UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කර්ම ශක්තියෙන් උපන් සත්ත්වයාට තම ජීවිතය සහ සංසාර ස්වභාවය හඳුනා පින්දහම් කිරීමට දේවදූත සූත්‍රයෙන් පෙන්වාදී ඇත. ජාති, ජරා, ව්‍යාධි මරණ යන ප්‍රධාන අවස්ථා සතරෙන් මිදෙන්නට කිසිම සත්වයෙකුට නොහැකි බැවින් එම අවස්ථා සතර නිමිති කරගෙන කුසල් කරන්නට බුද්ධිමත් ජනතාව උත්සාහ කරති. කෙසේ වෙතත් ජීවත්වීමම පරමාර්ථ කරගත් සත්ත්වයා බාල අවස්ථාව කෙළිදෙළෙන් හා තරුණවියේ දි පංචකාම සම්පත් අනුභ වයෙන්ද මහලු කල දුක් වේදනාවෙන්ද ගෙවන්නේය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බු ද්ධස්ස
පණ්ඩුපලා සොවදානිසි
යමපුරිසාපිචතමු පට්ඨිතා
උය්‍යොග මුඛෙච තිට්ඨසි
පාථෙය්‍ය පපිච තෙනච්ජ්ජති

පින්වත්නි

සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි මහලු උපාසකයෙකු අරභයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

මෙම ගාථා ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ විසින් වැදගත් කරුණු සතරක් පෙන්වාදී ඇත. එනම්

මහලු කල ජීවිතයේ ස්වභාවය
මරණාසන්නයේ යමදූතයින්ගේ පැමිණීම
කර්මය පිරිහී මරණ දොරටුවට පැමිණීම
පරලොව සුගතියට අවශ්‍ය පින්කම්

සත්වයාගේ උපත මෙන් විපතද ලෝක ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරන අවස්ථා දෙකකි. එහිදී ඇතිවන ඉමහත් වේදනාව සංසාරයේදී සත්ත්වයා කරගත් කුසලා කුසල විපාකය ප්‍රකට කරන අතර ලෝක ස්වභාවයට කෙදිනක හෝ යටත්විය යුතු බව ශාරීරික වෙනස්කම්වලින් පැහැදිලි වේ.

ගස්ගල් පර්වත ආදී සොබාදහමද පරිනාමයට යටත් වුවද ඒවායේ ස්වභාවය දිගුකලක් පැවැතියද කවදා හෝ කැඩී බිඳී යාමටත්, විනාශ වීමටත් පත්වේ. සත්ත්වයා උපන් දින ආශ්වාස කරන ජීව වායුවේ පටන් පැවැත්මත් ක්‍රමයෙන් ක්‍ෂණයක් පාසා අභාවයටත් යළි උපතටත් පත්වන්නේ නාමරූප ධර්මයන්ගේ සංකල්පනය නිසාය. ජීවවායු අරමුණෙන් අල්ලාගන්නා නාම ධර්මයන් මගින් ශරීර ලේ ධාතුව, විඤ්ඤාණ ධාතුව ඊට සම්බන්ධව අංග ප්‍රත්‍යංග එකිනෙක බද්ධතාවයෙන් ක්‍රියාත්මක වේ.

කර්ම ශක්තියෙන් ලද ඇස, කන්, නාසා දි ඉන්ද්‍රියන් අනුබද්ධ සෑම අංගයක්ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, යන සතරමහා භූතයන්ගෙන් පාලනයට නතුව පවත්නා අතර මහා විෂඝෝර සර්පයන් සතර දෙනෙකු සේ නිතර ව්‍යාධියෙන් පීඩාකාරී වේදනාවන්ට යටත් වේ.

මෙම ශරීරය කෑමබීම ආදියෙන් කොතරම් පෝෂණය කළත් ක්‍රමයෙන් පරිහානියට පැමිණේ. සියලු ද්‍රව්‍යවලින් හැදී වැඩෙන ශරීරය කොටස් වශයෙන් වෙන්කළ විට තමාවත් පි‍්‍රයජනක සිතකින් යළි සම්බන්ධ කර ගන්නේම නැත. සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, ලේ සැරව මල, මුත්‍රා නිතර වැගිරෙන්නට ඇස් කන් , නාසා දි නවදොරක් පිහිටා ඇති නිසාම සත්ත්වයා ස්වල්ප කාලයකට හෝ ජීවත්වීමේ අවකාශය ලබන්නේය.

කර්ම ශක්තියෙන් උපන් සත්ත්වයාට තම ජීවිතය සහ සංසාර ස්වභාවය හඳුනා පින්දහම් කිරීමට දේවදූත සූත්‍රයෙන් පෙන්වාදී ඇත. ජාති, ජරා, ව්‍යාධි මරණ යන ප්‍රධාන අවස්ථා සතරෙන් මිදෙන්නට කිසිම සත්වයෙකුට නොහැකි බැවින් එම අවස්ථා සතර නිමිති කරගෙන කුසල් කරන්නට බුද්ධිමත් ජනතාව උත්සාහ කරති.

