කර්මය වෙනස් කළ හැකි ද?
මහාචාර්ය
ඩබ්ලිව්. ඇස්.
කරුණාරත්න
දෛවය ගැන විශ්වාසයක් ඇති බෞද්ධයින් අතර
කර්මවාදය බොහෝ සෙයින් නියතිවාදී ස්වරූපයක් ගෙන ඇත. හේතුඵලවාදය අනුව
සියල්ල සිදුවන බැවින් අතීතය වර්තමානය කෙරෙහි ඒකාන්ත වශයෙන් බලපවත්වන
බවත්, වර්තමානය ඒකාන්තයෙන් අනාගතය කෙරෙහි බලපවත්වන බවත්, ඒ අනුව මතු
අනාගතයෙහි සිදුවන්නට ඇති දේ කිසිදු අයුරකින් නොවැළැක්විය හැකි බවත්
සමහරු විශ්වාස කරති.
චංචල ලෝකයක් තුළ නිශ්චල නිගමනවලට පැමිණීම යථාර්ථයෙන් පලා යෑමකි. විචාර
බුද්ධියෙන් සමුගැනීමකි. නිබඳව නිරන්තරව වෙනස් වෙමින් පවතින ලෝකය
මුල්බැසගත් දෘෂ්ටි මගින් අවබෝධ කොට ගත නොහැකි ය. බුදුන් වදාළ ධර්මයෙන්
ද සමකාලීනයින්ට උගත හැකි වැදගත්ම පාඩම මෙයයි.
විචාරවත් ලෙස ඉදිරිපත් කොට ඇති ධර්මයද විචාරවත් ලෙස පරීක්ෂා කට යුතුයි.
එය ස්වීය ජීවිතයට අදාල වන පරිදි පර්යේෂණ කොට අවබෝධ කටයුතුයි. පුද්ගලික
හා සාමාජික ජීවිතයෙහි ලා අපට මුහුණ දීමට සිදුවන නව අභියෝගවලට
ප්‍රමාණවත් වූ පිළිතුරු හා පිළියම් අප විසින් ම අනවරතයෙන් සම්පාදනය
කටයුතුයි. අප සමාජයේ පරිපූර්ණ සංවර්ධනයක් සිදු කළ යුතු මේ අවස්ථාවේ දී
නව අභියෝග ජය ගැනීමට පැරැණි පිළිතුරු ප්‍රමාණවත් නොවේ නම් ප්‍රමාණවත්
යැයි සැලකෙන නව පිළිතුරු සොයා ගැනීමට නවීනයින් ඉදිරිපත් විය යුතුයි.
කාලය හා දේශය විසින් සකස් කරගත නොහැකි, එබැවින් ම සුඛනම්‍ය ගුණයෙන් තොර
වූ සිද්ධාන්ත වඩාත් තහවුරු වන්නේ ආගම ධර්මය ඇසුරිනි. පැරැණි යුගයක් තුළ
අර්ථවත් වූ මෙබඳු සිද්ධාන්ත ශීඝ්‍රයෙන් වැඩෙන දැනුම අනුව සංශෝධනය නුවූ
කල එබඳු සිද්ධාන්ත ආධානග්‍රාහී ලෙස වැළඳ ගැනීමට පොදු ජනතාව ලෙහෙසියෙන්
පුරුදු පුහුණු වේ.
අපේ සමාජ දර්ශනය කෙරෙහිද පුද්ගලික ආකල්ප කෙරෙහි ද අධිපති වශයෙන්
බලපවත්වන සිද්ධාන්තයක් වශයෙන් කර්මවාදය නම්කළ හැකිය. නොවියත්
සැදැහැතියන්ගෙන් හා වියත් මිසදිටුවන්ගෙන් ද ගහණ වූ නූතන බෞද්ධ සමාජයෙහි
හා වියත් මිසදිටුවන්ගෙන් ද ගහණ වූ නූතන බෞද්ධ සමාජයෙහි වෙනත් වාද ගැන
මෙන්ම කර්මවාදය ගැන ද විවිධ සංකීර්ණ අදහස් ව්‍යාප්ත වී ඇත.
දෛවය ගැන විශ්වාසයක් ඇති බෞද්ධයින් අතර කර්මවාදය බොහෝ සෙයින් නියතිවාදී
ස්වරූපයක් ගෙන ඇත. හේතුඵලවාදය අනුව සියල්ල සිදුවන බැවින් අතීතය
වර්තමානය කෙරෙහි ඒකාන්ත වශයෙන් බලපවත්වන බවත්, වර්තමානය ඒකාන්තයෙන්
අනාගතය කෙරෙහි බලපවත්වන බවත්, ඒ අනුව මතු අනාගතයෙහි සිදුවන්නට ඇති දේ
කිසිදු අයුරකින් නොවැළැක්විය හැකි බවත් සමහරු විශ්වාස කරති.
