UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විරාගය (අනාසක්ත ගුණය)

මාපියෙහි සමාගඤජි - අප්පියෙහි කුදාචනං
පියානං අදස්සානං දුක්ඛං - අප්පියානංච දස්සනං

ප්‍රියයන් හා සමග එක් නොවන්න. අපි‍්‍රයයන් හා සමග කිසි කලෙකත් එක් නොවන්න. පි‍්‍රයයන් නොදැක්ම හා අපි‍්‍රයයන් දැක්මද දුකකි. මේ බුද්ධාවවාදයයි. “මා” සහ “මගේ” යන සිතුවිලි මුල්කරගෙන පි‍්‍රයකිරීම් හා අපි‍්‍රයකිරීම් යනුවෙන් භේද අප තුළ හටගන්නේය. කෙනෙකු පිළිබඳව පවත්නා යහගුණ ගැන සලකමින් ඔහු උසස් කෙනකු මෙන් තැකීමටද, තවත් කෙනෙකු කෙරෙහි පවත්නා දුර්ගුණ ගැන සලකමින් ඔහු පහත් තැනැත්තෙකු මෙන් තැකීමටද අපි පුරුදුව සිටින්නෙමු.

එහෙත් ඒ ඒ තැනැත්තන් ළඟින් අසුරු නොකොට කිසි කලෙකත් ඔවුන් පිළිබඳව පි‍්‍රය හෝ අපි‍්‍රය හෝ හැඟීම් පහළ කරගත නොහැකිය. තණ්හාව මුල් කරගෙනම කෙනකු හොඳ හෝ නරක කෙනකු මෙන් තීරණය වේ. කෙනකුට යම් කිසිවක් යහපත් මෙන්ද තවත් කෙනකුට එයම අයහපත් මෙන්ද පෙනෙනුයේ ලෝභය මුල්කරගෙන ම ය. අප පි‍්‍රය කරන කෙනෙකුගෙන් වෙන් වන්නට වූවිට අපට පෞද්ගලික අලාභයක් සිදුවූවා සේ හැඟෙන අතර අප අපි‍්‍රයකරනු ලබන අය සමඟ ආශ්‍රයට වැටීමට කරුණු සැලසෙත්ම අප තුළ පටිඝයක් හට ගනී. මේ හැඟීම් දෙකම දුකට හේතුවේ. මේ නිසාම ජීවිතය දුකක් මෙන් බෞද්ධයන් සලකනු ලැබේ.

මෙසේ ජීවිතය පිළිබඳ වූ ශෝකජනක ස්වභාවය අවබෝධ කරගත් සර්වඥයන් වහන්සේ , මේ දුක හටගැන්මෙහි ලා ඇති හේතුවද සොයාගත් සේක. ඒ හේතුව නම් මමායනය මුල්කරගෙන ඇතිවන මූලාවය. මෙසේ මමායනය පිළිබඳව පවත්නා මුළාව පාලි පෙළෙහි සක්කාය දිට්ඨි නමින් හැඳින්වේ. මේ වනාහි ලොව පවත්නා බලවත්ම මුළාවය. මෙසේ සක්කාය දිට්ඨියෙන් මුළාවී සිටින පුහුදුන් අපි ප්‍රියයන් හා එක්වීම හේතුවෙන් ද අපි‍්‍රයයන් හා එක්වීම හේතුවෙන්ද බලවත් දුකට පත්ව සිටින්නෝ වෙමු. එහෙත් අනාසක්ත ගුණය පුරුදු කිරීමෙන් අපට මේ දුක් වේදනා තරමක් දුරට ලිහිල් කරගත හැකිය. අපට පියවිප්පයොග (පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ) දුක්ඛයට සහ අප්පියෙහි සම්පයොගො (අප්‍රියයන් හා එක්වීමේ) දුක්ඛයටද මුහුණ පෑමට සිදුවූ කල්හි ඒ වේදනා ඉවසා දරා ගැන්මට තමා පුරුදු පුහුණු කරන ලද විරාගය හෙවත් අනාසක්ත ගුණය මගින්ම ශක්තිය ලැබෙනු ඇත. මෙසේ ;ව්දනාවෙන් පිරුණු අපගේ සසර ගමන දීර්ඝ කිරීමට යොමුවන බාහිර අලංකාරයන්ගෙන් සහ පෙළඹවීම්වලින් ඈත්වීමට ඉවහල් වන අනාසක්ත ගුණය, නිරාශාව පුරුදු පුහුණු කිරීම අපට ඵලදායිවෙයි.

