තෙසැත්තෑ නුවණින් බබළන
මහා කාරුණිකයාණන් වහන්සේ
හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර සමණධම්ම හිමි
අමා මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥාව විවර කිරීමක්
වන හැත්තෑ තුනක් වූ (73) නුවණ තෙසැත්තෑ ඤාණ නමින් හැඳින්වේ. දම් සෙනෙවි
සැරියුත් මහ රහතන් වහන්සේ, බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ මෙම ඤාණ
නුවණින් දැක වදාළහ.
අනන්ත වූ සසරේ පුරන ලද පාරමී බලයෙන් අමා මෑණි බුදුපියාණන් වහන්සේට මෙම
තෙසැත්තෑ ඤාණ ලැබී ඇත. තෙසැත්තෑ ඤාණ නිතර මෙනෙහි කරන්නේ නම්, එම අනන්ත
වූ බුද්ධ ඤාණ බලයෙන් මෙලොව පරලොව සැනසීම ලැබීමට එය හේතු වනු ඇත.
1. සොතාවධානෙ පඤ්ඤා සුතමයේ ඤාණං
බෝසතාණන් වහන්සේ පෙර බුදු හිමිවරුන්ගේ දහම් ඇසීමෙන් ලත් ප්‍රඥාව, සුතමය
ඤාණයයි.
2. සූත්වාන සංවරේ පඤ්ඤා, සීලමයේ ඤාණං
සුතමය ඤාණයෙන් ලැබූ ප්‍රඥාවෙන් පාරිශුද්ධ වූ බුදුන් වහන්සේ, පාරිශුද්ධි
සීල ස්කන්ධයෙන් පරිපූර්ණ වීමේ ප්‍රඥාව සීලමය ඤාණයයි.
3.සංවරිත්වා සමාදහනේ පඤ්ඤා
සමාධි භාවනාමයේ ඤාණං
මඟ ඵල නිවන් ලබන සීලයේ පිහිටා සිත නොයෙක් අරමුණුවල විසිර යා නොදී සංවර
වීමෙන් සිත තැන්පත් කර ගැනීමේ නුවණ, සමාධි භාවනා මය ඤාණයයි.
4.පච්චය පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඤාණං
හේතු ඵල සහිත නාම රූප ධර්ම නොයෙක් අන්දමින් දන්නා වූ නුවණ, ධම්මට්ඨිති
ඤාණයයි.
5.අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංඛිපිත්වා වවත්ථානේ පඤ්ඤා ,
සම්මසතන ඤාණං
අතීත අනාගත වර්තමාන තුන් කාලයටම අයිති පඤ්චස්කන්ධ යෙහි වෙන වෙනම නුවණ
මෙහෙයවා ත්‍රිලක්ෂණ යට යොමු කිරීමේ නුවණ ,සම්මසනෙ ඤාණයයි.
6.පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බයානු පස්සනේ
ඤාණං
වර්තමාන වශයෙන් ලැබෙන්නා වූ පඤ්චස්කන්ධ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම හා
නැතිවීම පිළිබඳ නුවණින් බැලීම, උදයබ්බයානුපස්සනේ ඤාණයයි.
7.ආරම්මණං පටිසංඛා භංගානු පස්සනේ පඤ්ඤා විපස්සනේ ඤාණං
නාම රූප ස්කන්ධයන්ගේද විදර්ශනා ඤාණයාගේද බිඳී යෑම නැවත නැවත නුවණින්
සැලකීමේ ප්‍රඥාව භංගානුපස්සනා නම් විදර්ශනා ඤාණයයි.
8.භයතුපට්ඨානේ පඤ්ඤා ආදීන වේ ඤාණං
ඉපදීම පැවතීම අරමුණු ගැනීම, රැස් කිරීම යන මේ සෑම සංස්කාරයක්ම බිය
උපදවන දේ වශයෙන් වැටහීම හා නිර්වාණය එකම ක්‍ෂේම ස්ථානය වශයෙන් වැටහීමේ
නුවණ, ආදීනව ඤාණයයි.
9.මුඤ්චිකු කම්‍යතා පටිසංඛා සන්තිට්ඨතා පඤ්ඤා, සංඛාරුපෙක්ඛාසු ඤාණං
මිදෙනු කැමැත්ත ඊට උපාය සැලසීම, උපේක්‍ෂා වශයෙන් නැවතීම සහ තුන්
ආකාරයෙන් ඇති ප්‍රඥාව , සංඛාරු පෙක්ඛාසු ඤාණයයි.
