UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රාග් බෞද්ධ සමාජ- සංස්කෘතික පසුබිමෙන් ...

ශ්‍රී ලංකාවේ ප්‍රාග් බෞද්ධ සංස්කෘතිය හදාරන විට ඒ සඳහා මූලාධාර කරගනු ලබන මූලාශ්‍රය කිහිපයක් දක්නට ලැබේ. වංශ කථා සාහිත්‍ය, පුරාවිද්‍යාත්මක සාධක, දේශාටන වාර්තා, නාණක මූලාශ්‍රය එම මූලාශ්‍රය වේ. මෙම මූලාශ්‍රයන් පාදක කරගනිමින් පෞරාණික සංස්කෘතියක් හදාරන විට එහි පරිපූර්ණ අධ්‍යයනයක් සිදු කළ හැකිය.

ඕනෑම සංස්කෘතියක් තුළ දක්නට ලැබෙන සංස්ථා කිහිපයකි. ආගමික තත්ත්වය, පාලන තත්ත්වය, ආර්ථික තත්ත්වය, සාමාජික තත්ත්වය, ශිල්ප කලාමය තත්ත්වය යනුවෙනි. මෙබඳු සාධක හා අධ්‍යයනයන් මත ශ්‍රී ලංකා ප්‍රාග් බෞද්ධ සංස්කෘතිය පිළිබඳව හැදෑරිය යුතුය. ප්‍රාග් බෞද්ධ ලංකාවේ පැවැති සාමයික සිද්ධාන්ත දෙආකාරයකින් වටහාගත හැකිය.

1.සංක්‍රමණික ආගම් හෙවත් විදේශීය ආගම්
2.දේශජ ආගම් හෙවත් දේශීය ආගම් වශයෙනි

බ්‍රාහ්මණ ආගම, නිගණ්ඨ ආගම, පරිබ්‍රාජක , ආජීවක යන ආගමික කොටස් සංක්‍රමණික ආගම් කොටසට ද යකුන් ඇදහීම , රුක්ෂ වන්දනය, දේවතාවුන් ඇදහීම, නාග වන්දනය හා ගෘහ තාරකා වන්දනය දේශජ ආගම් කොටසටද ඇතුළත් වේ.

විජය සහ ඔහුගේ පිරිස පැමිණි කාලයේ පටන්ම බ්‍රාහ්මණයෝ ලක්දිව සමාජයෙහි උසස් තැනක් ගත්හ. විජය සමඟ පැමිණි උපතිස්ස, බ්‍රාහ්මණ වංශිකයෙකි. විජයගේ පුරෝහිතයා වූ ඔහු උපතිස්ස නම් ග්‍රාමය ඉදිකර තිබේ. පණ්ඩුකාභය කුමරු ශිල්ප ශාස්ත්‍ර හදාලේ පණ්ඩුල නම් බමුණකුගෙනි. පණ්ඩුල බ්‍රාහ්මණයාගේ පුත් චන්ද්‍ර පණ්ඩුකාභය දවස පුරෝහිත තනතුරට පත්ව තිබේ. පණ්ඩුකාභය රජු බ්‍රාහ්මණයන්ට සොත්ථිශාලා හා සිවිකා ශාලා සකස් කර දී තිබේ. “තත්ථ සිවිකා සාලා නාම සිවලංග පතිට්ඨාපිතා සාලා විජායන ඝරංවා සොත්ථිසාලා නාම බ‍්‍රාහ්මණානං සොත්ථි වචනුච්චාරණ සාලා ගිලාන සාලාවා “ (වංසත්ථප්පකාසිනී නම් මහාවංස ටීකාව)

