ආලවක
තෙරුවන් සරණ යයි
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති, ධර්මවේදී
නාලන්දේ විමලවංශ හිමි
ස්වාමීනි, ප්‍රඥාව ආදියට
හේතු වන කරුණුත් පරලොව ශෝක නොකිරීමට හේතු වන කරුණුත්, සියල්ල අද පටන්
මම දැන ගතිමි. ඔබ වහන්සේ ඒකාන්තයෙන්මැ මටම හිත වැඩ පිණිස මෙම
අලව් නුවර මගේ භවනයට වැඩම කළාහු ය. එසේම දීමෙහි
මහත්ඵල මහා ආනිසංස මම අද වටහා ගතිමි....ස්වාමීනි, මම අද පටන් බුද්ධ ,
ධම්ම, සංඝ යන
තෙරුවන් ගුණ ගයමින් ගමින්
ගමට , නගරයෙන් නගරයට
යන්නෙමි.....
‘කිමද ගද්‍රභයනි, තොප මේ හදිසියෙම ...විමානය ආරක්ෂා කිරීම පසෙකලා මෙහි
පැමිණියේ අද මෙහි අපගේ යක්ෂ සමාගම බව තා නොදන්නෙහිද.....?
“ස්වාමීනි, සමාවුව මැන.....තකහනියක් ඔබ වහන්සේ හමුවට පැමිණියේ වැදගත්
කරුණක් ගැන සැළ කිරීමට....’
‘කියව ...කියව..ඉක්මණින් කියව....මාගේ විමානයෙහි කිසියම්
ප්‍රශ්නයක්ද.....?’එසේය ස්වාමීනි....එක්තරා ශ්‍රමණයකු ඔබ වහන්සේගේ
විමානයට බලෙන්ම ඇතුලු වුනා.මා ඔහු වැළැක්වීමට කෙතෙක් උත්සාහ කළත්
නොහැකි වුනා ස්වාමීනි. ඔහු ඔබ වහන්සේගේ ආසනයෙහිමැ හිඳ, ඔබ වහන්සේගේ
බිසොවුන් වහන්සේලා පිරිවරා ඔවුන්ට බණ කියයි...වහා ගොස් සුදුසු පියවරක්
ගත මැනවි....’
‘මොනවා...ශ්‍රමණයෙක් මගේ විමානයට බලෙන් ඇතුල් වී, මගේ භාර්යාවන්ට බණ
කියනවා. ඔහු මගේ හැටි නොදැනද...? මම ඒ දුෂ්ඨයා ඉතිරි කරන්නෙ නැහැ. වහා
ගොස් ඔහු වනසා දමන්නෙමි.
කෝපයෙන් ගර්ජනා කරමින් පැමිණි ආලවක තම විමානයෙහි වැඩ හිඳ, බිරින්දෑ
වරුනට බණ දේශනා කැරෙන බුදු හිමියන් දැකීමෙන් බෙහෙවින් කෝපයට පත් විය.
හෙතෙම ඔහු සතු සියලු අවි ආයුධ වලින් බුදු හිමියනට පහර එල්ල කළත්, කිසිම
හානියක් කිරීමට නොහැකි විය.
ශ්‍රමණය, වහා නික්මෙව, මම තොපට හොඳින් පවසමි...නික්මෙව..’’එසේය
මිත්‍රය...ඔබගේ විමානයෙන් මම එලියට යන්නෙමි. බුදු හිමියෝ ඔහු වෙත
ශාන්තිය පතුරවමින් පිටතට වැඩම කළහ.
‘ශ්‍රමණය වහා මගේ විමානය තුළට පිවිසෙව...’
‘එසේව මා මිත්‍රය, මම පිවිසෙන්නෙමි’
‘ශ්‍රමණය, දෙවන වරටත් මම ඔබට කියමි. වහා නික්මෙව...’
‘එසේය මා මිත්‍රය, මම පිවිසෙන්නෙමි’
‘ශ්‍රමණය , දෙවන වරටත් මම ඔබට කියමි. වහා නික්මෙව...’