10.බහිද්ධා වුට්ඨාන විවට්නේ පඤ්ඤා
ගොත්‍රභූඤාණං
බාහිර සංස්කාර නිමිත්තෙන් නැගී විදර්ශනාවෙන් අරමුණු කොට ගන්නා ලද නිවනට
නැඹුරු වූ ප්‍රඥාව , ගෝත්‍රභූ ඤාණයයි.
11.දූභතො වුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා
මග්ගේ ඤාණං
නිමිත්ත එය පැවැත්වීම යන දෙකින් නැගී, පරාමර්ශනය වන ප්‍රඥාව මාර්ග
ඤාණයයි.
12.පයොග පටිප්පස්සද්ධි පඤ්ඤා ඵලෙ ඤාණං
උද්යෝගිවත් මාර්ග භාවනාව (දූභතෝ වුට්ඨාන) නිම වීමෙන් ලැබෙන ප්‍රඥාව ,
ඵල ඤාණය යි.
13. ඡින්න වටුමානු පස්සනෙ පඤ්ඤා
විමුක්ති ඤාණං
නැසූ කෙලෙසුන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ (නැවත සලකා බැලීමේ )ප්‍රඥාව
විමුක්ති ඤාණයයි
14. තදා සමුදාගතෙ ධම්මෙ පස්සෙන පඤ්ඤා පඤඤවෙක්ඛණෙ ඤාණං
සිවු මඟ ඵල වලට පැමිණීමෙන් ලැබෙන්නා වූ මාර්ග ඵල නිවන ආදී ධර්ම දැකීමේ
ප්‍රඥාව පච්චවෙක්ඛණේ ඤාණයයි.
15.අජ්ඣත්ත වවත්ථානෙ පඤ්ඤා
වත්ථූ නානත්තේ ඤාණං
ඇස , කන නාසය දිව ශරීරය මනස යන අධ්‍යාත්මික ආයතන බෙදා එහි යථා ස්වභාව
මෙනෙහි කරන්නා වූ නුවණ, වත්ථු නානත්ත ඤාණයයි.
16. බහිද්ධා වවත්ථානෙ පඤ්ඤා
ගෝචර නානත්තෙ ඤාණං
රූප , ශබ්ද, ගන්ධ, රස , ස්පර්ශ, ධම්ම යන බාහිර ආයතන බෙදා එහි යථා
ස්වභාව මෙනෙහි කරන්නා වූ නුවණ, ගෝචර නානත්ත ඤාණයයි.
17.චරියා වවත්ථානෙ පඤ්ඤා
චරියා නානත්තෙ ඤාණං
කුසලා කුසල වශයෙන් හටගන්නා වූ විඤ්ඤාණ චරියා අඤ්ඤාණචරියා, ඤාණචරියා,
වෙන් වෙන් වශයෙන් විදර්ශනා කරන නුවණ, චරියා නානත්ත ඤාණයයි.
18.චතු ධම්ම වවත්ථානේ පඤ්ඤා
භුමි නානත්තෙ ඤාණං
සතරක් සතරක්ව බෙදී ගිය ධර්ම කොට්ඨාශ මෙනෙහි කිරීමේ නුවණ, භූමි නානත්ත
ඤාණයයි
19.නව ධම්ම වවත්ථානෙ පඤ්ඤා
ධම්ම නානත්තෙ ඤාණං
කාමාවචර කුසල වශයෙන් නව නව වැදෑරුම් ධර්ම මෙනෙහි කිරීමේ නුවණ, ධම්ම
නානත්ත ඤාණයයි
20.අභිඤ්ඤා පඤ්ඤා , ඤාතට්ඨෙ ඤාණං
ස්කන්ධ පංචකයේ ලක්ඛණ, රස , පච්චුපට්ඨාන, පදට්ඨාන යන ස්වභාව අර්ථ
තත්වාකාරයෙන් දන්නා වූ නුවණ, ඤාතට්ඨෙ ඤාණයයි.
21.පරිඤ්ඤා පඤ්ඤා තීරණට්ඨෙ ඤාණං
නාම රූප ස්කන්ධයන්හි සැඟවී ඇති තිලකුණු විවෘත කරන්නා වූ නුවණ, තීරණාට්ඨ
ඤාණයයි.
