ජීවිතය සුවපත් කරන
අරපිරිමැස්ම
සිවුපසය පරිභෝජනයේදී
භික්ෂූන් වහන්සේ විසින්
අරපිරිමැස්ම
ගුරුකොටගත් ක්‍රමවේදයක්
අනුගමනය කළ යුතු ආකාරය ප්‍රකට වන සිදුවීම් බෞද්ධ සාහිත්‍ය තුළ සුලභය.
භික්ෂූන්
වහන්සේලාගේ සිවුරු පිළිවෙත ගැන කියැවෙන අපූරු කථාවක්
ධම්මපදට්ඨකථාවේ එයි.
බෞද්ධයන් වන අපට පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවටම
බුදුසමය දෙන පණිවිඩය නම්
‘නාස්තිය’ පිටු දැකිය යුතු බවයි.
විශ්‍රාමික ආචාර්ය
ඒ. ඇම්. තිලකරත්න
අරපිරිමැස්ම බෞද්ධ සම්ප්‍රදාය තුළ ඉතා ඉහළින් අගැයීමට ලක් වූවක් බව
බෞද්ධ සාහිත්‍ය මැනවින් පෙන්වා දෙයි. අධිපරිභෝජනවාදී හා තරගකාරි ආර්ථික
ක්‍රමයක් තුලට තල්ලු වී ගොස් සිටින ලෝකය ‘අරපිරිමැස්මෙන් තොරව‘ යන ගමන
කොතැනින් කෙළවරවේදැයි සිතා ගැනීමට පවා බැරි තරම්ය. යථාලාභ
සන්තුෂ්ටිවාදී අල්පේච්ඡ ජීවිතයක් නිර්දේශ කරන බෞද්ධ ජීවන ක්‍රමයක් තුළ
මිනිසා පමණක් නොව ගහකොළ සතා සීපාවා මෙන්ම ජලය, භූමිය වැනි පරිසර සාධක ද
නොනැසී ආරක්ෂා වෙයි. එහෙත් වර්තමාන ලෝකයේ මිනිසාගේ අධි පරිභෝජනය තුළ
ඉහත කී අනතුරුදායක තත්ත්වයකට පත්වීම නියතය.
සිවුපසය පරිභෝජනයේදී භික්ෂූන් වහන්සේ විසින් අරපිරිමැස්ම ගුරුකොටගත්
ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු ආකාරය ප්‍රකට වන සිදුවීම් බෞද්ධ සාහිත්‍ය
තුළ සුලභය. භික්ෂූන් වහන්සේලාගේ සිවුරු පිළිවෙත ගැන කියැවෙන අපූරු
කථාවක් ධම්මපදට්ඨකථාවේ එයි.
අනඳ මාහිමියෝ කොසොල් රජු දවස ස්ත්‍රීන් පන්සියයකට ධර්ම දේශනා කිරීමට
නිතිපතා වැඩම කළහ. ධර්ම ශ්‍රවණයෙන් ප්‍රසාදයට පත් ඒ ස්ත්‍රීහු රජතුමා
තමන්ට දුන් අලුත් සළු වෙනවෙනම අනඳ මහ තෙරුන්ට පූජා කළහ. රජතුමාට මේ බව
දැන ගන්නට ලැබී විහාරයට ගොස් තෙරුන් වහන්සේ හමුව තුන් සිවුරෙන් යැපෙන
භික්ෂුවක් සළු පන්සියක් පිළි ගත්තේ කුමක් නිසාදැයි විමසීය. එහිදී එම
සළු පන්සියයම පිළිගත්තේ බහුභාණ්ඩිකභාවය නිසා නොව සිවුරු දුර්වල වෙනත්
තෙරුන් වහන්සේලාට අවශ්‍ය අවස්ථාවල පිරිනැමීම සඳහා බව සඳහන් කොට
තවදුරටත් කරුණු පැහැදිලි කරමින් අනඳ තෙරුණුවෝ භික්ෂූන් වහන්සේලා සිවුරු
පරිහරණය කරන පිළිවෙළ රජුට පැහැදිලි කළ දුන්හ.