‘එසේය මිතුර මම නික්මෙමි..’මෙසේ තුන් වතාවක්ම බුදු හිමියනට පිටත
වැඩීමටත් ඇතුළට පැමිණීමටත් නියෝග දුන් අතර, උන් වහන්සේ ඉතා සුවචවැ එම
අණ පිළිපැද්දාහ. ආලවක බලවත් සේ සතුටට පත් වුනි. ‘අහා ..කොතරම්
අගේද...හෙට පහන් වන තුරු මේ ශ්‍රමණයා ඇතුළට පිටතට ගමන් කැරවමින් වෙහෙසට
පත් කරන්නෙමි. ඔව්..ඔව්....හෙට උදෑසන අලව් රජු මගේ භෝජනය සඳහා එවන නර
බිල්ල ලැබෙන තුරුම මොහු වෙහෙසට පත් කරන්නෙමි. මොහුට හොඳ පාඩමක්
උගන්වන්නෙමි...’
‘ශ්‍රමණය, වහා පිටතට යව.....’
‘යක්ෂය, මම නොයන්නෙමි....යමක් තොපට කළ හැකි නම් එය කරව...’
‘අහා ....එහෙමද ශ්‍රමණය ....හොඳයි මම බලාගන්නම්..මම තොපගෙන් ප්‍රශ්ණ
කීපයක් විමසන්නෙමි. තොපට එම ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වුවහොත්
මම තොපගේ සිත අවුල් කරන්නෙමි.....හදවත පලා දමන්නෙමි...දෙපා වලින් ගෙන
පර සක්වලට විසි කරන්නෙමි...’’පින්වත් යක්ෂය....,දෙවියන්, මරුන්, බඹුන්,
මිනිසුන් ශ්‍රමණ, බ්‍රාහ්මණයන් සහිත මේ තුන් ලෝකයෙහිම යම් කිසිවකු මගේ
සිත අවුල් කිරීමට සමත් වේද, හෘදය වස්තුව පලා දමන්නට සමත් වේද, මගේ දෙපා
වලින් ගෙන මුහුදින් එතරට දමන්නට සමත් වේද, එවැනි සමතකු මම නොදකින්නෙමි.
එම්බා යක්ෂය...තොපගේ වහසි බස් දෙඩවීම පසෙකලා යමක් ඇසීමට ඇත්නම් එය වහා
අසනු....’’හොඳයි මම අසන්නෙමි...සාවධානව අසා ගනු....ශ්‍රවණය, මේ ලෝකයෙහි
මිනිසුන්ට කවර නම් වස්තුවක් ශ්‍රේෂ්ඨ වේද...? කියව ....කියව....තොප
පිළිතුරු දිය හැකි බවට වහසි බස් දෙඩෙව්වෙහිය’’පින්වත් යක්ෂය....,මේ
ලෝකයෙහි පුරුෂයකුට ශ්‍රේෂ්ඨ වන්නේ ශ්‍රද්ධාවයි. මිනිසකු බුද්ධ, ධම්ම,
සංඝ යන තුණුරුවන් කෙරෙහි තිබිය යුතු විශ්වාසය ශ්‍රද්ධාව වශයෙන්
හදුන්වනවා. ආර්යයන් මාර්ගඵල කෙරෙහි ඇති කැර ගන්නා ශ්‍රද්ධාව අධිගම
ශ්‍රද්ධාව වශයෙන් හදුන්වනවා. ‘හොඳයි ශ්‍රමණය, දෙවන ප්‍රශ්නය තොපගෙන්
අසමි...පුරුදු පුහුණු කරන ලද කවර ධර්මයක් සැප ලබා දෙයිද....?
‘එම්බා යක්ෂය, මේ ලෝකයෙහි කුසල් - අකුසල් යනුවෙන් දෙවර්ගයක් ඇත. අකුසල්
නිසා හට ගන්නේ දුකක්මය. එබැවින් මැනවින් පුරුදු කරන ලද කුසල කර්මයක්ම
සැප ලබා දෙයි..’