22.පහානෙ පඤ්ඤා පරිච්චාගට්ඨෙ ඤාණං
අනිත්‍යානු පස්සනාදී සප්ත අනුපස්සනාවන්ගේ වශයෙන් නිත්‍ය සංඥාදිය
ප්‍රහාණය කරමින් විදර්ශනා මාර්ගයේ කෙළවර පැමිණියා වූ නුවණ පරිච්චාගට්ධෙ
ඤාණයයි.
23.භාවනා පඤ්ඤා එක රසට්ඨෙ ඤාණං
ශාන්ත වූ නිවනට සම්ප්‍රාප්ත වීමේ අදිටනින් සද්ධාදී ධර්ම කෙරෙහි ඇති
කරගන්නා භාවනාමය නුවණ, ඒක රසට්ඨ ඤාණයයි.
24.සච්ඡිකිරියා පඤ්ඤා ඵුසනට්ඨෙ ඤාණං
නාම රූප ධර්ම වල යථා ස්වභාව ප්‍රතිවේධ කිරීමෙන් හටගන්නා වූ ද ,
සුවිසුද්ධ පරිපූර්ණ භාවනා ඵලය ගෙන දන්නා වූ ද නුවණ, ඵුසනට්ඨ ඤාණයයි.
25.අත්ථ නානත්ත පඤ්ඤා අත්ථ පටිසම්භිදෙ ඤාණං
හේතු ඵල විපාකාදීයෙහි අර්ථයන්ගේ ඒවායේ නා නා ස්වභාවයන්හි පැවැති නුවණ,
අත්ථපටිසම්භිදේ ඤාණයයි.
26.ධම්ම නානත්තෙ පඤ්ඤා ධම්ම පටිසම්භිදෙ ඤාණං
හේතු ධර්ම රාශිය පිළිබඳ යථා ස්වභාවය තත්වාකාරයෙන් අවබෝධ කරගත් නුවණ
ධම්මපටිසම්භිදේ ඤාණයයි.
27.නිරුත්ති නානත්තේ පඤ්ඤා නිරුත්ති පටිසම්භිදෙ ඤාණං
අර්ථ ධම්ම නිවැරැදිව පිරිසුදුව භාවිතා කිරීමේ සමර්ථ නුවණ නිරුත්ති
පටිසම්භිදේ ඤාණයයි
28.පටිභාන නානත්තෙ පඤ්ඤා පටිභාන පටිසම්භිදෙ ඤාණං
අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිසම්භිදා ඤාණත්‍රය අරමුණු කොට පහළ වන්නා වූ
නුවණ පටිභාන පටිසම්භිදා ඤාණයයි.
29.විහාර නානත්තේ පඤ්ඤා විහාරට්ඨෙ ඤාණං
නා නා විදර්ශනා විහරණ නුවණ, විහාරට්ඨ ඤාණය යි
30. සමාපත්ති නානත්තෙ පඤ්ඤා සමාපත්තට්ඨෙ ඤාණං
ලොව්තුරු ඵල සමවතින් හට ගන්නා වූ ද නිත්‍ය සංඥා දිය දුරලන්නා වූද
අනිමිත්තා දී නා නා සම්පත්ති පිළිබඳ නුවණ, සමාපත්තට්ඨෙ ඤාණයයි
31.විහාර සමාපත්ති නානත්තෙ පඤ්ඤා විහාර සමාපත්තට්ඨෙ ඤාණං
නිත්‍ය සංඥාදිය දුරලන්නා වූ ද අනිමිත්තානු පස්සනාදිය ඇසුරු කරන්නා වූ ද
විදර්ශනා ඵල සමවත් පිළිබඳ නුවණ විහාර සමාපත්තට්ඨෙ ඤාණයයි.
32. අවික්ඛෙප පරිසුද්ධත්තා ආසව සමුච්ඡදෙ පඤ්ඤාආනන්ත.රික සමාධිම්හි ඤාණං
සමාධියම පිරිසුදු කරමින් අනුසය සහිත කාමාදී ආශ්‍රව සිඳලන්නා වූ
ආනන්තරික සමාධි ඤාණයෙන් අග තැන්පත් වූ නුවණ ,ආනන්තරිකා සමාධි ඤාණයයි.
මතු සම්බන්ධයි
මෙම ලිපිය සැකසීමේ දී රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාම මාහිමිපාණන්
විසින් සම්පාදනය කරන ලද තෙසැත්තෑ ඤාණ පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයක් පාදක
කර ගැනිණි.
|