ඒ අනුව භික්ෂුවක් තමන් පොරෝණ සිවුර පරණ වී වැරහැළි වූ විට එහි
දුර්වලතැන් ඉවත්කොට අඳන සිවුරක් කර ගනී. එයද ඇඳිය නොහැකි තරම් පරණ වූ
පසු ඇතිරිල්ලක් ලෙස ප්‍රයෝජනයට ගනී. තවදුරටත් පරණ වූ කල්හි පාපිස්නක්
සේ යොදා ගනී. තවදුරටත් කඩමාළු වූ කල්හි සිවුර පූජා කළ දායකයන්ට පින්
ලැබීම සඳහා ආවාස ගෙවල් ඉදිකිරීමේදී වරිච්චි බැඳීම පිණිස ලනු වශයෙන්
යොදා ගනී.
වස්ත්‍ර අරපිරිමැස්මෙන් පාවිච්චි කරමින්, ලැබිය හැකි උපරිම ප්‍රයෝජන
ලැබීම පිළිබඳ ඉහත විස්තරයෙන් ඉගැන්වෙන පරමාදර්ශය කොතරම් විශිෂ්ඨ දැයි
වටහා ගැනීම අපහසු නැත. සිවුරු පාත්‍රය වැනි භික්ෂු උපකරණ සේදීම,
වියළීම, තැන්පත් කිරීම වැනි කුදුමහත් කටයුතු සිදුකළ යුතු පිළිවෙළ
චීවරකඛන්ධක පත්තකඩන්‍ධක වැනි භික්ෂු විනයයන්හි දක්වා තිබීමෙන්
‘අරපිරිමැස්ම’ ගැන තිබුණු සැලකිල්ල වටහාගත හැකි ය.
පිණ්ඩපාතය පිළිබඳ බුදුරදුන්ගේ ඉගැන්වීම් ද පරමාදර්ශී ලක්ෂණ පෙන්වයි.
ආහාරයෙහි පමණ දැන වැළදීම (මත්තඤඤුතාච භන්තස්මි) භික්ෂු ජීවිතයක විශිෂ්ට
ලක්ෂණයකි. ප්‍රතිග්‍රාහක භික්ෂුව තමන්ට යැපෙන පමණට වඩා ලැබෙන පිණ්ඩපාතය
ප්‍රතික්‍ෂේප කළ යුතු බව භික්ෂු විනයෙහි දැක්වේ.
බෞද්ධයන් වන අපට පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවටම බුදුසමය දෙන පණිවිඩය
නම් ‘නාස්තිය’ පිටු දැකිය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන
පරිදි ලෝක ජනගහණයෙන් හයෙන් එකක් හෙවත් කෝටි සියයකට වැඩි ප්‍රමාණයක්
සිටින්නේ කුසගින්නේය. අපි‍්‍රකානු ලතින් ඇමරිකානු හා සමහර ආසියාතික
රටවල දුප්පත්කම කොතෙක්ද යත් පවුලක දෛනික ආදායම රු. එකසිය විසිපහක්
පමණය. ලෝකය කොතරම් සංවර්ධනය කරා ගමන් කළත් දුප්පත්කමේ අනුපාතයෙහි ඉහළ
යාමක් විනා පහළ යාමක් දක්නට නොලැබේ.
බොහෝ දුරට ආහාරපාන ඇඳුම් පැළඳුම් නාස්තිවන්නේ තරමක් හෝ ඉහළ ආදායම ලබන
පවුල්වලය. අවශ්‍යතාවට වඩා ආහාර පිළියෙළ කොට ඉතිරිවන දෑ කුණුගොඩට දැමීම
තම ආර්ථිකයට තදින් නොදැනෙන පවුල්වල ආහාර නාස්තිය බෙහෙවින් සිදුවේ.
ඇතැම්විට තම නිවසේ ඉවත දමන ආහාරපාන ප්‍රමාණය ගැන අනුන්ට කියාපෑමෙන්
තමන්ගේ වත්පොහොසත්කම් හුවා දක්වන කාන්තාවෝද වෙති. එක නිවසක මේ ආකාරයෙන්
දිනකට එක් අයකුට ප්‍රමාණවත් ආහාරපාන ඉවත දැමුවොත් ලංකාවපුරා කොතරම් ඉවත
දමනු ලැබේදැයි අප කල්පනා කළ යුතුය. අප ආහාරපාන කුණු කූඩුයට දමනවිට තවත්
කෝටි සංඛ්‍යාත ජනකායක් කුසගින්නේ කල් අරින බව අමතක කළ යුත්තක් නොවේ.
