ධම්මපද සැහැල්ල - 3 කොටස
බණ්ඩාර මඩුගල්ලේ
12. සාරංච සාරතො ඤත්වා - අසාරංච අසාරතො,
තෙ සාරං අධි ගච්ඡන්ති - සම්මා සංකප්ප ගොචරා
හරි දැකීමක් තිබෙන - ලෝකයේ නැණවැත්තෝ සරු නිසරු සියලු දෙය - හොඳින්
වටහා ගනිති. ඒ අනුව සියලු දෙය, හොඳින් වටහා ගනිති. ඒ අනුව ටිකෙන් ටික,
කෙළෙස් බර ලිහිල් කොට - අජර වූ අමර වූ - නිවන හඳුනා ගනිති...
හිතවතුනි, හොඳ නරක, දෙකෙන් පිරි ලොවක් මැද - සිටින අප හොඳ නරක - හොඳින්
හැඳිනිය යුතුය. හොඳ දෙයක් නරක ලෙස - නරක දේ හොඳක් ලෙස - පෙනෙන්නට ඉඩ
තිබේ . පරෙස්සම් විය යුතු ය. තුණුරුවන් හැඳින ගෙන - දිවිය ගත කළ
යුතුය. ඒ අතර අරි අටැඟි - මග අනුව යා යුතු ය. එසේ වූ කිසිවකුට - මග
නොවරදින්නේ ය. මෙලොව පරලොව දෙකේ - සැපත් හිමි වන්නේ ය.
13. යථාගාරං දුච්ඡන්නං - වුට්ඨි සමති විජ්ඣති,
එවං අභාවිතං චිත්තං - රාගො සමති විජ්ඣති
වැරැදි ලෙස සෙවිලි කළ - ගෙය තුළට වැසි ජලය - වසින විට ඉතාමත් -
පහසුවෙන් එන්නේය. භාවනා ආදියෙන් - නොහික්මුණු සිත තුළට - ඒ ලෙස ම
‘රාගය ‘ ද පහසුවෙන් එන්නේ ය.
14. යථාගාරං සුච්ඡන්නං - වුට්ඨි න සමති විජ්ඣති
එවං සුභාවිතං චිත්තං - රාගො න සමති විජ්ඣති
ගෙයක් නිසි පරිද්දෙන් - සෙවිලි කර තිබේ නම්, වසින විට වැසි ජලය ඇතුළට
නො එන්නේ ය. භාවනා කිරීමෙන් සුසංවර සිත තුළට - ඒ ලෙසම කිසි විටෙක
‘රාගය’ නො එන්නේ ය.
හිතවතුනි, මේ මිනිස් සිත තුළට නිරුතුව පසිඳුරන්ගේ මගින් අරමුණු
ලැබෙන්නේ ය. ලැබෙන අරමුණු අනුව සිත තුළට ගලා එන නොයෙක් සිතුවිලි අතර
‘රාගය’ ද බලවත් ය. අසංවර සිත තුළට ‘රාග‘ සිතුවිලි ගලයි. සුසංවර සිත
තුළට ‘රාග‘ සිතුවිලි නො එයි. ‘රාග‘ සිතුවිලි නිසා සිත කිලිටි වන්නේය.
කිලිටි සිත පාපයට- නැඹුරු වන්නේ ය. ඒ නිසා තුන් දොරින් - පව්ම සිදු
වන්නේය. දුකින්පිරි මේ සසර - තවත් දික්වන්නේය. පාපයට නැඹුරු නැති -
තුන් දොරින් නිරතුරුව - පින්ම සිදු වන්නේ ය. සසර කෙටි වන්නේ ය.
15. ඉධ සොචති පෙච්ච සොචති - පාපකාරී උභයත්ථ සොචති
සෝ සොවති සො විහඤ්ඤති - දිස්වා කම්මකිලිට්ඨ මත්තනො
පව් කරන තැනැත්තා - මෙලොවදී ශෝක වෙයි. පරලොවේදීත් ඔහුට - ශෝකය ම උරුම
වෙයි. තමා තුන් දොරින් කළ - පාපයන් දැකීමෙන් - සසර වසනා තුරා දුක්ම
විඳගන්නේ ය.
16. ඉධ මොදති, පෙච්ච මොදති - කත පුඤ්ඤෝ උභයන්ථ මොදති
සො මොදති සො පමොදති - දිස්වා කම්මවිසුද්ධි මත්තනො
පින් කරන තැනැත්තා - මෙලොව දී සතුටු වෙයි. පරලොවේදීත් ඔහුට - සතුට හිමි
වන්නේ ය. තමා තුන් දොරින් කළ - මහා පින් දැකීමෙන් - සසර වසනා තුරා -
සැපම විඳ ගන්නේය.
හිතවතුනි, හිත, වචන - කය, කියන තුන් දොරින් - පව් කරන තැනැත්තා - දෙලොව
දී දුක් විඳී. පින්කරන තැනැත්තෝ මෙලොව පරලොව දෙකේ - දුක්විඳීමෙන් තොරව,
සැපම විඳ ගන්නෝ ය. අසංවර තුන්දොරින් - කළ දෙයින් දුක් ලැබේ. සංවරව කළ
දෙයින් - නිසැකව ම සැප ලැබේ.
මතු සම්බන්ධයි
|