අසම සම ඇදුරාණෝ
ඉමදුව දිවෙලේගොඩ
පුරාණ විහාරවාසී
කනංකේ
විජිත නන්ද හිමි
කිසිවකුගේ පිහිටක් නොමැතිව සිටින පූතිගත්තතිස්ස හිමියන් දුටු අප
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මහා කාරුණාවෙන් යුතුව ආනන්ද හිමියන් සමග
පූතිගත්ත හිමියන් වැඩ සිටින ආරාමයට වැඩම කර වතුර
උණුකොට පූතිගත්තතිස්ස හිමියන් හොඳින් පිරිසුදු කොට
අවසානයෙහි ධර්ම දේශනාවක් පවත්වා මේ ශරීරයෙහි ඇති
අස්ථීර බව හොඳින් පෙන්වා දුන්හ. එම දහම් දේශනාව අවසානයේදී උන්වහන්සේ
උතුම් රහත් ඵලයට පත් වූහ. සියලු ලෝ සතුනට මහා කරුණා ගුණය පැතිර වූ
බුදුහිමියෝ අංගුලිමාල, සෝපාක, රජ්ජුමාලා, සුනීත, ආලවක, ආදී හැම දෙනාටම
සසර කතරින් එතෙර වීම සඳහා මාර්ගය පෙන්වා දුන්හ.
සියලු ලෝ සතුන් අමා දහමින් සනසා වදාළ අප අමා මෑණි ලොවුතුරා බුදුරජාණන්
වහන්සේගේ මහා කරුණා ගුණය අපිරිමිතය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී
ධර්ම සම්පූර්ණ කොට උතුම් බුදු පදවියට පත් උන්වහන්සේ හැමවිට උත්සාහ කළේ
මෙම බියකරු සසර කතරින් සියලු ලෝ සතුන් එතෙර කිරීම සඳහා ය. මහා කරුණා
ගුණය මුල් කරගත් අප බුදු හිමියන් සියලු සත්ත්වයන්ගේ විමුක්තිය වෙනුවෙන්
ක්‍රියාකළ ශාස්තෘවරයෙකි.
‘පර දුක්ඛේ සති සාධූනං හදය කම්පනං කරෝතී ති කරුණා’ යන අටුවා පාඨයෙන්
පෙන්වා දෙන පරිදි අනුන්ට දුකක් ඇති වූ කල්හි සත්පුරුෂයන්ගේ හදවත තුළ
ඇතිවන කම්පනය, කරුණාව ලෙස හඳුන්වා ඇත. අප බුදු හිමියන් ‘මහා කාරුණිතෝ
නාථො’ යනුවෙන් පෙන්වා දෙන පරිදි ‘මහා කාරුණික’ නම් වන සේක. මෙලොව කිසි
දෙයකට උන්වහන්සේගේ කරුණා ගුණය උපමා කළ නොහැකිය. ඒ බව බෝසත් චරිතය
මෙන්ම බුද්ධ චරිතය මගින්ද මැනවින් සනාථ වෙයි.
දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විමුක්ති සුවය සලසා ගැනීමට හැකිව තිබිය
දී සුමේධ තවුසා සියලු ලෝ සතුන් දුකින් මුදා ගැනීමේ කාරුණික හැඟීමෙන්
ක්‍රියා කිරීම ප්‍රශංසනීය ය. එසේම මහත් වූ රාජ සම්පත් අනුභව කරමින්
කාමසුඛල්ලිකානුයෝගී ජීවන රටාවක් ගතකළ සිදුහත් බෝසතාණන් වහන්සේ ඒ සියලු
සැප සම්පත් හා සක්විති රජ පදවිය පවා හැර දමමින් ගිහි ගෙයින් නික්ම
පැවිදි වී වසර හයක් පමණ කාලයක් දුෂ්කර ක්‍රියාකොට අවසානයෙහි මැදුම්
පිළිවෙත අනුව යමින් උතුම් බුදු පදවියට පත් වූහ.
එතැන් පටන් ගත වන සෑම මොහොතකම මෙම බියකරු සසරෙහි අතරමං වී දුක් විඳින
සියලු සත්ත්වයන්ගේ විමුක්ති සුවය වෙනුවෙන් කැප කළ අප මහා කාරුණිකයාණෝ,
උදා වන සෑම දිනක්ම කාල සටහනකට අනුව ගත කළහ.
1. පෙර බත් කිස
2. පසු බත් කිස
3. පෙර යම් කිස
4. මැදියම් කිස
5. පැසුළුයම් කිස යනුවෙනි.
ජීවිතයේ සෑම මොහොතක්ම අන්‍යයන්ගේ් සුඛ විහරණය වෙනුවෙන් කැප කළ බුදු
හිමියන් ‘සබ්බ පාපස්ස අකරණං ‘ කුසලස්ස උපසම්පදා’ (අකුසල් දුරු කරන්න.
කුසල් උපදවන්න) ආදී වශයෙන් දේශනා කරමින් සියලු ලෝ සතුනට දහමින් සැනසීම
ලබා දුන් බව බුදු සිරිත දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වෙයි.