‘ශ්‍රමණය , මේ ලෝකයෙහි නොයෙක් රස වර්ග ඇත. ඒ සියලු රස වර්ග අතුරෙන් කවර
නම් රසයක් අතිශයින්ම උසස් වේද...ශ්‍රමණය තොප පිළිතුරු දී ගත නොහැකිව
පැකිලෙන්නේද....?
‘නැත...නැත...පින්වත් යක්ෂය, කෙසේවත් මම නොපැකිලෙමි...මෙලොව පවත්නා
රසයන් අතුරෙන් උතුම්ම රසය මම ඔබට පහදා දෙමි.එය නෙම් සත්‍ය රසයම වේ.
“ශ්‍රමණය, ඔබ එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නත්, මේ ප්‍රශ්නයට පිළිතුරු
දීමට නම් තොපට හැකි වේය’යි මම නොසිතමි. මෙලොව ජීවත් වන්නවුන්ගේ කවර නම්
ජීවිතය ශ්‍රේෂ්ඨ වන්නේද?
පින්වත් යක්ෂය, යමෙක් ප්‍රඥාවෙන් ජීවත් වන්නෙහි නම් එයම ශ්‍රේෂ්ඨ වෙයි.
යක්ෂය...ලෞකික වශයෙන් දැන උගත්කම් දියුණු කැර ගැනීමත්, ශ්‍රෘතමය
ඤාණයෙන් පටන්ගෙන සර්වඥතා ඤාණය ලබා ගැනීම දක්වාත් ප්‍රඥාව දියුණු කර ගත
හැකියි. ප්‍රඥාව නැති පුද්ගලයා වනාන්තරයක සිටින අන්ධභාවයට පත් හස්ථියකු
හා සමානයි. නිවැරදි ස්ථානයට නිවැරදි අයුරින් ගමන් කිරීමට ඔහුට
නොහැකියි. ‘හොඳයි ශ්‍රමණය, මම අනෙක් ප්‍රශ්න කිහිපය අසන්නෙමි. කෙසේ නම්
සත්ත්වයා චතුර් ඕඝය තරණය කරන්නේද..කෙසේ නම් දුකින් නිදහස් වේද කෙසේ නම්
සත්ත්ව තෙමේ පිරිසුදු භාවයට පත් වේද...?
‘එම්බා යක්ෂය, තොප විමසන කාම ඕඝ, දිට්ඨි ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ කියන
සැඩ පහරවල් සතර තරණය කිරීමට නම්, ශ්‍රද්ධාව තිබිය යුතුයි. සංසාර සාගරය
තරණය කිරීමට නම්, අප්‍රමාදය හෙවත් යහපත් සිහිය පැවතිය යුතුයි. සියලු
සංස්කාර ධර්මයෝ වෙනස් වන සුළුයි. මේ බව සළකා මනා සිහියෙන් යුතුව කටයුතු
කළ යුතුයි. දුක් වලින් නිදහස් වීමට නම් වීර්යය තිබිය යුතුයි. මෙය
සම්මාවායාම කියලත් හැඳින්විය හැකියි. එනම් යහපත් කටයුතු සඳහා ඇති
වීර්යයයි. අකුසල් වලින් දුරුවීමටත්, නැවත කිසි දිනක අකුසල් නොකිරීමටත්,
කරන කුසල් වැඩි දියුණු කැර ගැනීමටත්, අලුතින් කුසල් කිරීමටත් , නරක
දේවල් අත් හැර දැමීමටත් ගන්නා උත්සාහයයි.