දෛනික ජීවිතයෙහි ඇතිවන ලෙඩදුක්, හිරිහැර, කරදර හා වෙනත් විපත්ති දායාද
වශයෙන් ලබා උපන් බව සමහරුන්ගේ දැඩි විශ්වාසය යි. ධනවාදී සමාජ ක්‍රමය
තහවුරු කිරීමට බලවත් සිත් ඇති ධනවත්තු තමන්ගේ ධනවත් බව කර්ම වාදය අනුව
යුක්තියුක්ත කිරීමට ඉදිරිපත් වෙති. පෙර පින් බෙලෙන් ලැබූ ධනවත් බවට
හානි පැමිණවීම කර්ම වාදයට පටහැනි බව ඔවුහු සලකති.
නිර්ධනයින්ගේ දිළිඳු බවද පෙර කළ පවින් ඇති වූවක් බව පවසන මොවුහු
දුප්පතුන් සැනසීමට ද එමගින් සමාජගත විප්ලව වැළැක්වීමටද කර්මවාදයේ
නාමයෙන්ම ඉදිරිපත් වෙති. ලෝකයේ සියලු දේ අනිවාර්ය වශයෙන් වෙනස් වන බව
විශ්වාස මාත්‍රයක් වශයෙන් පමණක් පිළිගන්නා ඔවුහු තම සමාජයේ මූලික
වෙනස්කම් සිදුවීම වැළැක්වීමට උත්සාහ දරති. දාන පාරමිතාවේ අනුසස් දක්නා
වියත්තු එමගින් දායකයන් මතු ආත්මයන්හි ආයු සැප බල සම්පත් ලබන බව
අවධාරණයෙන් පවසති. එක් ආත්මයකදී දුන් බත් හැන්දක් නිසා ඊළඟ ආත්මයකදී
සව්සිරින් පිරි දෙව් විමන් ලැබූ දායකයින් ගැන කීමට ඔවුහු පොතපතින්ද
කරුණු ගෙනහැර දක්වති.
ලෙඩ දුක් ඇතිවන්නේ පූර්ව කර්ම අනුව නම් වෛද්‍ය විද්‍යාව මගින් කෙරෙන
සේවය කර්මවාදයට පටහැනි වූවකි. නැතිබැරිකම්, අගහිඟකම්, යනාදියෙන් පෙළෙන
දුප්පතුන්ගේ දුප්පත්කම පූර්වකර්මය අනුව සිදුවේ නම් සමාජවාදී සමාජයකින්
සැලසෙන සේවය කර්ම වාදයට පටහැනි වූවකි. වර්ණ භේද, කුලභේද, පන්තිභේද
යනාදිය පූර්ව කර්මය අනුව නියම වේ නම් කිසිදු භේදයකින් තොරව පොදු
මනුෂ්‍යත්වය ඇගයීම කර්ම වාදයට පටහැනි වූවකි. බිළිඳුන් අංගවිකලව
උපදින්නේ පූර්ව කර්මය අනුව යැයි සමහරු කල්පනා කරති. මීට අවුරුදු කීපයකට
පෙර එංගලන්තයේ සිටි මවුවරුන් දහස් ගණනකට අතපයේ ඇගිලි නොමැති බිළිඳුන්
දහස් ගණනක් උපන් බව පුවත්පත් වල පළවිය. ක්ලිඩෝමයිඩ් නමැති බෙහෙත් පෙති
ගැනීම නිසා එකී බිළිඳුන් අංග විකලව උපන් බව සොයාගත් වෛද්‍ය
විද්‍යාඥයින් එම පෙති භාවිතය සම්පූර්ණයෙන් තහනම් කොට, නොපමාව අවශ්‍ය
පිළියම් යෙදූ බවද පුවත් පත්වල පළවිය. අවිචාරවත් ලෙස කර්මවාදය කරට ගත්
බෞද්ධයින් මේ කරුණ ගැන නුවණින් සිතා බැලිය යුතුයි.
සියල්ල පූර්ව කර්මය නිසා සිදු නොවන බව පිළිගන්නා බෞද්ධයෝ කුමක් පූර්ව
කර්මය නිසා සිදුවේද කුමක් වෙනත් හේතූන් නිසා සිදුවේද යන බව නොදනිති.
