UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

දුරුතු අව අටවක 2010. 01. 07

 

දේශීය චින්තනය ගැන සිතමු

ශ්‍රී ලංකාවේ අනාගත රාජ්‍ය නායකයා තෝරා ගැනීම පිණිස ජනතාව පෙළ ගැසෙමින් සිටින මොහොතක අප ගේ කතු වැකිය සඳහා දේශපාලන මාතෘකාවක් යොදා ගැනීම වරදකැයි නො සිතමු. එ සේ වුව ද ආගම හා දේශපාලනය අතර ඇති සබඳතාව පැහැදිලි කිරීම අප ගේ යුතුකමකි. ඒ සඳහා අප තෝරා ගත්තේ මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් ලියන ලද ‘භික්ෂුවගේ උරුමය’ නමැති කෘතියෙන් ජේද තුනකි.

‘සංවිධානය වූ සමාජයක ජීවත්වන, සිහිබුද්ධියෙන් යුත්, හොඳ නරක තේරෙන, වගකීමක් ඇති කිසිම මනුෂ්‍යයකුට දේශපාලනයට සම්බන්ධ නො වී ජීවත් විය නො හැක. මනුෂ්‍ය සමාජයට වුවමනා ඉගෙනීම හා සච්චරිතය, අපරාධ මර්දනය හා සුචරිත වර්ධනය, ආරෝග්‍ය හා සෞඛ්‍යාරක්ෂාව, කෘෂිකර්මය හා ග්‍රාම සංවර්ධනය, ආහාරපාන, නිවාස පහසුකම්, ගමනාගමනය හා වෙළෙහෙළඳාම් ආදී සිය ගණන් ඕනෑ එපාකම් පිළිබඳ ලොකු කුඩා හැම ප්‍රශ්නයක් ම දේශපාලනයට අයත් වෙයි.’

බෞද්ධයා ගේ දේශපාලනය කුමක් විය යුතු දැයි උන්වහන්සේ මෙ සේ පැහැදිලි කැර තිබේ.

‘බෞද්ධ ඉගැන්වීමේ හැටියට දේශපාලනය නම් දශරාජධර්මයෙන් යුක්ත ව කළයුතු ඉතා ශ්‍රේෂ්ඨ පරාර්ථ සේවයකි. එ සේ ම දේශපාලනයෙහි යෙදෙන්නා සතර සංග්‍රහ වස්තුවෙන් ද යුක්ත විය යුතු යි. බුද්ධාගමේ හැටියට දේශපාලනය ධාර්මික ක්‍රියාවක් මිස අධර්මයක් නො වේ. බෞද්ධයන් කරන හැම පින්කමක් ම අවසානයෙහි සිරිතක් වශයෙන් කියන ‘දෙවෝ වස්සතු කාලෙන’ යනාදි ගාථාවෙහි ආර්ථික සාමාජික හා දේශපාලන ප්‍රාර්ථනා ගැබ් වී තිබේ’.

‘දේශපාලනය ජීවිතය පිළිබඳ ප්‍රශ්නයකි. ආගම ද ජීවිතය පිළිබඳ ප්‍රශ්නයකි. මේ දෙක වෙන්කළ නො හැක. ශරීරයට සිත යම් සේ ද දේශපාලනයට ආගමත් එ සේ ය. ආගම ධර්මයෙන් තොර වූ දේශපාලනය අධර්මයක්, පාපයක් වෙයි. ආගම යනුවෙන් අදහස් කරනු ලබන්නේ වැඳුම් පිදුම් ආදී බාහිර චාරිත්‍ර නො ව කරුණා මෛත්‍රී ආදී ගුණධර්මයන් ගෙන් චරිතය දියුණු කිරීම යි. එබඳු උතුම් අදහස් වලින් ගුණධර්ම වලින් තොර වූ චරිත දියුණුවක් නැති අය විසින් කරනු ලබන දේශපාලනයෙන් ලෝකයාට අවැඩක් මිස වැඩක් විය නොහැක’.

ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් වුව ද මහා සම්ප්‍රදායකින් යුත් ශක්තිමත් රාජ්‍යයක් බවට පත් වූයේ මේ දැහැමි දේශපාලන සංකල්පය නිසා ය. එම ශ්‍රී ලාංකේය දේශපාලන සම්ප්‍රදායේ උච්චතම අවස්ථාව එළාර නමැති සොළී ආක්‍රමිණකයා පරාජය කොට දුටුගැමුණු කුමාරයා සිහසුනට පත්වීමයි. දුටුගැමුණු යුගය පරමාදර්ශී පාලනයක් වන්නේ රට එක්සේසත් කිරීම නිසා ම නො වේ. අනුරාධපුරය කේන්ද්‍ර කැර ගත් අධ්‍යාත්මික අගනුවර නමැති සංකල්පය ජාතියට දායාද කිරීම ඊට හේතුවයි. එහෙත් අනුරාධපුර රාජධානිය බි¼ඳ වැටීමෙන් පසු බිහි වූ පොළොන්නරු යුගයේ දී එම තත්ත්වය වෙනස් වූ බව පෙනේ. හෙළයේ මහ ගත්කරු මර්ටින් වික්‍රමසිංහ ලියූ ‘කළුනික සෙවීම’ නමැති කෘතියෙහි එය මෙහි දැක්වෙන පරිදි සටහන් කැර තිබේ.