දේවානම්පියතිස්ස රජ වු විට ධර්මාශෝකයට අරිට්ට අත තුටුපඩුරු යැව්වේ බ්‍රාහ්මණයෙක්ද සමඟිනි. ශ්‍රී මහා බෝධිය වැඩම කරවීමේදී තිවන්ක බ්‍රාහ්මණ ග්‍රාමයේ තැබු බවත් තිවන්ක බ්‍රාහ්මණයා බෝධි රෝපණයට සහභාගි වූ බවත් සඳහන් වේ. මූලික වශයෙන් වංසකථා සාහිත්‍යයෙහි බ්‍රාහ්මණයන් පිළිබඳ මෙබඳු දේ සඳහන් වන අතර තවත් බොහෝ අවස්ථාවලදි බ්‍රාහ්මණයන් පිළිබඳ කථා පුවත් අසන්නට ලැබේ. මොවුන් ලංකාවේදී ඔහුන්ගේ ඇදහිලි හා ඉගැන්වීම් යම් ප්‍රමාණයකට පතුරුවන්නට ඇත. නිගණ්ඨ නමින් පාලි සාහිත්‍යයේ හඳුන්වනු ලබන්නේ ජෛනයන්ය. ජෝතිය හා කුම්භාණ්ඩ නම් වූ නිගණ්ඨයන් දෙදෙනෙකුට පණ්ඩුකාභය රජු විසින් වාසස්ථාන දෙකක් ඉදිකළ බව මහාවංසයේ සඳහන් වේ. ගිරිනම් තවත් නිගණ්ඨයෙක් ජෝතිය නිගණ්ඨයා වාසය කළ ප්‍රදේශයේම වාසය කර ඇත. වළගම්බා රජුතුමා ගිරි නිගණ්ඨයාගේ ආරාමය බිඳ දමා එම ස්ථානයෙහි අභයගිරිය කරවා තිබේ. ජෛන ආගම ප්‍රාග් බෞද්ධ ලංකාවේ ප්‍රචලිත මූලික ආගමක් නොවූවත් ඉන්දියාවෙන් පැමිණි ජනතාව අතර ජෛනයන් ද සිටි බව පෙනේ. මේ අනුව ජෛන ආගම ද යම් ප්‍රමාණයකට ප්‍රාග් බෞද්ධ ලංකාවේ පවතින්නට ඇතැයි සිතිය හැකිය. එපමණක් නොව වළගම්බා කථා පුවතට අනුව සමහර ජෛනයන් බලසම්පන්නව සිටි බවද පෙනේ.

පරිබ්‍රාජක , ආජීවක හා පාෂාණ්ඩ යන මොවුන් ශ්‍රමණ නාමයෙන් හැඳින්වුන තවුසන් ද සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ සිටි බවට තොරතුරු හමුවේ. පණ්ඩුකාභය රජු පරිබ්‍රාකයන්ට ආරාමයක්ද ආජීවකයන්ට ගෙයක් ද කරවු බව මහාවංසයේ සඳහන් වේ. නානාවිධ පාෂාණ්ඩයෝ හා ශ්‍රමණයෝ ගිරි හා ජෝතිය නිගණ්ඨයන් වාසය කළ දේශයෙහි විසූ බව සඳහන් වේ. (තස්මිං යේවච දේසස්මිං - නිඝණ්ඨො ගිරි නාමකෝ) දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේදී බොහෝ පරිබ්‍රාජකයන් වාසය කළ ආරාමයක් අනුරාධපුරයේ මහාසීමාවට නුදුරින් තිබුණ බව මහාවංසයෙහි සඳහන් වේ. ප්‍රාග් බෞද්ධ ලංකාවේ පරිබ්‍රාජකයන් හා පැවිද්දන් බොහෝ සෙයින් සිටි බවත් ඔවුන් ජනපි‍්‍රයව සිටි බවත් වංශ කථාවෙන් පැහැදිලි වේ. විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණෙන විට නූල් බැන්ද පිරිස සිටියේ පරිබ්‍රාජක වේශයෙනි. උප්පලවන්න දෙවියන් විජය ඇතුළු පිරිසට පිහිට වන්නට ආවේ පරිබ්‍රාජක වේශයක් දරමිනි. පණ්ඩුවාසු දේවයන් මෙහි පැමිණියේ ද පරිබ්‍රාජක වෙස්ගෙනය. භද්දකච්චායානා හා ඇගේ පරිවාර ස්ත්‍රින් මෙහි පැමිණියේද පරිබ්‍රාජිකාවන් ලෙස හැඳ පැළදගෙනය. මෙරට මිනිසුන් පැවිද්දන් ගැන දැන සිටි බවත් ඔවුන් ජනපි‍්‍රය වී සිටි බවත් මේ සාධකවලට අනුව සිතාගත හැකිය. තාපසයන් සඳහා පණ්ඩුකාභය අසපුවක් ද කර තිබේ.

මතු සම්බන්ධයි

උඳුවප් අමාවක පෝය
 
දෙසැම්බර් 15 වන දා අඟහරුවාදා අපරභාග 04.10 ට ලබයි.
16 වන බදාදා අපර භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]