ඔබගේ නිවසේ නාස්තිය ඔබ පාලනය කරනු ලබන්නේ නම් ඉන් ඔබට ලැබෙන සුළු යහපතට
වඩා රටටත් ලෝකයකටත් ඉමහත් යහපතක් සිදුවිය හැකිය.
විශේෂයෙන් ආහාරපාන නාස්ති වන්නේ මවුපියවරුන් තුළ පවත්නා වැරැදි අදහස්
නිසාය. බොහෝ මවුවරුන් කල්පනා කරන්නේ සැමියා හා දූදරුවන් ඇති තරමට කෑම
ගතයුතු බවත් ආහාර ඉවත දමන්නට සිදු වුවත් ‘මදි’ නොවිය යුතු බවත් ය. මේ
නිසා වුවමනාවෙන්ම ආහාර ඉතිරිවන්නට සූදානම් කරනු ලැබේ. එසේම ඉතිරි වන
ආහාර ඉවත දැමීමට ද සිදුවේ.
ආහාර ගැනීමේදී භික්ෂූන් වහන්සේ විසින් අනුගමනය කළ යුතු පිළිවෙළ භික්ෂූ
විනයෙහි මෙසේ දැක්වේ.
චත්තාරො පංච ආලොපෙ
අභූත්වා උදකං පිවෙ
අලං වාසු විහාරාය
පහිතත්තස්ස භික්ඛුනො
ඉන් කියැවෙන්නේ ආලොප (කෑම කටවල්) හතරක් පහක් තවදුරටත් කෑමට තිබියදී
පැන් පානය කළ යුතු බවත් බ්‍රහ්මචර්යාවෙහි උත්සුකවන්නා වූ භික්ෂුවට එය
වාසු විහරණය සඳහා හේතුවන බවත්ය. ආහාර ගැනීම එපාවන තුරු ආහාරයෙන් කුස
පුරවා ගැනීම බෞද්ධ සාරධර්මය නොවන බව මින් ප්‍රකාශ වේ.
ගිහි පින්වත්හු දිනකට ආහාරවේල් තුනක් ගනිති. ඒවායේ කාල පරාසය පැය හයක්
පමණ වේ. එක් වේලකදී ඇතිවන අඩුපාඩු පියවා ගැනීමට දිගු කාලයක් බලා සිටීමට
සිදු නොවන බව ඒ අනුව පෙනේ. ආහාරගන්නා ඒ ඒ වේල්වලදී ‘මදි’ නොකියා තිබෙන
ප්‍රමාණය ‘ඇති තරම්’ නොවෙතත් බෙදාහදාගෙන අනුභව කිරීම බෞද්ධ සාරධර්මයක්
බව සිතට ගත යුතුය.
බෞද්ධ සම්ප්‍රදායයේ ‘නාස්තිය’ අවම කිරීම හා අරපිරිමැස්ම පිළිබඳ සංකල්පය
ජනතාව තුළ ඇගයීමට ලක් වූ කරුණු බව සනාථ කෙරෙන ජනකථා රාශියක් ද නිර්මාණය
වී ඇත.
එක්තරා ගමරාළ කෙනෙක් තම පුත්‍රයාට බිරියක් සරණ පාවා දීමේදී යුවතියක්
පරීක්ෂණයකට භාජනය කළේය. නිවසේ ඉවුම් පිහුම් කළ හට්ටි මුට්ටි ගඟේ
ගෙනගොස් සේදීමට සැලැස්වීම එම පරීක්ෂණයයි. බෙහෝ යුවතියන් කළේ එක් එක්
වළඳට ගඟෙන් වතුරගෙන වෙන වෙනම සේදීමය. ගමරාළ එම කාර්යය නිරීක්ෂණය කොට
ඔවුන් ප්‍රතික්ෂේප කළේය. එක් යුවතියක් පමණක් එක් වළඳකට ගත් වතුර වළඳින්
වළඳට මාරු කරමින් ජලය අරපිරිමැස්මෙන් යුතුව ප්‍රයෝජනයට ගත්තාය. ගඟේ
ඇතිතරම් ජලය තිබුණත් අර පිරිමැස්මෙන් ජලය පරිහරණය කළ එම යුවතිය පිළිබඳ
සතුටට පත් ගමරාළ ඇය තම ලේලිය බවට පත්කර ගත්තේය.