ආශාව ඇලීම කුමන ස්වරූපයකින් ඉදිරිපත් වූවද, කෙසේ හෝ එය ආශාවම වන්නේය. තණ්හාවම වන්නේය. ලෝභයම වන්නේය. මේ ආශාව මනුෂ්‍ය හෝ දිව්‍යමය හෝ වේවා එහෙත් එය ආශාවමය. මජ්ජිම නිකායෙහි දැක්වෙන පියජාතක සූත්‍රයෙන් මේ අනාසක්ත ගුණය පිළිබඳ තවත් අංශයක් ප්‍රකට වේ. බුදුරජාණන් වහන්සේ ජෙතවනයෙහි අනාථ පිණ්ඩික ආරාමයෙහි වැඩවාසය කරන එක් අවස්ථාවක , තම එකම පුත්‍රයා මළ ශෝකයෙන් හඬමින් වැලපෙමින් සුසාන භූමියේම කල්ගතකරන ගෘහපතියෙක් විය.ඔහු ආහාර අනුභවය ප්‍රතික්‍ෂේප කළේය.කිසිම කාර්යයක් නොයෙදුණේය. ජීවත්වීම නිශ්ඵලසේ ඔහු සැලකුවේය. අන්තිමේදී මේ තැනැත්තා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට යොමුවිය. එවිට ඔහු වෙත වැඩම කර වදාළ මහාකාරුණිකයාණන් වහන්සේ ඔහුගේ ශෝකයට , වැලපීමට හේතුව විචාරණ ලදින් හෙතෙම තම ශෝචනීය කථා පුවත හෙළි කළේය. මේ අවස්ථාවේදී එය අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ, පේ‍්‍රමය හේතුවෙන් දුක ඇතිවන අන්දමද සොක පරිදෙව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන මේ සියලු වේදනාවන්ම අප පි‍්‍රයකරනු ලබන දෙයට අප දක්වනු ලබන ඇල්ම හේතුවෙන්ම ඇතිවන අන්දමද විස්තර සහිතව පැහැදිලි කරමින් ඔහු අරඹයා පියජාතක සූත්‍රය දේශනා කරන ලදී.

කරුණු මෙසේ නමුදු පුහුදුන් අපි ඒ ඒ දෑ පිළිබඳව පවත්නා යථා ස්වභාවය නොදන්නා බැවින්ම, අප පි‍්‍රයකරන දෑකෙරෙහි ඇලීමෙන් සහ පේ‍්‍රම කිරීමෙන් පී‍්‍රතියක්, සොම්නසක් ලැබෙන්නේ යැයි සිතන්නෙමු. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප සොක පරිදේව, දුක්ඛ, දොමනස්ස සහගත වේදනාවෙන් පෙළීම සඳහාම ජීවත් වන්නෙමු. මෙසේ සළකා බලත්ම අප පි‍්‍රයකරන අය සහ දේ කෙරෙහි ඇලී සිටීමෙන් ඒවාට ආශා කිරීමෙන් තොරව, ඒවා කෙරෙහි නිරාශාවෙන් යුතුව පැවැත්මෙන්ම පී‍්‍රතිය, සුවය ලැබෙන බව අවබෝධ කර ගැනීමම අපගේ අරමුණ විය යුතුය.

