නවම් පුර පසළොස්වක පොහෝ දා ජනවාරි 29 වන දා සිකුරාදා
පාරිභෝගිකවාදී යහපාලනය
යහපත් රාජ්‍ය පාලකයා පිළිබඳ සමාජ කතිකාව ජනපතිවරණයට පමණක් සීමා
කළ යුතු යැයි අපි නො සිතමු. එය සජීවී සමාජ සංවාදයක් ලෙස
පැවැතීම යහපාලනයකට අවශ්‍ය එක් කොන්දේසියකි. ඒ සඳහා අපට මඟ
පෙන්වන මහඟු උපදේශයක් , මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින්
ලියන ලද ‘භික්‍ෂුවගේ උරුමය’ නමැති කෘතියෙහි මෙ සේ සඳහන් කැර
තිබේ.
“බෞද්ධ ඉගැන්වීමේ හැටියට දේශපාලනය නම් දශරාජ ධර්මයෙන් යුක්ත ව
කළ යුතු ඉතා ශ්‍රේෂ්ඨ පරාර්ථ සේවයකි. එ සේ ම දේශපාලනයෙහි
යෙදෙන්නා සතර සංග්‍රහ වස්තුවෙන් ද යුක්ත විය යුතු යි.
බුද්ධාගමේ හැටියට දේශපාලනය ධාර්මික ක්‍රියාවක් මිස අධර්මයක් නො
වේ. බෞද්ධයන් කරන හැම පින්කමක් අවසානයෙහි සිරිතක් වශයෙන් කියන
‘දෙවෝ වස්සතු කාලෙන ‘ යනා දී ගාථාවෙහි ආර්ථික , සමාජයීය හා
දේශපාලන ප්‍රාර්ථනා ගැබ් වී තිබේ.”
එහෙත් බටහිර දේශපාලන දර්ශනය මෙයට වඩා වෙනස් ය. ඉතාලි දාර්ශනික
නිකලෝ මකියාවේලි ලියූ ‘කුමාරයා’ නමැති කෘතියෙහි පාලකයා පිළිබඳ
ව ඇත්තේ මෙ වැනි සඳහනකි.
‘පාලකයා නිරන්තරයෙන් ම යහපත් ව වසන්නේ නම් එය ඔහු ගේ ආයුෂ කෙටි
වන බව ප්‍රකාශ වන පෙර නිමිත්තකි. මේ නිසා ඔහු සිවලකු සේ කපටි
විය යුතු ය. එ මෙන් ම සිංහයකු සේ රෞද්‍ර විය යුතු ය.’
මානව ශිෂ්ටාචාරය විසින් බිහි කළ වඩාත් පුළුල්, කාර්යක්‍ෂම හා
ශක්තිමත් සංවිධානය වන රජය නමැති මධ්‍යගත සංවිධානය සෑම විට ම
යහපත් පුද්ගලයකු යටතේ පාලනය විය යුතු යැයි අප ගේ ආණ්ඩු ක්‍රම
ව්‍යවස්ථාවේ නියමයන් මඟින් ද පැහැදිලි කැරේ. එ සේ වුව ද
ජීවිතය, නිදහස හා දේපළ රැක ගැනීම සඳහා ගොඩනඟන ලද රජය නමැති
සංවිධානය සතු හැකියාවන් හා මිනිසා ගේ වුවමනාවන් අතර විශාල
හිඩැසක් තිබේ. රාජ්‍ය බලය වෙනුවට කිංකුශල ගවේෂී මාර්ගය තෝරා
ගැනීමට සිදුහත් කුමරු ක්‍රියා කළේ එ බැවිනි.
