ධම්මපද සැහැල්ල - 5 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
අප්පමාද වග්ගය
21.අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති - යෙ පමත්තා යථා මතා
පින් දහම් කරන්නට - පමා නැති තැනැත්තා - කිසි පමාවක් නැතිව - නිවන වෙත
යන්නේ ය. පමා වන තැනැත්තා -දුකට පත් වන්නේය. ලෝකයේ සනාතන - දහම එය
වන්නේය. පමා නැති තැනැත්තෝ - මරණයෙන් මිදී යති. පමා වන්නෝ නිසැක ලෙස
මරණය ම ලබති.
හිතවතුනි , තුන් දොරින් - සංවරව පින් කරන - තැනැත්තෝ නිරතුරුව - නො
පැරදී ජය ලබති. තුන් දොරින් අසංවර -පව් කරන තැනැත්තෝ - නිරතුරුව දුක්
විඳිති. දැඩි පරාජය ලබති. පින් කරන තැනැත්තා - සමාජය පිළි ගනී. මරණයෙන්
පසුව නම- අමරණීයව රැකේ. පව් කරන්නා ලොවේ - කිසි කෙනෙක් නො සලකති.
මැරෙන්නට පළමුව ද- හේ මැරුණු කෙනෙකු මෙනි.
22. එතං විසෙසතො ඤත්වා - අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදෙ පමොදන්ති – අරියානං ගොචරෙ රතා
මා, නොපමා දෙකේ- වෙනස දත් නැණැත්තෝ - නිතර බුදු මග අනුව - ජීවිතය ගත
කරති. එසේ කල් ගෙවීමෙන් ලැබෙන මහ කුසලයෙන් -මෙලෝ පරලෝ දෙකම සරු කරති.
සතුටු වෙති...-
හිතවතුනි- නුවණැතිව , පමා- නොපමා දෙකේ වෙනස දැන ජීවිතය- හසුරුවා ගත
යුතුය. තුන් දොරින් සුසංවර -පමා නැති ජීවිතය- අඩුපාඩුවක් නැතිව- සරුසාර
වන්නේ ය. කුසලයට නොපමාව - අනලස්ව හැසිරෙන්න. ඒ අනුව නිසැකව ම - ජය ම
හිමි කර ගන්න.
23.තෙ ඣායිනො සාතතිකා - නිච්චං දළ්හ පරක්කමා
ඵුසන්ති ධීරා නිබ්බානං - යොගකේඛමං අනුත්තරං
නැණැත්තෝ නිරතුරුව - දැහැන් වඩවා ගනිති. නිරතුරුව දැඩි සිතින්- වීරිය
බල රැක ගනිති. එම නිසා කෙමෙන් හැම- බැමි වලින් නිදහස්ව- අනුත්තර වූ අමා
-මහ නිවන් සුව ලබති.
හිතවතුනි, නැණැත්තෝ - මුළු දවස තිස්සේම - අකුසලයට ඉඩ නොදී- තුන් දොරම
රැක ගනිති. එවිට දවසේ සියලු -දේ සඵල වන්නේය. සසල සිත නිසල වී- සැනසුම
ලැබෙන්නේ ය.
24.උට්ඨානවතො සතිමතො - සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො - අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති
නොපිරිහුනු දිරිය ඇති- දැහැමි වූ තැනැත්තේ තුන් දොරම හසුරුවන-
අප්‍රමාදී කෙනෙකි. ලෝකයේ පැතිර යන කිතු ගොසක් ඇති කෙනෙකි.
හිතවතුනි, තුන් දොරින් - සුසංවර තැනැත්තා- නිසැකවම පමා නැත. මහ විරිය
ඇති කෙනෙකි. එබඳු වූ තැනැත්තෝ -ජය ම හිමි කර ගනිති. ලෝකයා ගරු කරන -
උසස් තනතුරු ලබති.
මතු සම්බන්ධයි
|