ත්‍රිවිධාකාරවූ අනාසක්ත ගුණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාරා ඇත. එනම් කය පිළිබඳව පවත්නා නොඇලීම් ස්වභාවය (කාය විවේක) මනස පිළිබඳව පවත්නා නොඇලීම් ස්වභාවය (චිත්ත විවේක) හා භවයන් පිළිබඳව දක්වන නොඇලීම්, ස්වභාවය (උපධි විවේක) යන්නයි. අපගේ ඉන්ද්‍රියනට අරමුණු වන එමෙන්ම ගොදුරු වන බාහිර ලෝකයෙහි දක්නට ලැබෙන පෙළඹවීම් හා බාධකවලින් අප ඈත්ව සිටින විට අප විසින් කාය විවේකය අත්දකිනු ලැබේ. ශ්‍රමණයින් වහන්සේලා සිල්පුරන උපාසික උපාසිකාවන් සහ හිමාලයේ වනගත හුදකලාවෙහි කල්ගෙවන යෝගීහුය. කාය ෂ;ව්කය මගින් ලැබෙන සුවය සම්පූර්ණ උසස් තත්ත්වයෙන්ම අත්දකින්නෝවෙත්. කෙසේ නමුදු කාය විවේකය මගින් අත්දැකීමට ලැබෙන අනාසක්ත භාවය තාවකාලිකය. වෙනස් වන සුලුය. අප එවැනි වනගත හුදකලාවේ කල් ගත කළද, අප තුළ අනුශය වශයෙන් පවත්නා කෙලෙස් යටපත්වී තවදුරටත් එහිම රඳා පවතිමින් මේ අවස්ථාවේදී පවා අපට වධදෙන්නේය. දෙවැන්න වන චිත්ත විවේකය අත්දකිනු ලබන්නේ ධ්‍යාන ලාභීන් විසින්මය. මේ ධ්‍යාන අවස්ථාවේදී පංචනීවරණ ධර්මයන් ප්‍රහීණ වේ. කුශලමය සිතුවිල්ලෙහි හා කුශලමය ක්‍රියාවන්හිද, භාවනාවන්හිද නිමග්න වී සිටින අවස්ථාවන්හිදී, ධ්‍යාන නොලැබූ අයද චිත්ත විවේකය යම් ප්‍රමාණයකට ලබාගන්නේය. තෙවනුව දැක්වෙන උපධි විවේකය ලැබිය හැක්කේ රහත්ඵලයට පැමිණීමත් සමග පංචස්කන්ධය නැතිවීමත් සමගය. පාලි පෙළෙහි දැක්වෙන අන්දමට මේ ත්‍රිවිධාකාර වූ විවේකයන් මගින් විවේක සුඛය ලැබේ. මේ විවේක සුඛය සෑම සුවයක්ම අභිභවා පවතින්නේය. මේ විවේක සුඛය නිරාමිස සුඛය යනුවෙන්ද හැඳින්වේ. නිරාමිස සුඛය වනාහි සාමිස සුඛයට (බලාපොරොත්තු කඩවීම්වලට මෙන්ම දුකටද, හේතුවන ඉන්ද්‍රිය බද්ධ ආස්වාදයට) හාත්පසින්ම විරුද්ධ වූ අලෞකික වූ සුවජනක වූද විඳීමකි. නිරාමිස සුඛය, සාමිස සුඛයට වඩා බෙහෙවින් උසස් වේ. සාමිස සුඛය වනාහි තාවකාලිකවූද වෙනස්වන සුලුවූද ඉන්ද්‍රිය පිනවීමක්මය. කෙලෙස් මැඬ පැවැත්වීම මගින් ඇතිවන අභ්‍යන්තරික චිත්ත සමාදානයක්ම නිරාමිස සුවයෙන් ලැබෙන්නේය. එබැවින් නිරාමිස සුඛයම වඩාමත් ස්ථාවර හා කල්පවත්නේද වේ. අනිත්‍ය සහ දුක්ඛ ස්වභාවය ජීවිතය පිළිබඳව පවත්නා ලක්‍ෂණයකි. නිහීන වූ නිරයන්හි මෙන්ම උසස්තම බ්‍රහ්ම ලෝකවලද මේ ලක්‍ෂණයන් පවත්නේය. භවය ස්ථිරවූවක් මෙන්ම සුවජනක ලෙස දිස්වුවද අටලෝ විරාගී ගුණය වගාකර ගැන්මට බෙහෙවින් ඉවහල් වේ.