ගෞතම බුදුන් වහන්සේ ගේ ධර්මය අනුව සකස් වූ බුද්ධ ශාසනය නමැති
නව සමාජ සංවිධානයේ ක්‍රියාකාරිත්වය නිසා භාරතය කේන්ද්‍ර කොට
විශාල සමාජ පෙරැළියක් ආසියාවේ සිදු විය. බුදුන් වහන්සේ ගේ
ඇගයීමට ලක් වූ වජ්ජීන් ගේ සමූහාණ්ඩු ක්‍රමය ක්‍රි.පූ. හයවන
සියවසෙහි භාරතීය දේශපාලන දර්ශනයේ දියුණුව ප්‍රකාශ වන
අවස්ථාවකි. එහෙත් ක්‍රි.පූ. 428 - 7 අතර කාලය තුළ ඇතැන්ස් නුවර
දී උපත ලද ප්ලේටෝ විසින් “ ජනරජය “ නමැති කෘතිය ලියූ අවස්ථාව
වන විට ද යහපත් රජයක ආකෘතිය පිළිබඳ ව නිශ්චිත නිදර්ශනයක් බටහිර
ලෝකයට ලැබී නො තිබිණි.ප්ලේටෝ ගේ අදහස වූයේ ‘එක්කෝ පාලකයා
දාර්ශනිකයකු විය යුතු ය. නැත්නම් දාර්ශනිකයා පාලකයෙක් විය යුතු
ය යන්න ය. යහපත් රාජ්‍යයක ආකෘතිය පිළිබඳ යුරෝපීය දේශපාලනයේ නො
නිමි සංවාදය හඳුනා ගැනීම පිණිස, ප්ලේටෝ ගේ ‘ද රිපබ්ලික් ‘ ,
ඇරිස්ටෝටල් ගේ ‘පොලිටික්ස් ‘ මකියාවේලි ගේ ‘ ද පි‍්‍රන්ස් ‘ ,
තෝමස් හොබ්ස් ගේ ‘ලෙවියාතන්’, ‘කාල්මාක්ස් ගේ ‘කොමියුනිස්ට්
ප්‍රකාශනය ‘ ජෝන් සිටුවර්ට් මිල් ගේ ‘ලිබර්ටි’ යන කෘති
කියැවිය යුතු ය.
රාජ්‍ය බලය පිළිබඳ දැවැන්ත අත්හදා බැලීමක් වූ ප්‍රංශ විප්ලවය ,
රුසියානු විප්ලවය ආදි දේශපාලන ගැටුම් ඔස්සේ පැමිණි ගමනේ දී
මානව ශිෂ්ටාචාරය මුහුණ දුන් බරපතළ ම ඛේදවාචකය වන ජපානයට පරමාණු
බෝම්බ හෙළීමෙන් අවසන් වූ දෙවන ලෝක යුද්ධය, රාජ්‍ය පාලනය පිළිබඳ
නව දර්ශනයක අවශ්‍යතාව ලොව බලවතුන්ට හෙළිකැර තිබේ.
කෙ සේ වුව ද අප අද පිවිස සිටින්නේ දේශපාලනයේ දාර්ශනික දියුණු ව
වෙනුවට විද්‍යුත් ආණ්ඩුකරණය (E -
government ) මඟින්
යහපාලනයක් අපේක්‍ෂා කැරෙන යුගයකට ය. විද්‍යුත් ආණ්ඩුකරණය
යනුවෙන් අදහස් කැරෙනුයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය භාවිත
කොට දේශපාලන හා පරිපාලන කාර්යයන් සිදු කිරීම ය. ශ්‍රී ලංකාව
විද්‍යුත් ආණ්ඩුකරණය ප්‍රතිපත්තියක් ලෙස 2002 දී පිළිගෙන තිබේ.
නව තාක්‍ෂණය අවශ්‍ය නැතැයි කීමට තරම් අප පසුගාමී නො විය යුතු
ය. එහෙත්, මේ තාක්‍ෂණික සංස්කෘතිය නිසා විකෘති වී යන මානව
සබඳතා ගැන අපි සැලකිලිමත් වන්නෙමු. උදාහරණයක් ලෙස ගතහොත් කලාවේ
අරමුණ ආනන්දයෙන් ප්‍රඥාව කරා යෑම වුව ද අද වන විට ගායන හා
නර්තන කලාකරුවන් ගේ පැවැත්ම දුරකථන කෙටි පණිවුඩ මත තීරණය වන
තත්ත්වයක් උදාවී ඇත. මෙය, කලාවේ පැවැත්මට අතිශයින් හානිකර ය.
එ බැවින් අපට අවශ්‍ය, දැනුවත් පාරිභෝගිකයකු වෙනුවට පිරිපුන්
දැහැමි මිනිසෙක් තනන යහපාලනයකි. |