිගමනය කරනු සුදුසු නොවේ. එවන් ලොකු පාසටහන් ඇති කුරුමිටි ඇතින්නෝ ද වෙති. එසේ සිතන ඇතුන්ගේ මංහසර දන්නා දක්ෂ පුද්ගලයා පියවර සටහන් ඔස්සේ යයි. එහිදී ගස්වල ඉහළ සීමාවේදී ඇතුන් උරහිස් පිරිමැදි තැන් ද ඇතිල්ල ගෙන ගිය තැන් ද දකී. මෙසේ දිගින් දිගට පරීක්ෂාවේ යෙදෙන ඔහු අන්තිමට අත්දුටු ලකුණු ඔස්සේ ගොස් මහා හස්තිරාජකුගේ බව සහතික කර ගනී. එසේ ඇතුන්ගේ් මංහසර දන්නා නුවණැති පුද්ගලයා මෙන් බුද්ධානුගාමිකයා ද පියවරින් පියවර අධ්‍යාත්මික පාරිශුද්ධිය විෂයයෙහි සංවර්ධනය වෙත යා යුතු ය. එක් එක් පියවරකදී එය පරිපූර්ණ අවස්ථාව ලෙස ගණන් ගත නොහැකි ය. එහෙත් ඒ ඔස්සේ අවසාන වශයෙන් සත්‍යාවබෝධය තෙක් අඛණ්ඩව ඉදිරියට යා යුතු ය. බුදුහු මෙසේ වදාරති. ‘සද්ධා දුතියා හෝති පුරිසස්ස, පඤ්ඤා චේනං පයහතී’ යනු යි. එනම්, ‘ශ්‍රද්ධාව පුද්ගලයාට ද්විතීය වූ සහායකයෙක් වෙයි. ප්‍රඥාව ඒකානත්යෙන් ඔහු පාලනය කරයි’.

බුදුන්වහන්සේ සරණ යෑමෙන් උන්වහන්සේ අප වෙනුවෙන් ඇපකාරයකු වන බවක් සහතික නොවේ. උන්වහන්සේ සිය අනුගාමිකයන් වෙනුවෙන් උත්තර දෙන්නට බැඳී නැත. එය වැඩිදුරටත් මෙසේ තහවුරු කරනු ලැබේ.

අත්තනා’ච කතං පාපං- අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං - අත්තනා’ච විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං - නාඤ්ඤෝ අඤ්ඤං විසෝධයේ
- ධම්මපදය 165

තමා කළ පව තමා ම කිලිටි කරයි. තමා පව් නොකළේ නම් තෙමේ ම පිරිසුදු වෙයි. පිරිසුදු බව හා අපිරිසුදු බව පවතින්නේ තමා කෙරෙහිම ය. අනෙකෙක් අනෙකකු පිරිසුදු නොකරයි’.

කර්මවාදය අනුව අනාගත සන්තුෂ්ටිය යනු පුද්ගලයාගේ වර්තමාන චරණයේ සතුටුදායක ප්‍රමිතිය රැක ගෙන පවත්වා ගෙන යෑම හෝ එහි සෘජු ප්‍රතිඵලයයි. පුද්ගලයාගේ අතීත කර්මය ඔහුගේ වර්තමාන හා අනාගත ප්‍රතිඵල ජනනය කරයි. අප නෙළා ගන්නේ අපේ ක්‍රියාවේ ප්‍රතිඵලය යි. කුසලානිශංසය හෝ අකුසල විපාකය යනු එයයි. වෙනත් පුද්ගලයකුගේ සදාචාරාත්මක හෙවත් කුසලානිශංසයේ ශ්‍රේෂ්ඨත්වයෙන් තවත් කෙනෙකුගේ කුසලාකුසල ප්‍රතිඵල වැළක්විය හැකි ක්‍රමවේදයක් නැත. කළ හැකි ශ්‍රේෂ්ඨතම කාරිය නම් දුසිරිත වැරීමත්, සුසිරිත පිරීමත් ය. එනම් සබ්බ පාපස්ස අකරණං සහ කුසලස්ස උපසම්පදා ය.

මිනිසාට සිතන්නට නිදහසක් ඇත. ඔහුගේ දෘෂ්ටිය සෘජු විය යුතුය. තෝරාගත යුත්තේ කුමක්දැයි විමර්ශනයෙහි අවබෝධය වුවමනා ය. බුදුහු ප්‍රඥාව ප්‍රගුණ කිරීම අවධාරණය කරති. ඇයි ද යත්, එය අන්ධ භක්තිය දිරිමත් නොකරන හෙයිනි. වැරදි මාර්ගය හඹා යෑමට එරෙහිව අවවාද කරනු ලැබේ. එහිලා මෙසේ දැක්වෙයි.

මත්තා සුඛ පරිච්චාගා - පස්සේ චේ විපුලං සුඛං
චරේ මත්තා සුඛං ධීරෝ - සම්පස්සං විපුලං සුඛං
ධම්මපදය - 290

‘සුළු සැපයක් අත් හැරීමෙන් ලොකු සැපයක් ලැබෙන බව පෙනේ නම්, නුවණැත්තා ලොකු සැපය දැක දැක සුළු සැපය අත්හරියි’.

එබැවින් ප්‍රඥා වර්ධනය සඳහා ධනාත්මක සංසන්දනයේලා අධිෂ්ඨානශීලිත්වය වුවමනා අතර එමගින් ජයග්‍රහණය ලැබෙනු ඇත.

පූජ්‍ය ස්ථානයක් වෙත ගිය විට බෞද්ධයන් විසින් එහි කැපවීමෙන් යුක්තව හැසිරිය යුතු පිළිවෙත තේරුම් ගන්නට මේ විවරණයෙන් ආලෝකයක් ලැබෙනු ඇත.

විහාරස්ථානයක් තුළ බුදුන් වහන්සේට සංකේතයක් වන පිළිමයක් දකින්නට ලැබෙයි. එහිදී බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව සමාධිගත වන්නට ශ්‍රද්ධා සම්පන්නයාට එය අනුබලයක් වෙයි. එකල්හි ඔහු පූජාසනයක් මත වැඳුම් පිදුම් කරයි. මල් පහන් පුදයි. මේ සියලු වැඳුම් පිදුමින් ඔහු බුදුන් වහන්සේගේ උදාර ගුණ සමුදාය මතකයට නඟයි. එය බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මය තමාට මාර්ගෝපදේශකයා වන බවට සහතික වන සංඥාවක් වෙයි.

හැම ආගමක් තුළ ම විශ්වාසයට අනුව ශ්‍රද්ධාව අදාළව පවතී. කෙසේ වෙතත් බුදුන් වහන්සේ අවසාන වශයෙන් සිය අනුගාමිකයනට තමන් විසින් විමසන්නටත් අවබෝධ කර ගන්නටත් තරයේ අවධාරණය කළ සේක.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 29 වනදා සිකුරාදා අපරභාග 3.32ට ලබයි.
30 වනදා සෙනසුරාදා පූර්වභාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 29 වනදා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 5 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]