පින්වත් ශ්‍රමණයනි, මම ඔබ විමසමි. කෙසේ නම් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව
ලබයිද...කෙසේ නම් ධනය ලබයිද....? කෙසේ නම් කීර්තිය ලබයිද?...කෙසේ නම්
මිත්‍රයෝ ලබයිද....? කෙසේ නම් මෙලොව පරලොව ප්‍රතිසන්ධිය ලබා ශෝක
නොකරයිද.....? ඔබට මේ ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු දීගත හැකි වනු
ඇතැයි මම නොසිතමි.
පින්වත් යක්ෂ සේනාධිපතිය, ඔබට මම පිළිතුරු දෙමි....නුවණ ඇති අප්‍රමාදී
මිනිසුන් ආර්යයන් වහන්සේලාගේ් ධර්මය ශ්‍රවණය කරති. එම ධර්ම ශ්‍රවණය
හේතු කොට ගෙන නිර්වාණයට පැමිණීම පිණිස ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබයි.
මාර්ග ඵල ලැබීමට හේතු වන චෛතසික වීර්යය තිබෙන කායික වීර්යය තිබෙන
මිනිසුන් ලෞකික මෙන්ම ලෝකෝත්තර ධනය ලබා ගනිති.
සත්‍ය වචන කථා කැරෙන නිසා කීර්තියට පැමිණෙති. එසේම දීමෙහි කැමැති
පුද්ගලයෝ මිත්‍රයන් ලබති. පරලොව ශෝක නොකරන පුද්ගලයන් පිළිබඳව ද ඔබ
ප්‍රශ්න කළා නේද..? එයට ද පිළිතුරු දෙමි. යම් කිසිවකු ශ්‍රද්ධාව
ඇත්නම්, සත්‍යයක්, ඉන්ද්‍රිය දමනයත් , ත්‍යාගයක් යන ධර්ම සතර ඇත්නම්
හෙතෙම පරලොව දී ඒකාන්තයෙන්මැ ශෝක නොකරයි.’
එසේම පින්වත, සත්‍යයට වඩා කීර්තිය ලබා දෙන, ඉන්ද්‍රිය දමනයට වඩා ලෞකික
ලෝකෝත්තර ප්‍රඥාව ලබා දෙන, පරිත්‍යාගයට වඩා මිත්‍රයන් ලබා දෙන ,
ශාන්තියට වඩා ලෞකික ලෝකෝත්තර ධනය ලබා දෙන වෙනත් කිසිවක් නැත. එවැන්නක්
ඇතැයි ඔබට හැගෙන්නේ නම්, වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයකුගෙන් විමසව‘.
‘අවශ්‍ය නැත ස්වාමීනි, ප්‍රඥාව ආදියට හේතු වන කරුණුත් පරලොව ශෝක
නොකිරීමට හේතු වන කරුණුත්, සියල්ල අද පටන් මම දැන ගතිමි. ඔබ වහන්සේ
ඒකාන්තයෙන්මැ මටම හිත වැඩ පිණිස මෙම අලව් නුවර මගේ භවනයට වැඩම කළාහු ය.
එසේම දීමෙහි මහත්ඵල මහා ආනිසංස මම අද වටහා ගතිමි....ස්වාමීනි, මම අද
පටන් බුද්ධ , ධම්ම, සංඝ යන තෙරුවන් ගුණ ගයමින් ගමින් ගමට , නගරයෙන්
නගරයට යන්නෙමි.....භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ දෙසුම ඉතා යහපත්ය.
මුනින් තබන ලද බඳුනක් උඩුකුරු කළ අයුරින්, වැසී තිබුණ යමක් විවර කළ
අයුරින්, මං මුලාවූවෙකුට මග පෙන්වූ අයුරින්, අඳුරෙහි සිටියකුට ආලෝකයක්
ලබා දුන් අයුරින් ඔබ වහන්සේ විසින් ධර්මය දැක්වූහ. අද පටන් මම දිවිහිමි
කොටැ තෙරුවන් සරණ යන්නෙමි...මා තෙරුවන් සරණ ගිය උපාසකයකු වශයෙන් සළකනු
මැනවි ස්වාමීනි....සාදු....සාදු.....සාදු....
|