වියත් නොවියත් දෙ පක්ෂයම අතර පවත්නේ කර්මවාදය පිළිබඳ හුදු වාචික
දැනුමක් පමණකි. පරම්පරාගත ව එන මතිමතාන්තර කිසිදු වගවිභාගයක් නොමැතිව
පිළිගැනීමට ඇබ්බැහි වී සිටින බොහෝ බෞද්ධයින් බටහිර විද්‍යාඥයින් අමතා
බණ කියන විට කාලාම සූත්‍රය ඇසුරින් විද්‍යාත්මක හා විචාර පූර්ව පර්යේෂණ
ක්‍රම ගැන මහත් වූ වාගාඩම්බරයෙන් කථා කිරීමට රුචියක් දක්වන බව අපි
දනිමු. මේ උත්පත්තිය හා ඊට අයත් ප්‍රශ්න වලට ප්‍රමාණවත් පිළිතුරු
සොයාගැනීමට වඩා පුනරුත්පත්තිය ගැන කථා කිරීමටත් එම පුනරුත්පත්තිය
විද්‍යාත්මක ලෙස ඔප්පු කිරීමටත් සමහර බෞද්ධ වියතුන් වඩාත් කැමති බව
රොයිටර් වාර්තා අනුව පෙනී යයි.
දැනට බෞද්ධයින් අතර ප්‍රචලිත වී ඇති කර්මවාදය යුග කීපයකට අයත්
මතිමතාන්තර සංකලනය වීමෙන් සකස් වූවකි. බුදුන් සිටි යුගයට පෙරාතුව සිට
ඉන්දියාවේ මිනිසුන් අතර මුල්බැසගෙන තිබුණු ඇදහිලි මෙන්ම පසුකාලීන
බෞද්ධයින්ගේ ආගමික අවශ්‍යතා සපුරාලීම සඳහා සකස්කොට ගත් නව ඇදහිලි
රාශියක්ද මෙම කර්මවාදයට ඇතුළත් වී ඇති බව පෙනේ. පුනරුත්පත්තිය පිළිබඳ
දැඩි විශ්වාසයක් ද අවිචාරවත් ලෙස පාදක කොට ගෙන ගොඩනැගී ඇති මෙම
කර්මවාදය අවශ්‍යයෙන්ම සමාජගත මිනිසාගේ හික්මවීම පිණිස උපයෝගී කොට ගත්
ජනකාන්ත ධර්මයක් බව පැහැදිලි ය. මූලික සමාජ විප්ලවයන්ගෙන් තොරව ජනතාව
අවනත කොට තබා ගැනීමට මෙය මහෝපකාරි වී ඇති බව ඉතිහාසයෙන් පැහැදිලිව
පෙනේ.
මෙම කර්මවාදය අනුව පුද්ගලයාගේ හා සමාජයේ බහුතර අවධානය යොමු වී ඇත්තේ
කර්මය කෙරෙහි නොව කර්ම ඵලය කෙරෙහි ය. අතීත කර්මයන්ගේ වර්තමාන ඵල
කෙරෙහිත් වර්තමාන කර්මයන්ගේ අනාගත ඵල කෙරෙහිත් නොමනා අවධානයක් යොමු
කරවන මෙම කර්මවාදය පුද්ගලයා හා සමාජය තුළ අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති
කිරීමට අපොහොසත් වී ඇත. ඊට හේතුව ඉතා පැහැදිලිය.
දානමානාදී කටයුතු පින්කම් වශයෙන් සලකනු ලැබේ. පින්කම් අගේ කොට සලකනු
ලබන්නේ එහි ප්‍රතිඵල අරමුණු කොට ගෙනය. ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන
කටයුතු ක්‍රියා නොව ප්‍රතික්‍රියා ය. විමුක්තිය පිණිස පවත්නා ප්‍රධාන
සම්බාධකය ප්‍රතික්‍රියාව ය. බුදුන් ගේ ඉගැන්වීම අනුව කර්මය යනු
චේතනාවයි. චේතනාව යනු ආත්මාර්ථකාමී ඵලාසක්ත උත්සාහයයි. ආයූහනය යනු ද
මීට නමකි. ආයුහනය යනු මෙහෙයවීමයි. ප්‍රතිඵල අපේ්ක්ෂාවෙන් හා ඊට අනුකූල
වූ ආත්මාර්ථකාමයෙන් පුද්ගලයා හා සමාජය මෙහෙයවනු ලබන තාක් එම දෙපක්ෂයටම
විමුක්තියක් පසක්කොට ගත නොහැකි ය.