තවත් කතාවක දී ගොවියකුට බිරිය වී සිටි කාන්තාව පිසීම සඳහා ගත් සහල්වල
තිබුණු වී ඇට අහුලා වීසි කළාය. ඇය මියගොස් සත් වරක් එම නිවසේ ගම දෙනකව
ඉපද තමා කළ වරදට ණය ගෙවුවාය. එපමණක් නොව එම ගවදෙනගේ හිසෙහි ඇටසැකිල්ල
එම නිවසේ රැකවරණයට වැටෙහි එල්ලා තබන ලද්දේලු.
මෙබඳු ජනකථාවලින් ද තහවුරු කරනුයේ බෞද්ධ සාරධර්මවලින් ශික්ෂිත වූ
ලාංකික ජන සමාජයේ අරපිරිමැසුම් සංකල්පයයි.
රජය ඇතැම් සම්පත් ජනතාවට ලබා දෙන්නේ ලාභයට වඩා සේවාවක් වශයෙනි.
විදුලිය, ජලය , අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පහසුකම් සැලසීමේදී රජය
ක්‍රියාකරන්නේ සුබසාධකයකු වශයෙනි. රජය අඩු ආදායම්ලාභීන් වෙත සලසන මෙම
සේවා පොදුවේ සැපයීම නිසා වැඩි ආදායම් ලබන්නන්ට ද ඉන් ප්‍රතිලාභ ලැබේ.
වැඩි ආදායම්ලාභීන්ගේ ආදායම්වලට සාපේක්ෂකව සලකන විට ඔවුන්ට එම
ප්‍රතිලාභ සඳහා වැයවන්නේ ඉතා පහසුවෙන් දරාගත හැකි වියදමකි. එම නිසා
ලාභයට ලැබෙන මේ පහසුකම් නාස්තිකාරි ලෙස අරපිරිමැස්සෙන් තොරව පරිහරණය
කිරීම ඒවාට සැබෑ හිමිකම් ඇති අඩු ආදායම්ලාභීන්ට කරන එදිරිවාදිකමක්
වැනිය. නාස්තිය නිසා රජයකට එම පහසුකම් සැලසීමේ අපහසුතා ඇතිවන්නේ නම්
ඉන් පීඩාවට පත්වන්නේ අඩු ආදායම්ලාභී පිරිස්වීම ඊට හේතුවයි.
පොදු දේපල පරිහරණයේදී භික්ෂුවක් ඉතා සැලකිලිමත් විය යුතු බව භික්ෂු
විනයෙහි දක්වා තිබේ. අතීතයේ ගම්වල පැවැති ආවාස ගමින් ගම සැරිසරණ
භික්ෂුන්වහන්සේලාගේ තාවකාලික වාසස්ථාන විය. එසේ පැමිණෙන භික්ෂූන් එම
ආවාසවල රැඳී සිට පෙරළා යාමේදී ආවාස ගෘහය කළින් පැවති පියවි ස්වාභාවයෙන්
තබායාමට වගබලාගත යුතුය. මෙයින් පෙනී යන්නේ පොදු වස්තු පරිහරණයේදී ඒවා
පොදු අයිතියට හිමිවන බව දැන ප්‍රවේශමෙන් ක්‍රියාකළ යුතු බවයි.
අරපිරිමැස්මෙන් තොර නාස්තිකාරි ආර්ථික ක්‍රමය තුළ පෘථුවිතලයේ ජීවත්වීම
අනාගත අභියෝගයක් බවට පත්වෙමින් තිබෙන බැවින් වර්තමාන හා අනාගත පරපුර
සඳහා විෂධ නොවන ලෝකයක් ඉතිරිකිරීමේ සදාචාරාත්මක වගකීම සෑම පුද්ගලයකුම
සතු වූවක් බව වටහා ගනිමින් ක්‍රියා කළ යුතු කාලපරිච්ඡේදයක් උදාවෙමින්
තිබෙන බව සිතට ගත යුත්තකි. |