අපගේ ශාරිරික වැඩීමත් සමගම, මුළු ජීවිත කාලය තුළදීම අප නියම නෛෂ්ක්‍රම්‍යයට යොමුවූ ක්‍රියාවල යෙදෙන්නෝ වෙමු. අප මානසිකව සංවර්ධනය වත්ම ඒ ඒ දෑ කෙමෙන් කෙමෙන් අත්හැර දමන්නෝ වෙමු. බාල අවධියෙහි අප එල්බ ගෙන සිටි සමහර දෑ තරුණ අවධියේදී විශාල කරදරයක් බරක් මෙන් සලකමින් අත්හැර දමන්නෙමු. එහෙත් පෘථග්ජනයින් වශයෙන් මිනිසාට, මේ අත්හැර දැමීමද ඇණහිටිනු ලබන වෙනස් තත්ත්වයට පත්වන්නේය. එබැවින්ම ඔහු මරණය දක්වාම සමහර දැයෙහි එල්බගෙන සිටියද මරණය ඔහු කරා පැමිණීමත් සමග ඔහු මෙසේ ආශාවෙන් රැකගත් දෙයද පේ‍්‍රමයෙන් බැඳී සිටිනු ලැබූ ආදරණීයයන්ද, මේ සියල්ලටම වඩා තම ජිවිතයද අත්හැර දමා යාමට සිදුවනු ඇත. මෙසේ අත්හැර දමා යාමට දහමෙහි ක්‍රියාකාරිත්වයට හා දුක් වේදනාවනටද ඕනෑම අවස්ථාවක මුහුණදීමට අප සූදානම් වී සිටිය යුතුය.

අනාසක්ත ගුණය පුරුදු පුහුණු කිරීම යෝගාවචරයින්ට පමණක් නොව සාමාන්‍ය ගෘහ ජීවිතය ගතකරන අයටද ප්‍රයෝජනවත්ය. සෑම දෙයක්ම තම අභිමතාර්ථයනට අනුව ඉටුවන කල්හි සන්සුන්ව සිටීම කෙනකුට අපහසු නොවේ. එහෙත් සසර සයුර තරණය කිරීමේදී තද කුණාටුවලින් කැලඹීමට පත්වීමට සිදුවන අවස්ථාද ඇතිවන බැවින් කෙනෙක් පුහුණු කරන ලද උපේක්‍ෂාව හෙවත් අනාසක්ත ගුණයට මේ අවස්ථාවලදී ඔහුට ප්‍රයෝජනවත් වේ. කටුක වේදනාවන් සහ තද සිත් තැවුල් මැද උපේක්‍ෂා සහගතව නොසැලී සිටින්නට කෙනකුට ආත්ම ශක්තිය ඇත්නම් එතැන්හිම ඔහුගේ උසස් බව රඳා පවත්නේය. අප වරෙක පී‍්‍රතියෙන් උද්දාම වන අතර තවත් වරෙක ශෝකයෙන් පසු බස්නේය. වරෙක තේජසින් ඉපිලී යන අතර තවත් වරෙක නිහතමානී වේ. වරෙක සීමාව ඉක්මවා ස්ර්ව ශුභවාදී වන අය තවත් වරෙක සර්ව අශුභවාදී ය. මේ සියලු ආවේගික වෙනස්කම්වලට හේතුවනුයේ “මා” සහ “මගේය” යන මිථ්‍යා දෘෂ්ඨියමය.