මේ අනුව කර්මය යනු ආත්මාර්ථකාමී ව්‍යායාමයක් බව පැහැදිලියි. එම නිසා
පුද්ගලයාගේ බුද්ධිය විපරිත කොට දක්වන කර්මය ක්ෂය කිරීමෙන් පමණක්
විමුක්තිය පසක් කොට ගත හැකි බව බුදුන් විසින් කියන ලදී. චේතනා, ආයූහන,
සංස්කාර යනාදී වචනවලින් විවරණය වන කර්මය මිනිස් ජීවිතය මෙහෙයවන ප්‍රධාන
චෛතසිකයයි. සියලු නාම ධර්ම හා රූප ධර්ම නිරතුරුව වෙනස් වේ නම් නාම
ධර්මයක් වන කර්මයද නිරතුරුව වෙනස් වන බව, වෙනස් කළ හැකි බව අමුතුවෙන්
කිව යුතු නොවේ.
පුනරුත්පත්තිය පිළිබඳව ඇදහීමක් ඇතිව හෝ නැතිව කර්මය පිළිබඳ අර්ථවත්
විවරණයක් අපට සකස් කර ගත හැකියි. ප්‍රශංසාවෙන් ගර්භාවෙන් හා තුලනයෙන්
තොරව ඇති දේ ඇති සැටියෙන් අවබෝධ කර ගැනීමටත්, අධික ආශාව, ක්‍රෝධය, භය
සහ මෝහය යන අගති ධර්මයන්ගෙන් තොරව සිත, කය, වචනය යන තුන් දොරින් පලවන
ක්‍රියා කිරීමටත් විචාර බුද්ධිය අනුව අපට පුලුවන්කම තිබිය යුතු යි.
අතීතයේ සිදු වූ ජන්ම ගැන හෝ අනාගතයෙහි සිදුවන්නා වූ ජන්ම ගැන හෝ නොතකා
නුවණින් යුතු ව සිතාබලා කටයුතු කිරීමෙන් අපට අතීතය මෙන්ම අනාගතය ද ජය
ගත හැකිය. එදිනෙදා ජීවිතයෙහි අප ලබන අත්දැකීම් අනුව අතීත ක්‍රියාවන්ගේ
ප්‍රතිඵල අභිබවා අපට කටයුතු කළ හැකි බව අපි හොඳින් දනිමු. අධික ආශාව හා
අනවබෝධය නිසා විසිපස් වසරක් මුළුල්ලේ අධික ලෙස දුම්පානය කළ අයකු ගැනද
ඊට වැඩි කාලයක් තුළ මත්පැන් පානය, හොරකම යනාදිය කළ අයවලුන් ගැන ද මේ
අවස්ථාවේ කරුණු සිහිපත් වේ.
අතීත කර්මය හා ඒ කර්මයන්ගේ විපාක වෙනස් කළ හැකි බව මේ සම්බන්ධයෙන්
කරුණු දක්වා සනාථ කොට හැකිය. නිරවුල් අවබෝධය හා සෞඛ්‍ය පිළිබඳ උද්යෝගය
පහළ වූ විට දීර්ඝ කාලයක් මුළුල්ලේ සිතාමතා කළ ක්‍රියාවන් නිසා ඇති වූ
ඇබ්බැහිකම් සාර්ථක ලෙස ඉවත්කොට ඒ වෙනුවට සෞඛ්‍යදායක ගතිපැවතුම් පුරුදු
පුහුණු කිරීමට මේ අය සමත් වූහ. මේ අනුව ජීවිතයේ වෙනත් කරුණු පිළිබඳවත්
අපට අර්ථවත් ලෙස කරුණු ගෙනහැර දැක්විය හැක.
දෛවය පිළිබඳ විශ්වාසය අත්හැර නුවණින් හා ධෛර්යයෙන් යුතුව කටයුතු
කිරීමෙන් කර්මය මෙන්ම කර්මඵලය ද වෙනස් කළ හැකි බව බුද්ධිමතුන් විසින්
අවබෝධ කොට ගත යුතු ය. ජාතික හා ජාත්‍යන්තර සංවර්ධනය පිණිස කර්මය
සම්බන්ධයෙන් මෙබඳු ප්‍රගතිශීලි අවබෝධයක් නොපමාව අවශ්‍ය වන අතර යව්දිව්
වශයෙන් අර්ථවත් ජීවිතයක් ගත කිරීම සඳහා සෑම පුද්ගලයාට ම ද එබන්දක්
අවශ්‍ය වේ මැයි.
(‘බෞද්ධ දර්ශනය හා චරණය‘ කෘතියෙනි)
|