කෙසේ වෙතත් ජීවත්වීමම පරමාර්ථ කරගත් සත්ත්වයා බාල අවස්ථාව කෙළිදෙළෙන් හා තරුණවියේ දි පංචකාම සම්පත් අනුභ වයෙන්ද මහලු කල දුක් වේදනාවෙන්ද ගෙවන්නේය. සත්ත්වයෙකු මෙලොව ජීවත් වන්නේ කර්ම චිත්ත සෘතු ආහාරයක උපකාරකයන් නිසාය. සත්ත්වයකුගේ සංසාර පැවැත්මට ප්‍රධාන වශයෙන් කුසලා කුසල කර්ම අවශ්‍යම වේ.

‘කම්ම සස මානව සත්තා කම්ම දායාද කම්මයොනි කම්ම බන්දු කම්ම පටිසරණ කම්මං සතෙන විජනි යදිදං හීන පණීතතායාති’ ආදිනයින් බුදුරජාණන් වහන්සේ විසින් වරෙක සුභ මානවකට කර්මය හා සත්ත්වයා අතර සම්බන්ධය පෙන්වා දී ඇත.

සත්ත්ව සමාජයේ විවිධාකාර බව පැවතියද කුසල් හෝ අකුසල් වෙනස් කිරීමේ ආශ්චර්යවත් බලයක් මිනිසාට ඇති බව අප තේරුම්ගත යුතු වන්නේ ය.

භවාන්තරයේ අතීත වශයෙන් අවිද්‍යා තණ්හා, සංඛාරාදි නයින් රැස් කරගත් කර්ම වර්තමානයේ වෙනස් කිරීමේ ස්වාධීන චින්තනය තමා ළඟම ඇති අතර එහි විපාක විඳීමේ අයිතියද තමාටම ඇති බැවින් ලබාගත් මනුෂ්‍ය ජීවිතය යළි මතුවට වෙනස් ජීවිතයකට පාවාදීමක් නොකළ යුතුය. ‘කිච්ජෝ’ මනුස්ස පටිලාභෝ’ යනාදි නයින් දක්වා ඇති පරිදි මෙම විශ්වයේ සත්ත්වයින් අතර ඉතාම දුර්ලභ ජීවිතය වන්නේ මනුෂ්‍ය ස්වභාවයයි. මිනිස් ලොව බැබලෙන්නේ ද මිනිසාගෙනි.

බුදුරජාණන් වහන්සේ විසින් නිතරම දක්වා වදාළ පරිදි අප්‍රමාදය මාරයාගේ බන්ධනයක බව අවබෝධ කරගෙන හැකි ඉක්මණින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත යුතු වන්නේය.

පින්වත්නි,

අකුසල් නිරායාසයෙන් අප කරා පැමිණෙන අතර එයින් සිදුවන ජරා, ව්‍යාධි ආදි ව්‍යසනයන්ද සිය දහස් ගණනින් අප පීඩාවට පත් කෙරේ. කුසල් ආයාසයෙන් කළයුතු වන අතර එයින් ලබන සතුට සම්පත අපමණය. ආචිණ්න වශයෙන් නිතර නිතර කරන කුසල් මෙන්ම අකුසල්ද මනසට එකතු වී මරණාසන්නයේ ප්‍රබලත්වය අනුව යදාසන්ත කර්ම වශයෙන් කර්ම, කර්මගති, ගති නිමිති, චිත්තවීථි පහල වේ. ශරීරික වශයෙන් අබල දුබල වනවිට මානසික පීඩනය බහුල වන්නේය. පුර්වයෙන් ඇස් කන් නාසාදි පසිදුරන් විසින් මනසට රැස්කළ චේතනා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වේ. කුසල් හෝ අකුසල් හෝ නිමිති අනුව ආසන්න කර්මය අනුව ප්‍රාණ වායුව නැවතීමත් සමග සුගති දුගති දෙක්හි උපත සිදුවන්නේය.

මෙම කාරණය නුවණින් සිතා දානාදි පින්දහම් කොට සුගති සංඛ්‍යාත, දේව මානුෂිකාදි සම්පත් කෙළවර ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් වේදනා නැතිකොට උතුම් ශාන්ත සුන්දර අමාමහ නිවන් සම්පත් ලබා ගැනීමට උත්සාහ ගන්න.

සැමට තෙරුවන් සරණයි!

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 29 වනදා සිකුරාදා අපරභාග 3.32ට ලබයි.
30 වනදා සෙනසුරාදා පූර්වභාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 29 වනදා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 5 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]