කරුණු මෙසේ වන කල්හි, මේ ලෝකය පිළිබඳ වූ වෙනස්වන සුලුවූද, තාවකාලිකවූද දැයින් ඈත්ව අප විරාගී ගුණය කෙසේ වගාකර ගනිමුද? විරාගී ගුණය ඉතාමත් හොඳින් පුරුදු පුහුණු කළ හැකි වනුයේ, සිත ආවේග පිළිබඳ වූ ඝට්ටනයෙන් විනිර්මුක්තව පවත්නා විටය.

ආවේග පිළිබඳ වූ ගැටීමකට හෝ තද සිත් තැවුලකට හෝ මුහුණ දී ඇති ඕනෑම කෙනෙක් ඒ වේදනාවන්ගෙන් ගොඩ ඒමේ ඇති දුෂ්කරබව දනිත්,මෙවැනි ආවේගික හැලහැපීම්වල ප්‍රතිඵලයක් වශයෙන් සිය දිවි හානි කර ගැනීම්වලටද පුද්ගලයන් පෙළඹෙන්නේය. ඉහළ නැගීමට වඩා පහළ බැසීම පහසුය. එම නිසා නුවණැති පුද්ගලයා වඩා පහසු අවස්ථාවේදීම තම කාර්යය අරඹන්නේය. හෙතෙම ජයග්‍රාහී මොහොතම අනාසක්ත ගුණය පුහුණු කිරීමට තෝරා ගනී. මේ ජයග්‍රහණයන් හේතුකොටගෙන තමා අත්දකිනු ලබන පී‍්‍රතිප්‍රමෝදය මුල්කරගෙන ඔහු උද්දාමයට පත් නොවේ. මෙසේ ජයග්‍රහණය අබියස තමා ක්‍රියාත්මක කරනු ලබන අනාසක්ත ගුණය පුහුණු කිරීම මගින්, දුකට පත් අවස්ථාවන්හිදී පවා එය දරාගැනීමටද ශක්තිය ලැබේ.

බුදු දහමෙහි ඉගැන්වෙන පරිදි අලෝභ, අදෝස, අමෝහ ,නෙක්ඛම්ම, පච්චේක, නිස්සරණ අදහස්වලින් යුතුව දිවි ගෙවීම ඇති දේ කෙරෙහි වන ඇල්ම, බැඳීම එල්බගෙන සිටීම හෙවත් උපාදානය හේතුවෙන්ම හෙතෙම නැවත උත්පත්තිය වෙනුවෙන් බීජය වපුරන්නේ වේ. මෙසේ නැවත නැවතත් ඇතිවන උත්පත්තිය සමග දුකද හට ගන්නේය. මේ අන්දමින් භව ගමන නොනැවතී පවත්නේය.

කරුණු මෙසේ බැවින් භව ගමන සම්පූර්ණයෙන් නවතාලීමට වෙර දරන තැනැත්තා විසින් ඒ ඒ දේ පිළිබඳව අනාසක්ත ගුණය දැක්වීමට අවශ්‍යයෙන්ම පුහුණුවිය යුතුය.

මිනිසාගේ ජීවන දෘෂ්ඨිය අන්ධ කිරීමෙහි සමත් ඡන්ද , දොස, භය මොහ යන සතර අගතියෙන් මුළා නොවී ජීවත්වීමට උත්සාහ කිරීමෙන් අපට මේ අනාසක්ත ගුණය බොහෝ දුරට පුහුණු කළහැකිය.

ජලය බින්දු බින්දු එකතුවීමෙන් බඳුනක් පිරෙන්නාක් මෙන්, අපටද මෙසේ අනාසක්ත ගුණය ක්‍රම ක්‍රමයෙන් පුහුණු කිරීම මගින් කෙදිනක හෝ අපගේ අවසාන දිනුම් කණුව වන නිවන් සුවය කරා ළගාවීමට අවස්ථාව සැලසෙනු ඇත. එකල්හි අපටද ඒ නික්ලේශී රහතුන් වහන්සේලාට මෙන් මෙසේ උදන් ඇණිය හැකිවනු ඇත.

ඵුට්ඨස්ස ලොක ධම්මේහි - චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං - එතං මංගල මුත්තමං”

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]