වදකේ දේව දත්තම්හී
චෝරේ අංගුලිමාලකේ
ධනපාලේ රාහුලේ චේව
සබ්බත්ඵ සම මානසෝ
යනුවෙන් සඳහන්වන පරිදි තමන්ට බොහෝ වද වේදනා ලබා දුන් දෙව්දත් හිමියන්ට
ද තමන් නසන්නට පැමිණි අංගුලිමාල නම් දරුණු සොරාට හා ධනපාල ඇතාටද තම
ලෙයින් උපන් රාහුල කුමරුට ද දැක්වූයේ එකම කරුණා ගුණයකි. සෑම දිනකම
අලුයම මහා කරුණා සමාපත්තියට සමවදින සම්බුදු පියාණෝ තමන් වහන්සේගෙන්
පිහිට ලැබිය යුත්තකු සිටී ද යනුවෙන් බලති.
මෙලෙස එක්තරා දිනක මහා කරුණා සමාපත්තියට සම වැදුණු උන්වහන්සේ බොහෝ
සෙයින් අසරණ තත්ත්වයට පත් පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ දුටු සේක.
පෙර කරන ලද අකුසල කර්මයක විපාක නිසා මුළු ශරීරය පුරාම කුඩා බිබිලි
හටගෙන ඒවා පසුව විශාල වී අවසානයෙහි පැලී සැරවා ගලන්නට වූ කල්හි මේ
තෙරුන් වහන්සේ ජරා ජීර්ණ තත්ත්වයට පත් විය. මේ නිසා සද්ධිවිහාරිකයන් ද
පූතිගත්ත තිස්ස හිමියන් හැර දමා ගිය අතර ඒ නිසා උන්වහන්සේ අන්ත අසරණව
ඇඳට වී හොත්තේ ය.
මෙලෙස කිසිවකුගේ පිහිටක් නොමැතිව සිටින පූතිගත්තතිස්ස හිමියන් දුටු අප
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මහා කාරුණාවෙන් යුතුව ආනන්ද හිමියන් සමග
පූතිගත්ත හිමියන් වැඩ සිටින ආරාමයට වැඩම කර වතුර උණුකොට පූතිගත්තතිස්ස
හිමියන් හොඳින් පිරිසුදු කොට අවසානයෙහි ධර්ම දේශනාවක් පවත්වා මේ
ශරීරයෙහි ඇති අස්ථීර බව හොඳින් පෙන්වා දුන්හ. එම දහම් දේශනාව අවසානයේදී
උන්වහන්සේ උතුම් රහත් ඵලයට පත් වූහ.
සියලු ලෝ සතුනට මහා කරුණා ගුණය පැතිර වූ බුදුහිමියෝ අංගුලිමාල, සෝපාක,
රජ්ජුමාලා, සුනීත, ආලවක, ආදී හැම දෙනාටම සසර කතරින් එතෙර වීම සඳහා
මාර්ගය පෙන්වා දුන්හ.
තමන් වහන්සේ සිදුහත් අවධියේ දී දින 7 ක් ඇවෑමෙන් මිය ගොස් තව්තිසා
දෙව්ලොව උපන් තම මවට ද අභිධර්මය දේශනා කොට මාර්ගඵල සලසා දුන් අතර, පියා
වන සුද්ධෝදන රජුට ද තම සුළු මව වන මහාප්‍රජාපතී ගෝතමියට ද සසර දුකින්
එතෙර වීමේ මඟ පෙන්වා දුන්හ. ගතවන සෑම තත්පයරයක්ම සසරෙහි අනන්ත දුක්
විඳින සත්වයන්ගේ් යහපත වෙනුවෙන් වැය කළ සම්බුදු පියාණන් මෙතෙක් ලොව පහළ
වූ ශ්‍රේෂ්ඨතම හා ආදර්ශවත් ශාස්තෘවරයා බව බුදු සිරිත විමසීමේදී හොඳින්
පෙනී යයි.
‘අත්තානං උපමං කත්වා - නහනෙය්‍ය න ඝාතයේ’ (තමන් උපමා කරගෙන අන් අයට
හිංසා නොකරන්න) යනුවෙන් ලෝකයාට නිවැරැදි ජීවන පිළිවෙත පෙන්වා දුන්නේ
බුදු හිමියන්ම ය. මිනිසුන්ට පමණක් නොව දෙවියන්, යක්ෂයන් මෙන්ම තිරිසන්
සතුන් ආදී සියලු දෙනාටද උන්වහන්සේ මහා කරුණා ගුණය එක සේ ම පැතිර වූහ.
බුද්ධ ජීවිතයෙහි අවසාන කාල පරිච්ඡේදයෙහි පවා තම ශ්‍රාවකයන් අමතා අසා
දැන ගත යුත්තක් තිබේ ද යනුවෙන් ඇසීම හා බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්මය
ගුරුවරයා ලෙස සලකා කටයුතු කරන ලෙස අනුශාසනා කිරීම තුළ අප මහා කාරුණික
බුදුපියාණන් වහන්සේ සියලු ලෝ සතුන් කෙරෙහි කොපමණ දයාවකින්
අනුකම්පාවකින් ක්‍රියා කොට ඇත්තේ ද යන්න පැහැදිලි වෙයි.
මේ නිසා දුර්වල මිනිසත් බව ලද අපි සියලු දෙනා ගෞතම සම්බුදු පියාණන්
වහන්සේ තුළ පැවැති අපරිමිත ගුණ හොඳින් වටහාගෙන උන්වහන්සේගේ ශ්‍රාවකයන්
ලෙස කරුණාව, මෛත්‍රිය ආදී යහපත් ගුණ ධර්ම වර්ධනය කර ගනිමින් ජීවිතය
සාර්ථක කර ගැනීමට උත්සාහ කරමු. |