‘පැරකුම්බා රජු ගේ මැඳුර මෙතෙක් සොයා ගන්නා ලද පැරැණි රජ මැඳුරු අතුරෙන් විශාලතමය වෙයි. ඔහු ගේ් මේ නටබුන් රජ මැඳුර දොළොස්වන සියවසෙහි දී භික්ෂූන් අනුශාසකයන් වශයෙන් රජුන්ට දෙවන තැන ගත්තයි යන අනුමානය තහවුරු කරන්නක් යැයි හැඟේ. ගැමුණු කාලයෙහි විශාලතම අලංකාර ප්‍රාසාදය තනවන ලද්දේ රජුන් උදෙසා නො ව භික්ෂූන් උදෙසා ය. පොළොන්නරුවේ මහා ප්‍රාසාදය තනවා තිබෙන්නේ රජු උදෙසා ය. එකල නාගරික සභ්‍යත්වය විසින් නිපදවන ලද හැම දෙයින් මහා පැරකුම්බා රජු ඉන්ද්‍රියයන් පින වූ හයි සිතවන නටබුන් මැඳුරු මේ මාලිගාව වටා දක්නට ලැබේ’.

මේ තත්ත්වයට හේතුව කුමක් ද?

බොහෝ වියතුන් පෙන්වා දී ඇති පරිදි මහා පැරකුම්බා සමයේ දී කෘෂි ආර්ථිකය වාණිජකරණයටත්, ගම මුල් කැරගත් සමාජ සංවිධානය නාගරිකරණයටත් ලක් කිරීම නිසා ඇති වූ ප්‍රතිඵලයකි එය.

මහා පැරකුම්බා රජු විසින් ආරම්භ කළ අධ්‍යාත්මික අගනුවර සංකල්පයෙන් බැහැර වීමේ උත්සාහය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ උච්චතම ස්ථානයට එළඹ තිබේ. දකුණු ඉන්දීය නායක්කර් වංශික උරුමය සහිත ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉන්දියාවේ මදුරා පුරය අනුකරණය කොට රජ මැදුරට මුහුණ ලා කිරි මුහුද නමින් මහා විලක් නිර්මාණය කිරීමට උත්සාහ දැරී ය. එහෙත් එය කෘෂිකර්මය සඳහා හෝ ආරක්ෂාව සඳහා සැලසුම් කළ වැවක් නො ව නගර අලංකාරය පිණිස හඳුන්වා දෙන ලද අංගයකි. මේ ප්‍රතිපත්තිය නිසා ජනතාව රජයෙන් දුරස් වූ බවක් පෙනෙන්නට ඇත. කෝට්ටේ යුගය වන විට අතිශයින් දුර්වල වූ සිංහල රාජ්‍යය විදේශ ආක්‍රමණිකයන් අතට ඉතා පහසු වෙන් පත් විය.

මේ දුර්වල රාජ්‍යයේ අනාගත සුරක්ෂිතභාවය ප්‍රාර්ථනා කිරීම සඳහා දියසේන කුමාර සංකල්පය නිර්මාණය වී තිබේ. ශ්‍රී බුද්ධ වර්ෂ 2500 දී පහළ වේ යැයි පැතූ දියසේන කුමාර සංකල්පය බිහි වූයේ කෝට්ටේ යුගයේ දී ලියැවුණු ‘පැරකුම්බා සිරිත’ නමැති කෘතියෙනි. දියසේන කුමරා යනු බෞද්ධ සංස්කෘතිය මත බිහි වී ලොව ජයගන්නා දැහැමි රාජ්‍ය නායකයෙකි.

ශ්‍රී ලංකාව අද මුහුණ පා සිටින පශ්චාත් යුද සමයේ අභියෝග, ලෝක ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම්, ගෝලීයකරණ අවධියේ සංස්කෘතික අභියෝග හා බාහිර වශයෙන් එල්ලවන දේශපාලන තර්ජන ආදිය ජය ගැනීම සඳහා මේ දියසේන කුමාර සංකල්පය ඉතා වැදගත් ය. මෙය, ජාතික චින්තනය මත පදනම් වූ ශක්තිමත් දැහැමි රාජ්‍ය නායක සංකල්පයක් වීම ඊට හේතුවයි.

අනාගත රාජ්‍ය නායකයා තෝරා ගන්නා මේ අවස්ථාවේ දී අප ගේ දේශීය චින්තනය මත පදනම් වූ පාලන තන්ත්‍රයක් ගැන සිතීම වැදගත් වනු ඇත.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 07 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.43 ට ලබයි.
8 වන දා සිකුරාදා පූර්වභාග 03.45 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම 07 වන දා බ්‍රහස්පතින්දා ය.
මී ළඟ පෝය ජනවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]